Saturday, November 24, 2012

හෙට මහේල ජයවර්ධනට විශේෂිත තරගයක්‌


දින තුනකදී ලද ටෙස්‌ට්‌ තරග පරාජයකින් පසුව නවසීලන්තය හෙට (25 දා) ශ්‍රී ලංකාව සමග සහභාගි වන දෙවැනි සහ අවසන් ටෙස්‌ට්‌ තරගයට කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී සහභාගි වෙයි.

ගාල්ලේදී පැවැති පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය දින තුනකදී අවසන් වූ අතර එහිදී නවසීලන්ත කණ්‌ඩායම කඩුලු 10ක පරාජයක්‌ ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට තරගාවලිය 1-0 ක්‌ ලෙස පෙරමුණ ගනිමින් ටෙස්‌ට්‌ තරගාවලිය ජයග්‍රහණය කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ නිර්මාණය කර ගැනීමට සමත්ව තිබේ.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව පරාජය නොවී සිටියහොත් පිට පිටම දෙවැනි වරටත් නවසීලන්තයට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලි ජයක්‌ ලබන අතර එය නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලබන සිව්වැනි ටෙස්‌ට්‌ තරගාවලි ජය ලෙස සටහන් වේ. මීට පෙර 2009 දී ශ්‍රී ලංකාව නවසීලන්තය (2-0) ටෙස්‌ට්‌ තරගාවලියකදී පරාජය කිරීමට සමත්ව ඇත.

හෙට තරගය ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනට විශේෂිත තරගයක්‌ කර ගැනීමට නම් ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත යුතු වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්‌ට්‌ ජයග්‍රහණ ප්‍රමාණයක්‌ අත්කර දුන් නායකයා වීමේ ගෞරවයේ වාර්තාව මහේලගේ නම ඉදිරියේ සටහන් වීමට තව එක්‌ ටෙස්‌ට්‌ ජයග්‍රහණයක්‌ අවශ්‍යව තිබේ. දැනට මහේල සහ සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ 18 බැගින් ජයග්‍රහණය කරා මෙහෙයවා සම තත්ත්වයේ පසුවේ.

මහේල ජයවර්ධන ටෙස්‌ට්‌ තරග 34 කදී ජයග්‍රහණය 18 ක්‌ සහ පරාජයන් 8 ක්‌ ලබා ඇති අතර එහිදී ජයග්‍රාහී ප්‍රතිශතය 47.36% ක්‌ වශයෙන් සටහන් වේ. සනත් ජයසූරිය ටෙස්‌ට්‌ තරග 38 කදී ජයග්‍රහණ 18 ක්‌ සහ පරාජයන් 12 ක්‌ ලබා ඇති අතර එහි ජයග්‍රාහී ප්‍රතිශතය 47.36% ක්‌ වශයෙන් සටහන් වේ.

මෙම තරගයේදීද නවසීලන්ත කණ්‌ඩායමේ ප්‍රධාන හිසරදය බවට රංගන හේරත් පත්ව ඇති අතර ඔහු ඇතුළු දඟ පන්දු යවන්නන්ටද සරා ක්‍රීඩාංගණයේ තණතීරුව අවසන් දින කිහිපයේදී වැඩි සහයෝගයක්‌ ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව සරා ක්‍රීඩාංගණයේදී මීට පෙර එක්‌ ටෙස්‌ට්‌ තරගයකට සහභාගි වී ඇති අතර ඒ මීට වසර 14 කට පෙරය. 1998 පැවැති එම තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 167 ක ජයක්‌ ලැබීය.

වත්මන් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්‌තුවේදී සරා තණතීරුවේදී ශතකයක්‌ රැස්‌ කිරීමට සමත්ව ඇත්තේ කුමාර් සංගක්‌කාර පමණක්‌ වීම විශේෂත්වයකි. මීට අමතරව මහේල ජයවර්ධන මෙම ක්‍රීඩාංගණයේදී ටෙස්‌ට්‌ අර්ධ ශතක හතරක්‌ ලබා ඇත.

1 comment:

  1. ah sanath iya neda anna arahe tawath ekak marry karalalu..mona match dan eyata :P

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්