Wednesday, December 28, 2011

පඩි ගෙවීම සාර්ථකයි. ලංකාව ලකුණු 177 ක් ඉදිරියෙන් කඩුළු 9ක් ඉතිරිව ද.අප්‍රිකාව එරෙහිව පළමු ටෙස්ට් ජයද?

2011-12-27 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.112.9700 , විකුණුම් මිල රු.114.8800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.175.7000 , විකුණුම් මිල රු.180.1000 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.146.6500 , විකුණුම් මිල රු.150.9600 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.119.7200 , විකුණුම් මිල රු.123.8100 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.9000 , විකුණුම් මිල රු.113.4000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.6700 , විකුණුම් මිල රු.117.6300 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.86.7100 , විකුණුම් මිල රු.89.3500 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4397 , විකුණුම් මිල රු.1.4863 |

සංචාරක ශ‍්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල 

අතර ඩර්බන් නුවරදී පැවැත්වෙන දෙවැනි 

ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන ඊයේ (27) ශ්‍රී 

ලංකා පිල සියලූ දෙනා දැවී ලකුණු 338 ක් ලබා 

ගත්තේය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් තිලාන් 

සමරවීර (102) සහ මංගල ටෙස්ට් තරගයට 

සහභාගි වු දිනේෂ් චන්දිමාල් (58) වැඩි ලකුණු 

ලැබුහ.  දකුණු අපි‍්‍රකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු 

යැවීමක නිරත වූ මර්චන් ඩ ලෙන්ගර් ලකුණු 

81 කට කඩුලූ 7 ක් දවා ගත්තා.

තරගයේ පළමු ඉනිම නිමා කරමින් දකුණු අප්‍රිකානු 

කණ්ඩායමට සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගත 

හැකිවූයේ ලකුණු 168 ක් පමණි.  

හසීම් අම්ලා 54 ,චානක වෙලගෙදර ලකුණු 52 ට කඩුලු 5 ක් ,රංගන 

හේරත් ලකුණු 49 ට කඩුලු 4 ක් බිඳහෙළීමට සමත්විය
   
ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම සඳහා එක කඩුල්ලක් දැවී ලකුණු 7 ක් ලබා 

ලකුණු 177 ක් ඉදිරියෙන් සිටියේය.

ශ්‍රි ලංකාව පළමු ඉනිම 338 සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 7
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම 168

මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් තිලාන් සමරවීර පැවසුවේ කණ්ඩායම දැඩි කැපවීමෙන් පුහුණුවීම් කළ බවය.
නිමා වූ වසර 5ක කාලය තුළ ශ්‍රී ලංකාව මෙතරම් කැපවීමෙන් පුහුණුවනු තමන් කිසිදා නොදුටු බව ද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ඉණිමකදී අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේ ද ඊයේ දිනයේදීය.දකුණු අප්‍රිකා පළමු ඉණිම ලකුණු 168කට සීමා වු අතර වේග පන්දු යවන ක්‍රීඩක චානක වෙළගෙදර සිය ටෙස්ට් දිවියේ හොදම පන්දු යැවීම ඊයේ වාර්තා කළේය. මේ අතර මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් හෂීම් අම්ලා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පන්දු යැවීම ඉතා ඉහළ මට්ටමක තිබූ බවය. තම කණ්ඩායම ඩර්බන්හි කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේ අඛණ්ඩව අසාර්ථක වීමට හේතුව වටහා ගැනීමට නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
එම ක්‍රීඩාංගණයේදි දකුණු අප්‍රිකාව අවසන් වරට සහභාගි වූ තරඟ 3ම පරාජය විය.

Saturday, December 24, 2011

5 ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු පිටවේ.

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පාසල්වලට සිසුන් ඇතුළත් කර ගන්නා කඩඉම් ලකුණු අද (23) අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශයට පත් කළා. ඒ අනුව පිරිමි පාසල් අතරින් කොළඹ රාජකීය විද්‍යාලයේ කඩඉම් ලකුණ 182ක් වන අතර මහනුවර ධර්මරාජ විද්‍යාලය සඳහා ප‍්‍රකාශයට පත් කර ඇති කඩඉම් ලකුණ 180ක්. කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය 178 මට්ටමේ පවතින අතර මහනුවර කිංස්වුඞ් සහ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය ලකුණු 177 මට්ටමේ ද පවතිනවා. බාලිකා පාසල් අතරින් කොළඹ  විශාකා විද්‍යාලයේ කඩඉම් ලකුණ 184ක්. දේවි බාලිකා විද්‍යාලය 180ක් වන අතර මහනුවර මහාමායා විද්‍යාලයේ කඩඉම් ලකුණ 179ක්. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ලකුණු 178ක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති අතර ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලයේ කඩඉම් ලකුණ 174ක්. මධ්‍ය මහා විද්‍යාල අතරින් වැඩිම කඩඉම් ලකුණ වන 170 පන්නිපිටිය ධර්මපාල, හොරණ තක්ෂිලා සහ වයඹ රාජකීය විදුහල වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.



2013 වසරේදී පාසල් විෂය නිර්දේශ වෙනසක් - ඇමැති බන්දුල ගුණවර්ධන

2013 වසරේ විෂය නිර්දේශයේ සංශෝධනයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 6 ශ්‍රේණිය ද්වීතීයික අංශය සඳහා පෙළ පොත් සියල්ල මෙම වසරේ ලියා අවසන් කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
විෂයානුබද්ධ, ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් හා ග්‍රන්ථකරණයේ අත්දැකීම් පළපුරුදු දැනුම් ඇති පිරිසක් මේ සඳහා දිවා රෑ නොබලා වෙහෙසෙන බවද කී අමාත්‍යවරයා නව පෙළ පොත් ලියා පළකිරීමේ අභියෝගය ලබන වසරේදී ජය ගන්නා බවද අවධාරණය කළේ ය. ශ්‍රී ලාංකීය දූ දරුවන්ට ප්‍රායෝගිකව අභියෝගයන්ට මුහුණ දිය හැකි වෙනස්කම් හා 2013 වසරේ විෂය නිර්දේශය සංශෝධනය කිරීමට පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

Friday, December 23, 2011

චන්දිමාල්ට ටෙස්ට් වරම් ලැබෙයිද?


ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ඩර්බන්හි, පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා දිනේෂ් චන්දිමාල් පිතිකරුවෙකු ලෙස ශී‍්‍ර ලංකා පිලට එක් වෙනු ඇතැයි කී‍්‍රඩා විචාරකයන් පවසනවා. දෙසැම්බර් 26 වැනිදා ආරම්භ වන මෙම තරගයට සහභාගී වීමට හැකි වුවහොත් එය චන්දිමාල්ගේ කුළුදුල් ටෙස්ට් තරගය වනු ඇති. මීට එකලොස් වසරකට පෙර ඩර්බන් පිටියේදී ශි‍්‍ර ලංකා පිල සහභාගී වූ බොක්සිං දින ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වුණා. ඩර්බන් පිටියේදී ශි‍්‍ර ලංකාව අවසන් වරට කි‍්‍රකට් තරගයකට සහභාගී වූ 2003 ලෝක කුසලාන තරගාවලියේදීයි. දකුණු අපි‍්‍රකාව සමග පැවැති එම තරගයෙන් ශී‍්‍ර ලංකාව ජය හිමි කරගත්තා.  කෙසේ නමුත්, ඩර්බන් පන්දුව ඉපිලෙන වේග පන්දු යවන්නන්ට වාසි දායක තනතිල්ලක් ලෙසයි සැලකෙන්නේ.

Wednesday, December 21, 2011

විද්වත් කමිටුවේ අනුමැතිය ලැබී පැය 24 කින් උසස්පෙළ ප්‍රතිඵල

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ "ඉසෙඩ් ස්කෝර්" ගණනය කිරීමේ සමීකරණයේ යෝග්‍යතාව සොයාබැලීම සඳහා විද්වත් කමිටුවක් වෙත අද (21) භාරකරන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි.

එක් එක් විෂයන් අනුව, විෂය ධාරාවන් අනුව සහ එම අගයන් 02 එක්කර පොදු අගයක් ලෙස "ඉසෙඩ් ස්කෝර්" අගයන් තුනක් ගණනය කර ඇති බවත්, එම අදාළ අගයන් මෙසේ විද්වත් කමිටුව වෙත භාරදෙන බවත් අනුර එදිරිසිංහ මහතා සඳහන් කරයි.

ඒ සඳහා විද්වත් කමිටුවේ අනුමැතිය පිළිබඳව එම කමිටුව මගින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බවත්, පසුව කොමිෂන් සභාව මගින් ඒ සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන බවත් විභාග කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

කොමිෂන් සභාව වෙතින් අදාළ අනුමැතිය ලැබී පැය 24 ට පසු උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් ‍කළේය.

කොළඹදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර එදිරිසිංහ මහතා මේ බව කියා සිටියේය.

මෙම සතිය ඇතුළත උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට බොහෝ දුරට හැකිවනු ඇති බව ඔහු එහිදී විශ්වාසය පළ කළේය.

Tuesday, December 20, 2011

ඉදිරියේදී සිසුන්ට උසස්පෙළ දී තෝරා ගැනීමට අලුත් විෂයක්

ඉදිරියේදී සිසුන්ට උසස්පෙළ දී විෂය ක්ෂේත්‍රයක් තෝරා ගැනීම සඳහා අලූත් විෂයක් උසස් පෙළට ඇතුල් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියාසිටියේ, ඩී.එස්. සේනානායක විද්‍යාලයේ 2011-12-02 පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

ඒ අනුව පෙර පැවති වාණිජ්‍යය, විද්‍යා, ගණිතය සහ කලා විෂයන්ට අමතරව  'තාක්ෂණය' ලෙස අලූත් විෂය ක්ෂේත්‍රයක් යටතේ සිසුන්ට අධ්‍යයන කටයුතු සිදුකළ හැකිය. උසස් පෙළ අවසන් කළ විට අස්වීමේ සහතිකයක් ලබා දෙනවා වෙනුවට නිපුනතා සහතිකයක් ලබා දීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
එමෙන්ම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ ද වෙනසක් සිදුවන අතර මෙම සංශෝධනයත් සමග,  සාමාන්‍ය පෙළ ප්‍රධාන විෂයන්ට අමතර අතිරේක විෂයන් තෝරාගැනීමේදී දරුවන් තමා උසස් පෙළට හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ක්ෂේත්‍රයට අදාළ විෂයක්, සාමාන්‍යපෙළ දී හැදෑරීමට හැකිවන අයුරින් විෂයන් තුනක් සාමාන්‍යපෙළ විෂය නිර්දේශයට අතුළත් වන බව අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය. ඒ තුළින් උසස් පෙළ දී එකවර අදාළ විෂයට මුහුණ දීමට සිදුවීමෙන් සිසුන් පත් වන අපහසුතා මගහැරෙන අතර සිසු මනසට පීඩනයකින් තොරව සහ මූලික දැනුමක් සහිතව සිය උසස් අධ්‍යාපනය හැදෑරීමට හැකිවනු ඇත.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන සිසුන්ට සහතික පත්‍රයක් ලබා දීමේ වැඩපිළිවෙළක් ද ඊයේ සිට ප්‍රථම වතාවට ආරම්භ කළ බවත් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

Monday, December 19, 2011

උ/පෙළ නිර්දේශ දෙකට සැකසූ ඉසෙඩ් ස්‌කෝර් සූත්‍රය තමාටත් නොතේරෙන බව ඇමැති කියයි

අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා නව නිර්දේශයට හා පැරැණි නිර්දේශයට අදාළව විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සකස්‌ කළ ඉසෙඩ් ස්‌කෝර් සූත්‍රය තමන්ට ද තේරුම්ගත නොහැකි බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පෙරේදා (17 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. නිර්දේශයන් දෙකක්‌ යටතේ විභාගය පැවැත්වීම නිසා ප්‍රතිඵල සම තත්ත්වයට ගෙන ඉසෙඩ් ස්‌කෝර් ලකුණු සකස්‌ කිරීම සඳහා මෙම සූත්‍රය සාදා ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

ප්‍රතිඵල නිකුත් නොකරන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මීට සති දෙකකට පෙර විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද... ඉසෙඩ් ස්‌කෝර් සඳහා මැදිහත්වී ගණිතය පිළිබඳ විද්වතුන්ගේ ශාස්‌ත්‍රීය කමිටුවක්‌ ලවා සූත්‍රයක්‌ සෑදීමට කොමිසම තීරණය කළ බවද ඇමැතිවරයා කීවේය.

නිර්දේශ දෙකක්‌ යටතේ එකම විෂයයට ප්‍රශ්න පත්‍ර දෙක බැගින් නිකුත් කර ඇතැයි ද කෙසේ වෙතත් මේ වන විට උත්තරපත්‍ර බලා අවසන් යෑයි ද කී ඇමැතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ ප්‍රතිඵල මීට මාසයකට කලින් වුවද නිකුත් කිරීමේ හැකියාව තිබූ බව ද කීවේය.

ප්‍රතිඵල නිකුත් කිරීමේදී ඉසෙඩ් ස්‌කෝර් ක්‍රමය ප්‍රශ්නයක්‌ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට විභාග දෙපාර්තමේන්තුව විසින් මීට මාස තුනකට පෙර දැනුම් දුන් නමුත් ඔවුන් ඊට මැදිහත් වූයේ සති දෙකකට පෙර බවද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

නව නිර්දේශය සහ පැරැණි නිර්දේශය යටතේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ ඉසෙඩ් ස්‌කෝර් ලකුණු තීරණය කිරීමට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ කමිටුව විසින් පේළි අටක සූත්‍රයක්‌ සෑදූ බව කී ඇමැති බන්දුල ගුණවර්ධන මහතා එකී සූත්‍රය හැන්සාඩ් ගත කළේය.

එම සූත්‍රය තමන්ට ද නොතේරෙන බව කී ඇමැතිවරයා උසස්‌ පෙළ විභාගයට පිළිතුරු ලියූ ලක්‍ෂ තුනක සිසුන්ගේ ලකුණු මෙම සූත්‍රයට ආදේශ කර ඉසෙඩ් ස්‌කෝර් ලකුණු තීරණය කිරීමට සිදුව ඇතැයි ද කීය.

එම කටයුතු අවසන් වූ පසුව ලබන සතිය වෙද්දී ප්‍රතිඵල නිකුත් කළ හැකිවන බව කී බන්දුල ගුණවර්ධන මහතා මෙම ඉසෙඩ් ස්‌කෝර් ලකුණු දශමයකින් හෝ වෙනස්‌ වුවොත්... ඒ මත සිසුවකු දොස්‌තර කෙනෙක්‌ හෝ කොන්දොස්‌තර කෙනෙක්‌ විය හැකි බවද ප්‍රකාශ කළේය.

ඉසෙඩ් ස්‌කෝර් ලකුණු සකස්‌ කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ කාර්යයක්‌ යෑයි ද ඒ බව මාස තුනකට පෙර කොමිසමට දැනුම් දුන් බවද කී ඇමැති බන්දුල ගුණවර්ධන මහතා "අනුන්ගේ දේවලට දැන් අපි නිකං බැණුම් අහනවා..." යෑයි ද කීය.

Saturday, December 17, 2011

උසස්‌ පෙළ ප්‍රතිඵල සඳුදා - ඇමැති එස්‌. බී. ඇමති කිව්වත් සඳුදාට බෑ-විභාග කොමසාරිස්


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන සඳුදා (19 දා) නිකුත් කිරීමට පියවර ගන්නේ යෑයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඊයේ (16 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අපොස (උ/පෙ) විභාගයේ නව නිර්දේශය හා පැරැණි නිර්දේශය යන දෙකටම පෙනී සිටි සිසුන්ට පොදු වන ඉසෙඩ් ස්‌කොර් ක්‍රමයක්‌ සැකසීමට ගණිත හා සංඛ්‍යාත විශේෂඥයන්ට භාර කළ බවද ඒ අනුව ඔවුන් එවැනි ක්‍රමයක්‌ සකස්‌ කර ඇතැයිද ඇමැති එස්‌. බී. දිසානායක මහතා කීවේය.

ඒ අනුව ලබන සඳුදා වන විට උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කළ හැකි බවද කී ඇමැතිවරයා අලුත් හා පරණ නිර්දේශවලට ඉසෙඩ් ස්‌කෝර් ලකුණු ක්‍රම දෙකක්‌ ලබා දුන්නොත් සංකීර්ණ ප්‍රශ්න ඇති වන බවද කීය.

නව පොදු ක්‍රමය යටතේ ඉසෙඩ් ලකුණු සකස්‌ කරද්දී ශිෂ්‍යයකුට සියයට දශම ගණනක වාසියක්‌ ද තවත් ශිෂ්‍යයකුට සියයට දශම ගණනක අවාසියක්‌ද සිදුවීමට ඉඩ ඇතැයි කී ඇමැතිවරයා එම තත්ත්වය දශම එකකින් අඩුවන පරිදි සකස්‌ කර ඇතැයිද කීය.

එහෙත්
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි අදාළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ලබන සඳුදා දිනයේ ද සිදුකිරීමට නොහැකි වන බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවසුවේය.


කෙසේ වෙතත් අදාළ ප්‍රතිඵල පාසල් තුන්වන වාරය අවසන් වීමට පෙර නිකුත් කෙරෙන බව මීට පෙර ප්‍රකාශ වී තිබුණි.


ප්‍රතිඵල නිකුත් කිරීමේ දී යොදා ගැනෙන ඉසෙඩ් ලකුණු ක්‍රමය පිළිබඳ ගැටලුවක් හේතුවෙන් එය ප්‍රමාද වන බව ඉන් අනතුරුව වාර්තා විය.


අදාළ ගැටලුව සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ විභාග දෙපාර්තමේන්තුව අතර පසුගියදා සාකච්ඡාවක් ද පැවැත්විණි.

Thursday, December 15, 2011

ලංකාව ප‍්‍රසාද ලකුණු 100 කඩයිමෙන් පහළට වැටෙයි

ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර අග‍්‍රස්ථානය කුමාර් සංගක්කාර විසින් තවමත් හිමිකරගෙන සිටිනු ලැබුවද, වසර පහකට පසුව අන්තර්ජාතික ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත ලයිස්තුවේ ප‍්‍රසාද ලකුණු 100 කඩයිමෙන් පහළට ශී‍්‍ර ලංකා පිල ඇද වැටී තිබේ. පසුගියදා පාකිස්තානු පිල හමුවේ ලද තරගාවලි පරාජයත් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් කි‍්‍රකට් ගේ‍්‍රණිගත ලයිස්තුවේ පස්වැනි තැනට ඇද වැටී ඇත්තේ ප‍්‍රසාද ලකුණු 99 ක් පමණක් හිමිකර ගනිමිනි.
ශී‍්‍ර ලංකාව අවසන් වරට ප‍්‍රසාද ලකුණු 100 කඩයිමට පහළින් සිටියේ 2006 ජූනි මාසයේදීය. එවකට මාවන් අතපත්තු තුවාල ලබා සිටි හෙයින් තරුණ කී‍්‍රඩකයන් පිරිසක් සමග ශී‍්‍ර ලංකා පිලේ නායකත්වය බාරගත් මහේල ජයවර්ධන එයින් දෙමසකට පසුව, එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලිය 1x1 ක් ලෙස සම කරමින් නැවතත් ප‍්‍රසාද ලකුණු 100 කඩයිම පසුකර ගියේය.
පසුව, වරින් වර ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ පහළ ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම වසර 2009 දී ප‍්‍රසාද ලකුණු 120 ක් ලබාගනිමින් ලෝකයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව දෙවැනි ස්ථානය අත්කරගත්තේය.
දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව අද (15 වැනිදා) සෙන්චූරියන්හිදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා පිල පිවිසෙන්නේ දෙපිලම ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළ යාමට බලාපොරොත්තුව සිටින මොහොතකය. ශී‍්‍ර ලංකාව ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි තැන සිටියදී දක-ුණු අපි‍්‍රකාව ප‍්‍රසාද ලකුණු 116 ක් හිමිකර ගනිමින් සටහනේ තුන්වැනි තැන ගෙන සිටී.
මෙම තරගාවලියේදී අඩුතරමේ 1-0 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් වුවහොත්  ඕස්ටේ‍්‍රලියාව පහතට ඇද දමා ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ සිවුවැනි ස්ථානය ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිලට හැකියාව ඇත. එහෙත් දකුණු අපි‍්‍රකානුවන්ගේ බලාපොරොත්තුව ටෙස්ට් තරගාවලිය 2x0 කින් ජයගෙන ටෙස්ට් ශ්‍රේණිගත සටහනේ දෙවැනි ස්ථානය ලබාගැනීමයි.
කෙසේ වෙතත් ඉදිරි මාස දෙක ඇතුළත ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුව රඳා පවතින්නේ  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගාවලියේ ප‍්‍රතිඵලය මතය.
ප‍්‍රසාද ලකුණු 880 ක් ලබාගනිමින් කුමාර් සංගක්කාර ටෙස්ට් පිතිකරුවන් අතර මුල් තැන ගෙන සිටියදී අන්තර්ජාතික ශේ්‍්‍රණිගත කිරීම් අනුව ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 20 දෙනා අතර ස්ථානයක් හිමිකර ගැනීමට සමත්ව සිටින එකම ශී‍්‍ර ලාංකිකයා වන්නේ තිලාන් සමරවීර (17) පමණි. ප‍්‍රසාද ලකුණු 859 ක් ලබා සිටින ජැක් කලිස් ප‍්‍රසාද ලකුණු 859 ක් ලබා පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ සිටී.
ටෙස්ට් පන්දු යවන්නන් අතරේ පෙරමුණ ගෙන සිටින්නේ ප‍්‍රසාද ලකුණු 898 ක් හිමි දකුණු අපි‍්‍රකානු වේග පන්දු යවන්නා වන ඬේල් ස්ටෙයින්ය. දකුණු අපි‍්‍රකාවේම මෝන් මෝකල් ප‍්‍රසාද ලකුණු 760 ක් ලබා තුන්වැනි ස්ථානයේ සිටින අතර ශී‍්‍ර ලංකාවේ රංගන හේරත් ප‍්‍රසාද ලකුණු 626 ක් ලබාගනිමින් 10 වැනි ස්ථානයේ සිටී.

Sunday, December 11, 2011

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ දෙදරීමේ සුල මුල

පොළොවේ පය ගසා ඇවිදිමින් ජීවිතය ගත කළ සත්වයකු හදිසියේ උරගයකු වීනම් (බඩ ගාන සතකු) ඔහුට ජීවිතය රැක ගැනීමට හැකිද? මෙය අප විසින් නිර්මාණය කළ පැනයකි. එයට හේතුව වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනයට කදිම නිදසුන එය බැවිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ යනු ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් පියවරෙන් පියවර උස්‌ මහත් වූ ලොව සුපිරි ක්‍රිකට්‌ රාජ්‍යයක්‌ බවට පත් වූ රටකි. විටෙක ශ්‍රී ලංකාව ක්‍රිකට්‌ වලින් ඉහළම ස්‌ථානයක්‌ කරා පැමිණ සිටියේය. තවත් විටෙක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තබන ලෝක වාර්තා හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට ලෝක ක්‍රිකට්‌ වෙළෙඳ පොළේ වැඩිම ඉල්ලුමක්‌ ලැබිණි. ඉන් පොහොසත් වූ ශ්‍රී ලංකාව 1996 දී ලෝක ක්‍රිකට්‌ ශූරතාවද 2007 සහ 2011 ලෝක ක්‍රිකට්‌ අනුශූරතාවද දිනා ගනිමින් ලෝක ක්‍රිකට්‌ පිටියේ පෙරැළිකාර කණ්‌ඩායම් බවට පත්විය.

එහෙත් අද ඒ පෙරළිකාර කණ්‌ඩායම දිගින් දිගටම පරාජයන් ලබති. ඒ අතර ක්‍රිකට්‌ පරිපාලනයද නන්නත්තාර තත්ත්වයකට පත්ව ඇත. විටෙක ක්‍රිකට්‌ දේශපාලනීකරණය වීමෙන් සහ දිගින් දිගටම අතුරු කමිටු සංකල්පය ක්‍රියාත්මක වීමෙන් මෙසේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නන්නත්තාර වූ බව පැහැදිලිව දිස්‌වේ.

2011 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ සත්කාරක රාජ්‍යයක්‌ බවට පත්වූ ශ්‍රී ලංකාව අදාළ තරගාවලියෙන් අනතුරුව ගතවූ මාස අටක කාලය තුළ ණය බරින් හෙම්බත් විය. එය ක්‍රීඩකයන්ගේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ හි සේවය කරන සේවකයන්ට පවා පඩි ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත්විය. එම තත්ත්වය අද මෙරට පමණක්‌ නොව ලෝක ක්‍රිකට්‌ පිටියේ සියලුම දෙනා අතර ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මෙතරම් ණය වීමට හේතුව කුමක්‌ද? දුර්වල පරිපාලනය බව එයට කදිම නිදසුනකි. ලෝක කුසලාන තරගාවලියක්‌ පැවැත්වීමෙන් පසු නන්නත්තාර වූ එකම ක්‍රිකට්‌ පරිපාලනය සහ කණ්‌ඩායම බවට ශ්‍රී ලංකාව මේ අතර ඉතිහාස ගතවේ. 1996 ලෝක ක්‍රිකට්‌ කිරුළ ශ්‍රී ලංකාව ජයගන්නා අවස්‌ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සතු සේවකයන් පිරිස 9 ක්‌ පමණ බවට සඳහන් වේ. එහෙත් 2011 ලෝක ක්‍රිකට්‌ අනුශූරතාව දිනා ගන්නා විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සේවකයන් පිරිස 300 ක්‌ පමණ බව වාර්තා වේ. ඒ අනුව 1996 ට වඩා සේවක පිරිස 261 කින් පමණ ඉහළ ගොස්‌ ඇත. අදාළ සේවකයන් නඩත්තු කිරීමට අමතරව ලෝක කුසලාන වෙනුවෙන් අලුතින්ම හම්බන්තොට ක්‍රීඩාංගණයක්‌ ඉදිකිරීමට මෙරට ක්‍රිකට්‌ බලධාරීන් තීරණය කළේය. එහිදී හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 428 ක පමණ මුදලක්‌ වියදම් වූ බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

අදාළ මුදල වියදම් වූයේ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලි පැවැත්වීමටය. එහිදී හම්බන්තොට පැවැත්වූයේ ලෝක කුසලාන තරග තුනක්‌ පමණි. අද හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ වාර්තා වන අන්දමට තෙවැනි පෙළ ක්‍රීඩා කරන ක්‍රිකට්‌ ක්‍රීඩා සමාජයක්‌ හෝ නොමැත. එහිදී ජාත්‍යන්තර තරග හෝ පළමු පෙළ තරග පවත්වන්නේ වසරකට 10 කටත් අඩු ප්‍රමාණයකි. මෙවැනි දත්ත අනුව හම්බන්තොට ක්‍රීඩාංගණය සඳහා වැය වූ මුදල ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පසුම්බිය සිඳීයැමේ එක්‌ පැතිකඩක්‌ බවට යමෙකුට තර්ක කළ හැකිය.

2011 ලෝක කුසලාන සංවිධානය සඳහා වැඩ භාර ගත් සුරාඡ් දන්දෙණියගේ කළමනාකාරණයෙන් යුත් සේවකයන් සඳහා මාස හයක සිට ලක්‍ෂ ගණනින් වැටුප් ලැබිණි. ඔවුන් වැඩ කරන විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සේවකයන් වැඩ නැතිව පඩි ගත්තේය. ඒ ඔවුන්ගේ රාජකාරිය වෙනත් අයෙකු කරන නිසාවෙනි. ලෝක කුසලාන සංවිධානය කළ මහත්වරු කළ කී දෑ අනුව අදටත් එම තරගාවලියේ විය හියදම් පිළිබඳව වාර්තාව සකස්‌ කිරීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතවී ඇත. ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට්‌ ප්‍රවේශපත්‍ර මුදල් තවම නිසි ගිණුම්කරණයකට ලක්‌ව නොමැත. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කඩා වැටීමේ සාරාංශය එසේ සටහන් වුවද ඉන් ඔබ්බට ගිය කඩා වැටීමක්‌ දැන් ආරම්භ වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව ර¹ පවතින්නේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දක්‌වන දක්‍ෂතා අනුව මෙරටට ලැබෙන මුදල් ප්‍රමාණය නිසාවෙනි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කෝටි 35 කට ආසන්න මුදලක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ණය වී ඇත. එය ඉකුත් ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්‌වා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් ගෙවිය යුතු මුදල්ය. වර්තමානයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමේ සිටින සුපිරි ක්‍රීඩකයන් වන ක්‍රිස්‌ ගේල්, රම්නරේෂ් සර්වාන් වැනි ක්‍රීඩකයන් තමන්ට හිටි වැටුප් මදි බැවින් ජාතික කණ්‌ඩායම නියෝජනය කිරීම වර්ජනය කර ඇත. එවැනි තත්ත්වයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට මෙතෙක්‌ උදාවී නොතිබීම සතුටට කරුණකි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මුදලින් ප්‍රශ්නයක්‌ නොමැති වුවද ඔවුන් වැටුප් නොතකා ක්‍රීඩා කරන ආකාරය පිළිබඳව රටක්‌ වශයෙන් සියල්ලෝම සන්තෝෂ විය යුතුය. එය ආභරණයකට ලක්‌කර ගනිමින් ඔවුන් තරග පරාජ විය නොහැකි බවද සිහිපත් කළ යුතුය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ හි සේවය කරන වත්මන් සේවක සංඛ්‍යාව 263 ක්‌ පමණ බව වාර්තා වේ. ඔවුන්ට මාසිකව රුපියල් දෙකෝටි විසිපන්ලක්‍ෂයක පමණ මුදලක්‌ මාසික වැටුප් ගෙවිය යුතුය. එය මෙම මාසයේ මෙතෙක්‌ ගෙවා ගත නොහැකිව ඇත. ඔවුනට මෙම මස ගෙවීමට ඇති මුදලින් රුපියල් මිලියන 110 කට ආසන්න මුදලක්‌ පළමු පෙළ ක්‍රීඩා සමාජ වෙත ලබාදී එම තරගාවලිය පැවැත්වීමට ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව "දිවයින" නොයෙක්‌වර පෙන්වා දුන් අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සේවකයන් කප්පාදු කිරීම ඇරඹූ ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් නඩත්තු වන හම්බන්තොට, ආර්. ප්‍රේමදාස, පල්ලකැලේ සහ දඹුලු ක්‍රීඩාංගණ නඩත්තු කිරීම ආරක්‍ෂක අංශ වෙත පවරන ලදී. ඉන් මසකට ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට මිලියන ගණනක්‌ වර්තමානයේ ඉතිරි වන බව තතු දත් උද විය පවසයි. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පුහුණුකරුවන් 40 ක්‌ ඇතුළු 100 කට වැඩි පිරිසක්‌ ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු කළ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකා සේවකයන් පිරිස 150 දක්‌වා අඩුවිය යුතුව ඇතැයි අපගේ මතයයි. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නගා සිටුවීමේ එක්‌ පැතිකඩක්‌ ලෙස හැඳින්විය හැකිය. එහෙත් ඉහළ ශ්‍රේණිවල පුටු රත්කරමින් ලක්‍ෂ ගණන් වැටුප් ලබන සේවකයන් අඩ නින්දේ සිට ලබන වැටුප් පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයා ඇතුළු බලධාරීන් තවම නිසි ක්‍රියාමාර්ග නොගැනීමද කනගාටුදායක තත්ත්වයකි. ඉවත්කරන ලද සේවකයන් ඇතුළු ගිය මස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සේවකයන්ට ගෙවිය යුතු වැටුප රුපියල් දෙකෝටි විසි පන්ලක්‍ෂයක්‌ පමණ බව වාර්තා වේ.

ඉන් අඩක්‌ පමණ ඉවත් කිරීමට වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනය සමත්වීම මත එම මුදලද අඩුවිය යුතුය. ඊට පිං පඩි ගන්නා ඉහළ ශ්‍රේණියේ ටයි කෝට්‌ කාරයන්ව එලවා දැමීමට කටයුතු කළහොත් ගෙවිය යුතු මුදල තවත් අඩු වනු ඇත. එවිට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙත ලැබිය යුතුව ඇති මුදලින් අදාළ ණය බර 4 න් 3 ක්‌ ගෙවා ගත හැකි වනු ඇත. එය එසේ වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පෝෂණය කිරීම යළිත් ඇරැඹිය හැකිය. එය කළ හැක්‌කේ අනාගතයේදී නිලවරණයෙන් පත්වන ක්‍රිකට්‌ නිලධාරී මණ්‌ඩලයට පමණි. ඒ වනතුරු ක්‍රිකට්‌ ආයතනයට ඔක්‌සිජන් දීම ක්‍රීඩා ඇමැතිවරයාගේ වගකීමකි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ණය කළ බලධාරීන් සෙවීමට ඇමැතිවරයා සහ අලුතින් පත්වන නිලධාරීන් කටයුතු කිරීම එහි අත්‍යවශම රාජකාරිය බවට පත්විය යුතුව ඇත.

අසේල විතාන,
දිවයින ඇසුරෙනි

Thursday, December 8, 2011

උසස්‌ පෙළ ප්‍රතිඵල තවත් ප්‍රමාදයි ?

උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (07 වැනිදා) පැවැති සාකච්ඡාවේදී අවසන් තීරණයක්‌ ගැනීමට නොහැකි වී තිබේ.

සිසුන්ට අසාධාරණයක්‌ නොවන අයුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය සකස්‌ කිරීම සඳහා පත් කළ කමිටුව විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා සමග හෙට (09 වැනිදා) සාකච්ඡා කර අවසන් තීරණයක්‌ ගැනීමට නියමිත බව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ඊයේ (07 දා ) පැවසීය.

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශ ලේකම්වරයා ද විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ. ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන ලද ඉහත කමිටු සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්‌ව නොසිටියහ. එම කමිටුව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා සමග සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවට ඊයේ (7 දා) තීරණය විය. හෙට එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ඒ අනුවය.

ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගතව ඇත්තේ නව හා පැරැණි වශයෙන් විභාග දෙකකට සිසුන් පෙනී සිටීම නිසාය.

මෙන්න අපේ උන්නාසේලා

නවක වධදීමේ සිද්ධීන්වලට වරදකරුවන් වූ අනුරාධපුර භික්‌ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ස්‌වාමීන් වහන්සේලා එකොළොස්‌ නමක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැර ඇති අතර තවත් ශිෂ්‍ය භික්‌ෂුන් විසිහය නමකගේ වසර පහක උපරිමයකට යටත්ව ශිෂ්‍යභාවය අහෝසි කර තිබේ.

පසුගිය මාර්තු මාසයේ ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලාට නවක වධය දීමේ චෝදනාවට ලක්‌වූ මෙම ශිෂ්‍ය භික්‌ෂුන්වහන්සේලා සම්බන්ධයෙන් විනය කමිටුවක්‌ මගින් විනය පරීක්‌ෂණ පවත්වා කරන ලද නිර්දේශ අනුව උන් වහන්සේලාට දඬුවම් කිරීමට පාලක සභාව පියවර ගත්තේය. එම විශ්වවිද්‍යාලයේ දෙවන සහ තෙවැනි වසරවල අධ්‍යාපනය ලබමින් සිටි මෙම භික්‌ෂුන්වහන්සේලා නවක වධය දීමේ සිද්ධීන්වලට සම්බන්ධ වූ බව විනය කමිටුව හමුවේ තහවුරු වී ඇත.

ශිෂ්‍ය භාවය අහෝසි කිරීමේ දඬුවමට ලක්‌වූ ශිෂ්‍ය භික්‌ෂූන් වහන්සේලා තුන් නමකට වසර පහක තහනමක්‌ද සෙසු භික්‌ෂූන්වහන්සේලාට වසර දෙක හා වසර බැගින්ද තහනම පනවා තිබේ.

විනය කමිටුවේ නිර්දේශ මත හා පාලක සභාවේ අනුමැතිය අනුව මෙම දඬුවම් ක්‍රියාත්මක කළ බව විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය තුඹුල්ලේ සීලක්‌ඛන්ද නාහිමියෝ ඊයේ (07 දා) සවස පැවැසූහ.

Tuesday, December 6, 2011

කාබයිට් පළතුරු හොදද නරකද?


නිරෝගී ජීවිතයක් ප‍්‍රාර්ථනා කරන්නකු දිනකට පළතුරු ග්රෑම් 300-400 ක් අතර ප‍්‍රමාණයක් ආහාරයට ගත යුතු බව පෝෂණ විද්‍යාඥයින් ගේ මතයයි.
මේ නිසාම පළතුරුවලට සමාජයේ ඇත්තේ නොමද ඉල්ලූමකි. නාගරීකරණයත් වැඩිවන ජනගහනයත් ඒ ඉල්ලූම දෙගුණ තෙගුණ කර තිබේ.
කවර අන්දමකින් හෝ මඩිය තර කර ගන්නා වාණිජ පරමාර්ථ මුදුන්පත් කර ගන්නා ව්‍යාපාරිකයෝ ඒ ඉල්ලූම සපුරන්නට වැරදි මග ගොස් ඉදවාගත් පළතුරු වෙළෙඳ පොළට ගෙන එති.
කාබයිට් වායුව ගසා ඉදවා ගත් පළතුරු මෙන්ම කාබයිට් කුඩු පළතුරු මතට දමා පැහැය වෙනස් කරගත් පළතුරුද දිනපතා වෙළෙඳ පොළට එති.
නිසියාකාරව ස්වභාවිකව ඉදුණු පළතුරක හා කාබයිඞ් ගසා කෘති‍්‍රම ලෙස ඉදවා ගත් පළතුරක වෙනස දැනගත හැක්කේ එය අනුභව කරන මොහොතේදීය. ඒ වන විට පෙරහැර ගොස් හමාරය.
කාබයිඞ් ගැසූ පළතුරු මිනිස් සිරුරට අහිතකර බව පැවසේ. අහිතකර වන්නේ ඇයි? එසේ නම් කාබයිඞ් දමා පළතුරු ඉදවන්නන් අත්අඩංගුවට ගත හැකිද? ඒ කෙසේද? මේ සම්බන්ධව ආහාර විශේෂඥයකුගෙන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ ඉහළ නිලධාරියෙකුගෙන්ද කළ විමසීමකදී ඔවුන් ඉදිරිපත් කළ තොරතුරු ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.
කාබයිඞ් ගසා ඉදවූ පළතුරුවලින් ඉවත් විය යුතු යැයි ආහාර පිළිබඳ විශේෂඥයන් පවසන්නේ ඇයි?
කාබයිඞ් වායුව හෝ කුඩු ජලය සමග යෙදීමෙන් නිකුත් වන්නේ ඇසිටලින් වායුවයි. එහිදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඞ් පළතුරු මත තැන්පත් වේ. ඒවා පළතුරු ලෙලි මත තැන්පත් වෙනවා පමණක් නොව ඒ තුළින් ගෙඩි තුළට කාන්දුවීමට ඉඩකඩ තිබේ.
මෙහිදී අතුරු පළ ලෙස බැරලෝහ බොහොමයක්ද පළතුරු මත තැන්පත් වෙයි. එහිදී ආසනික් වැනි බැරලෝහ තැන්පත් වීම නිසා ඒවා පරිභෝජනය කරන්නන් ගේ ශරීර තුළටද ඇතුළු විය හැකිය.
ආසනික් වැනි බැරලෝහ, රෝග රැසකට මුල්වෙයි. විශේෂයෙන් අක්මාගත රෝග, වකුගඩු රෝග, පෙනහළු රෝග, සමේ රෝග ඒ අතර ප‍්‍රධානය. එහෙත් පළතුරු ගෙඩියකින් දෙකකින් මේ තත්ත්වය ඇති නොවෙයි. එය කලක් ගතවී සිදුවිය හැකිය. ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට එකී තත්ත්වය වෙනස්වනු ඇත.
ටිකෙන් ටික මරණය ගෙනන මෙවැනි පළතුරු වෙළෙඳපොළට ගෙන එන්නට වෙළෙඳුන්ට ඇති උවමනාව කුමක්ද? ඊළඟට පැන නගින්නේ එම ප‍්‍රශ්නයයි.
පළතුරු සඳහා වෙළඳපොළේ ඇති විශාල ඉල්ලූම නිසා වෙළෙඳුන් අඹ, ගස්ලබු, කෙසෙල් වැනි පළතුරු මිලදී ගන්නේ ගස් හෝ පලතුරු වතු බදු ගැනීමෙනි. එසේ බදු ගත් පළතුරු වත්තේ ඇති ඉදුණු පැසුනු ඒවා පමණක් නොව මලෙන් එළියට ආ කුඩා ගැට පවා කඩා ගෙන යන්නේ පළතුරු ගසට හෝ වත්තට ඔහු ගෙවූ මුදල උපරිම ලෙස උපයනු සඳහාය.
එසේ ගෙන යන නොපැසුණු පළතුරු ඉදුණු බව පෙන්වා වර්ණ ගැන්වීමට කාබයිඞ් යොදා ගනිති. කාබයිඞ් යෙදීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත කොට තිබුණේ පළතුරු ගබඩා කළ කාමරයේ මුල්ලක කාබයිඞ් තබා එයින් වායුව නික්මීමට සලසා එමගින් පළතුරු ඉදීමට සැලැස්වීමයි.
අද සිදුකෙරෙන්නේ පළතුරු ගොඩ ගසා ඊට කාබයිඞ් කුඩු ඉස ජලය ඉසීමයි. මෙහිදී එහි ඇති සියලූ ගෙඩි කහපැහැ ගැන්වේ. නමුත් ඒ ලෙල්ල පමණි. මේ පළතුරු පැසී ඉදුනු පළතුරු වලින් වෙන්කොට හඳුනාගැනීමට පාරිභෝගිකයාට නොහැකිවේ.
පළතුරක් ඉදීම ස්වභාවික ක‍්‍රියාවලියකි. එකී භෞත රසායනික ක‍්‍රියාවලිය කාබයිඞ් යෙදීමෙන් සිදුනොවේ. ස්වභාවික ක‍්‍රියාවලියේදී පළතුරේ ඇති අම්ල හා පිෂ්ඨය සීනි බවට පරිවර්තනය වී පළතුර මෘදු වේ. පැණි රසවේ. එහෙත් කාබයිඞ් මගින් නික්මෙන ඇසිටිලින් වායුව මගින් සිදුකරන්නේ වර්ණ ගැන්වීම පමණකි. එවිට පළතුර මෘදු නොවේ.
පළතුරක ඉදීම සඳහා අවශ්‍ය උත්තේජනය ලබාදෙන ඒතිලීන් වායුව යොදා ගැනීම සඳහා රසායනිකයක් මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අනුමත කොට ඇත. ඒ එත‍්‍රල් වේ. එත‍්‍රල් රසායනිකය මගින් නිකුත් කරන එතිලීන් වායුව මගින් සිදුකරන්නේ පැසුණු පළතුරක් ඉදීම සඳහා උත්තේජනයක් සැපයීමය.
සම්ප‍්‍රදායිකව කෙසෙල් දුම් ගැස්සවීමෙන් ඉදවීමේ ක‍්‍රමයේදී ද සිදුකරන්නේ බූව සහිත කොළ වර්ග සමග කෙසෙල් කැන් වළ දමා වළ තුළට දුම් ගසා එම දුම වළතුළ ඇති බූව සහිත කොළ වර්ග රත්වෙද්දී නිකුත් වන එතිලීන් වායුව මගින් කෙසෙල් ගෙඩි ඉදීමට උත්තේජනය සැපයීමයි.
කාබයිඞ් වලින් පළතුරු ඉදවීම 1993 අංක 788/7 දරන ආහාර පනතේ රෙගුලාසි අනුව සපුරා තහනම් වේ. එසේ කරන ස්ථාන අල්ලා ගැනීම තරමක් අපහසු වන නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස් දී ඇත්තේ පළතුරු ඉදවන ස්ථානවල ඇති ඇටවුම් පරීක්ෂා කරන ලෙසය.
එම ස්ථානවල කාබයිඞ් තිබී අසුවුවහොත් පළතුරු ඉදවීම සඳහා කාබයිඞ් යොදාගත් බවට පූර්ව නිගමනයකට පැමිණ නීතිමය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවස්ථාව තිබේ.
කාබයිඞ් දුම ගසා ඉදවූ පළතුරු පියවි ඇසින් පරික්ෂා කිරීමෙන් සොයාගත නොහැකි නමුත්, කාබයිඞ් කුඩු ඉසින ලද පළතුරු විද්‍යාගාර පරික්ෂාවකදී සොයාගත හැක. කාබයිඞ් කුඩු වලට වතුර වැදුණ විට ඇසිටලින් වායුව නිකුත් වීමත් සමගම කැල්සියම් හයිඩ්‍රොක්සයිඞ් ලෙල්ලේ තැන්පත්වේ. ස්වභාවිකව ඉදුණු පළතුරක ලෙල්ලේ කිසිසේත්ම කැල්සියම් හයිඩ්‍රොක්සයිඞ් තැන්පත් වී තිබිය නොහැක.
කලකට ඉහත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පළතුරු ඉදවීමට කාබයිඞ් දුම් ගැසීම අනුමත කර තිබූ බව සැබෑවකි. එහෙත් එය අද වන විට වැරදි භාවිතයට එක්ව තිබේ. එය මහ පරිමාණ ජාවාරමක් බවට පත් කරගෙන පාරිභෝගිකයන් මුලා කිරීම දක්වා යන ගමන හේතුවෙන් පාරිභෝගිකයන් සදාකාලිකව රෝගීන් බවට පත්වන තත්ත්වය වැළැක්වීමට ආහාර පනත අනුව ක‍්‍රියාකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පුළුල් බලතල ලබාදී තිබේ.
මෙසේ පළතුරු ඉදවන තැනක් හෝ පුද්ගලයෙක්  පිළිබඳව නොඑසේ නම් එවැනි පළතුරු විකුණන්නට ඇති විටෙක ඒ පිළිබඳව ආසන්නයේම වෙසෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දිය හැකි නම් එයද සමාජයට කරන යහපතක් වනු ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ සහකාර අධ්‍යක්ෂක එච්. හපුතන්ත‍්‍රි සහ රජයේ හිටපු රස පරීක්ෂක ඊ.ජී. සෝමපාල යන මහත්වරුන් සමග කළ සාකච්ඡාවකිනි.

එක්‌ ගුරුවරයකු පමණක්‌ සිටින පාසල් 92 ක්‌ රට පුරා

එක්‌ ගුරුවරයකු පමණක්‌ සිටින පාසල් 92 ක්‌ රට පුරා ඇතැයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (05 වැනිදා) පාර්ලිsමේන්තුවේදී කීය.

ගුරුවරුන් දෙදෙනකු සිටින පාසල් 168 ක්‌ද ගුරුවරුන් තිදෙනකු සිටින පාසල් 254 ක්‌ද ඇතැයි කී ඇමැතිවරයා ගුරුවරුන් හතර දෙනකු සිටින පාසල් 375 ක්‌ ඇතැයිද කීය.  ගුරුවරුන් දහයට අඩු පාසල් 1936 ක්‌ ඇතැයිද කී ඇමැතිවරයා ළමයින් පනහට අඩු පාසල් 1552 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයිද කීය.

පළමු ශ්‍රෝණියට එක්‌ දරුවකු හෝ ඉල්ලුම් නොකරන පාසල් 124 ක්‌ වන බවද ළමයින් දහයක්‌වත් ඉල්ලුම් නොකරන පාසල් සංඛ්‍යාව සමස්‌ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 25 ක්‌ බවද අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳ වැය ශිර්ෂ විවාදයේදී ඇමැතිවරයා කීය.