Thursday, September 27, 2012

අද ඩිල්ෂාන් මුණවීර වෙනුවට දග පන්දු යවන අකිල ධනංජය?

විස්‌සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ උද්වේගකර මෙන්ම තීරණාත්මක තරග වටය වන සුපිරි කණ්‌ඩායම් 8 අතර තරග වටය සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ නවසීලන්ත අතර තරගයෙන් අද (27 දා) මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ප.ව. 3.30 ට ආරම්භ වේ.

පළමු වටය යටතේ ශ්‍රී ලංකා කණ්‌ඩායම 'සී' කාණ්‌ඩයෙන්ද නවසීලන්ත කණ්‌ඩායම 'ඩී' කාණ්‌ඩයෙන්ද තරග කළ අතර එහිදී කණ්‌ඩායම් දෙකම පිළිවෙළින් දකුණු අප්‍රිකාව සහ පාකිස්‌තානය හමුවේ පරාජය ලැබූහ. එහෙත් සිම්බාබ්වේට සහ බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් අදාළ සුපිරි කණ්‌ඩායම් 8 තරග වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සමත්වූහ.

කණ්‌ඩායම් දෙකේ දක්‍ෂතා සංසන්දනය කිරීමේදී දෙපිළම කරට කර පසුවන කණ්‌ඩායම් දෙකක්‌ වුවත් අවසන් දින කිහිපයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමට වඩා පල්ලකැලේ තණතීරුවේ ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව නවසීලන්ත කණ්‌ඩායමට හිමිවීම ඔවුන්ට අද තරගයේදී හිමිවන අතිරේක වාසියක්‌ වේ.

අදාළ සුපිරි කණ්‌ඩායම් 8 තරග වටයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම මහනුවරට පැමිණියේ මීට දින 3 කට පෙරදී වුවත්, එහිදී එකම දිනයක්‌ හෝ පල්ලකැලේ තණතීරුවේදී පුහුණුවීම් කිරීමට නොලැබීම විශේෂත්වයක්‌ විය. සත්කාරක රට ලෙසින් මෙම තරගාවලියට අවතීර්ණ වුවද ශ්‍රී ලංකා කණ්‌ඩාමට අද තරගයට පෙර ඊයේ පැවැති අවසන් පුහුණු සැසියටද සහභාගිවූයේ මහනුවර අස්‌ගිරිය ක්‍රීඩාංගණයේදී ය.

මෙම තත්ත්වය මත කුමක්‌ද යන්න ශ්‍රී ලංකා කණ්‌ඩායම් සංයුතිය පිළිබඳ තීරණය බැරෑරුම්ම කරුණ බවට පත්වී තිබිණ. මේ පිළිබඳව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනගෙන් 'දිවයින' කරන ලද කරුණු විමසීමකදී තවමත් තණතීරුව නිරීක්‍ෂණය කිරීමට අවස්‌ථාව නොලද හෙයින් ඒ පිළිබඳව නිශ්චිත යමක්‌ පැවැසීමට නොහැකි බව සඳහන් කර සිටියේය.

ජාත්‍යන්තර විස්‌සයි - 20 වර්ගීකරණයේ නවසීලන්ත කණ්‌ඩායමට (හයවැනි ස්‌ථානයේ) වඩා ඉදිරියෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායම පසුවුවද (සිව්වැනි ස්‌ථානයේ) මෙවැනි කෙටි අංශයේ තරගවලදී දිනයේ අවම වැරදි කරන කණ්‌ඩායමට තරගය ජය ගැනීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතිනු ඇත. එමෙන්ම සුපිරි කණ්‌ඩායම් 8 අතර තරග වටයේදී තරග වදිනු ලබන්නේ දක්‍ෂතා අතින් ඉහළ කණ්‌ඩායම් බැවින් අද තරගය ජය ගනිමින් මෙම තරග වටයට ජයග්‍රාහීව සේන්දුවීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇත.

ඊයේ පැවැති පුහුණුවීම්වලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆොඩ්, පෙර තරග දෙකට සහභාගිවුණු කණ්‌ඩායමට සාපේක්‍ෂව අද තරගයේදී කණ්‌ඩායමේ වෙනසක්‌ විය හැකි බව සඳහන් කර සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගිවුණු පළමු තරග 2 දී ක්‍රීඩා කරන ලද ඩිල්ෂාන් මුණවීරට අද තරගයේදී සිය ස්‌ථානය අහිමිවන ඇතැයි අනුමාන කළ හැක. නවසීලන්ත කණ්‌ඩායමේ පිතිකරුවන් සියලු දෙනාම ලකුණු අතර සිටීම මත අද තරගයේදී මුණවීරගේ ස්‌ථානය සඳහා බොහෝ විට තවත් පන්දු යවන්නකු එක්‌ කිරීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා පුහුණුකරු දැක්‌වූ අදහස්‌වලින් ඉඟි පළවිය. ඒ අනුව බොහෝ විට අද තරගයේදී දග පන්දු යවන අකිල ධනංජයට අවස්‌ථාව හිමිවනු ඇතැයි අපේක්‍ෂා කළ හැක.

ඇලපතේ ආබාධයකට මුහුණ දී සිටින දග පන්දු යවන අජන්ත මෙන්ඩිස්‌ ඊයේ දිනයේදී සිය පුහුණුවීම්වල නිරතව සිටිනු දක්‌නට ලැබුණු නමුත් ඔහුගේ ආබාධය ආශ්‍රිත ප්‍රදේශය වෙලුම් පටිවලින් වෙළා තිබෙනු දක්‌නට ලැබුණි. ඒ අනුව මෙන්ඩිස්‌ගේ සහභාගිත්වය කෙසේද යන්න ෆොඩ්ගෙන් කරන ලද විමසීමකදී, ඔහුගේ ආබාධය එතරම් දරුණු නොවන නමුත් අද තරගයට යෙදවීම පිළිබඳ තීරණය භෞත චිකිත්සකවරයාට යොමු කිරීමෙන් පසුව තීරණය කරන බව සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්‌ඩායම් මෙතෙක්‌ මුණ ගැසුණු 20-20 තරග 9 දී තරග 5 ක ජය නවසීලන්තය විසින්ද ශ්‍රී ලංකාව තරග 4 ක්‌ද ජයගෙන ඇත. එහෙත් එම අවස්‌ථා 9 තුළදී දෙපිලම 20-20 ලෝක කුසලාන තරගවලදී අවස්‌ථා 3 කදී මුණ ගැසී තිබෙන අතර එහිදී දෙවතාවක ජය ශ්‍රී ලංකාව අත්කර ගැනීමට සමත්ව තිබේ.

Wednesday, September 26, 2012

පානීය ජලය ක්‍රීඩකයන්ට විෂ වෙයි

විස්‌සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේදී පුහුණු කටයුතුවලදී මෙන්ම තරගවලදී ක්‍රීඩකයන්ට පානය කිරීම වෙනුවෙන් ලබාදී තිබෙන ඇසුරුම් කරන ලද වතුර බෝතල් සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකාරීත්වය තීරණය කර තිබේ.

මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්‌ඩායම්වල ක්‍රීඩකයන් හදිසියේම රෝගාතුරවීමට හේතුව මෙම ප්‍රමිතියකින් තොර ජලය පානය කිරීම බව අනුමාන කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකාරීත්වය ඉහත පියවර ගෙන තිබේ.

ජගත් ක්‍රිකට්‌ කවුන්සිල නිල පානීය සැපයුම්කරුවා ලෙස කටයුතු කරනු ලබන පෙප්සි ආයතනයෙහි වතුර බෝතල් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පොළේ නොමැතිවීමත් ඒ මත දේශීය පානීය ජල සැපයුම්කරුවකුගේ සේවය ලබා ගැනීමට ඔවුන්ට සිදුවීමත් මත මෙම තතත්ත්වය ඇතිවී තිබෙන බව දැන ගැනීමට හැකි විය. එහිදී මෙම තරගාවලියේ පානීය ජලය සඳහා වූ ඇසුරුම් කරන ලද වතුර බෝතල් ලාෆ් ඇක්‌වා සිස්‌ටම්ස්‌ නමැති පෞද්ගලික ආයතනයකින් ලබාගෙන තිබෙන බවද එම කරුණු අනාවරණය කර ගැනීමේදී වැඩිදුරටත් දැන ගැනීමට හැකිවිය. මෙම තත්ත්වය මත මෙම සමාගමෙන් ජලය ලබා ගැනීම අත්හිටුවා තිබෙන ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය ඒ සඳහා වෙනත් දේශීය සපයන්නකුගෙන් වතුර බෝතල් ලබා ගැනීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් විය.

පානයට නුසුදුසු තත්ත්වයේ ජලය පානය කිරීම මත ප්‍රථමයෙන්ම ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ ක්‍රීඩකයන් වන මිචෙල් ස්‌ටාර්ක්‌ සහ බ්‍රැඩ් හොග් උණ රෝගයට සහ තදබල ඔළුවේ කැක්‌කුමකට මුහුණ දුන්හ. එසේ වුවත් ඉකුත් සෙනසුරාදා බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමග පැවැත්වුණු තරගයට පෙර ඔවුන් සුවය ලැබීම මත එම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව ඔවුන්ට හිමිවිය. මොවුන් දෙදෙනාට අමතරව නවසීලන්ත පිලේ ටිම් සවුතිද විජලන තත්ත්වයකට මුහුණ දීම මත ඉකුත්දා රෝහල්ගත වී ප්‍රතිකාර ලබා තිබේ.
 

Wednesday, September 12, 2012

පිතිකරු ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් -ඇන්ජලෝ මැතිව්ස්



විස්සයි- 20 ලෝක කුසලාන තරගාවලියට සමබර කණ්ඩායම් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කළ එස්.එල්.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් වූ බව ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
සිවුවැනි විස්සයි-20 තරගාවලිය මේ මස 18 වැනිදා හම්බන්තොටදී ආරම්භ වෙයි. මෙම තරගාවලිය සම්බන්ධයෙන් අද (11) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍යහමුවේදී ශ්‍රී ලංකා පිලේ උප නායක ඇන්ජලෝ මැතිව්ස්, අජන්ත මෙන්ඩිස් සහ තිසර පෙරේරා මෙසේ අදහස් දැක්වූහ.
‘‘වර්ෂාව හේතුවෙන් අපතේ ගිය පුහුණු අවස්ථාවන් එස්. එල්. පී. එල්. තරගාවලිය නිසා ආවරණය කර ගැනීමට හැකියා ලැබුණා. අපි සතුව ශක්තිමක් පන්දු යැවීමේ බලයක් ඉන්නවා, ඒ වගේම අංක හත පිතිකරු දක්වා සියලූ දෙනාම එකවගේ දක්‍ෂයි, ඒ නිසා ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා’’ යැයි මැතිව්ස් පැවසීය.
පිතිකරු ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් ලැබුණොත් මීට වඩා සේවයක් කිරීමේ හැකියාවක් තිබේ යැයි මැතිව්ස් සිතන්නේ ද යන ප‍්‍රශ්නයට ඔහු මෙසේ පිළිතුරු සැපයීය.
‘‘පිතිකරු ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් ලැබුණොත් මීට වඩා සේවයක් කරන්න පුළුවන් යැයි මමත් හිතනවා. නමුත් කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව මා  ඕනෑම ස්ථානයක ක‍්‍රීඩා කිරීමට සූදානම්. මම උප නායකත්වය ගැන වැඩිය හිතන්නේ නෑ, සාමාන්‍ය විදියට ක‍්‍රීඩා කරනවා’’

Sunday, September 2, 2012

රජරට ආසනික් ගැටලුව හා කෘෂි රසායන සමාගම් වලට කඩේ යන ලොක්කන්

පරිනිර්වාණ සූත්‍රයට අනුව අප තථාගත සම්මා සම්බුදු හිමියන් සහ උන්වහන්සේගේ අග්‍ර උපස්‌ථායක තනතුර දැරූ ආනන්ද හිමියන් අතරේ වරක්‌ එක්‌ වැදගත් කතාබහක්‌ සිදු වන්නාහ.

එම කතාබහේදී "ආනන්දය බුදු කෙනකුට අවැසි නම් කල්පාන්තරයක්‌ වුව දිවි ගෙවිය හැකි" බව බුදුහු ආනන්ද හිමියන් අමතා වදාරති. එහෙත් මේ මොහොතේ මාරයාගේ ග්‍රහණයට නතුව සිටින බැවින් බුදුරජාණන් වහන්සේ වදාරණ කරුණ ආනන්ද හිමියන්ට නොවැටහේ.

එහෙයින් ආනන්ද හිමියෝ එහිදී නිහඬවම සිටින්නාහ. එකී නිහඬ බවත් සමග අවසානයේ තථාගත බුදුහිමියන් මාරයාට ඉඩදී ආයුසංස්‌කාරය අත්හරිනු ලබන්නේ එම අවස්‌ථාවේදීය.

පරිනිර්වාණයට සුදුසු කාලය එළැඹ ඇතැයි පවසමින් තෙවරක්‌ බුදු හිමියන් ඉදිරියට පැමිණෙන වසවත් මාරයා අවසන් මොහොතේ සිය අභිප්‍රාය ජයගනු ලබන්නේ එසේ ආනන්ද හිමියනට මුවා වෙමින් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව තිබෙන්නකි.

මාරයා යනු මාරයාමය. මාරයාගේ හැටිද එසේය. උගේ කාර්යය වන්නේ අවස්‌ථාව පැමිණි කල්හි කෙසේ, කුමක්‌ හෝ කර මේ භවයෙන් කෙනකු කැඳවාගෙන යැමය. එය මාරයාට පැවරී ඇති කාර්යයද වන්නේය.

මෙසේ මාරයාගේ පැටිකිරිය දිගහරිමින් අප මේ කරන්නට යන්නේ කුමක්‌දැයි දැන් මෙය දකින අයෙකුට ගැටලුවක්‌ද මතුවිය හැක. නමුත් අපේ ගැටලුව වී තිබෙන්නේ මාරයා එසේ තමන්ගේ රාජකාරිය කරද්දී මේ බිමේ සිටින මාර පුත්‍රයන් සහ මාර දූතිකාවන් දෙතුන් දෙනකු එක්‌වී සමස්‌ත ජාතියම බිලිගන්නට මාරයාට කඩේ යමින් සිටීම හමුවේ වන්නේය.

මාර පැටිකිරිය දිගහරිමින් අප මේ කතාව අරඹන්නේ එහෙයිනි. මාරයාට කඩේ යන මේ මාර පුත්‍රයන් සහ මාර දූතිකාවෝ කවරහුද? ඒ අන් කවරෙකුවත් නොව මේ රටේ ජනතා මුදලින් අධ්‍යාපනය ලබා ආචාර්ය, මහාචාර්ය ලෙසින් පදවි දරමින් විශ්වවිද්‍යාල සහ ඇතැම් රාජ්‍ය ආයතන තුළ අරක්‌ගෙන සිටින සට්‌ටඹි රැළකි.

අතීත සම්බුද්ධ පරිනිර්වාණයේදී මාරයා සිටියේ ආනන්ද හිමියන්ට මුවාවීය. නමුත් මේ සට්‌ටඹි රැළ අද පැහැදිලිවම සිටිනුයේ මාරයා සමග එක්‌ව වැදි බණ දෙසා රටත් ජාතියත් අන්දවමින් අප නසන්නට උගුල් අටවමින්ය.

මොවුන් ජාතියම වනසන්නට කරමින් සිටිනුයේ කුමක්‌ද? අනේ මිනිසුනේ. ඒ කතාව අසන දකින විට උපන්දා බිව් රන් කිරි බිඳේ සිට අනුභව කළ සියල්ල එළියට එන තරමේ මහා අප්පිරියාවක්‌ ඇඟට දැනෙන්නේය. කථාව ඒ තරමටම පිළිකුල්ය. නමුත් ඇත්ත තිත්ත වුවත් හෙළි කළ යුතුම නිසා අපි එය මෙසේ සටහන් කරන්නෙමු.

කාලයක පටන් මේ රටට බත සැපයූ රජරට ගොවි රජුන් ඇතුළු ජනතාව වකුගඩු රෝගීන් කර පරලොව යෑවූ සහ මුළු මහත් ජාතියම රෝගීන් කළ යක්‍ෂයා කෘෂි රසායන ත්‍රස්‌තවාදීන් අපට ශරීරගත කළ ආසනික්‌, කැඩ්මියම් ඇතුළු මාරාන්තික වස විෂ බව දැන් පැහැදිලිව සනාථ වී තිබෙන්නකි. අද මේ යක්‍ෂයා රජරට බිමට එල්ල කර ඇති ප්‍රහාරය කොතරම් භිහිසුණු වී තිබේද? බලධරයනි. දැනටමත් රජරට මිනිසුන් විසි දෙදහසක්‌ මියගොස්‌ සිටිති. තවත් දහනව දහස්‌ අටසියයක්‌ දෙනා සිටිනුයේ වකුගඩු නරක්‌ වී රෝහල් සායන වෙත යමිනි.

තත්ත්වය එසේ වෙද්දී මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද රජරට වකුගඩු මාරයා කවරෙක්‌දැයි තහවුරු කර ඇත්තේය. ඒ කෙසේද? එය සිදු කර ඇත්තේ එම සංවිධානය පැහැදිලි ලෙසම රජයට ඉදිරිපත් කර ඇති වාර්තා ත්‍රිත්වයක්‌ මගිනි. ඉන් පළමු වාර්තාව නිකුත් වන්නේ 2011 වසරේ ජුනි මස 6 සහ 8 යන දින අතරතුරය. එහි සඳහන්ව ඇති සුවිශේෂී කරුණු කිහිපයක්‌ මෙසේ පෙන්වා දිය හැක.

උතුරු මැද සහ ඌව පළාත් තුළ අවුරුදු 15-70 අතර ජනගහනයෙන් සියයට 15 ක්‌ හඳුනානොගත් වකුගඩු රෝගයකට ගොදුරු වී සිටිති. ඒ අතරින් වයස අවුරුදු 40 වැඩි වසර දහයකට වඩා ගොවිතැනෙහි නිරත වූ පිරිමින් රෝගය වැළඳීමේ වැඩි අවදානමකට ගොදුරුව සිටී.

මෙම රෝගය වැළඳුණු පිරිමින් හා කාන්තාවන් බහුතරය සිය මුත්‍රා සමග ඉහළ ආසනික්‌ සහ කැඩ්මියම් ප්‍රමාණයක්‌ පිට කරන අතර වකුගඩු සඳහා විෂ සහිත සාධක කිහිපයක එකතුවකින් මෙම වකුගඩු රෝගය වැළඳෙන බව පෙනී යයි. ඒ ආසනික්‌, කැඩ්මියම් සහ වකුගඩු විෂ සහිත කෘෂි රසායන වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දෙවන වාර්තාව නිකුත් වී ඇත්තේ 2011 වසරේ ඔක්‌තෝබර් මස 5-7 යන දිනවලය. එහිදී පළමු වාර්තාවේ කරුණුද පෙන්වා දෙමින් දෙවන වරටත් මේ පිළිබඳ රජයට දැනුම් දී ඇති එම සංවිධානය එකී දෙවන වාර්තාවේ සඳහන් කර ඇති විශේෂිත කරුණක්‌ මෙසේ දැක්‌විය හැකිය.

විෂ සහිත මූලද්‍රව්‍ය පරිසරය තුළ ඒකරාශී වීම බරපතල සෞඛ්‍ය ගැටලු ගණනාවක්‌ නිර්මාණය කරයි. මේ සඳහා නිසි පියවර ගැනීම ප්‍රමාද කිරීම තරුණ පරම්පරාවද සෞඛ්‍ය ගැටලු ගණනාවකට ඇද දමන බවද අවධාරණය කරමු.

2012 වසරේ පෙබරවාරි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සිය තෙවන වාර්තාව නිකුත් කරමින් පවසා ඇත්තේ කුමක්‌ද?

අපි රජරට වකුගඩු රෝගීන් 496 දෙනකුගෙන් ගත් සාම්පල පරීක්‍ෂාවක්‌ සිදු කළෙමු. ඔවුන් අතරින් සියයට 56 දෙනෙක්‌ මුත්‍රා සමග ඉහළ කැඩ්මියම් ප්‍රමාණයක්‌ පිට කරති. සියයට 63 දෙනෙක්‌ මුත්‍රා සමග ඉහළ ආසනික්‌ ප්‍රමාණයක්‌ පිටකරති. මෑතකාලීන පර්යේෂණ අනුව මෙසේ කැඩ්මියම් සහ ආසනික්‌ මුත්‍රාවල පැවැතීම ක්‍රමයෙන් වකුගඩුවලට හානි සිදු වී ඒවා අකර්මණ්‍ය වීමට හේතු වේ.

මේ සටහන් කෙරුණේ එකී වාර්තා ත්‍රිත්වය මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් සුවිශේෂීකොට රජයට අවධාරණය කර තිබෙන කරුණු කිහිපයකි. නමුත් එම සංවිධානය මෙකී අනාවරණය කරන විට රජරට වකුගඩු රෝගයේ මාරයා කෘෂි රසායනවල ඇති ආසනික්‌ ඇතුළු මාරාන්තික විෂ බව මෙරට විද්වත් පිරිසක්‌ද වටිනා හෙළිදරව්වක්‌ කර තිබිණි. ඒ මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය ප්‍රියානි පරණගම සහ මහාචාර්ය මාලා අමරසිංහ යන මහත්ම මහත්මීන් ප්‍රධාන රටට ආදරය කරන විද්වත් පිරිසකි.

එහෙත් පැහැදිලිවම සනාථ වී ඇති රජරට වකුගඩු මාරයා සේම සමස්‌ත ජාතියම රෝගීන් කරන යක්‍ෂයාගේ කතාව මෙසේ වෙද්දී අද මාරයාට කඩේ යන ඉහතකී මහාචාර්යවරුන්, මහාචාර්යවරියන් සහ ආචාර්යවරුන් කියන කතාව වී තිබෙන්නේ කුමක්‌ද? එය නින්දිතය. මොවුන්ගේ එකී නින්දිත කතා පසුපස ඇත්තේ බහුජාතික කෘෂි රසායන ත්‍රස්‌තයන් අතදිහැර පුදන ඩොලර් කුට්‌ටිද විය හැකිය.

මේ රැළේ එක්‌තරා මුග්ධ මහාචාර්යවරකු සිටින්නේය. හැට පැන්නත් වඳුරා බිම නොයන්නේය යන න්‍යාය අමාරුවෙන් අනුගමනය කරන හේ බණක්‌ භාවනාවක්‌ කරගෙන යන තැනකට යමක්‌ කරගත යුතු වයසේ පසුවුවද තවමත් එක්‌ විශ්වවිද්‍යාලයක සිටිමින් කෘෂි රසායන ත්‍රස්‌තවාදය හමුවේ ජාතිය වනසන මාරයාට කඩේ යන්නේ මෙසේය.

"කවුද කියන්නේ රජරට වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල තියෙන ආසනික්‌ ඇතුළු විෂ කියලා. ඒක අමූලික බොරුවක්‌. ආසනික්‌ ලංකාවේ භූමියේ හැම තැනම තියෙනවා. එහෙනම් ඔක්‌කොටම වකුගඩු ලෙඩ හැදෙන්න ඕනේ.

මේකට හේතුව ආසනික්‌වත්, කෘෂි රසායනවත් නොවේ. රජරට වකුගඩු රෝගයට එකම හේතුව ඒ පළාතේ භූගත ජලයේ තිබෙන ෆ්ලෝරයිඩ්.. ඔහු අද සැබෑව යටපත් කරමින් සිටින්නේ එලෙසිනි. ඔහුගේ එකී ෆ්ලෝරයිඩ් කතාව පසුපසද ඇත්තේ මහාචාර්ය අභිමානය පිළිබඳව වූ තුට්‌ටු දෙකේ නිමිත්තකි.

එහෙත් අපි එය හෙළි නොකරන්නෙමු. මන්ද එසේ කළහොත් මේ මිනිසා අමු අමුවේම නිරුවත් වන බැවිනි. මෙම මහාචාර්යවරයා දෙසන මුසාවාදයට පැහැදිලිව උත්තර දෙන්නට අප සතුව ඕනෑ තරම් කරුණු තිබේ. නමුත් මුග්ධයකු වුවද මොහුද මහාචාර්යවරයෙකි. එහෙයින් ඔහු හා සමාන දැනුමැති විද්වතකු වෙතින්ම ඔහුට පිළිතුරු දීම වැදගත් වේ.

අපි එය එසේ කළෙමු. මේ බිමේ ආසනික්‌ නිධන්ගතව තිබෙන බවද කියන අතරේ මෙකී මහාචාර්යවරයා රජරට වකුගඩු රෝගය හමුවේ වපුරමින් සිටින ෆ්ලෝරයිඩ් සාධකය පිළිබඳ කතාව අපි කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්වරියන් දෙදෙනකු වූ ප්‍රියානි පරණගම සහ මාලා අමරසිංහ මහත්මීන් වෙත ඉදිරිපත් කළෙමු.

ගෙවෙන මොහොතක්‌ පාසා රජරට ජනතාව පරලොව යවමින් සිටින මාරයා සොයා යැමේ කාර්යයේදී රටේ ජනතාව වෙනුවෙන් සිය දැනුම සමග ශ්‍රමයද කැප කළාවූ විද්වතියන් දෙදෙනකු වන ඔවුන් ඉහත මහාචාර්යවරයාගේ කතාවට ඍජුව පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

නැහැ. ලංකාවේ භූමියේ ආසනික්‌ තිබෙන බවට මෙතෙක්‌ කිසිදු ආකාරයකින් අනාවරණය වී නැහැ. ඒ සම්බන්ධයෙන් භූ විද්‍යාත්මකව තහවුරු වීත් නැහැ. අවම තරමින් මෙරට භූගතව ආසනික්‌ තිබෙන බවට මෙතෙක්‌ කිසිම විද්‍යාත්මක වාර්තාවක්‌ හෝ ඉදිරිපත්ව නැහැ.

සාමාන්‍යයෙන් කිසියම් භූමියක භූගත ආසනික්‌ තත්ත්වයක්‌ ඇති වීමට බලපාන සාධක කිහිපයක්‌ තිබෙනවා. ගිනි කඳු පිපිරීම් සිදුවන ප්‍රදේශවල, ඉතා ගැඹුරු උණු දිය උල්පත් තිබෙන ප්‍රදේශවල සහ රත්‍රන් පතල් ආදී ලෙසින් ඉතා ගැඹුරු පතල් කැණීම් සිදුවන ප්‍රදේශවල එසේ විය හැකියි.

එසේ වන්නේ සිදුවන ක්‍රියාදාමය තුළ පාෂාණවල ඇති ආසනික්‌ අපද්‍රව්‍යයක්‌ ලෙසින් මතුවීම හේතුවෙන්. එහෙත් ශ්‍රී ලංකාවේ ගිනි කඳු පිපිරීම්, ඉතා ගැඹුරින් මතුවන උණුදිය උල්පත් හෝ ගැඹුරින් සිදුවන පතල් කර්මාන්ත නැහැ. ඉතින් කොහොමද මෙරට භූමියෙන් ආසනික්‌ තත්ත්වයක්‌ මතුවෙන්නේ.

මෙහිදී පැහැදිලිවම කිවයුතු කරුණක්‌ තිබෙනවා. ඒ තමයි අප රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණවලදී රජරට බිමේ ආසනික්‌ තැන්පත් වී තිබුණේ මතුපිට භූමියේ පමණක්‌ බව තහවුරු වීම. භූමියේ අඩියෙන් අඩිය ගැඹුරට යමින් අප ඒ පර්යේෂණය සිදු කළා.

එහිදී හොඳින්ම පෙනී ගියා ගැඹුරට යන්නට යන්නට ආසනික්‌ ප්‍රමාණය අවම වන බව. අඩි පහළව, විස්‌ස වගේ ගැඹුරු මට්‌ටම්වලදී ආසනික්‌ මුලද්‍රව්‍ය තිබුණේම නැති තරම්. ඉතින් ශ්‍රී ලංකාවේ භූගත ආසනික්‌ තත්ත්වයක්‌ තිබෙනවා නම් අපේ පර්යේෂණයේදී ගැඹුරට යනවිට පවතින ආසනික්‌ ප්‍රමාණය අවම වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාවේ භූගතව ආසනික්‌ නිර්මාණය වී තිබෙනවා නම් එලෙස ගැඹුරට පරීක්‍ෂා කිරීමේදී ආසනික්‌ මට්‌ටම අවම වීමක්‌ කෙසේවත් සිදුවිය නොහැකියි. මේකයි ඔය කියන මහාචාර්යවරයාගේ කතාවට දෙන්න පුළුවන් පැහැදිලි පිළිතුර.

අනික මතුපිට භූමියේ ආසනික්‌ තිබීම සහ ගැඹුරට යැමේදී අවම වීම යන කරුණ තුළින් සෘජුවම ගම්‍ය වන්නේ කිසියම් ක්‍රියාකාරකමක්‌ හේතුවෙන් රජරට බිමට ආසනික්‌ එකතු වූ බවයි. ඒ ක්‍රියාකාරකම තමයි රජරට ගොවීන් වසර ගණනාවක්‌ තිස්‌සේ ඉහළ ආසනික්‌ ප්‍රමාණයක්‌ අඩංගු කෘෂි රසායන භාවිතා කිරීම.

අපි මේ පර්යේෂණය සඳහා යොදා ගත්තේ රජරට කුඹුරු යායක්‌ සහ පදවිය වැවේ භූමිය කියන ස්‌ථාන. ඒ හැම පර්යේෂණයකදීම ලැබුණේ එකම පිළිතුර. මතුපිට භූමියේ ආසනික්‌ හමු වුණාට ගැඹුරට යද්දී ඒක එහෙම වුණේ නැහැ.

මේ විෂෙන් මියයන්නේ අපේ ජනතාව. රෝගීන් වෙන්නේ අපේ ජනතාව. මේක ජාතික ගැටලුවක්‌. අපේ පෞද්ගලික ප්‍රශ්නයක්‌ නෙමෙයි. අන්න ඒ නිසා අපි මේ ප්‍රශ්නයේදී එක එක මත ප්‍රකාශ කරන ඔය ආචාර්ය මහාචාර්ය හැමෝගෙන්ම ඉල්ලනවා, මේ ගැටලුව හඳුනාගන්න කියලා. අපි ඉගෙන ගත්තේ රටට සේවයක්‌ කරන්න. එනිසා රටම විනාශ වෙන බව දැන දැනත් පටු ආත්මාර්ථ ඉදිරියේ රටත් ජනතාවත් අමතක කිරීම අපේ අතින් සිදු නොවිය යුතුයි.

ඊළඟ කරුණ තමයි රජරට වකුගඩු රෝගයට හේතුව ෆ්ලෝරයිඩ් කියන එක. ඒකෙත් කිසිදු සත්‍යතාවක්‌ නැහැ. රජරට ජලයේ ෆ්ලෝරයිඩ් තිබෙන බව ඇත්තක්‌. නමුත් ලංකාවේ මොණරාගල, හම්බන්තොට, වැල්ලවාය, යාපනය ආදී ප්‍රදේශවල ජලයේත් ෆ්ලෝරයිඩ් තිබෙනවා. ඒත් ඒ ප්‍රදේශවල රජරට වගේ වකුගඩු රෝගීන් හමුවන්නේ නැහැ. ඒ වගේම රජරටත් අධීකව ෆ්ලෝරයිඩ් තියෙන සමහර ප්‍රදේශවල රෝගීන් නැහැ.

මෙරට ෆ්ලෝරයිඩ් සිතියම හා රෝගීන් හමුවන ආකාරය නිරීක්‍ෂණය කිරීමේදී මේ තත්ත්වය හොඳින් පැහැදිලි වෙනවා. අනෙක මේ වෙනකම් කෙරී ඇති කිසිම ජාත්‍යන්තර පර්යේෂණයකදී සනාථ වී නැහැ වකුගඩු රෝග සඳහා ෆ්ලෝරයිඩ්වල ඍජු බලපෑමක්‌ තිබෙන බවට. ඉතින් රජරට වකුගඩු රෝගයට ෆ්ලෝරයිඩ් සාධකයක්‌ වෙන්නේ කොහොමද?

අප කළ පර්යේෂණයේදී පෙනී ගිය අනෙක්‌ කාරණය තමයි කිසියම් පෝෂක ද්‍රව්‍යයන් රඳවා ගැනීමේදී රජරට පසේ ඊට ඇති හැකියාව. ලංකාවේ භූමියේ විවිධ පස්‌ වර්ග තිබෙනවා. රජරට පවතින්නේ රතු දුඹුරු පස. එය ඉතා සාරවත් පසක්‌. ඒ රතු දුඹුරු පසේ ආසනික්‌ වැනි දේ ර¹ පවතිනවා කියලා මේ වන විට ජාත්‍යන්තර මට්‌ටමින් තහවුරු වී තිබෙනවා.

මෙන්න මේ රතු දුඹුරු පස, රජරට ප්‍රදේශයේ ජලයේ පවතින අධික කිවුල් බව සහ කෘෂිරසායන සමග ඒ බිමට එකතු වෙන ආසනික්‌ ඇතුළු මාරාන්තික විෂ තමයි අද ඒ ජනතාව වකුගඩු රෝගීන් බවට පත්වී මියයැමට ප්‍රබලම සාධකය වී තිබෙන්නේ.

කිවුල් ජලය තිබෙන්නේ සහ කෘෂි රසායන භාවිත කරන්නේ රජරට විතරද කියලා දැන් කෙනෙක්‌ තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව්. මෙරට අම්පාර ආදී තවත් ප්‍රදේශ කිහිපයක කිවුල් ජලය පවතිනවා. නමුත් ඒ ප්‍රදේශවල තිබෙන්නේ රතු දුඹුරු පස නොවෙයි. එනිසයි එම ප්‍රදේශවලින් වකුගඩු රෝගීන් මේ විදිහට වාර්තා නොවෙන්නේ. කෘෂි රසායන භාවිත කළාට එම ප්‍රදේශවල පසේ ආසනික්‌ වැනි විෂ රැඳෙන්නේ නැහැ. මේකයි නියම තත්ත්වය.

මේ ගැටලුවට විසඳුමක්‌ ලබාදෙන ගමන් මෙරටට ආනයනය කරන කෘෂි රසායනවල තත්ත්වය පිළිබඳ අප සැළකිලිමත් නොවුණහොත් අනාගතයේදී රතු දුඹුරු පස පවතින තවත් ප්‍රදේශවලත් රජරට වගේ තත්ත්වයක්‌ නිර්මාණය විය හැකියි. මුලතිව් පැත්ත දැනට ඒ අයුරින් අප හඳුනාගෙන තිබෙන ප්‍රදේශයක්‌. මොකද ඒ ප්‍රදේශයේ තිබෙන්නෙත් රතු දුඹුරු පසමයි.

මෙතෙක්‌ ඒ ප්‍රදේශවල මෙවන් තත්ත්වයක්‌ ඇති නොවීමට හේතු වුණේ පසුගිය කාලයේ පැවැති යුදමය ගැටුම් සමග කෘෂි රසායන භාවිත කරමින් ගොවිතැන් කිරීමක්‌ එහි සිදු නොවුණ නිසයි. මේ හැමදේම අප පර්යේෂණයෙන් පස්‌සේ පැහැදිලි කළා. ඒත් කණගාටුවට කරුණ කවුරුවත් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ.

අද කවුරු කොහොම කිව්වත් ශ්‍රී ලංකාවේ භාවිත වන පොහොරවල ආසනික්‌ අඩංගු බව මීට පෙර අවස්‌ථාවක මහාචාර්ය රොහාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක්‌ කළ පර්යේෂණයකදීත් අනාවරණය කරලා තිබුණා. අවාසනාව වුණේ කවුරුවත් ඒ පිළිබඳ අවධානය යොමු නොකරපු එකයි.

පසුගිය කාලයේ රජරට වකුගඩු රෝගය පිළිබඳ පරීක්‍ෂා කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක වුණා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා. ඊට වෙන් කෙරුණු මුදල ඇමරිකන් ඩොලර් මිලියන හාරසියයක්‌. ඒ සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන දහනවයක්‌ යෙදවූවා.

මෙකී මුදල් කුට්‌ටි පිටින් ගිලමින් රට සවාරි ගිය ඇතැම් මහාචාර්යවරියන් කෘෂි රසායන ත්‍රස්‌තවාදීන්ට කත් ඇද රටම අන්දවා ඇති අයුරු පිළිබඳවද කියන්නට අප සතුව ඕනෑ තරම් කරුණු තිබේ. එහෙත් අපි ඒවා දැනට හෙළි නොකරන්නෙමු. ඒ මතු ප්‍රයෝජනයට අවැසි වන බැවිනි.

"ඒ ව්‍යාපෘතියට අනුව අදාළ පරීක්‍ෂණ කළෙත් අද කෘෂි රසායනවල පැත්ත අරගෙන කතා කරන මේ වගේ සමහර මහාචාර්යවරුන් සහ මහාචාර්යවරියන්මයි. ඒත් ඔවුන් නියම දේ සොයා බැලුවේ නැහැ. මේ පර්යේෂණවල ප්‍රගතිය පිළිබඳ පසුගිය 2011 ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්‌වීමක්‌ පැවැතුණා. ඒකටත් ගියේ ඔය මහාචාර්යවරුන්මයි. නමුත් අපිත් එදා ඔවුන්ට රහසේ ඒ රැස්‌වීමට ගියා.

එතැනදී අපි කිව්වා රජරට ගිලගන්න මාරයා කෘෂි රසායන සමග එන ආසනික්‌ ඇතුළු වස විෂ බව. අපි ඒක කිව්වහම මේ මහාචාර්යවරු එදා එතැනදීත් කෑගහන්න ගත්තා අපි කියන්නේ බොරු කියලා. ඒත් ලෝක සෞඛ්‍ය සංවිධානය එහිදී තීරණය කළා ඔවුන්ගේ පැත්ත නොගෙන අපි කියන දේ පිළිබඳව පර්යේෂණ කරන්න. ඒ පර්යේෂණ වාර්තා තමයි අද එළි දක්‌වලා තිබෙන්නේ. ඒ පර්යේෂණ අනුව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය අද තහවුරු කරන්නේ රජරට වකුගඩු රෝගයට හේතුව ශ්‍රී ලංකාවේ භාවිත කරන කෘෂි රසායනවල ඇති ආසනික්‌, කැඩ්මියම් ඇතුළු වස විෂ කියලා.

වරක්‌ අගමැති කාර්යාලයේ තිබුණ සාකච්ඡාවකදී පවතින තත්ත්වය හොඳින් පැහැදිලි කරමින් අපි කිව්වා රජරට තිබෙන අධික කිවුල් ජලය සමග ආසනික්‌ මිශ්‍රවීමෙන් ඇතිවන කැල්සියම් ආසනේට්‌ තත්ත්වය නිසයි මේ වකුගඩු රෝගය පැතිරෙන්නේ කියලා. එතැනදීත් ඔය මහාචාර්යවරු කිව්වේ කැල්සියම් ආසනේට්‌ වතුරේ දිය වෙන්නේ නැහැ කියලා. ඒත් එදා අපි මේ මහාචාර්යවරුන්ට විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්නුවා ඒ දේ වෙන ආකාරය.

ඒත් ඔවුන් පිළිගත්තේ නැහැ. මේකට කියන්නේ අධිපතිවාදය කියලා. නමුත් දවස්‌ දෙකකට සැරයක්‌ වකුගඩු රෝගයෙන් එක මනුෂ්‍යයෙක්‌ මිය යන රටක විය යුත්තේ ඒකද? කළ යුත්තේ තමන් හරි කියමින් මුදුණා වෙන්නට යැමද? මේ මාරක තත්ත්වයට පැහැදිලිවම විසඳුම් තිබෙනවා. ඇයි වගකිවයුත්තන් ඒ ගැන අවධානය යොමු නොකරන්නේ. රජරට මිනිස්‌සු අද ලෙඩවෙලා ඉන්නේ අපි වෙනුවෙන් ගොවිතැන් කලරා. ඒ නිසා අපි මේකට විසඳුමක්‌ දිය යුතුමයි.

මෙතනදී තව එකක්‌ කිව යුතුයි. නොයෙක්‌ විජාතික බලපෑම් සමග අපේ මිනිස්‌සුන්ට අපේකම, අපේ ගොවිතැන අමතක වුණා. ඒ පාරම්පරික දේ අමතක කිරීමේ විපාකයි අද අපි මේ විඳවන්නේ.

මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය සහ මහාචාර්ය මාලා අමරසිංහ මහත්මිය අප කළ විමසීමට අනුව රජරට වකුගඩු මාරයා පිළිබඳ සැබෑ යථාර්ථය පැහැදිලි කරන්නට වූයේ එලෙසිනි. ආණ්‌ඩුවේ වගකිවයත්තනි මේ යක්‍ෂයා කොතරම් බියකරුද?

ප්‍රභාකරන් අප වැනසූ අතීතයේ ඌට කඩේ ගියවුන්ද මේ බිමේ සිටියේය. එහෙත් අවසානයේ සියල්ල පරදා ප්‍රභාකරන්ගෙන් රටත් ජාතියත් මුදා ගන්නට ජනාධිපතිවරයාට හැකි විය.

ඉහත කී මුග්ධ මහාචාර්ය, ආචාර්ය රැළ අද කරමින් සිටින්නේද එදා ප්‍රභාකරන්ට කඩේ ගිය වුන් කළ දේ හා සමානම කාර්යයක්‌ වන්නේය. කථාව එසේනම් ජනපතිතුමනි මේ ත්‍රස්‌තවාදයෙනුත් රටත් ජනතාවත් ගලවා ගන්නට ඔබට හැකි නොවේද?

ලෝක පූජිත විද්‍යාඥයකු වූ ශ්‍රීමත් අයිසෙක්‌ නිව්ටන් මහතා වරක්‌ මෙසේ කියා තිබේ. ස්‌වභාවධර්මයා විස්‌තර කිරීම එක්‌ මිනිසකුට තබා එක යුගයකටවත් කළ නොහැක්‌කකි... එබැවින් අප කළ යුත්තේ අපට කළ හැකි දෙය නිවැරදිව කර අන් අයටද නිවැරදිව කිරීමට යමක්‌ ඉතුරු කිරීම වන්නේය...

අධිපතිවාදයෙන් පෙළෙමින් මාරයාට බිලිවන මිනිසුන්ගේ මළකඳන් ගණනට මල්ල පුරවා ගැනීමට හදන ඉහතකී මුග්ධ පැළැන්තියේ මහාචාර්ය විද්වතුනි. මේ කථාව අවබෝධ කර ගැනීමටවත් නුඹලාගේ මොලගෙඩි තුළ යම ඉඩක්‌ මතු වන්නේ නම් එය ජාතියේ වාසනාවක්‌ම බවද අවසානයට කිව යුතුව ඇත.

සමන් ගමගේ - ඉරිදා දිවයින