Monday, November 21, 2011

උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ විෂය ධාරා 5ක්‌ යටතේය

ප්‍රථම වරට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස්‌ පෙළ) නව නිර්දේශ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ විෂය ධාරා 5ක්‌ යටතේ බැව්  විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවසී ය. මෙහි දී අදහස්‌ දැක්‌වූ ඒ මහතා "මෙතෙක්‌ ප්‍රතිඵල නිකුත් කළේ ගණිත විද්‍යා වාණිජ හා කලා යන විෂය ධාරා 4ක්‌ යටතේයි. එහෙත් වසර 2008 දී නව නිර්දේශ සංකලන සඳහා අධ්‍යාපන අමාත්‍යංශ්‍ය නිකුත් කළ චක්‍රලේඛයට අනුව මෙවර නව නිර්දේශ විභාගයේ ප්‍රතිඵල සඳහා පොදු විෂයක්‌ ද ක්‍රියාත්මක වනවා. පසුගිය අගෝස්‌තු මාසයේ පැවැති නව නිර්දේශ විභාගය සඳහා අයදුම්කරුවන් එක්‌ ලක්‌ෂ හතළිස්‌ පන් දහසක්‌ පමණ පෙනී සිටියා. පැරැණි නිර්දේශ විභාගය සඳහා පෙනී සිටියේ අයදුම්කරුවන් එක්‌ ලක්‌ෂ හතළිස්‌ දහසක්‌ පමණයි. නව නිර්දේශ විභාගයට පාසල් අයදුම්කරුවන් වැඩි පිරිසක්‌ පෙනී සිටිය නිසා ප්‍රථමයෙන් නව නිර්දේශ ප්‍රතිඵලත් ඉන් දින කීපයකට පසුව පැරැණි නිර්දේශ ප්‍රතිඵලත් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා." විෂය ධාරා 5ක්‌ යටතේ උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙන ප්‍රථම අවස්‌ථාව මෙය බවත් විෂය ධාරා 5ක්‌ යටතේ නිකුත් කරන ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවත් ඒ මහතා පැවසී ය.

Friday, November 18, 2011

මහේලට එක්‌දින ලකුණු 10,000 ට තව ලකුණු 13 යී


ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්‌දින තරගාවලි ජයක පහස විඳ නොමැති ශ්‍රී ලංකා කණ්‌ඩායම අදාළ පරාජිත ගමනට තිත තැබීමේ ප්‍රධාන අරමුණ ඇතිව අද (18 දා) පාකිස්‌තානය සමගින් පැවැත්වෙන තෙවැනි එක්‌දින තරගයට පිවිසෙන්නේ තරගාවලිය 2/1 ක්‌ ලෙස පෙරමුණ ගැනීමේ ධනාත්මක බලාපොරොත්තු පොදි බැඳගෙනය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රි තරගයක්‌ වශයෙන් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 4.15 සිට සී. එස්‌. එන්. නාළිකාව ඔස්‌සේ විකාශනය කෙරෙනු ඇත.

ඉකුත් සඳුදා පැවැති තරගයේ ජය ශ්‍රී ලංකාව අත්කර ගැනීමට සමත්වීමත් සමග තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලිය 1-1 ක්‌ ලෙස සමකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී සිටින බැවින්, අද තරගයද ජය ගනිමින් තරගාවලියේ ඉදිරි තරග සඳහා ඉහළ මානසිකත්වයකින් යුතුව අවතීර්ණ වීම තමන් ඇතුළු කණ්‌ඩායමේ බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා නායක ටී. එම්. ඩිල්ෂාන් සඳහන් කළේය.

එම පරාජිත ගමන අවසන් කිරීම වෙනුවෙන් වන සියලු උපාය මාර්ග සකස්‌ කරමින් ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ (17 දා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම්වලට සහභාගි වූ අතර ඒ අතරතුර පැවැති මාධ්‍ය හමුවේදී ඩිල්ෂාන් ඉහත අදහස්‌ පළ කර සිටියේය. මෙම තරගයට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායම පෙරේදා (16 දා) සිය පුහුණුවීම්වල නිරත වූ නමුත් පාකිස්‌තාන කණ්‌ඩායම ඊයේ දිනයේදී පමණක්‌ පුහුණුවීම් වල නියෑළුණේය.

මෙම තරගය දෙපිලටම ඉතාම වැදගත් තරගයක්‌. ඒ මොකද කියනවා නම් මේ තරගය දිනන පිලට පුළුවන් සාජාහි පැවැත්වෙන මීළඟ තරගයට හිස කෙළින් තියාගෙන සහභාගි වන්න. සඳුදා පැවැති තරගය ජයගැනීමත් සමග කණ්‌ඩායමේ ආත්මවිශ්වාසය ඉහළ ගොස්‌ තිබෙනවා. එහිදී අපි බලාපොරොත්තු වෙනවා එම ජයග්‍රාහී මානසිකත්වය දිගටම පවත්වා ගනිමින් තරගාවලිය 2/1ක්‌ ලෙස පෙරමුණ ගෙන ඉදිරි තරග සඳහා අවතීර්ණ වන්න. අපි ඒ සඳහා පසුගිය දවස්‌ දෙකේම හොඳින් පුහුණුවීම් කළා. මං හිතන්නේ අපේ සියලුම ක්‍රීඩකයන් මෙම අභියෝගයට සූදානමින් සිටිනවා. යනුවෙන් ඩිල්ෂාන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සියලුම සාමාජිකයන් ඊයේ සහ පෙරේදා දිනයන්හි සිය පුහුණුවීම්වල නිරත වුවද ඇඟිල්ලේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වයක්‌ මත ශ්‍රී ලංකා නායකයා සිය පිතිකරණ පුහුණුවීම්වලින් වැළකී සිටියේය. සඳුදා පැවැති තරගය අතරතුරදී උමර් අක්‌මාල් විසින් එල්ල කරන ලද පහරක්‌ ඩිල්ෂාන්ගේ මහපට ඇඟිල්ලේ වැදී තිබීම මත සහ එහි ඉදිමුම ඊයේ වන තුරුත් බැස නොයැම ඩිල්ෂාන්ට සිය පුහුණුවීම් අහිමිවීමට හේතු වූවේය. එහෙත් අද තරගයට ඔහුගේ සහභාගිවීම එතරම් අවදානම් තත්ත්වයක නොවන බවද සඳහන් විය.

අද තරගය සඳහා යොදා ගැනෙන්නේද ඉකුත් තරග 2 ට යොදාගත් තණතීරුවම වන බැවින් එය අද තරගයේදී කණ්‌ඩායමට කෙසේ බලපායිද යන්න මාධ්‍ය විසින් ශ්‍රී ලංකා නායකයාගෙන් ප්‍රශ්න කර සිටියේය. එහිදී පිළිතුරු දුන් ශ්‍රී ලංකා නායකයා, එම තණතීරුවේදී පළමු භාගය දඟ පන්දු යවන්නන්ට උචිත අයුරින් හැසිරෙන බවත්, සවස්‌ යාමයේදී ඇතිවන දැඩි පිනි තත්ත්වය මත එය ක්‍රමයෙන් වේග පන්දු යවන්නන්ට උචිත ලෙස හැසිරෙන බවත් සඳහන් කර සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායකයා, මෙය අලුත් තරගයක්‌ බැවින් එහිදී මුලින් පන්දුවට පහර දීමට සිදුවුවහොත් තරගයේ ජය ගැනීමට හොඳ ආරම්භයක්‌ ලබා ගත යුතුවීම අනිවාර්ය බවද සඳහන් කර සිටියේය.

අද තරගයටද බොහෝ දුරට දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්‌ඩායමම ක්‍රීඩා කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එහිදී තණතීරුවේ හැසිරීම අනුව අද තරගයේදී තවත් දඟ පන්දු යවන්නකු ක්‍රීඩා කරවීමට උත්සුක වන්නේද යන්න කරන ලද ප්‍රශ්න කිරීමකදී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායකයා, තමන්ද ඇතුළුව දඟ පන්දු යවන්නන් තිදෙනකු කණ්‌ඩායමේ සිටීම හේතුවෙන් තවත් අතිරේක දඟ පන්දු යවන්නකු කණ්‌ඩායමට එකතු කිරීම ඵලක්‌ නොවන ක්‍රියාවක්‌ බවද සඳහන් කළේය.

zමම හිතන්නේ මාත් ඇතුළුව කණ්‌ඩායමට දඟ පන්දු යවන්නන් තුන් දෙනෙකු සිටින නිසා තවත් දඟ පන්දු යවන්නකු ක්‍රීඩා කරවීමේ අවශ්‍යතාවක්‌ නැහැ. පසුගිය තරගයේදී සික්‌කුගේ ප්‍රසන්න කඩුලු දවා ගැනීමට සමත් නොවුණත් ඔහු ඉතාම හොඳින් පන්දු යෑව්වා. එහිදී පන්දුවාර 10 ඔහු ලකුණු 40 ක්‌ වැනි අඩු සංඛ්‍යාවකට යෑව්වා. ඒත් එක්‌කම මාලිංග ප්‍රමුඛ වේග පන්දු යවන්නන් තිදෙනාම ඔවුන්ගේ සේවය ඉතා හොඳින් කණ්‌ඩායමට ලබා දුන්නා. ඒක නිසා මම හිතන්නේ නැහැ පන්දු යෑවීමේ අංශය වෙනසක්‌ සිදුකළ යුතුයි කියලා. යනුවෙන් ඩිල්ෂාන් පැවැසීය.

දෙවැනි තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත් වුවත් එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ මැද පෙළ පන්දුවාර කිහිපයේදී ලකුණු ලබා ගැනීමේ වේගය ඉතාමත් පහළ මට්‌ටමක පැවැතියේය. එහෙත් තරංග සහ මහේල දෙදෙනා එකතුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක්‌ පැවැත්වීම මත එම තත්ත්වයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට හැකි විය. අද තරගයේදී මහේල ජයවර්ධන ලකුණු 13 ක්‌ ලබා ගැනීමට සමත් වුවහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින ලකුණු 10,000 සීමාව පසු කර ගිය දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට මහේලට අවස්‌ථාව උදා වනු ඇත. මෙම තරගය මහේලගේ 355 වැනි තරගය වන අතර එයට පෙර හෙතෙම මුළු ලකුණු 9983 ක්‌ රැස්‌ කර ගැනීමට සමත්ව සිටියි.

දෙවැනි තරගයේදී මැද පෙළින් ලකුණු ලබා ගැනීමේ වේගය අඩුවීම සම්බන්ධව අපි සාකච්ඡා කළා. එම තත්ත්වය මග හරවා ගනිමින් කඩුලු අත ඉතිරි කරගෙන ලකුණු 240 ක්‌ පමණ ලබා ගැනීම තමයි අපේ ඉලක්‌කය. මං හිතන්නේ හැමෝම දන්නවා ප්‍රහාරාත්මක වේගය රඳවා තබා ගනිමින් කොහොමද ක්‍රීඩා කළ යුත්තේ කියලා. යනුවෙන් ඩිල්ෂාන් පැවැසීය.

අද තරගය පැවැත්වෙන සිකුරාදා දිනය එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයට නිවාඩු දිනයක්‌ බැවින් මෙහි වෙසෙන බොහෝ ශ්‍රී ලාංකිකයන් තරගය නැරඹීමට පැමිණෙනු ඇතැයි සහ එහිදී ඔවුන් තම කණ්‌ඩායමට විශාල සහයක්‌ ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඩිල්ෂාන් සඳහන් කළේය.

Wednesday, November 16, 2011

තැපැල් වර්ජනයෙන් ලියුම් මග රැදෙයි

වැඩබලන තැපැල්පති එම්. කේ. බී. දිසානායක මහතාට ඉල්ලා අස්‌වන ලෙස බලකරමින් තැපැල් වෘත්තීය සමිති එකමුතුව පෙරේදා (14 වැනිදා) ආරම්භ කළ අඛණ්‌ඩ උපවාසය සහ අතිකාල වර්ජනය හේතුවෙන් ඊයේ (15 දා) සවස වන විට ලියුම් ලක්‍ෂ හතකට අධික ප්‍රමාණයක්‌ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය තුළ සිර වී තිබිණි.

සාමාන්‍ය ලියුම්, ලියාපදිංචි ලිපි සහ පාර්සල් මෙම ලිපි තොගයට ඇතුළත් වේ. තැපැල් දෙපාර්තමේන්තුවේ හදවත බඳු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේ කටයුතු ද මේ වන විට මුළුමණින්ම වාගේ අකර්මන්‍ය වී තිබේ. පිට පළාත්වල සිට ගෙනෙන ලද තැපැල් මලු මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය තුළ ගොඩගසා ඇති අතර මෙරට තැපැල් අංශය සම්පූර්ණයෙන්ම පාළුවට ගොස්‌ තිබිණි.
දිවයිනේ විවිධ ප‍්‍රදේශයන්හි තැපැල් කාර්යාල සඳහා දිනපතා යැවෙන මුද්දර තොග බෙදාහැරීම ද අඩපණ වී ඇතැයි දල මෙම ගැටළුව ඉක්මනින් නිරාකරණය නොවුණහොත් ඉදිරි දිනවලදී මුද්දර හිඟයක් ඇතිවීමටත් ඉඩ ඇතැයි වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයෙක් පැවැසීය.

මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේ සේවකයන් ආරම්භ කර ඇති උපවාසයට සහ අතිකාල වර්ජනයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට ප්‍රධාන තැපැල් කාර්යාලවල සහ උප තැපැල් කාර්යාලවල සේවකයන් ද මේ වන විටත් තීරණය කර තිබේ. තැපැල්පතිවරයා ඉල්ලා අස්‌නොවුණහොත් හෙට (17 වැනිදා) වන විට රට පුරා සියලුම තැපැල් කටයුතු අඩාල වනු ඇතැයි විශ්වාස කරයි.

Friday, November 11, 2011

මාවන් හා දිල්ෂාන්ට අභියොගක් අද


ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය පසුගිය සඳුදායින් නිමාවට
පත්වූයේ පාකිස්‌තානය හමුවේ තරගාවලිය 1/0 ක්‌ වශයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වෙමිනි. එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව සමගින් පැවැති තරගාවලි දෙකෙහි 'කාබන්' කොපියක්‌' බඳුවූ මෙම තරගාවලියත් පරාජයට ප්‍රධාන මූලාශ්‍රය වූයේ පිතිකරුවන්ගෙන් ලැබිය යුතු සේවය කණ්‌ඩායමට නොලැබී යාමයි. එහිදී එංගලන්තය සමගින් එංගලන්තයේදීද ඔස්‌ටේ්‍රලියාව සමග තම මව්බිමේදීද තරගාවලි පරාජය වූවා සේ සමානව අදාළ පාකිස්‌තානය තරගාවලිය නිමාවීමෙන් පෙනී යන්නේ දිගින් දිගටම වන වැරැදි නිවැරදි කරගැනීමට ක්‍රීඩකයන් නොපෙළඹීමය.

අදාළ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම තරග වැදුණේ අබුඩාබිහිදිය. එහිදී අනපේක්‍ෂිත අන්දමින් පළමු ඉනිම ලකුණු 197 කට සීමා වූ ශ්‍රී ලංකාවට පාකිස්‌තානුවන් කඩුලූ 6 ක්‌ දැවී ලබා දුන් ලකුණු 511 ක දැවැන්ත අභියෝගය පහසු එකක්‌ නොවීය. තරගයේ තෙවැනි දිනයේදීම නැවතත් ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ඇරඹූ ශ්‍රී ලංකා කණ්‌ඩායමට දිනය අවසානයේදී එක්‌ කඩුල්ලකට ලකුණු 47 ක්‌ ලබා සිටියේය. ඉනිකම පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 314 ක්‌ පිටුපසින් සිට ඇරඹූ ශ්‍රී ලංකා ඉනිමට ආරම්භක පිතිකරුවකුගෙන් සිදුවිය යුතු සේවය කුමක්‌ද යන්න තරංග පරණවිතාන නොදන්නවා විය යුතුය. නැතිනම් එතරම් විශාල ලකුණු සංඛ්‍යාවක්‌ හඹා යැමට ඇති ශ්‍රී ලංකා ඉනිමේදී තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ප්‍රතිවාදීන්ට වාසියක්‌ වන අන්දමින් කිසිම විටෙකත් දැවී නොයනු ඇත. තමාට එරෙහිව එන ප්‍රතිවාදියාව අවතක්‌සේරුවෙන් සැලකීම පරණවිතානගේ පුරුද්ද බව ඔහු මීට පෙර පැවැති තරගවලදී හොඳින් ඔප්පු කර තිබේ.

එය මැනවින් පැහැදිළිවනුයේ ඔස්‌ටේ්‍රලියාව සමගින් ඉකුත්දා ගාල්ලේදී අවසන් වුණු තරගය දෙස ගෙන බැලීමේදීය. ජයග්‍රහණය සඳහා ලකුණු 379 ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමට තරංගගේ දායකත්වය වූයේ රයන් හැරිස්‌ගේ පළමු කඩුල්ල ලෙස ඉක්‌මනින්ම පිටියෙන් ඉවතට යැමයි. මෙය ආරම්භක පිතිකරුවකුගෙන් කිසි විටෙකත් බලාපොරොත්තු නොවිය යුතු තත්ත්වයකි.

පිට පිටම තරග 11 කදී ජයග්‍රහණයක්‌ නොලබා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම, එක්‌සත් අරාබිකරයට පැමිණියේ කෙසේ හෝ තරගයක්‌ ජයග්‍රහණය කිරීමේ අදිටනින් විය. ඒ සඳහා වන ආරම්භය ලබා දීමට පරණවිතාන සහ තිරිමාන්න දෙදෙනා සමත්වූයේද යන්න ඔවුන් දෙදෙනා පන්දුවට පහර දුන් ආකාරය ගෙන බැලීමේදී කිසි ලෙසකින්වත් සිතිය නොහැක.

එහිදී දෙදෙනාම කරන ලද්දේ තරගයට මෙන් පන්දුව නිදැල්ලේ හැරීම විය. තිරිමාන්න යනු ජාත්‍යන්තර පිටියට ආධුනිකයකු වුවත් ටෙස්‌ට්‌ තරග 25 කදී (එම තරගය ඔහුගේ 23 වැනි තරගය විය) ශතක 2 ක්‌ ලබා සිටින පරණවිතාන එහිදී පන්දුවට පහර දුන් ආකාරය පිලිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැක. ටෙස්‌ට්‌ තරගයක්‌ ජය ගැනීමට නම් තරගයේ පළමු දිනයේ දක්‌වනු ලබන දක්‍ෂතා බෙහෙවින් ඉවහල් වේ. තරගයක ලකුණු ලබා ගැනීමේ වේගය පිළිබඳ එතරම් සැලකිල්ලක්‌ නොදක්‌වනු ලැබුවද එය අදහාගත නොහැකි තරමට මන්දගාමීවී ගොඩනැගීම සම්බන්ධව ඇත්තේ කණගාටුදායක තත්ත්වයකි. එහිදී පළමු පන්දුවාර 25 තුළදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් සිය ලකුණු පුවරුවට ලබා දීමට සමත්වූයේ ලකුණු 46 ක්‌ පමණි.

ආරම්භක පිතිකරුවකුගේ ප්‍රධාන වගකීම වන්නේ නව පන්දුව හැකිතාක්‌ පරණ කොට එහි ඔපය අඩු කිරීම වේ. එහෙත් පරණවිතාන සහ තිරිමාන්න දෙදෙනා විසින් හැකි සෑම අවස්‌ථාවකදීම පන්දුව නිදැල්ලේ හැරීමට යැමෙන් සිදුවූයේ පන්දුව ඔපය අඩුවනවා නොව ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩුවීමය. ඉන් සිදුවන්නේ ඔවුන්ගෙන් පසු පිතිකරුවන්ට නව පන්දුවටද මුහුණ දෙමින් අඩාල වූ වේගයද රඳවා ගනිමින් පන්දුවට පහරදීම වේ. එවැනි පීඩනයක්‌ පසුපෙළට පැමිණීමද ඉක්‌මනින් කඩුලු දැවී යැමේ අතුරු ඵලයක්‌ ලෙස හැඳින්විය හැක.

එමෙන්ම මෙම තරගාවලි ත්‍රිත්වයේදීම ශ්‍රී ලංකා කණ්‌ඩායම තරග වැදුණේ පුහුණුකරුවන් තිදෙනකු යටතේදීය. ප්‍රථමයෙන් පැවැති එංගලන්ත තරගාවලිය ස්‌ටුවර්ට්‌ ලෝ යටතේද, ප්‍රභල ඔස්‌ටේ්‍රලියානුවන් සමගින් වන සංචාරය රොමේෂ් රත්නායක යටතේද ශ්‍රී ලංකාව තරග වැදුණි. පාකිස්‌තානය සමග තරගාවලිය ජෙµa මාෂ් යටතේය. පුහුණුකරුවන් තිදෙනකුගේම ගුරුහරුකම් ලැබුවද දිගින් දිගටම එකම වරද සිදුවනුයේ පුහුණුකරුගේ දක්‍ෂතාව මඳ කමද එසේත් නැතහොත් සිය දුර්වලතා හඳුනාගනිමින් ඒවා නිවැරදි කර ගැනීමට ක්‍රීඩකයන්ට ඇති අවශ්‍යතාවද යන්න අතර දැන් පැහැදිළි වෙනස අවබෝධ වේ.

ඉකුත් එංගලන්ත සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායමට පිතිකරණ පිළිබඳ විශේෂඥ පුහුණුකරුවකු නොවීය. එම තරගාවලියේදී මාවන් අතපත්තු කණ්‌ඩායමට පිවිසෙන්නේ එවකට අතුරු කමිටුව විසින් අලුතින් නිර්මාණය කළ පිතිකරු පුහුණුකරුගේ පුරප්පාඩුවට මාවන් පත්කරමිනි. හැඟෙන පරිද්දට ශ්‍රී ලංකා කණ්‌ඩායමට 'කණකොකා' හඬලන ලද්දේ මාවන් පැමිණි දා සිටදැයි කෙනෙකුට සිතිය හැක. මන්ද යත් ඔහු පැමිණි දා සිට අඛණ්‌ඩව දක්‍ෂතා දක්‌වමින් සිටි ශ්‍රී ලංකා කණ්‌ඩායම සිතා ගත නොහැකි තරමට පිතිකරණයෙන් දුර්වලතාවයට පත්වීම මත විය.

සමස්‌තයක්‌ ගත් විට මෙම තරගාවලිය කුමාර් සංගක්‌කාරගේ තරගාවලියක්‌ යෑයි හැඳින්වුවහොත් එය නිවැරදිය. අබුඩාබියි පැවැති තරගයේදී අසරණ භාවයට පත්ව තිබූ ශ්‍රී ලංකා කණ්‌ඩායමට ජීවයක්‌ ගෙන දුන් සංගක්‌කාර එහිදී ප්‍රසන්න ජයවර්ධනනගේ සහයෝගයද ඇතිව තරගය බේර නොගන්නට නවක ක්‍රීඩකයන් රැසක්‌ පසුවන පාකිස්‌තානය හමුවේ ශ්‍රී ලංකාව පරාජය පත්වන්නට ඉඩ තිබුණේ තරගාවලිය 2/0 ක්‌ ලෙසය. එහිදී සංගක්‌කාර ද්විත්ව ශතකයක්‌ ශතකයක්‌ සහ තවත් අර්ධ ශතක දෙකක්‌ සමගින් මුළු ලකුණු 516 ක්‌ රැස්‌ කරන ලද්දේ ඉනිමක ලකුණු ලැබීමේ සාමාන්‍ය 86 ක්‌ රඳවා ගනිමිනි.

මෙහිදී නායක ඩිල්ෂාන් මෙන්ම කණ්‌ඩායමේ පසුවන පළපුරුදුම ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධනද කණ්‌ඩායමට ලබාදුන් සේවය පිළිබඳව කිසි විටෙකින්වත් සෑහීමකට පත්විය නොහැක. පාකිස්‌තානයට එරෙහිව ක්‍රීඩා කළ ඉනිම 6 දීම මහේල රැස්‌ කරන ලද්aදේ ලකුණු 102 ක්‌ පමණකවීම ඔහුගේ අසාර්ථකත්වය පැහැදිලි කරවන්නක්‌ වී තිබේ.

ලකුනු 92 ක්‌ රැස්‌ කර හැරෙන්නට නායකයකු ලෙස තම සේවය කණ්‌ඩායමට ලබාදීමට ඩිල්ෂාන් අපොහොසත් වී සිටියි. නායකයා ලෙස පත්වීම් ලැබීමෙන් පසු ඩිල්ෂාන් පිට පිටම පරාජයට පත්වූ තෙවැනි තරගාවලිය වශයෙන් මෙම තරගාවලිය සටහන් වේ.

ශ්‍රී ලංකාව දෙසින් කලකට පසු වේග පන්දු යවන්නකුගේ දක්‍ෂතාවක්‌ දැක ගැනීමට හැකිවූ තරගාවලියක්‌ ලෙස මෙම තරගාවලිය හැඳින්විය හැක. පිතිකරුවන්ට පාරාදීසයක්‌ ලෙස යෑයි සැලකෙන සාජා තණතීරුවේදී චානක වෙලගෙදර විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර කිහිපය තුළදී කඩුලු 5 ක්‌ දවා ගැනීම කැපි පෙනුණි. අදාළ දක්‍ෂතාව විශේෂත්වයක්‌ ලෙස සඳහන් කළ හැක්‌කේ අවසන් වරට චමින්ද වාස්‌ 2008 වසරේදී ප්‍රොවිඩන්ස්‌ ක්‍රිඩාංගණයේදී ලබා ගත් කඩුලූ 5 න් පසු කිසිම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නකු සිය මව්බිමෙන් පිටතදී කඩුලු 5 ක්‌ දවා ගෙන නොතිබීමය.

ටෙස්‌ට්‌ තරගාවලියේ කළු පැල්ලම දැන් අතීතයට එක්‌ව ගොසිනි. එහෙත් ඩිල්ෂාන් නායකත්වයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව මෙතෙක්‌ ටෙස්‌ට්‌ හෝ එක්‌දින තරගාවලියක්‌ ජයගෙන නොමැත. දැන් ඩිල්ෂාන්ට ඇත්තේ සිය නායකත්වය යටතේ පළමු තරගාවලිය ජය ලබා ගැනීමය. එය අදින් (11 දා) ආරම්භ වන එක්‌දින තරගාවලියේදී හෝ හැකිවනු ඇතැයි අපි බලා සිටිමු.


Wednesday, November 9, 2011

කැම්පස් ලැප්ටොප් වලට රස්සාවක් ලැබෙන තුරු පොලිය ගෙවීම අනිවාර්යයි

මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන නවක සිසු සිසුවියන්ට ලබාදෙන ලැප්ටොප් පරිගණක සඳහා රැකියාවක්‌ ලැබෙන තෙක්‌ වන වසර කිහිපයේ පොලියද එකතු කෙරෙන නිසා දෙමව්පියෝ දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

උපාධිය ලබා රැකියාවක්‌ද හිමිවීමෙන් පසුව ගෙවීමේ පදනම මත ලැප්ටොප් ලබාදෙන බව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළද අවම වශයෙන් වසර තුනක පොලිය අමතරව එකතු වන නිසා ලැප්ටොප් පරිගණකයක්‌ සඳහා වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිලට වඩා කිහිපගුණයක්‌ අවසානයේ ගෙවීමට සිදුවන බවද ඔවුහු පවසති. දරුවන්ට සහනයක්‌ වශයෙන් අමාත්‍යාංශය මෙම ක්‍රමය ආරම්භ කළද සත්‍ය වශයෙන්ම සිදුවන්නේ අමතර බරක්‌ දෙමව්පියන්ට පැටවීම යෑයිද දෙමව්පියෝ සඳහන් කරති.

මෙම අමතර පොලී ගෙවීම පිළිබඳව නොදැන දැනට ඇතැම් සිසුන් පරිගණක ලබාගෙන ඇති අතර ඇතැම් දෙමව්පියෝ පරිගණක ලබාගැනීම ප්‍රතික්‍ෂේප කර සිටිති.

බැංකු ණය ක්‍රමයක්‌ යටතේ සිසුන්ට පරිගණක ලබාදෙන හෙයින් අදාළ ණය මුදලට පොලියක්‌ ගෙවීම අනිවාර්ය යෑයි මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.

Sunday, November 6, 2011

ඔස්‌ටියෝපොරෝසිස්‌ හා පිටි කිරි

"ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගී තත්ත්වය නිසා කොඳු ඇට පෙළේ ඇති වන වකගැසීම, කල් පවතින කොන්දේ වේදනාව සහ සෘජුකාය විලාසයේ වෙනස්‌කම් ඇති වන අතර මේ රෝගීන් ගේ ඇවිදීමේ හා සිටගෙන සිටීමේ විලාසයේ ද වෙනස්‌කම් ඇති වනවා. ඒ වගේ ම මෙය වයස්‌ගත කාන්තාවන් හා පිරිමින් අතර බහුල ව පවතින රෝගයක්‌." යනුවෙන් කරාපිටිය වෛද්‍ය පීඨයේ කාය වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත් ලේකම්වසම් පැවසී ය. ඔක්‌තෝබර් 20 වැනි දිනට යෙදුණු ලෝක ඔස්‌ටියෝපොරෝසිස්‌ දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්ය ලේකම්වසම් "ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගයෙන් පෙළෙන කෙනකු එයින් වැළකීම සඳහා වෛද්‍යවරයකු ගේ උපදෙස්‌ අනුව ප්‍රතිකාර කරගත යුතුයි. කැල්සියම් වැඩිපුර ගැනීමෙන් ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගය සුව වේ යෑයි සිතීම නුවණට හුරු නැහැ. ඒ නිසා පිටිකිරි වර්ග මඟින් හෝ ආහාර මඟින් හෝ පෙති වර්ග මඟින් කැල්සියම් ශරීරයට ලබා දීමෙන් ඔස්‌ටියෝපොරෝසිස්‌ සුව වනවා යෑයි කියා දැන්වීම් ප්‍රචාරය කිරීම ජනතාව මුළා කිරීමක්‌. මේ රෝගී තත්ත්වය වයස්‌ගත වීම නිසා ම ඇති වන්නේ නෑ. අස්‌ථි බිඳී යැම මේ රෝගයේ සංකීර්ණ ම අවස්‌ථාවයි. කෙනකු මේ රෝගී තත්ත්වයට ගොදුරු වන්නේ දැයි අස්‌ථි ඝනත්වය මැන ගැනීමෙන් දැනගන්න පුළුවන්. මේ සඳහා අස්‌ථි ඝනත්ව මානය (Bone dencitometer) නම් උපකරණය භාවිත කරනවා. මේ උපකරණය ශ්‍රී ලංකාවේ සීමිත රෝහල් ප්‍රමාණයක තිබෙනවා. මෙවැනි පරීක්‍ෂණයකින් කිසියම් අයකුට ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගය වැළඳීමේ අවදානමක්‌ ඇති දැයි සොයා ගැනීමෙන් පසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් අස්‌ථි නිරෝගීතාව රැකගන්න පුළුවන්" යනුවෙන් පැවසී ය. මෙහි දී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා ජාතික රෝහලේ රක්‌තවාතවේද විශේෂඥ වෛද්‍ය ලලිත්

විඡේරත්න, ශරීරයේ අස්‌ථි නිර්මාණය වී තිබෙන අස්‌ථි බදාම දුර්වල වීමෙන් අස්‌ථි ව්‍යqහය වෙනස්‌ වෙනවා. මෙය ඔස්‌ටියෝපොරෝසිස්‌ නම් රෝගය ඇති වීමට හේතුවක්‌. අස්‌ථි බිඳී යැම මෙහි සුලබ ලක්‌ෂණයයි. ගෝලීය වශයෙන් කාන්තාවන් මිලියන 200ක්‌ පමණ මේ රෝගයෙන් පීඩා විඳිනවා. යුරෝපයේ ඇමෙරිකාවේ සහ ජපානයේ පමණක්‌ මිලියන 75ක්‌ පමණ කාන්තාවෝ මේ රෝගයෙන් පීඩා විඳිනවා. සාමාන්‍යයෙන් වසය අවුරුදු 60ත් 70ත් අතර කාන්තාවන් තිදෙනකු ගෙන් එක්‌ අයකු මේ ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝගයෙන් පෙළෙන අතර වයස අවුරුදු 80 ඉක්‌මවූ කාන්තාවන් තිදෙනකු ගෙන් දෙදෙනකු මේ රෝගයෙන් පීඩා විඳින බැව් සමීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා. ලෝකයේ සැම තත්පර 3කට වරක්‌ වැටීමෙන් අස්‌ථි බිඳී යැමක්‌ සිදු වනවා. ශ්‍රී ලංකාවේ වසර 2006 දී උකුළු ඇට බිඳී යැම් 2700ක්‌ පමණ සිදු වුණා. වසර 2040 වන විට මේ සංඛ්‍යාව 7000ක්‌ වේ යෑයි අනුමාන කරනවා. මේ නිසා දැඩි අවදානම් සහිත පුද්ගලයන් තෝරාගෙන ප්‍රතිකාර කිරීමෙන් හා අස්‌ථි නිරෝගීතාවට මුල සිට ම යොමු කිරීමෙන් අස්‌ථි බිඳී යැම් වළක්‌වා ගත හැකියි" යනුවෙන් පැවසී ය.

Friday, November 4, 2011

සංගාගෙන් ලෝක වාර්තාවක්

තිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක වුවද තීරණාත්මක මොහොතේදී යළි ලකුණු අතරට පැමිණීමට නායක ටී. එම්. ඩිල්ෂාන් සමත්වීම සහ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ශතක ලාභී කුමාර් සංගක්‌කාර සමග එක්‌ව ගොඩනංවන ලද ලකුණු 172 ක ලකුණු සබඳතාවත් හේතුවෙන් පාකිස්‌තානයට එරෙහිව ක්‍රියාත්මක වන තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පළමු දිනට (03 දා) ක්‍රීඩාව නිමා කරන විට කඩුලු 2 ට ලකුණු 245 ක්‌ ලබා ස්‌ථාවර තත්ත්වයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.

මෙම තරගාවලිය යටතේ පෙර පැවැති තරග දෙකෙහිදී පළමු ඉනිමේ දැඩි අසාර්ථක භාවයකට පත්වුණු ශ්‍රී ලංකා කණ්‌ඩායමට ශක්‌තියක්‌ වූ කුමාර් සංගක්‌කාර සහ නායක ටී. එම්. ඩිල්ෂාන් දෙදෙනා ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 172 ක්‌ එක්‌ කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්‌තිමත් කිරීමේ මූලික අඩිතාලම සකස්‌ කළේය.

ඊයේ දිනයේදී සාජා ක්‍රිකට්‌ පිටිය වර්ණවත් කළ සංගක්‌කාර තමා මුහුණ දුන් 232 වැනි පන්දුවේදී මිඩ් විකට්‌ කලාපයට ඉහළින් රෙහ්මාන්ට එරෙහිව හයේ පහරක්‌ එල්ල කරමින් තම 27 වැනි ශතකය සම්පූර්ණ කර ගත්තේය. පාකිස්‌තානයට එරෙහිව 7 වැන්න ලෙසින් වාර්තා වූ මෙම ශතකයත් සමග දිනය අවසන් වන විට පන්දු 263 කට මුහුණදී සිටි සංගක්‌කාර හයේ පහර 2 ක්‌ සහ හතරේ පහර 11 ක්‌ සමග සිය ඉනිම ශක්‌තිමත් කර ගැනීමට සමත් විය.

එමෙන්ම ඊයේ දිනයේදී සංගක්‌කාරගේ ඉනිමට ලකුණු 29 ක්‌ එකතුවනවාත් සමග සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ ලකුණු 9000 සීමාව පසු කර යැමට හෙතෙම සමත්වූවේය. අදාළ ලකුණු සංඛ්‍යාව පසු කර යැමත් සමග ලොව වේගයෙන්ම ලකුණු 9000 සීමාව පසු කළ ක්‍රීඩකයාගේ ලෝක වාර්තාවට සංගක්‌කාර හිමිකම් කීම ඊයේ දිනයේදී සිදුවූ තවත් සුවිශේෂතම සිදුවීමක්‌ විය. තමාගේ 172 වැනි ඉනිම වූ මෙම ඉනිමේදී සංගක්‌කාර විසින් බිඳ හෙළන ලද්දේ ඉන්දීය පිතිකරු රාහුල් ඩ්‍රාවිඩ් විසින් ඉනිම 176 කදී සම්පූර්ණ කරන ලද ලකුණු 9000 ලෝක වාර්තාව විය. ඒ අනුව සංගක්‌කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 9000 සීමාව පසු කළ දෙවැනි සහ ලොව 10 වැන්නා බවටද පත්විය. සංගක්‌කාර මීට පෙර තම ලකුණු 8000 සීමාවද පසුකර ගියේ එම ලෝක වාර්තාවද තමා සතුකර ගනිමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස තරංග පරණවිතාන (04) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 05 ක්‌ව සටහන්ව තිබියදී දැවී ගිය නමුත් තේ පානය තෙක්‌ තම කඩුලු ආරක්‍ෂා කර ගත් ඩිල්ෂාන් සහ සංගක්‌කාර යුගල ශ්‍රී ලංකා ලකුණු පුවරුව එක්‌ කඩුල්ලකට ලකුණු 170 දක්‌වා ඉහළ දැමීමට සමත්වූහ.

තේ පානයෙන් පසු යවන ලද තරගයේ 61 වන පන්දුවාරයේදී ශතකයට තවත් ලකුණු 08 ක්‌ ආසන්නව සිටි ඩිල්ෂාන්ව තම පළමු ගොදුරු බවට පත් කර ගැනීම සයිඩ් අඡ්මාල් සමත්වීම මත තම 13 වැනි ටෙස්‌ට්‌ ශතකය වාර්තා කර ගැනීමට ඩිල්ෂාන්ට තිබූ පහසුම අවස්‌ථාව අහිමිව ගියේය.

දිවා භෝජනයට පෙර ගුල් විසින් එවන ලද පන්දුවක්‌ ඩිල්ෂාන්ගේ අත් ආවරණවල වැදී කඩුලු රකින අක්‌මාල්

රැකගත්තද තම මංගල ටෙස්‌ට්‌ තරගයට විනිශ්චය දෙමින් සිටි ශවීර් තරපෝරෙ විසින් එය නිෂ්ප්‍රභා කරන ලදී. එම දුර්වල තීරණය නොවන්නට ලකුණු 92 ක්‌ දක්‌වා දුර ගිය ඩිල්ෂාන්ගේ ඉනිම ලකුණු 33 කදී අවසන් වනු ඇත.

ඩිල්ෂාන් දැවී යැමත් සමග සංගක්‌කාරට එක්‌වූ මහේල ජයවර්ධන දිනය අවසනදී ලකුණු 32 ක්‌ ලබා සිටියේය.

ළහිරු තිරිමාන්න වෙනුවට කෝසල කුලසේකරත් සුරංග ලක්‌මාල් වෙනුවට සුරාඡ් රන්දිව් ශ්‍රී ලංකා කණ්‌ඩායමට කැඳවා තිබිණ. ඒ අනුව මෙම තරගාවලිය යටතේ ටෙස්‌ට්‌ වරම් දිනූ දෙවැනි ක්‍රීඩකයා බවට සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ වරම් ලද 121 වැනි ක්‍රීඩකයා බවට කෝසල කුලසේකර පත්විය.

Thursday, November 3, 2011

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ අද වෙනසක් කරයිද?

තමන්ට සුපුරුදු තණතීරුවල ක්‍රීඩා කිරීමේදී කණ්‌ඩායමකට භුක්‌ති විඳිය හැකි වාසියට කිසිදු කණ්‌ඩායමක්‌ හිමිකම් නොකියන ශ්‍රී ලංකා/පාකිස්‌තාන ටෙස්‌ට්‌ තරගාවලියේ පළමු තරග දෙකෙහිදී දුර්වල ක්‍රීඩා විලාශයක්‌ පෙන්නුම් කළ ශ්‍රී ලංකා කණ්‌ඩායමට ගිලිහී ගොස්‌ තිබෙන අභිමානය යළි ළඟා කර ගැනීම සඳහා ලැබෙන අවසන් තරග අවස්‌ථාව අද (03 දා) එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයෙහි පිහිටි සාජා ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී උදා වේ.

දිගින් දිගටම පිතිකරුවන් අසාර්ථක වීම මත මෙම තරගාවලියේදී පසුබෑමකට ලක්‌ව සිටින ශ්‍රී ලංකා පිතිකරුවන්, තමන්ට හිමිවී තිබෙන වගකීම කුමක්‌ද යන්න වටහා ගනිමින් මෙම තරගයට අවතීර්ණ වීමට තමා ඇතුළු කණ්‌ඩායම උපරිම උත්සාහයක නිරත වන බව ශ්‍රී ලංකා නායක ටී. එම්. ඩිල්ෂාන් සඳහන් කරයි.

දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය 1-0 ක්‌ වශයෙන් පෙරමුණ ගැනීමට පාකිස්‌තානය සමත්ව සිටින බැවින් අද තරගයේ ජය ශ්‍රී ලංකාවට තවත් පැත්තකින් වැදගත් වනුයේ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වල පස්‌වැනි ස්‌ථානය තවදුරටත් රැක ගැනීම සඳහා වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම පසුගිය තරග දෙකෙහිදීම පිතිකරුවන් 7 දෙනකුගෙන් සහ ප්‍රධාන පන්දු යවන්නන් සිව්දෙනකු සමගින් අවතීර්ණ වූ නමුත් අද තරගයේදී එය බොහෝ විට ප්‍රධාන පිතිකරුවන් 6 දෙනෙකුගෙන් සහ පන්දු යවන්නන් 5 දෙනෙකුගෙන් සමන්විත වීමට ඉඩ තිබෙන බවද ඩිල්ෂාන් සඳහන් කරයි.

මෙහිදී 'දිවයින' හමුවේ වැඩි දුරටත් අදහස්‌ දක්‌වා සිටි ඩිල්ෂාන්, 6 යි 5 සංයුතියෙන් ක්‍රීඩා කළහොත් බොහෝ විට තමන් නැවතත් ආරම්භක පිතිකරුගේ ස්‌ථානයේ ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවද සඳහන් කර සිටියේය. මෙහිදී ඒ සඳහා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙෆ් මාෂ්ද කැමැත්තෙන් පසුවන බවද සඳහන් කර සිටි හෙතෙම, ඒ සියල්ලම උදෑසන තණතීරුව නිරීක්‍ෂණය කිරීමෙන් පසු තීරණය කිරීමට නියමිත බව පැවසීය.

අපි බලන්නේ කොහොම හරි මේකේ පිතිකරුවන් හය දෙනෙකු සහ ප්‍රධාන පන්දු යවන්නන් පස්‌දෙනෙකු සමගින් අවතීර්ණ වීමට. එසේ වුවහොත් අනිවාර්යයෙන්ම මට ඉනිම ආරම්භ කරන්න සිදුවෙනවා. මම ඉනිම ආරම්භ කිරීම සම්බන්ධව අපේ පුහුණුකරුත් කැමැත්තෙන් ඉන්නේ. හෙට උදෑසන තණතීරුව බලලා ඒ සියල්ල තීරණය වේවි' යනුවෙන් ඩිල්ෂාන් අදහස්‌ දැක්‌වීය.

ඒ අනුව අද තරගයේදී ඩිල්ෂාන් ඉනිම ඇරඹීමේ කටයුත්තේ නිරත වුවහොත් ආධුනික ආරම්භක පිතිකරු ළහිරු තිරිමාන්නට සිය ස්‌ථානය අහිමිව යනු ඇති අතර ඒ සඳහා වන හොඳම ආදේශකයා වන්නේ සංචිතයට ප්‍රථම වරට එක්‌ව සිටින කෝසල කුලසේකර වේ. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස කණ්‌ඩායමට එක්‌ව සිටින කුලසේකර, අද තරගයට ක්‍රීඩා කළහොත් පිතිකරුවකුගේ මෙන්ම පන්දු යවන්නකුගේ වාසියද ශ්‍රී ලංකා කණ්‌ඩායමට ලබාගත හැකි වනු ඇත.

"අද තරගයේ කෝසලට හොඳ අවස්‌ථාවක්‌ තියෙනවා. මොකද මැතිව්ස්‌ පන්දු යවන්නෙත් නැති නිසා මේ තරගයේදී පිතිකරුවකුගේ මෙන්ම පස්‌වැනි පන්දු යවන්නා ලෙස ඔහුගේ සේවය කණ්‌ඩායමට ලබා ගන්න පුලුවන්." යනුවෙන් සඳහන් කරන ශ්‍රී ලංකා නායකයා, පිට දඟ පන්දු යවන සුරාඡ් රන්දිව්වද අද තරගයේදී යොදා ගැනීමේ අදහසක්‌ පවතින බවද සඳහන් කළේය. වේග පන්දු යවන සුරංග ලක්‌මාල්, ආරම්භක තරග දෙකෙහිදී එතරම් දස්‌කම් අතරට පැමිණීමට අපොහොසත්වී සිටීම මත අද තරගයට ක්‍රීඩා කිරීම සඳහා රන්දිව්ට වැඩි ඉඩ කඩක්‌ පවතිනු ඇත.

මෙම තරගාවලිය ආරම්භවීමට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ ලකුණු 10,000 සීමාව පසුකර යැමට ලකුණු 148 ක්‌ අවශ්‍යව සිටි මහේල ජයවර්ධන, මෙම තරගාවලිය යටතේ ක්‍රීඩා කළ ඉනිම හතරේදීම රැස්‌ කිරීමට සමත්වූයේ ලකුණු 48 ක්‌ පමණි.

අද තරගය පැවැත්වෙන සාජා ක්‍රීඩාංගණය සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ ඉතා සුන්දර මතක සටහනකි. මෙම ක්‍රීඩා පිටියේදී ප්‍රථමයෙන්ම පවත්වා ඇති ජාත්‍යන්තර තරගය වන්නේ ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර 1984 වසරේ පැවැති එක්‌දින තරගය වේ. එම තරගයේදී පාකිස්‌තානය හමුවේ කඩුලූ 5 ක ජයක්‌ ශ්‍රී ලංකා කණ්‌ඩායම අත් කර ගන්නා ලද්දේ සාජා ක්‍රිකට්‌ ක්‍රීඩාංගණ ඉතිහාසයේ පළමු ජාත්‍යන්තර ජය ශ්‍රී ලංකාව ඉදිරියෙන් සටහන් වෙමිනි.

ඊයේ දිනය ශ්‍රී ලංකා කණ්‌ඩායමට විවේක දිනයක්‌ වූ නමුත් පාකිස්‌තානු කණ්‌ඩායම සවස්‌ යාමයේදී සිය පුහුණුවීම් වල නිරතවනු දක්‌නට ලැබිණ. එහිදී අද තරගය පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි පාකිස්‌තානු නායක මිස්‌බා උල්හක්‌ සඳහන් කරන්නේ, තම කණ්‌ඩායමේ සියලූම සගයන් තමන්ගේ වගකීම කුමක්‌ද යන්න වටහා ගනිමින් ක්‍රීඩා කිරීම මත තමාට පැවරී ඇති නායකත්වයේ වගකීම ඉතාම පහසු එකක්‌ බවට පත්වී තිබෙන බවයි. "අපේ ක්‍රීඩකයන් හරි අවස්‌ථාවෙදි හරි තීරණ ගත්තා. එහිදී ඔවුන් සෑම විටෙකම ධනාත්මක චින්තනයෙන් යුතුව ක්‍රීඩා කිරීම කණ්‌ඩායමට මහත් පිටිවහලක්‌ වුණා. එය මගේ වගකීමත් ඉතාම පහසු කරවන්නක්‌" යනුවෙන් වැඩිදුරටත් ඔහු පැවසීය.

Tuesday, November 1, 2011

ඇසේ සුද නිසා වන අන්ධ බව ඉවත් කල හැකියි

මෙවර ලෝක දෘෂ්ටි දිනයේ තේමාව "ඇසේ සුද නිසා ඇති වන අන්ධ භාවය වළක්‌වා ගනිමු" යන්නයි. අන්ධභාවය අද ලෝකයට ම ප්‍රධාන ගැටලුවක්‌. සැම තත්පර 12කට වරක්‌ ලෝකයේ කොතැනක හෝ කෙනෙක්‌ අන්ධ භාවයට පත් වෙනවා. අන්ධ භාවයට පත් අවුරුදු 50ට වැඩි අය ගෙන් සියයට 82ක්‌ ඇසේ සුද නිසා අන්ධ වූ අයයි.මේ අනුව ලොව පුරා මිලියන 39ක්‌ පමණ දෙනා විවිධ හේතු නිසා අන්ධ භාවයට පත් වී සිටිනවා. මේ අය ගෙන් සියයට 80කට කවර හෝ ප්‍රතිකාරයක්‌ කළ හැකියි. ලෝකයේ මිලියන 18ක්‌ දෙනා ඇසේ සුද නිසා අන්ධ වූ අයයි." යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පී. ජී. මහීපාල පැවසී ය.
පසුගිය 10 වැනි දින ලෝක දෘෂ්ටි දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය මහීපාල, "ලෝක සෞඛ්‍ය සංවිධානය වසර 1999 දී අයි. ඒ. ඒ. පී. කියන සංවිධානය සමග එකතු වෙලා විෂන් 2020 කියන වැඩසටහන ක්‍රියාත්මක කළා. මෙහි අරමුණ වසර 2020 වන විට වළක්‌වාගත හැකි අන්ධභාවය වළක්‌වා ගැනීමයි. කලකට පෙර කළ පුරෝකථනයකට අනුව වර්ෂ 1980 දී ලෝකයේ මිලියන 30ක්‌ අන්ධභාවයට පත් වී තිබෙනවා. වර්ෂ 1990 දී මෙය මිලියන 38ක්‌ වූ අතර වසර 2000 වන විට මිලියන 45 වේ යෑයි සිතුවත් ප්‍රමාණයෙන් අඩු වීමක්‌ පෙන්නුම් කරනවා. හේතුව විෂන් 2020 වැඩසටහන ක්‍රියාත්මක වීමයි. මේ හේතුවෙන් වසර 2010 වන විට ලෝකයේ බිලියන 76ක ජන කොටසක්‌ අන්ධභාවයට පත් වේ යෑයි සිතුවත් එහි අඩු වීමක්‌ පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකාවෙත් ඇසේ සුද නිසා අන්ධභාවයට පත් වන්නන් සිටිනවා.
අන්ධභාවයට බලපාන ප්‍රධාන හේතු අතර, ඇසේ සුද, ග්ලුකෝමාව, ළමා වියේ අන්ධ බව, දෘෂ්ටි අබාධ, දියවැඩියාව, අක්‍ෂි ආබාධ හේතු වෙනවා. ඇසේ සුද රජයේ රෝහලක අක්‍ෂි ඒකකයෙන් සැත්කමකින් ඉවත් කළ හැකියි. ශල්‍යකර්මයකින් සුද ඉවත් කර කෘත්‍රිම කාචයක්‌ තැන්පත් කිරීමෙන් පෙනුම යථා තත්ත්වයට පත් කළ හැකියි. රජයේ රෝහල්වල වසරකට සැත්කම් 75000ක්‌ පමණ සිදු කරනවා. උතුරුමැද පළාතේ පසුගිය මාස කීපය තුළ සැත්කම් 500කට වඩා ප්‍රමාණයක්‌ සිදු කළා. වසර 2010 දී විෂන් 2020 වැඩ සටහනට ශ්‍රී ලංකාව අත්සන් කළා. එතැන් සිට මේ කාලය තුළ විෂන් 2020 වැඩසටහන යටතේ අක්‌ෂි ඒකකවලට අවශ්‍ය ශල්‍ය උපකරණ සැපයීම හා එමගින් ඇසේ සුද ඉවත් කිරීම සඳහා රිඡ්වේ ආර්යා ළමා රෝහලට රුපියල් මිලියනයක්‌ වැය කළා.
රත්නපුර, අම්පාර, දික්‌ඔය මොණරාගල, කල්මුනේ සහ යාපනය යන රෝහල් සඳහා පමණක්‌ රුපියල් ලක්‌ෂ 17ක මුදලක්‌ වැය කළා. නව අක්‍ෂි ඒකක ඉදි කිරීම හා වැඩි දියුණු කිරීම තුළින් ඇසේ සුද ඉවත් කිරීම සඳහා කන්තලේ, බලපිටිය, කෑගල්ල, හොරණ, රිඡ්වේ ආර්යා ළමා රෝහල, යාපනය මන්නාරම, දික්‌ඔය යන රෝහල් සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 137ක්‌. රිඡ්වේ ආර්යා ළමා රෝහලට පමණක්‌ රුපියල් මිලියන 90ක්‌ හා දික්‌ඔය රෝහලට රුපියල් මිලියන 20ක්‌ වැය කළා. යාපනය රෝහලට වැය කළ මුදල රුපියල් මිලියන 6ක්‌. පසුගිය පොසොන් පොහොය දින කිලිනොච්චිය රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 198ක්‌ සිදු කළා. වෙසක්‌ පෙහොය දිනයේ දී වව්නියාව දිස්‌ත්‍රික්‌ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 350ක ප්‍රමාණයක්‌ සිදු කළා.
අපේ රටේ අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් දුෂ්කර ප්‍රදේශවලට ගිහින් අක්‍ෂි රෝගීන් හඳුනාගෙන ශල්‍යකර්ම කිරීමේ ක්‍රමවේදයක්‌ දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අවශ්‍ය ශල්‍යකර්ම කිරීම හා අවශ්‍ය කාච ලබා දීමත් විෂන් 2020 හරහා හැකි වී තිබෙනවා." යනුවෙන් පැවසී ය.