Saturday, November 17, 2012

දිමුත් කරුණාරත්න අද දිනයේදී ටෙස්‌ට්‌ වරම්


තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලිය 3-0 ක්‌ ලෙස ජය ගැනීමට සමත්වු ශ්‍රී ලංකා කණ්‌ඩායම නවසීලන්තය සමග පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගයට මුහුණදීම සඳහා අද (17 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පිවිසෙයි.

එක්‌දින තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්‌වුණු ආරම්භක පිතිකරු ටී. එම්. ඩිල්ෂාන් අද තරගයට ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට නවක පිතිකරු දිමුත් කරුණාරත්න තරංග පරණවිතාන සමග ශ්‍රී ලංකා ඉනිම අරඹනු ඇත. දිමුත් කරුණාරත්න අද දිනයේදී ටෙස්‌ට්‌ වරම් ලබන බව ශ්‍රී ලංකා නායකයාද ඊයේ අනාවරණ්‍ය කළේය.


 

'අපි තීරණය කරලා තියෙනවා දිමුත් කරුණාරත්නව ආරම්භක පිතිකරුවකු ලෙස අද තරගයේදී ක්‍රීඩා කරවන්න. ඒ අනුව ඔහු මංගල ටෙස්‌ට්‌ තරගයට අද ක්‍රීඩා කරනවා. දිගු කාලීන සැලසුමක්‌ වශයෙනුයි අපි ඒ තීරණයට පැමිණියේ. දිමුත් එක දිගටම දක්‍ෂතා දැක්‌වීමට සමත්වෙලා තියෙනවා. අවසන් 'ඒ' කණ්‌ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදීත් ඔහු හොඳ දක්‍ෂතා දක්‌වලා තියෙනවා' වශයෙන් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පවසා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ජාත්‍යන්තර තරග 2 කට ක්‍රීඩා කොට ඇති දිමුත් මේ දක්‌වා පළමු පෙළ තරග 47 කදී මුළු ලකුණු 3022 රැස්‌ කිරීමට සමතව සිටියි. වැඩිම ලකුණු සංඛ්‍යාව වශයෙන් නොදැවී ලකුණු 210 ක්‌ ලබාගෙන තිබෙන කරුණාරත්නගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 45.10 ක්‌ ලෙස සටහන්ව තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ වරම් දිනා ගන්නා 123 වැනි ක්‍රීඩකයා බවට අද දිනයේදී පත්වනු ඇත.

දිමුත් ආරම්භක පිතිකරුගේ ස්‌ථානයේ ක්‍රීඩා කිරීම මත පාකිස්‌තානය සමග පැවැති අවසන් ටෙස්‌ට්‌ තරගයේදී ඉනිම ආරම්භ කරන ලද දිනේෂ් චන්දිමාල්ට සිය ස්‌ථානය අහිමි වනු ඇත. පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැති එම පාකිස්‌තානය සමග තරගයේදී දෙවැනි ඉනිමේදී චන්දිමාල් ලකුණු 65 ක්‌ ලබා ගැනීමට සමත් වුවත් මෙම තරගයේදී ඔහුට ස්‌ථානයක්‌ නොලැබී යැම විශේෂත්වයක්‌ විය.

'චන්දිමාල් කියන්නේ මැද පෙළින් පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයෙක්‌. ඔහුව තැන තැන ක්‍රීඩා කරවනවාට වඩා එක තැනක ක්‍රීඩා කළ යුතුයි. අනාගතය ගැනත් හිතලා දැනට අපි තීරණ කරලා තියෙනවා දිමුත් කරුණාරත්නව ආරම්භක පිතිකරුවකු විදිහට ක්‍රීඩා කරවන්න' යනුවෙන් මහේල පැවැසීය.

මෙහිදී අද තරගය පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා නායකයා, පන්දු යවන්නන්ට මෙම තරගයේදී විශාල කාර්යභාරයක්‌ පැවැරී තිබෙන බව සඳහන් කර සිටියේය.

'ගාල්ල තණතීරුව ගත්තහම දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය වන්නේ අවසන් දින දෙකේදි. ඒ වෙනකම් මේ තණතීරුව වේග පන්දු යවන්නන්ටත් යම් කිසි විදියකට උපකාරීත්වයක්‌ තියෙයි. සමස්‌ථයක්‌ ගත්තහම තෝරා ගන්නා පන්දු යවන්නන් හතර දෙනාට ලොකු කාර්ය භාරයක්‌ තියෙනවා මේ තරගය පුරාවටම හොඳින් පන්දු යවන්න.' යනුවෙන් සඳහන් කර සිටියේය.

ආබාධයක්‌ හේතුවෙන් පාකිස්‌තානය සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව ගිලිහුණු වේග පන්දු යවන ක්‍රීඩක චානක වෙලගෙදර අද තරගයේදී කණ්‌ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා ලෙස කටයුතු කරනු ලබන අතර ඔහුගේ සහායක පන්දු යවන්නා ලෙස බොහෝ විට නුවන් කුලසේකර කටයුතු කරනු ඇත. එමෙන්ම රංගන හේරත්ගේ සුපුරුදු පරිදි දඟ පන්දු බල ඇණියේ ප්‍රමුඛයා වන අතර ඔහු සමගින් සුරාඡ් රන්දිව් දෙවැනි දඟ පන්දු යවන්නා වශයෙන් කණ්‌ඩායමේ ප්‍රධාන පන්දු යවන්නන් සිව් දෙනා වශයෙන් කටයුතු කරනු ඇත.

හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන්නකු වන චමින්ද වාස්‌ නවසීලන්ත කණ්‌ඩායමේ සහය පන්දු යෑවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර එය කණ්‌ඩායමට සහ තමන්ට කෙසේ බලපාන්නේදැයි මාධ්‍ය විසින් මෙහිදී ශ්‍රී ලංකා නායකයාගෙන් ප්‍රශ්න කරන ලදුව, තමන්ට ක්‍රීඩා කිරීමට ලැබී ඇත්තේ නවසීලන්ත කණ්‌ඩායම සමග මිස චමින්ද වාස්‌ සමග නොවන බව සඳහන් කර සිටියේය.

'ඔහු (චමින්ද වාස්‌) සමග සෙල්ලම් කරපු ක්‍රීඩකයක්‌ විදියට හරි සංතෝෂයි ඔහු පුහුණුවීම් අංශයට යොමුවෙච්ච එක ගැන. ළගකදි තමයි ඔහු මේ තීරණය අරගෙන තියෙන්නේ. මං හිත්නනේ නවසීලන්ත කණ්‌ඩායමට ප්‍රයෝජන වෙයි. මොකද ඔහු අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්‌ නිසා. ඔහුට සුබපතනවා ඔහුගේ අළුත් තණතුර ගැන. නමුත් කණ්‌ඩායමක්‌ විදියට ගත්තහම අපි බලන්නේ නවසීලන්තය සමග සෙල්ලම් කරන්න මිස චමින්දත් එක්‌ක නොවෙයි. අපි අවධානය යොමු කරන්නේ නවසීලන්ත කණ්‌ඩායම සමග ක්‍රීඩා කරන්න' යනුවෙන් මහේල අවසන් වශයෙන් සඳහන් කළේය.

අද තරගය පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි නවසීලන්ත නායක රොස්‌ ටේලර්, 'අපි බලාපොරොත්තු වෙනවා ලකුණු 300 ක්‌ හෝ 350 ක්‌ රැස්‌ කරලා ප්‍රතිවාදීන්ට පීඩනයක්‌ එල්ල කරන්න. එහිදී කඩුලු අතර ගොඩ නැගෙන සම්බන්ධතා ඉතා වැදගත්.' වශයෙන් සඳහන් කළේය.

මෙහිදී කණ්‌ඩායමට පුහුණුකරුවකු ලෙස එක්‌වි සිටින චමින්ද වාස්‌ පිළිබඳවද අදහස්‌ දැක්‌වූ ටේලර්, 'ඔහුගෙන් අපි ගොඩක්‌ දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම අපේ සංචිතයේ පසුවන වමත් වේග පන්දු යවන්නන්ට ශ්‍රී ලංකාවේ තත්ත්වයන් යටතේ පන්දු යෑවීම සම්බන්ධව. ඔවුන් මේ අවස්‌ථාව වන විට ගොඩක්‌ දේවල් වාස්‌ගෙන් ඉගෙන ගෙන තියෙනවා.' යනුවෙන් පැවැසීය.

අවසන් වරට ගාල්ල ක්‍රීඩාංගණයේ පවත්වා ඇති තරග ත්‍රිත්වයෙහි ප්‍රතිඵල ගෙන බැලීමේදී ඒ සෑම තරගයක්‌ම දිනයක්‌ ඉතිරිව තිබියදී නිමාවී තිබෙන අතර ඒ අනුව මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුවත්, තරගය ප්‍රතිඵලයක්‌ සහිත එකක්‌ වනු ඇති බවට අනුමාන කළ හැක.

පෙරේදා (15 දා) රාත්‍රියේදී ගාල්ල ක්‍රීඩාංගණය සහ ඒ අවට තරමක තද වැසි සහිත කාලගුණයක්‌ පැවැති නමුත් ක්‍රීඩාංගණය භාර ජයනන්ද වර්ණවීර මහතා ප්‍රමුඛ කාර්ය මණ්‌ඩලය, ක්‍රීඩාංගණය සුරක්‍ෂිතව තබා ගැනීම සඳහා වූ වැසි ආවරණ නිසි ආකාරයෙන් භාවිතා කිරීමට සමත්වීම මත ඊයේ පෙ.ව. 9 වන විටත් ක්‍රීඩාංගණය තරගයක්‌ පැවැත්වීමට උචිත අයුරින් සකසා තිබීමට සමත්වීම විශිෂ්ඨ ගණයේ ක්‍රියාවක්‌ ලෙස සැලකිය හැකිය.

2009 වසරේදී පැවැති ටෙස්‌ට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම නවසීලන්තය පරාජය කිරීමට සමත්වී තිබුණද නවසීලන්ත කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලි ජයක්‌ වාර්තා කර ඇත්තේ මීට වසර 30 ක ආසන්න කාලයකට ඉහතදීවීම සුවිශේෂී වෙයි. ඔවුන් අවසන් වරට ශ්‍රී ලංකා පිල සිය මව්බිමේදී පරාජය කිරීමට සමත්වී ඇත්තේ ඉකුත් 1983/84 වසරේදී පැවැති තරග 3 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලියේදීය. (2-0)




0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්