Monday, May 28, 2012

ක්‍රිකට්‌ ක්‍රිඩකයන්ගේ කට වසයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග කොන්ත්‍රාත්ගතව සිටින ක්‍රිඩකයන් හට අවසරයිකින් තොරව මාධ්‍ය හමුවේ අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතියටද මුඛවාඩම් දැමීමටද එම බලධාරීන් කටයුතු කර තිබීම ඒ අතර සුවිශේෂී වේ.

ක්‍රිකට්‌ ආයතනය ප්‍රකාශ කරන ආකාරයට මින් ඉදිරියට කණ්‌ඩායම් නාකයා, පුහුණුකරුවා හෝ ක්‍රීඩකයකු මාධ්‍ය හමුවේ පෙනී සිටින්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ අතිරේක ප්‍රධාන විධායක නිලධාරියා වන අජිත් ජයසේකරගෙන් අවසර ලබාගත යුතු තත්ත්වයක්‌ මේ වන විට පවතින බව වාර්තා වේ.


මෙවැනි තහංචි දැමීමක්‌ ඉකුත් කාලයේ නොතිබූ අතර එයද අසාධාරණ මෙන්ම අනවශ්‍ය මුඛ වාඩම් දැමීමක්‌ බව එම ක්‍රීඩකයෝ සඳහන් කර සිටියහ.


2011 වසරේ විස්‌ඩන් ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්‌කාර නම් කළද ඔහු සමගින් සම්මුඛ සාකච්ඡාවක්‌ ලබා ගැනීම සඳහා අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මීට පෙර පියවර ගත්තේය.


ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර අත්සන් තැබීමට නියමිත කොන්ත්‍රාත්තුවෙහි විනිවිදභාවය සම්බන්ධ ගැටලූ පැන නැගීම මත එය අත්සන් කිරීමද මේ දක්‌වා ප්‍රමාද වී තිබේ. ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ සංගමය ක්‍රිකට්‌ ආයතනයෙන් මේ වන විටත් ප්‍රශ්න කර තිබෙන බව දැන ගන්නට ලැබී තිබේ.


මෙම කොන්ත්‍රාත්තුව සම්බන්ධව තම අප්‍රසාදය පළ කළ වේග පන්දු යවන ලසිත් මාලිංග කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ඉකුත්දා ප්‍රතික්‍ෂේප කළේය. මාලිංග සමග අනුගතව යමින් තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද එය ප්‍රතික්‍ෂ්ප කිරීමේ සූදානමක සිටින බවද වාර්තා වේ.


එසේ ප්‍රතික්‍ෂේප කරන ලබන ක්‍රීඩකයන් වෙතොත් ඔවුන්ට ව්‍යායාම් කිරීම වෙනුවෙන් පාලක මණ්‌ඩලය සතු කායවර්ධනාගාරය, රක්‍ෂණාවරණය මෙන්ම භෞත චිකිත්සකවරයාගෙන් ප්‍රතිකාර ගැනීමද තහනම් කිරීමට ක්‍රිකට්‌ ආයතනය බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ. මෙය පිටුපස ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ඉහළම බලධාරියාත් සිටින බව සඳහන්ය.


මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි එම ක්‍රීඩකයන් පිරිස, "අපි සල්ලිවලට පෙරේතයි කියලා ගොඩක්‌ අය අපිට චෝදනා කරනවා. එහෙම නම් අපි අවුරුද්දකට වඩා වැඩි කාලයක්‌ සල්ලි නැතුව ක්‍රීඩා කළා. අපි ඒ සම්බන්ධව කිසිවක්‌ කතා කළේ නැහැ. ඒවා ගැන අපි ලෝකයාට කියන්න ගියෙත් නැහැ. එහෙම කරලත් අපිට විරුද්ධව මේ වගේ දේවල් කිරීම කිසි විටෙකින්වත් අනුමත කරන්න බැහැ" යනුවෙන් සඳහන් කර සිටියේය
.
 

Tuesday, May 22, 2012

SLPL තරගාවලියට මුලින්ම හර්ෂල් ගිබ්ස්


ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියට දකුණු අපි‍්‍රකානු ක‍්‍රීඩක හර්ෂල් ගිබ්ස් ද සහභාගි වන බව මේ වන විට විදෙස් වාර්තා පවසනවා. මේ වන විට ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තරග වදින හර්ෂල් ගිබ්ස් මේ බව නිළ වශයෙන් නිවේදනය කර ඇති බව ද සඳහන්. අයි.පී.එල් තරගාවලියෙන් පසු එංගලන්තයේ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියට සහභාගි වන ඔහු ඉන් අනතුරුව ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියට සහභාගිවීමට නියමිතයි. මේ අතර අගෝස්තු මාසයේ ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය සඳහා කි‍්‍රස් ගේල්, ඩැරන් බාවෝ,ඩැනියෙල් විටෝරි යන ක‍්‍රීඩකයින් ද සහභාගි වනු ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Monday, May 21, 2012

SLPL තරගාවලියේදී අපේ ක්‍රීඩකයන්ට අඩුවෙන් ගෙවන්න සුදානමක්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලියේදී දේශීය ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකරනු ලබන පටිපාටිය කුමක්‌ද යන්න මෙතෙක්‌ ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු නොකිරීම මත 2012/13 වසර සඳහා අත්සන් තැබීමට නියමිත ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට එකඟත්වය පළ නොකිරීමට ක්‍රීඩකයන් කටයුතු කිරීමේ සූදානමක්‌ පවතින බව වාර්තා වේ.

මෙසේ කිරීමට මූලිකම හේතුව ලෙස මෙම තරගාවලියට සහභාගිවන විදෙස්‌ ක්‍රීඩකයන් සඳහා ඩොලර් ලක්‍ෂ ගණනින් මුදල් ගෙවීමටත්, දේශීය තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන්ට එම දේශීය මිල ගණන්ම ගෙවීමට කටයුතු කිරීමේ කූට උපක්‍රමයක්‌ දියත්වෙමින් පැවැතීම බවත් සඳහන් වේ.

ජාතික සංචිතයේ පසුවන ක්‍රීඩකයන් 20 දෙනෙකුද සමගින් මුලු ක්‍රීඩකයන් 60 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයන් පිරිසක්‌ මෙම 2012/13 වසර සඳහා කොන්ත්‍රාත් ගත කිරීමට නියමිතව සිටියි.

මේ පිළිබඳව කරන ලද විමර්ශනයකදී, යම් ලෙසකින් මෙම ක්‍රීඩකයන් මෙම කොන්ත්‍රාත්තුවට අත්සන් තැබුවහොත් සියලුම ක්‍රීඩකයන් ක්‍රිකට්‌ ආයතනයේ ගිවිසුම්වලට අවනත විය යුතු වන බවත්, එහිදී වසරට අදාළ ගෙවීම් ක්‍රිකට්‌ ආයතනයෙන් සිදු කරන බැවින් අදාළ එස්‌. එල්. පී. එල්. තරගාවලියද දේශීය ගෙවීම් යටතේ ක්‍රීඩා කිරීමට එම ක්‍රීඩකයන්ට සිදුවන බවත් "දිවයින"ට අනාවරණය කර ගැනීමට හැකි විය.

මේ ආකාරයෙන් ක්‍රීඩකයන් යොදා ගනිමින් විශාල මුදලක්‌ සොයා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මෙන්ම එහි කොටස්‌කරුවන් වන සමර්සෙට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ ආයතනය පූර්ණ අවධානය යොමුවී තිබෙන බව එම ක්‍රීඩකයන්ට දැන ගැනීමට හැකිවී තිබේ.

මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි ජාතික තලයේ ක්‍රීඩකයකු "එස්‌. එල්. පී. එල්. තරගාවලියෙදී අපිට ගෙවන ගණන් සම්බන්ධව කිසිදු විනිවිධ භාවයක්‌ නැහැ. මෙයාලා ඒ ගැන කිසිම දෙයක්‌ කියන්නෙත් නැහැ. විදෙස්‌ ක්‍රීඩකයන්ට ඩොලර් 75,000 යි ලක්‍ෂයි ගෙවන කොට අපිට රුපියල් පන්දාහයි හයදාහයි. ඒක හරි අසාධාරණ ක්‍රියාවක්‌" යනුවෙන් සඳහන් කළේය.

මෙම තරගාවලිය පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ ක්‍රිකට්‌ ආයතනය සභාපති උපාලි ධර්මදාස සහ එහි ලේකම් නිශාන්ත රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන මූලස්‌ථානයේ පැවැති අතර එහිදී විකාශන අයිතිය ලබාදීම සම්බන්ධව තවමත් තීරණයකට එළැඹ නොමැති එහිදී සඳහන් විය.

එහෙත් මේ පිළිබඳ තතුදත් අයෙකු සඳහන් කර සිටියේ, මේ වන විටත් ඒ සම්බන්ධව ඊ. එස්‌. පී. එන්. ආයතනයට ලබාදීම සඳහා වූ සියලු එකඟතාවන් දෙපාර්ශ්වය අතර ඇතිවී තිබෙන බවයි.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි තවත් ක්‍රීඩකයකු සඳහන් කළේ, "ටී. වී. ඩීල් එකෙන් ලොකු ගාණක්‌ එනවා. එහෙම එකේ අපිව සොච්චමකට ගැනීම කිසි විටෙකත් අනුමත කළ නොහැකියි. අපි කියන්නේ විදෙස්‌ ක්‍රීඩකයන් වගේම අපිවත් ප්‍රසිද්ධියේ වෙන්දේසි විය යුතුයි, එහෙම වුණොත් විදෙස්‌ ක්‍රීඩකයන්ට සාපේක්‍ෂව අපිට සාධාරණයක්‌ ඉටුවේවි" යනුවෙන් සඳහන් කළේය.

Friday, May 18, 2012

ඩෙංගු මදුරුවා ගැන අලුත්ම හෙළිදරව්ව


ජලය එක්රැස්විය හැකි ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බිත්තර දමන බව කීට විද්‍යා සමික්ෂණවලින් හෙලි වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඒ ඒ ප්‍රදේශවල පවතින පරිසර සාධක උපයෝගී කර ගනිමින් ඩෙංගු මදුරුවා බෝවීම හා ව්‍යාප්තිය සිදුකරන බව එම පරික්ෂණ සනාථ කර ඇති බවය.ඒ අනුව කෙසෙල් අතු , විවිධ ශාක පත්‍ර, රබර් කිරි රැස් කිරීම සදහා යොදා ගන්නා පොල් කටු, මැණික් පතල් ආශ්‍රීත ජලය එක්රැස්විය හැකි ස්ථාන, ඉවත දමන විවිධ බදුන් මෙන්ම ළිං ආශ්‍රිතව ද ඩෙංගු මදුරුවා බෝවන බව නිරික්ෂණය වී තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එවැනි ස්ථාන විනාශ කිරිමේ අපහසුතාවයක් ඇත්නම් කෘමිනාශක යෙදීම , දුමායනය කිරීම සහ ජලය එක් රැස්වීමට ඉඩ නොදී ආරක්ෂිතව ගබඩා කිරීම වැනි පියවර ගත හැකි බවය. එමෙන්ම තම නිවස, ගෙවත්ත සහ වටපිටාවේ ‍ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඇත්නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සිනමා නළු ශාරුක් ඛාන් හට ජිවිතාන්තය දක්වා මුම්බායි වන්කඬේ ක‍්‍රීඩාංගනයේ තරග තහනමක්

සුපිරි බොලිවුඞ් සිනමා නළු ශාරුක් ඛාන් හට ජිවිතාන්තය දක්වා මුම්බායි වන්කඬේ ක‍්‍රීඩාංගනයේ තරග නැරඹීමට පැමිණීම මුම්බායි කි‍්‍රකට් සංගමය විසින් තහනම් කොට තිබෙනවා. ඒ මුම්බායි ක‍්‍රීඩාංගනයේ පෙරේදා  පැවති අයි.පී.එල් තරගයකදී ඔහුගේ අයහපත් හැසිරීම හේතුවෙන්. ශාරුක් ඛාන් එහිදී බීමතින් හැසිරී ඇති අතර ක‍්‍රිඩාංගනයේ ආරක්ෂාව භාරව සිටි නිලධාරින්ට පහරදීමට උත්සාහ කර ඇති බව ද වාර්තා වනවා. ශාරුක් ඛාන්ගේ මෙම හැසිරිම සම්බන්ධයෙන් මුම්බායි කි‍්‍රකට් සංගමය පොලිසියට ද පැමිණිලි කර තිබෙනවා. කෙසේ වුවත්, මේ සම්බන්ධයෙන් ඉන්දීය පි‍්‍රමියර් ලීග් කවුන්සිලයේ සභාපති රාජ් ෂුක්ලා පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් ෂාරුක් ඛාන්ගෙන් ද කරුණු විමසා දැන ගත යුතු බවයි. එසේ දැන ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට උචිත බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ නමුත්, මුම්බායි ඉන්දියන්ස් පිල සමග වන්කඬේ ක‍්‍රීඩාංගනයේ ඊයේ පැවති තරගයෙන් ෂාරුක් ඛාන්ගේ කොල්කටා නයිට්රයිඩර්ස් පිල ජයග‍්‍රහණය වාර්තා කළා.

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හෙට නිදහස්


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට හෙටට (19 දා) යෙදෙන යුද විජයග්‍රහණ සැමරුම් දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් නිදහස ලබාදීමට නියමිතය.

නිදහස්‌ කිරීමට අදාළ ලිපි ලේඛනවලට ජනාධිපතිවරයා එදිනම (19 දා) අත්සන් කරනු ඇත. ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පෙරේදා (16 දා) රැස්‌වූ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමෙන් අනතුරුව ඇමැතිවරුන් සමඟ පැවැති සුහද සාකච්ඡාවේදී මේ පිළිබඳව අදහස්‌ පළකර තිබේ.

සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීම පිළිබඳව පෙරේදා (16 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමේ එක්‌ අවස්‌ථාවකදී අනෝමා ෆොන්සේකා මහත්මියද ඊට එක්‌වී ඇත. මෙම සාකච්ඡාවේදී නිදහස ලබාගැනීම හෝ නිදහස ලබාදීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයකින් කොන්දේසි ඉදිරිපත් වී නැතැයිද ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
 

Thursday, May 17, 2012

අයි.පී.එල් ක්‍රීඩකයනුත් තරග පාවා දෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් හෙවත් අයි.පී.එල්. තරගාවලියේදී මුදලට තරග පාවාදුන් බවට චෝදනා එල්ල වූ පස් දෙනෙකුට ඉදිරි තරගවලට සහභාගී වීම අත්හිටුවා තිබේ.
 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල උප සභාපති සහ අයි.පී.එල්. තරගාවලි සංවිධායක කමිටු සභාපති රජීව් ශුක්ලා ඒ බව තහවුරු කළේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් පස් දෙනෙකු මුදලට තරග පාවාදුන් බවට එරට රූපවාහිනි නාලිකාවක් රහසිගතව පටිගත කළ දර්ශන විකාශය කිරීමත් සමග මේ සම්බන්ධ කරුණු අනාවරණ විය.


එම දර්ශනවල ඇතුළත් වූයේ ඔට්ටු තබන්නන් සහ අදාළ ක්‍රීඩකයින් අතර සිදුවන සාකච්ඡාවකි.


ටී.පී. සිධින්ද්‍ර, අමිත් යාදෙව්, අභිනව් බාලි, මෝනිෂ් මිශ්‍රා සහ ශලාබ් ශ්‍රීවාස්තව යන ක්‍රීඩකයෝ මෙලෙස චෝදනා ලැබූහ.


ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කැඳවන ලද හදිසි රැස්වීමකදී අදාළ ක්‍රීඩකයින් පස්දෙනාගේ ඉදිරි තරග  සහභාගීත්වය අත්හිටුවීය.


 දැනට චෝදනා එල්ල වී ඇති ක‍්‍රීඩකයින් පස් දෙනාට අමතරව තවත් ක‍්‍රීඩකයින් තරග පාවාදීමේ සිද්ධිවලට සම්බන්ධ යැයි මෙහිදී වැඩිදුරටත් සොයා බැලෙනු ඇති.

Monday, May 14, 2012

2012/13 වසර සඳහා ක්‍රීඩකයන් ට ගෙවන මුදල් සදහා ඉතා අසාධාරන ලෙස ශ්‍රේණි කිරීම

2012/13 වසර සඳහා ක්‍රීඩකයන් කොන්ත්‍රාත්ගත කිරීමේදී වැඩිම මුදලක්‌ හිමිවනු ලබන 'ඒ' ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුවට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ නම ඇතුළත් වී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර ඉදිරි වසර සඳහා අත්සන් තැබෙන අදාළ කොන්ත්‍රාතුවේදී ශ්‍රේණි දෙකක්‌ යටතේ (ජාතික සහ පළාත් වශයෙන්) ක්‍රීඩකයන් 60 දෙනෙකු ඇතුළත් වී සිටින අතර එහිදී ජාතික කාණ්‌ඩය සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකු කාණ්‌ඩ 6 ක්‌ යටතේ කාණ්‌ඩ ගත කර තිබේ.
ඇමරිකානු ඩොලර් 127,000 ක්‌ හෙවත් දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 13.9 ක්‌ හිමිවන අදාළ 'ඒ' කාණ්‌ඩයට ලසිත් මාලිංග සමගින් වත්මන් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර ,
තිලකරත්න දිල්ෂාන් සහ තිලාන් සමරවීර ඇතුළත් වී සිටියි.
'ඒ' කාණ්‌ඩයට අදාළ සියලූම ගෙවීම් සිදුකෙරෙනුයේ ටෙස්‌ට්‌, එක්‌දින සහ පන්දුවාර 20/20 යන අංශ 3 ම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන්ට වන අතර මාලිංග ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම මත ඔහුට හිමිවන්නේ අදාළ මුදලින් 40% ක මුදලක්‌ පමණි. මේ සම්බන්ධව කනස්‌සල්ලෙන් පසුවූ මාලිංග ශ්‍රී ලංකා ක්‍රීකට්‌ ආයතනය සමග කිසිදු කොන්ත්‍රාත්තුවක්‌ නොමැති වීම මත තමා දැන් නිදහස්‌ ක්‍රීඩකයකු වන බව ඉකුත්දා ඉන්දීය මාධ්‍යය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන ප්‍රධානියෙක්‌ සඳහන් කර සිටියේ, අදාළ 100% ක මුදලම මාලිංගට හිමිවීමට නම් ඔහු අංශ තුනම නියෝජනය කළ යුතු වන බවත්, ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම මත ඊට වැඩි මුදලක්‌ ඔහුට ලබාදීමේදී අංශ තුනම නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට එමගින් දැඩි අසාධාරණයක්‌ සිද්ධවන බවයි.
වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 82,000 ක්‌ හිමිවන (දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 9 ක්‌ පමණ) හිමිවන 'බී' කාණ්‌ඩයට උප නායක ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, රංගන හේරත් සහ උපුල් තරංග ඇතුළත්ව සිටිති.
ඇමරිකානු ඩොලර් 66,150 ක්‌ හිමිවන(දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 7.2) තෙවැනි කාණ්‌ඩය සඳහා ඇතුළත්ව සිටින්නේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ නිත්‍ය කඩුලූ රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන පමණි.
සිව්වැනි කාණ්‌ඩයට තරංග පරණවිතාන, සුරාඡ් රන්දීව්, අජන්ත මෙන්ඩිස්‌ සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව සිටින අතර ඔවුන් අත්සන් තැබෙනුයේ ඇමරිකානු ඩොලර් 49,750 ක්‌ (දල වශයෙන් ශ්‍රී ලංකා මුදලින් මිලියන 54.4) වැනි මුදලකටය.
අදාළ කොන්ත්‍රාත් ගත කිරීමේදී පස්‌වැනි දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර සහ තිසර පෙරේරාද, හයවැනි කාණ්‌ඩයට චාමර කපුගෙදර, සුරංග ලක්‌මාල් සහ ළහිරු තිsරිමාන්න ඇතුළත් වී සිටියි.
මෙවර අන්තර් සමාජ තරගාවලියේදී ලකුණු 1000 සීමාව ඉක්‌මවා යැමට සමත්වූ චාමර සිල්වා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අංශ තුනම නියෝජනය කරන ලද ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් අයත්ව සිටින්නේ පළාත් කාණ්‌ඩයට වන අතර ඔහුට වඩා අඩු දස්‌කම් දැක්‌ වූ චාමර කපුගෙදර(ඇ. ඩොලර් 22,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් මිලියන 2.4 ක්‌ හිමිවන හයවැනි කාණ්‌ඩය) සහ දිල්හාර ප්‍රනාන්දු(ඇ. ඩොලර් 3.6 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 3.6 ක්‌ හිමිවන පස්‌වැනි කාණ්‌ඩය) ඉහළ කාණ්‌ඩ වලට ඇතුළත් වී සිටීම සුවිශේෂී වේ.
මීට අමතරව පළාත් ශ්‍රේණියේ කාණ්‌ඩ 4 ක්‌ යටතේ ක්‍රීඩකයන් 40 දෙනෙකු කාණ්‌ඩගත කර තිබෙන අතර ඔවුන් බහුතරයක්‌ ශ්‍රී ලංකා 'ඒ' සහ සංවර්ධිත සංචිතවල පසුවන ක්‍රීඩකයන් වේ.
ඉකුත් වසරේදී අදාළ කොන්ත්‍රාත්ගත කිරීමට ක්‍රීඩකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක්‌ ඇතුළත් වුවත්, මෙවර එය 60 දක්‌වා අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පියවර ගැනීමද විශේෂත්වයක්‌ ලෙස හැඳින්විය හැක.

ජාතික ශ්‍රේණිය


පළමු කාණ්‌ඩය(ඇ. ඩොලර් 127,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 13.9) - මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර,තිලකරත්න දිල්ෂාන්, තිලාන් සමරවීර, ලසිත් මාලිංග.
 

දෙවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 82,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 9) - ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, රංගන හේරත්, උපුල් තරංග.

තෙවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 66,150 හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 7.2 ක්‌) - ප්‍රසන්න ජයවර්ධන

සිව්වැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 49,750 ක්‌ හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 5.4 ක්‌) - තරංග පරණවිතාන, සුරාඡ් රන්දීව්, අජන්ත මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්.

පස්‌වැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 33,075 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් මිලියන 3.6 ක්‌) - දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර, තිසර පෙරේරා.

හයවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 22,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන2.4 ක්‌) - චාමර කපුගෙදර, සුරංග ලක්‌මාල, ළහිරු තිරිමාන්න.

පළාත් ශ්‍රේණිය

'ඒ' කාණ්‌ඩය - චාමර සිල්වා, තිළිණ කණ්‌ඩම්බි, ධම්මික ප්‍රසාද්, දිමුත් කරුණාරත්න, µර්වීස්‌ මහරූෆ්, ජීවන් මෙන්ඩිස්‌, කෞෂාල් සිල්වා, සචිත්‍ර සේනානායක, ශමින්ද එරංග.

'බී' කාණ්‌ඩය - දිල්රුවන් පෙරේරා, ඩිල්ෂාන් මුණවීර, ජනක ගුණරත්න, කෝසල කුලසේකර, කුසල් පෙරේරා, මාලිංග බණ්‌ඩාර, නදීර නාවෙල, මිලින්ද සිරිවර්ධන, නිලංග ප්‍රේමරත්න, රොෂේන් සිල්වා, සචිත්‍ර සේරසිංහ, සජීව වීරකෝන්, සික්‌කුගේ ප්‍රසන්න, තරංග ලක්‌ෂිත, මලින්ද වර්ණපුර, නුවන් ප්‍රදීප්.

'සී' කාණ්‌ඩය - ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්‍ෂ, කෞෂාල් ලොකුආරච්චි, මහේල උඩවත්ත, මාලින්ද පුෂ්පකුමාර, ටී. එන්. සම්පත්.

'ඩී' කාණ්‌ඩය - අශාන් ප්‍රියන්ජන්, අෂේන් සිල්වා, ඉසුරු උදාන, කනිෂ්ක ඇල්විටිගල, යොහාන් ද සිල්වා, කිත්රුවන් විතානගේ, සොහාන් බොරලැස්‌ස, උදාර ජයසුන්දර.

Sunday, May 13, 2012

SLPLසදහා විදෙස්‌ ක්‍රීඩකයෝ සහභාගි වේවිද?


ක්‍රිකට්‌ තරග රටා තුනකි. ඒ ටෙස්‌ට්‌, පන්දුවාර 50 සහ පන්දුවාර 20-20 යනුවෙනි. එහි පන්දුවාර 20-20 දැන් ලොව ජනප්‍රියම තරග රටාව බවට පත්ව තිබේ. ඒ සඳහා කදිම නිදසුන අයි.පී.එල්. තරගාවලියයි. ශ්‍රී ලංකාවත් එවැනි තරගාවලියක්‌ එස්‌.එල්.පී.එල්. හෙවත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ලෙස පැවැත්වීමට දැන් සියලු කටයුතු සූදානම් කරමින් සිටී. එහෙත් විදෙස්‌ ක්‍රීඩකයෝ ඒ සඳහා සහභාගි වේවිද? යන ප්‍රශ්ණය උඩුදුවමින් තිබෙන වාතාවරණයක්‌ යටතේ ලබන අගෝස්‌තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්‌වා ස්‌ථිර වශයෙන්ම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇත.

එළැඹෙන 20-20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරු තරගාවලියක්‌ ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මැදිහත් වීමෙන් සහ සිංගප්පූරුවේ සමර්සේට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ඉකුත් වසරේ පළමුවරට මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණද ඉන්දියානු නම් දැරූ ක්‍රීඩකයන් සහභාගි නොවීම හේතුවෙන් සහ විවිධ ගැටලු හේතුවෙන් තරගාවලිය මෙම වසර දක්‌වා කල් තැබිණ. ඩී.එස්‌. සිල්වාගේ සභාපතිත්වය දැරූ ඉකුත් වසරේදී සිංගප්පූරුවේ සමර්සෙට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ ආයතනය සමග අදාළ තරගවලිය වෙනුවෙන් ඉදිරි වසර පහක්‌ සඳහා මේ වන විට ගවිසුම් ගතව ඇත.

උපාලි ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තරගාවලිය ස්‌ථිර වශයෙන් පැවැත්වීමට දින වකවානු සැලසුම් කර ඇති අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණවල තරගාවලිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. තරග 24 කින් සමන්විත මෙම තරගාවලිය සඳහා කණ්‌ඩායම් 7 ක්‌ තරග වදිති.

විදෙස්‌ ක්‍රීඩකයන්ට ආරාධනා කිරීම සහ තරගාවලියේ තරග කාල සටහන සකස්‌ කිරීම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සිදුකෙරෙන අතර කණ්‌ඩායම් සඳහා විදෙස්‌ ක්‍රීඩකයන් බඳවා ගැනීම අනුග්‍රහක ආයතනයේ මැදිහත්වීම මත ඉදිරියේදී සිදුවීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා විටෙක ප්‍රබල විදෙස්‌ ක්‍රීඩකයන් සහභාගි විය හැකි බව සඳහන් වුවද තවත් විටෙක ඔවුන් සහභාගි නොවීමේ සම්භාවිතාවක්‌ පවතී. මෙම තරගාවලියෙන් පසුව 20-20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන බැවින් ක්‍රීඩකයන් ආබාධවලට ලක්‌වීම හේතුවෙන් ඇතැම් රටවල් විදෙස්‌ ක්‍රීඩකයන්ව සහභාගි කරවීමට මැලිකමක්‌ දැක්‌වීමේ හැකියාවක්‌ ඇත. එහෙත් 20-20 ලෝක කුසලාන පෙරහුරුවක්‌ ලෙස ඇතැම් ක්‍රීඩකයන් සහභාගි කරනු ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් කණ්‌ඩායම් හතක්‌ තරග වදින එස්‌.එල්.පී.එල්. තරගාවලියේ බස්‌නාහිර බෙයාර්ස්‌, කඳුරට කයිට්‌ස්‌, නැගෙනහිර නාගාස්‌, රුහුණු රයිනෝස්‌, උතුර ඔරික්‌සස්‌, ඌව යුනිකෝන්ස්‌ සහ වයඹ වුල්ව්ස්‌ යනුවෙන් කණ්‌ඩායම් නම් කර ඇත.

මෙතෙක්‌ කණ්‌ඩායම්වල නායකත්වය පිළිබඳව ස්‌ථිර වාර්තාවක්‌ වාර්තා නොවුනද බස්‌නාහිර බෙයාර්ස්‌ කණ්‌ඩායම තිලකරත්න ඩිල්ෂාන් විසින්ද කඳුරට කයිට්‌ස්‌ කණ්‌ඩායම කුමාර් සංගක්‌කාර විසින්ද නැගෙනහිර නාගාස්‌ කණ්‌ඩායම ෂහිඩ් අෆ්රීඩි විසින්ද රුහුණ රයිනෝස්‌ කණ්‌ඩායම සනත් ජයසූරිය විසින්ද උතුර ඔරික්‌සස්‌ කණ්‌ඩායම ඩැනියෙල් වෙටෝරි විසින්ද ඌව යුනිකෝන්ස්‌ කණ්‌ඩායම චමින්ද වාස්‌ විසින්ද වයඹ වෝල්වස්‌ කණ්‌ඩායම මහේල ජයවර්ධන විසින්ද හොබවන බවට ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

සෑම තරගයකදීම එක්‌ කණ්‌ඩායම දේශීය ක්‍රීඩකයන් හත් දෙනකු සහභාගි විය යුතු අතර ඉන් එක්‌ ක්‍රීඩකයකු වයස අවුරුදු 21 කට අඩුවිය යුතුය. තරගයකදී කණ්‌ඩායමකට ක්‍රීඩා කළ හැක්‌කේ උපරිමය විදෙස්‌ ක්‍රීඩකයන් හතරක්‌ පමණි.

ඉන්දියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය 20-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්‌ක කර ගනිමින් පෙර පරිදි ඔවුන්ගේ සුපිරි ක්‍රීඩකයන් මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි කරවීමට අකමැත්ත පළ කළහොත් එය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට කොකා පෙන්වීමක්‌ බඳු විය හැකිය. මන්ද අයි.පී.එල්. තරගාවලියට ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය සියලු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ඉන්දියාවට ලබාදෙද්දී ඉන්දියානු ක්‍රීඩකයන් ආරක්‍ෂා කර ගැනීමට ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය උත්සුක වුවහොත් එය ඉදිරියේදී අයි.පී.එල්. සහ එස්‌.එල්.පී.එල්. වෙනුවෙන් ප්‍රශ්නාර්ථයක්‌ මතුවනු ඇත. එවැනි වාතාවරණයක්‌ උඩ තරගාවලිය නියෝජනය කරන විදෙස්‌ ක්‍රීඩකයන් පිළිබඳව ඉදිරි දින කිහිපයේදී ස්‌ථිර වාර්තාවක්‌ ලබා ගැනීමට හැකිවනු ඇත.

Saturday, May 12, 2012

ලසිත් මාලිංග එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත පිලට එක්වෙයි

එංගලන්තයේ පැවැත්වෙන අන්තර්සමාජ 20 - 20 තරඟාවලියේදී මිඞ්ල්සෙක්ස් පිල නියෝජනය කිරිම සඳහා ශ‍්‍රී ලංකා පිලේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග තෝරාගෙන තිබෙනවා. 28 හැවිරිදි මාලිංග මිඞ්ල්සෙක්ස් පිල සමග ගිවිසගෙන ඇති දෙවන ජාත්‍යන්තර ක‍්‍රීඩකයායි. මෙවර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරඟාවලියේ තරඟ 9 කට සහභාගි වී කඩුලූ20ක් ලබා සිටින මාලිංග අයි.පී.එල්. තරඟාවලියේ දෙවන වැඩිම කඩුලූ ලාභියායි. ශ‍්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර මේ වසරේ ජූනි මාසයේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන 20 - 20 සහ එක්දින තරඟාවලියෙන් පසු මාලිංග මිඞ්ල්සෙක්ස් කණ්ඩායමට එක්වනු ඇති. 20 - 20 තරඟ 106 කට සහභගි වී කඩුලූ 151 ක් බිඳ හෙළා ඇති මාලිංගගේ කඩුලූ ලබාගැනීමේ සාමාන්‍යය 16.40 ක්. පන්දු වාරයකට ඔහුගේ ලකුණු ලබාදීමේ සාමාන්‍යය 6.53 ක් ලෙසයි සටහන් වන්නේ. ලසිත් මාලිංග සිය කණ්ඩායමට එක්කරගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එංගලන්ත මිඞ්ල්සෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායමේ ක‍්‍රිකට් අධ්‍යක්‍ෂ ඇන්ගස් ෆේ‍්‍රසර් කියා සිටියේ සිය කණ්ඩායමට ලොව හොඳම 20 - 20 පන්දු යවන්නාගේ සේවය හිමිවූ බවයි.

Friday, May 11, 2012

සිටින පාසලේ පහසුකම් තිබේ නම් උ/පෙළට පාසැල් මාරු කරන්න බෑ

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ජාතික පාසලේ උසස්‌ පෙළ හැදැරීම සඳහා පහසුකම් තිබේ නම් වෙනත් කිසිදු ජාතික පාසලක හෝ පළාත් සභා පාසලක උසස්‌ පෙළ හැදැරීම සඳහා එම සිසුන්ට ඇතුළත් වීමට ඉඩ නොලැබෙන බව අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පැවැසීය. වෙනත් ජාතික පාසලකට ඇතුළත් වීමට ඉඩ ලැබෙන්නේ සාමාන්‍ය පෙළට පෙනී සිටි ජාතික පාසලේ උසස්‌ පෙළ හැදෑරීම සඳහා පහසුකම් නොමැති මෙන්ම ඉංග්‍රීසි මාධ්‍ය පන්ති නොපැවැත් වෙන්නේ නම් පමණක්‌ බව ද ඇමැති වරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ ඊයේ (10 දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

සාමාන්‍ය පෙළ විභාගයේදී කෙතරම් උසස්‌ ප්‍රතිඵල ලැබුවද එම පාසලේ උසස්‌ පෙළ පන්ති පවතී නම් වෙනත් ජාතික පාසලකට ඇතුළත් වීමට කිසිදු විටක ඉඩ නොදෙන බවද ඇමැති වරයා සඳහන් කළේය.

Thursday, May 10, 2012

SLPL 20-20 ලබන අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධාන කරන පළමු ශ‍්‍ර‍්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය (එස්.එල්.පී.එල්.) ලබන අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී සහ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.පළමු තරගාවලියට පළාත් කණ්ඩායම් 7 ක් සහභාගි වීමට නියමිතය. පළාත් සංචිතයකට විදේශ ක‍්‍රීඩකයන් 6 දෙනකු ඇතුළත්ව වන අතර තරගයක 11 දෙනාට ඇතුළත් විය හැක්කේ විදේශ ක‍්‍රීඩකයන් සිවුදෙනකුට පමණි. තරගයක ක‍්‍රීඩකයන් 11 දෙනාට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් 7 දෙනකු ක‍්‍රීඩා කරන අතර එක ක‍්‍රීඩකයකු වයස 21 න් පහළ ක‍්‍රීඩකයකු විය යුතුය. තරග 24 කින් යුත් මෙම තරගාවලියේ සියලූ තරග රූපවාහිනියෙන් විකාශය කිරීමට ද නියමිතය.

Saturday, May 5, 2012

අමල් සිල්වා ඉවතට සංගක්කාර, මහේල සහ ඩිල්ශාන් ට 2012 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කරන ලකුණු


අමල් සිල්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත්වී තිබෙනවා. ඔහු සිය අස්වීම් ලිපිය ශි‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වෙත ඊයේ බාරදුන් බවයි. එහි ලේකම් නිශාන්ත රණතුංග  ප‍්‍රකාශ කළේ. අසන්ත ද මෙල් ගේ සභාපතිත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නව තේරීම කමිටුව පත් කෙරුනේ මේ වසරේ ජනවාරි මාසයේදියි. අමල් සිල්වාට අමතරව හේමන්ත වික‍්‍රමරත්න සහ දොන් අරුණසිරි එහි සාමාජිකයන් වනවා. එම තේරීම් කමිටුව පත් කෙරුණේ දකුණු අප‍්‍රිකානු චාරිකාවෙන් පසුව දුලිප් මෙන්ඩිස්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුව ඉවත්කිරීමෙන් අනතුරුවයි.
තවද 2015 දී පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ශාන් ක‍්‍රීඩා කිරීමේ අවධානමක් පවතින බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරිම් කමිටු හිටපු සාමාජික අමල් ද සිල්වා පවසනවා. කි‍්‍රකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මේ බව සදහන් කළේ. තේරීම් කමිටු සාමාජිකයින් තරග නැරඹීමට ක‍්‍රීඩා පිටිය වෙත නොපැමිණීම සාමාන්‍ය දෙයක් බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ. 

Wednesday, May 2, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ 2012-2013 වාර්ෂික කොන්ත්‍රාත් හා ලසිත් මාලිංග

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත් මිල ගණන් තීරණය කිරීමේදී කිසිම ක්‍රීඩකයකුගේ පෞද්ගලික ඉල්ලීම්වලට පමණක්‌ විශේෂත්වයක්‌ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවසීය.

මේ දිනවල අයි.පී.එල්. පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලිය නියෝජනය කරමින් සිටින අතරතුර ලසිත් මාලිංග විසින් තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයෙන් ලැබෙන වාර්ෂික කොන්ත්‍රාත් මුදල පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව පැවසීම සම්බන්ධව  කළ විමසීමකදී එම නිලධාරියා වැඩිදුරටත් මෙසේ පැවසීය.

'මේ ගොල්ලන්ව පොඩි ළමයෙක්‌ ලොකු කරනව වගේ සියලුම දේවල් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ලබාදීල තියෙනවා. දැනටත් එහෙමයි. එහෙම කරල තියෙද්දි තමන්ට ලැබෙන දේවල් මදී කියල කවුරු හරි කියනවානම් ඒක රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට කරන ලොකු හානියක්‌. මොකද අපි හැමෝම පළමුව රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතුයි. රට වෙනුවෙන් කළ කැපකිරීමට තමයි ඒ අයට වෙනත් දේවල් ලැබෙන්නේ. ඇත්තටම කොන්ත්‍රාත් ගිවිසුම ගැන ක්‍රීඩකයන් කතා කරන්නෙ ඒ අය නොදන්න කමට. එක්‌ එක්‌ ක්‍රීඩකයන්ට ඉන්න කළමණාකරුවන්ගේ ඕනෑ එපාකම් අනුව තමයි ඒ අය කටයුතු කරන්නේ. ඇත්තටම මේ ක්‍රීඩකයන් දන්නෙ නැහැ ඒකෙන් ඒගොල්ලන්ට වෙන හානිය.'

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ 2012-2013 වාර්ෂික කොන්ත්‍රාත් පදනම මත එක්‌ එක්‌ ක්‍රීඩකයන් කාණ්‌ඩ ගත කිරීම මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් සකස්‌ කරමින් පවතින බව වාර්තා වේ. අදාළ කොන්ත්‍රාත් පදනම මත ක්‍රීඩකයන් එක්‌ එක්‌ කාණ්‌ඩවලට ඇතුළත් කිරීමෙන් පසු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග සාකච්ඡාවක්‌ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය බලාපොරොත්තු වන බවත් එය පාකිස්‌තාන් තරගාවලිය අතරතුරදී පැවැත්වීමට යෝජිතව තිබේ.

'අපි මාලිංග සමග තවම සාකච්ඡා කළේ නැහැ. ඔහු ලංකාවට ආව ගමන් එයාගෙ ඉල්ලීම්වලට මොකක්‌ද කරන්න පුලුවන් කියල සාකච්ඡා කරනවා. හැබැයි මාලිංග ටෙස්‌ට්‌ ගහන්නෙ නැතිව ටෙස්‌ට්‌, 20-20 සහ එක්‌දින අංශ තුනම ක්‍රීඩා කරන අයගෙ කොන්ත්‍රාත් මුදල දෙන්න බැහැ. ඒ වගේම 20-20 සහ එක්‌දින ගහන අනිත් අයට වැඩිය එයාට මුදලක්‌ දෙන්නත් බැහැ. මොකද එහෙම වුණොත් හැමෝම ඉල්ලයි අපිටත් ඒ දේවල් දෙන්න කියල.' කොහොම හරි මාලිංග සමග මෙම ප්‍රශ්නය සාකච්ඡා කරල විසඳුමක්‌ ගන්න බලාපොරොත්තු වෙනවා.' යනුවෙන් ඉහත නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කොන්ත්‍රාත් පදනම මත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් කාණ්‌ඩ ගත කිරීමේදී ටෙස්‌ට්‌ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් හට 60% ක මුදලක්‌ද එක්‌දින තරග සඳහා 20% ක මුදලක්‌ද 20-20 තරග සඳහා 20% ක මුදලක්‌ ලබා දෙන අතර අදාළ තරගාවලි ත්‍රිත්වයම ක්‍රීඩා කරන ක්‍රීඩකයන් හට එම සියලුම මුදල් හිමිවේ.

Tuesday, May 1, 2012

අම්බලන්ගොඩ ධර්මාශෝකයේ මධුෂිකා අද ඔස්‌ට්‍රේලියාව බලා

 මෙම 06 දා දක්‌වා ඔස්‌ට්‍රේලියාවේ පර්ත් නගරයේ පැවැත්වීමට නියමිත ලීනින් ජාත්‍යන්තර කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය නියෝජනය කිරීම සඳහා අම්බලන්ගොඩ ධර්මා ශෝක විද්‍යාලයේ බී. මධුෂිකා දිල්රුක්‍ෂි තෝරාගෙන ඇත. ඇය ඇතුළු ශ්‍රී ලංකා කණ්‌ඩායම අද ඔස්‌ට්‍රේලියාව බලා පිටත්ව යැමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්‌ඩායම නියෝජනය කරමින් මෙම කණ්‌ඩායමට ක්‍රීඩිකාවන් තිදෙනකු සමඟ ක්‍රීඩකයන් අටදෙනකු සහභාගි වේ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 11 වන වසරේ ඉගෙනුම ලබන මධුෂිකා දිල්රුක්‍ෂි 2010 වසරේදී ද සිංගප්පූරුවේ පැවැති ලීනින් ජාත්‍යන්තර කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

ප්‍රවීණ බැඩ්මින්ටන් උපදේශිකාවක වන පවීෂා ක්‍රිශාන්ති ධර්මසේන මහත්මිය මධුෂිකාගේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.