Wednesday, October 26, 2011

පාකිස්තානයට අවුරුදු 5කින් නෑ ලංකාවට තරග 12 කින් ජයක් නෑ අද මොනවා වෙයිද?

ටෙස්‌ට්‌ තරග 12 කට පසුව ජයග්‍රහණයක්‌ බලාපොරොත්තුවෙන් ලතවෙන ශ්‍රී ලංකාව අද (26 දා) පාකිස්‌තානය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී සහභාගි වෙයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙ.ව. 11.30 ට ආරම්භ වන අතර සී.එස්‌.එන්. නාලිකාව ඔස්‌සේ තරගය සජීවි විකාශය කෙරේ.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ ටෙස්‌ට්‌ තරග 12 තුළදී පරාජයන් තුනක්‌ ලබා ඇති අතර එහිදී එකදු ජයග්‍රහණයක්‌ හෝ ලබාගැනීමට අපොහොසත් වී තිබේ. ශ්‍රී ලංකාව අවසන් වරට ටෙස්‌ට්‌ ජයග්‍රහණයක්‌ වාර්තා කිරීමට සමත් වූයේ ඉකුත් වසරේ ඉන්දියාවට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදීය. එම තරගය මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමේ තරගයද විය.

දෙරට අතර පැවැති පළමු ටෙස්‌ට්‌ තරගය විසඳුමකින් තොරව නිමා වුවද එහිදී කණ්‌ඩායම් දෙකේ සිදුවූ වැරැදි හඳුනාගනිමින් අද පැවැත්වෙන තරගයට අවතීර්ණ වන බව කණ්‌ඩායම් දෙකේම විශ්වාසය වී තිබේ.

"දින පහේ තරග ක්‍රීඩා කරන හැමෝම කණ්‌ඩායම වෙනුවෙන් කුමක්‌ හෝ විශේෂ දෙයක්‌ කළ යුතුයි. විශේෂයෙන් ටෙස්‌ට්‌ තරගයක පළමු ඉනිම ඉතාම විශේෂයි. පළමු ඉනිමේදී අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියොත් තරගය බේරා ගන්න ගොඩක්‌ අමාරුයි. නමුත් අපි පළමු ටෙස්‌ට්‌ තරගයේ පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිහිල්ලත් තරගය විසඳුමකින් තොරව නිමා කර ගැනීම, අද තරගයේදී කණ්‌ඩායමේ මානසිකත්වය ඉහළ දමන්නක්‌ වී තිබෙනවා. විශේෂයෙන් අපේ නවක පන්දු යවන්නන්ට විශ්වාසයෙන් පන්දු යවන්න නම් පිතිකරුවන් විදිහට ලොකු ලකුණු ගණනක්‌ ලකුණු පුවරුවේ පෙන්වන්න ඕන." යනුවෙන් ඩිල්ෂාන් අද තරගය පිළිබඳව අදහස්‌ දක්‌වයි.

පිතිකරුවකු ලෙස පසුබෑමකට ලක්‌ව සිටින ඩිල්ෂාන් එහිදී අද තරගයේදී තමාගේ දායකත්වය පිළිබඳව අදහස්‌ දක්‌වමින් "මම පෞද්ගලිකව විශ්වාස කරනවා. අද තරගයේදී ලකුණු අතරට පැමිණෙන්න පුළුවන් කියල. මැද පෙළ පිතිකරුවකු විදිහට කණ්‌ඩායමට ලබා දිය යුතු ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට හැකි වෙතැයි මම විශ්වාස කරනවා" යනුවෙන් පැවසීය.

පළමු ටෙස්‌ට්‌ තරගය ජය ගැනීමට බොහෝ අවස්‌ථාවක්‌ තිබුණත් තරග විසඳුමකින් තොරව නිමා වූයේ තම පන්දු යවන්නන් තීරණාත්මක උඩපන්දු හයක්‌ අතහැරීම බව පාකිස්‌තාන් පුහුණුකරු මොෂින් ඛාන් මේ අතර පවසයි.

"පළමු තරගය අපට ජය ගන්න බැරි වුණේ පන්දු රැකීම දුර්වල වූ නිසා. ඒත් පිතිහරඹය සහ පන්දු යෑවීම උසස්‌ මට්‌ටමේ තිබුණා. අපි මේ තරගයට එන්නෙ පන්දු රැකීම පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කරලා. පළමු තරගයේ ස්‌ලිප් ස්‌ථානයේ තවුෆික්‌ උමාර් අතින් උඩපන්දු කිහිපයක්‌ අතහැරුණා. ඔහුගේ අතේ ඇඟිල්ලක සුළු ආබාධයක්‌ තිබුණ නිසා එහෙම වෙන්න ඇති. ක්‍රිකට්‌ ක්‍රීඩාවේ එවැනි දේවල් වෙනවා. නමුත් ආබාධයක්‌ තියෙන විට පන්දු යවන්නන් මාරු කරමින් ස්‌ථානගත කිරීම අවශ්‍යයි." යනුවෙන් මොෂින් ඛාන් සඳහන් කරයි. පාකිස්‌තාන කණ්‌ඩායම අවසන් වරට 2006 දී අස්‌ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් අනතුරුව ගෙවුණු වසර 5 කට අධික කාලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්‌ට්‌ ජයක්‌ ලැබීමට අපොහොසත් වී තිබේ. ශ්‍රී ලංකාව අවසන් වරට 2009 දී එස්‌.එස්‌.සී ක්‍රීඩාංගණයේදී පාකිස්‌තානය ටෙස්‌ට්‌ තරගයකදී පරාජය කිරීමට සමත්ව ඇත.

අද තරගය පැවැත්වෙන අබුඩාබි ක්‍රීඩාංගණයේ තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෙම ක්‍රීඩාංගණයේ පවත්වා ඇති එකම ටෙස්‌ට්‌ තරගය පාකිස්‌තානය සහ දකුණු අප්‍රිකාව අතර ඉකුත් 2010 වසරේ පවත්වා තිබේ. එම තරගය විසඳුමකින් තොරව නිමා වුවද දෙපිළම කඩුලු 18 ක්‌ දැවී ලකුණු 1386 ක්‌ ලබා තිබීම මත මෙම තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක්‌ ලෙස නිගමනයකට පැමිණිය හැක.

ශ්‍රී ලංකා පිතිකරු මහේල ජයවර්ධන මෙම තරගයේදී ලකුණු 116 ක්‌ ලබාගතහොත් ඔහු ටෙස්‌ට්‌ ලකුණු දස දහස (10000) සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා මෙන්ම එවැනි දස්‌කමක්‌ කළ ලොව 9 වැනි ක්‍රීඩකයා වීමේ භාග්‍ය ලබනු ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක්‌ ටෙස්‌ට්‌ ලකුණු 10,000 ක්‌ වාර්තා කිරීමට කිසිම ක්‍රීඩකයකු සමත්වී නොමැත.

පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ එක්‌ වෙනස්‌කමක්‌ පමණක්‌ අද තරගයේදී අපේක්‍ෂා කළ හැක. එහිදී නුවන් ප්‍රදීප් වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක සුරාඡ් රන්දිව් ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී. යම් හෙයකින් රන්දිව් ක්‍රීඩා නොකළහොත් ඒ වෙනුවට ධම්මික ප්‍රසාද් හෝ කෝසල කුලසේකර ක්‍රීඩා කිරීමේ අවස්‌ථාවක්‌ ඇති බවද නිල නොලත් ආරංචි මාර්ගවල සඳහන් වේ.

පළමු තරගයට ක්‍රීඩා කළ පාකිස්‌තාන් කණ්‌ඩායම අද තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතී.

අද තරගයට ක්‍රීඩා කිරීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකා කණ්‌ඩායම - තරංග පරණවිතාන, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස්‌, ප්‍රසන්න ජයවර්ධන, රංගන හේරත්, සුරංග ලක්‌මාල්, චානක වෙලගෙදර, නුවන් ප්‍රදීප් හෝ සුරාඡ් රන්දීව්.

පාකිස්‌තානු කණ්‌ඩායම - ඉම්රාන් µර්හත්, මොහොමඩ් හෆිස්‌, යුනිස්‌ ඛාන්, මිස්‌බා උල් හක්‌(නායක), අසීස්‌ චීමා, ෂොයෙබ් මලික්‌, අද්නන් අක්‌මාල්, උමාර් ගුල්, වහාබ් රියාස්‌, අබ්දූර් රෙහෙමාන් සහ සයීඩ් අඡ්මාල්.

Tuesday, October 18, 2011

මුරලි නැතුව තවත් ටෙස්ට් තරග පරාජයක්ද? නැතිනම් එය වෙනස්කල හැකිවේද?

තමන්ට සුපුරුදු තණතීරුවල ක්‍රීඩා කිරීමේදී කණ්‌ඩායමකට භූක්‌ති විඳිය හැකි වාසියට කිසිදු කණ්‌ඩායමක්‌ හිමිකම් නොකියන ශ්‍රී ලංකා - පාකිස්‌තාන ක්‍රිකට්‌ තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරනු ලබන පළමු ටෙස්‌ට්‌ තරගය අද (18 දා) අබුඩාබිහි ෂෙයික්‌ සහීඩ් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 11.30 ට ආරම්භ වේ.

ෂෙයික්‌ සහීඩ් ක්‍රීඩාංගණයේදී මීට පෙර පාකිස්‌තාන කණ්‌ඩායම සහ දකුණු අප්‍රිකාව අතර එක්‌ ටෙස්‌ට්‌ තරගයක්‌ පමණක්‌ පවත්වා ඇති බැවින් එම තරගය මත පදනම්ව තණතීරුව පිළිබඳව ස්‌ථීර නිගමනයකට පැමිණීම එතරම් කාලෝචිත නොවේ. එහෙත් නිරන්තරයෙන්ම වියළි කාලගුණික තත්ත්වයක්‌ මෙන්ම පැවැති එකම සහ පළමු තරගයේදීම දෙපිළම ලකුණු 400 ඉක්‌මවා ලබා ගැනීමට සමත්වූ බැවින් මෙම තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය බව අනුමාන කෙරේ.

මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමේ තරගය වූ ගාල්ලේදී පැවැති තරගය ජය ගැනීමෙන් පසු මෙතෙක්‌ සහභාගි වූ තරග 11 දීම ටෙස්‌ට්‌ තරග ජයග්‍රහණයක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම අපොහොසත්ව සිටියි. එමෙන්ම ටී. එම්. ඩිල්ෂාන් නායකත්වයට පත්වීමෙන් පසු නායකත්වය ලබා දුන් තරගාවලි ද්විත්වයේදීම (එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව) පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකා පිල අද ආරම්භ වන තරගාවලියට පිවිසෙන්නේ වසර 2 කට අධික කාලයක්‌ තිස්‌සේ වාර්තා කිරීමට නොහැකිව තිබූ ටෙස්‌ට්‌ තරග ජය ලබා ගැනීමේ බලාපොරොත්තු ඇතිවය.

ප්‍රතිවාදී රටවල් පාකිස්‌තානයේදී තරග වැදීම ප්‍රතික්‍ෂේප කිරීම මත පාකිස්‌තාන පිල ටෙස්‌ට්‌ තරග හිඟයකට මුහුණ දී සිටියත් අවසන් වරට සිම්බාබ්වේ සමග පැවැති ටෙස්‌ට්‌ තරගය ජය ගැනීමට සමත්වීම මත අද ආරම්භ වන තරගාවලියට ඔවුන් පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයකිනි.

ටෙස්‌ට්‌ කණ්‌ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ඉහළ ස්‌ථානයකට පැමිණීමට ඇති හැකියාව මත මෙම තරගාවලිය දෙපිළටම බෙහෙවින් වැදගත් වේ.

ශ්‍රේණිගත කිරීම්හි පස්‌වැනි ස්‌ථානයේ සිට මෙම තරගාවලියට අවතීර්ණ වන ශ්‍රී ලංකා කණ්‌ඩායම(ප්‍රසාද ලකුණු 103), තරගාවලියේ ජය අත්කර ගැනීමට සමත් වුවහොත් ශ්‍රේණිගත කිරීම්හි සිව්වැනි ස්‌ථානය දක්‌වා ඉදිරියට පැමිණීමට අවස්‌ථාව උදාවනු ඇත. ප්‍රසාද ලකුණු 94 ක්‌ ලබා එහි හයවැනි ස්‌ථානයේ පසුවන පාකිස්‌තානු පිල මෙම තරගාවලිය ජය ගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාව අභිබවා පස්‌වැනි ස්‌ථානය දක්‌වා ඉදිරියට පැමිණෙනු ඇත.ටෙස්‌ට්‌ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්‌ථානයට පැමිණීමට සමත් වූ හිටපු නායක කුමාර් සංගක්‌කාර, අවසන් තරගාවලි කිහිපයේදී කැපී පෙනෙන තරමේ දක්‍ෂතා දැක්‌වීමට අපොහොසත් වීම හේතුවෙන් මේ වන විට එම පස්‌වැනි ස්‌ථානය දක්‌වා පහත බැස තිබේ. මෙම තරගාවලියේදී හෙතෙම පිත්තෙන් දස්‌කම් දැක්‌වීමට සමත් වුවහොත් එහිදී අංක 02 ස්‌ථානය දක්‌වා පැමිණිමට අවස්‌ථාව උදා වී තිබේ.

මෑත කාලයේදී කණ්‌ඩායමෙන් ඉවත් කර සිටි ෂොයෙබ් මලික්‌ නැවතත් කණ්‌ඩායමට එකතු වීම මත පාකිස්‌තානු කණ්‌ඩායමේ ශක්‌තිය තවත් වර්ධනය වී ඇති බැවින් එහිදී තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාව මුහුණ දෙනු ලබන ප්‍රධාන අභියෝගය වන්නේ එතරම් අත්දැකීම් අඩු පන්දු යවන්නන්ගෙන්, පාකිස්‌තානු කණ්‌ඩායමේ කඩුලු 20 දවා ගැනීම වේ.

එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායම සතු ප්‍රබලම පන්දු යවන්නා රංගන හේරත් වන අතර ඔහු හැර සෙසු පන්දු යවන්නෝ පසුගිය තරගවලදී එතරම් සාර්ථකත්වයක්‌ පෙන්නුම් කිරීමට අපොහොසත් වූහ.

ඔස්‌ටේ්‍රලියාව සමඟ පැවැති තරගාවලියේදී ටෙස්‌ට්‌ වරම් ලද ශමින්ද එරංගද ආබාධයකට ලක්‌වී කණ්‌ඩායමෙන් ඉවත් වීම මත අද තරගයේදී ඔහුගේ ස්‌ථානය බොහෝ දුරට නුවන් ප්‍රදීප්ට හිමිවීමට ඉඩ තිබේ. ලසිත් මාලිංගගේ පන්දු යෑවීමේ ඉරියව්වට සමාන ඉරියව්වක්‌ සතු නුවන් ප්‍රදීප් අද දිනයේදී ටෙස්‌ට්‌ වරම් දිනාගත හොත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ වරම් දිනූ 119 වැනි ක්‍රීඩකයා බවට පත්වනු ඇත.

මෙම තරගාවලිය මහේල ජයවර්ධනටද ඉතා සුවිශේෂී තරගාවලියක්‌ වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ ලකුණු 10,000 සීමාව පසු කළ පළමු පිතිකරුවා වීඹට ආසන්නව සිටින හේතුවෙනි. මේ වන විටත් ටෙස්‌ට්‌ තරග 122 ක්‌ නියෝජනය කර ඇති ජයවර්ධන මුලු ලකුණු 9852 ක්‌ රැස්‌ කරගෙන සිටින අතර ඔහුට ලකුණු 10,000 සීමාව පසු කර යැමට තවත් ලකුණු 148ක්‌ අවශ්‍යව ඇත.

Wednesday, October 5, 2011

ගුරුවරුන්ගේ වැටුප් තවත් පහලටද?

අධ්‍යාපන අමාත්‍යංශය මේ වනවිට සකස්‌ කර ඇති නව ගුරු සේවා ව්‍යවස්‌ථාවට අනුව අධ්‍යාපන විද්‍යා පීඨවලින් පුහුණුව ලබන ගුරුවරුන් ගුරු සේවා ව්‍යවස්‌ථාවට ඇතුළත් වීම සඳහා උපාධියක්‌ ලබා ගැනීම අවශ්‍ය වේ.

මෙතෙක්‌ ශේ්‍රණි පහක්‌ යටතේ පැවැති ගුරු සේවාව
ශේ්‍රණි හතරක්‌ දක්‌වා අඩු කර ඇති අතර අධි ශේ්‍රණියක්‌ද ඒ යටතේ වෙයි. අධි ශේ්‍රණියට ඇතුළත් විය හැක්‌කේ ගුරු උපදේශකවරුන්ට හා අංශ ප්‍රධාන ධුර දරන ගුරුවරුන්ට පමණි. මෙම ශ්‍රේණි හතරට අමතරව අන්තර්කාලීන ශ්‍රේණි වශයෙන් 3-i සහ 3-ii හඳුන්වා ඇති අතර විද්‍යා පීඨ පුහුණුව අවසන් කරන්නන් අයත් වන්නේ එම අන්තර්කාලීන ශේ්‍රණිවලටය. අන්තර්කාලීන ශේ්‍රණිවල සිටිමින් උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව ගුරු සේවයට ඇතුළත් විය හැකිය.

මීට වසර තුනකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය විසින්ම අනුමත කරනු ලැබූ වැටුප් පරිමාණයන්ට වඩා අඩු වැටුප් තල නව ව්‍යවස්‌ථාවට ඇතුළත් කර ඇත. අමාත්‍යංශය අනුමත කළ වැටුප් පරිමාණයන්ට අනුව පළමු පන්තියේ ගුරුවරයකුගේ වැටුප රුපියල් 25,515 ක්‌ වුවත් නව ව්‍යවස්‌ථාවට ඇතුළත් කර ඇත්තේ රුපියල් 21,750 කි. දෙවැනි පන්තියේ පළමු ශේ්‍රණියේ ගුරුවරයකුට නව සේවා ව්‍යවස්‌ථාවෙන් යෝජනා කර ඇත්තේ රුපියල් 18,950 කි. අමාත්‍යංශය අනුමත කර තිබූ වැටුප් පරිමාණය රුපිsයල් 22935 කි.

මෙම කරුණු අනාවරණය වූයේ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (04 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ගුරු වෘත්තීය සංගම් සමඟ සාකච්ඡාවකින් තොරව සකස්‌ කර ඇති මෙම සේවා ව්‍යවස්‌ථාවට විරෝධය පළකරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ඥනරත්න වීරකෝන් මහතා පැවසීය. මෙම ව්‍යවස්‌ථාව බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.