Saturday, June 30, 2012

2වෙනි තරගය මහේලගේ පිටියේදීම අද

පාකිස්‌තානය සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලියේ දෙවැනි තරගයට අද (30 දා) කොළඹ එස්‌. එස්‌. සී. පිටියේදී අවතීර්ණ වේ.
ශ්‍රී ලංකා කණ්‌ඩායම අවසන් වසර 3 ක කාලයේදී එතෙරදී හෝ මෙතෙරදී ටෙස්‌ට්‌ තරගාවලි ජයක පහස විඳ නොමැති නමුත් පාකිස්‌තානය සමග පැවැති පළමු තරගයෙන් දිනයක්‌ ඉතිරිව තිබියදීම ලකුණු 209 කින් ජය ගැනීම මත අද තරගාවලියට පිවිසෙන්නේ තරගාවලිය 1-0 ක්‌ ලෙස ජයග්‍රාහී ස්‌ථාවරත්වයක සිටය. එම තත්ත්වය මත පල්ලකැලේ තරගයට පෙර අද ආරම්භ වන තරගය ජය ගනිමින් තරගාවලිය 2-0 ක්‌ ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිය උපරිම උත්සාහය යෙදීමට වග බලා ගත යුතුය.
ලොව සුපිරි පිට දඟ පන්දු යවන්නා වශයෙන් සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමට පෙර 2009 වසරේ නවසීලන්තයත් සමග පැවැති තරගාවලිය ශ්‍රී ලංකාව අවසන් වතාවට ජය ගත් (2-0) ටෙස්‌ට්‌ තරගාවලිය විය. ඉන්දීය කණ්‌ඩායම සමග 2010 වසරේ ගාල්ලේදී පැවැති තරගය මුරලිදරන්ගේ සමුගැනීමේ ටෙස්‌ට්‌ තරගය වූ අතර එම තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත් අනතුරුව පී. සරා පිටියේ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම මත තරගාවලිය 1-1 ක්‌ ලෙස අවසන් විය.
ගාල්ල ක්‍රීඩාංගණය මෙන් එස්‌. එස්‌. සී. ක්‍රීඩා පිටියද ශ්‍රී ලංකාවට වාසිදායක ක්‍රීඩා පිටියක්‌ බව අවසන් වරට එම පිටියේදී ශ්‍රී ලංකාව තරග වැදි වාර්තා නිරීක්‍ෂණය කිරීමේදී දැකගත හැක. ශ්‍රී ලංකාව මෙම පිටියේදී අවසන් වරට පරාජයට පත්ව ඇත්තේ 2004 වසරේ ඔස්‌ට්‍රේලියාව සමග පැවැති තරගයේදීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්‌ඩායම එස්‌. එස්‌. සී. පිටියේදී ටෙස්‌ට්‌ තරග 11 කට ක්‍රීඩා කොට ඇති අතර එහිදී හය වතාවක්‌ ජය ගැනීමට සමත් වීම අදාළ වාසිදායක තත්ත්වය බවට හොඳම නිදසුන ලෙස ගත හැක.

දුර්වල විනිසුරු තීරණ 14 ක්‌ හේතුවෙන් ගාල්ල තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකාව සතු වුවද මෙම තරගයේදී එවැනි කිසිදු අවස්‌ථාවක්‌ පාකිස්‌තානය හමුවේ ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වග බලා ගත යුතුවීම අනිවාර්ය වේ. එමෙන්ම පළමු ටෙස්‌ට්‌ තරගයට ක්‍රීඩා කිරීම තහනම් වුණු පාකිස්‌තානු කණ්‌ඩායමේ නිත්‍ය නායක මිස්‌බා උල් හක්‌ද මෙම තරගයේදී පාකිස්‌තානු කණ්‌ඩායමට නැවත එක්‌ වීමද ශ්‍රී ලංකාවට එල්ල වන තවත් අභියෝගයක්‌ ලෙස සැලකිය හැක. මිස්‌බා කණ්‌ඩායමට නැවත පැමිණීම මත පළමු තරගයේදී ටෙස්‌ට්‌ වරම් ලද මොහොමඩ් ආයුබ්ට අද තරගයේ ස්‌ථාන අහිමිව යනු ඇත. එමෙන්ම ජුනයිඩ් ඛාන් වෙනුවට මොහොමඩ් සමීව ක්‍රීඩා කරවීමේ අදහසක්‌ද පාකිස්‌තානුවන් සතුව පවතිනු ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායමෙත් අද තරගයේදී එක්‌ වෙනස්‌කමක්‌ බලාපොරොත්තු විය හැකි අතර පළමු තරගයේදී සිය මංගල කඩුල්ල දවා ගත් නුවන් ප්‍රදීප්ට විවේකයක්‌ ලබාදී ඔහු වෙනුවට තරග කිරීමේ අවස්‌ථාව තිසර පෙරේරාට හෝ දිල්හාර ප්‍රනාන්දුට හිමිවනු ඇත.
මෙම තරගයේදී අපේ උපරිමය යෙදිය යුතුයි. වේග පන්දු යවන්නන් පිළිබඳ වෙනසක්‌ කරනවාද නැද්ද කියන එක තවම තීරණය කරලා නැහැ. තිසර නැගී එන ක්‍රීඩකයෙක්‌. අත්දැකීම් අතින් දිල්හාර ඉදිරියෙන් ඉන්නවා. ඩර්බන්හි අපි ජය ගත්ත තරගයෙදීත් දිල්හාර විශාල කාර්යභාරයක්‌ ඉටු කළ ක්‍රීඩකයෙක්‌. කොහොම වුණත් උදෑසන තණතීරුව නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව කුලසේකර සමග ක්‍රීඩා කරන අනෙක්‌ වේග පන්දු යවන්නා කවුද කියල තිරණය කරනවා යනුවෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පැවැසීය.
දෙවැනි ටෙස්‌ට්‌ තරගය සඳහා සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 15 දෙනාගෙන් ක්‍රීඩකයන් සිව් දෙනකුගේම මව් ක්‍රීඩාංගණය වන්නේ එස්‌. එස්‌. සී. ක්‍රීඩා පිටිය වීමද ඔවුන්ට අද තරගයේදී අතිරේක වාසියක්‌ ගෙන දෙන්නක්‌ වී තිබේ. නායක මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, තරංග පරණවිතාන සහ දිල්හාර ප්‍රනාන්දු එස්‌. එස්‌. සී. ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයෝ වෙති. ක්‍රීඩාංගණයේ වාසියද දිල්හාරට හිමිවීම මත තිසර පෙර්රාට වඩා අද තරගයට ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩකඩක්‌ ඔහු වෙනුවෙන් පවතියි.
ලොව පිතිකරුවන් අතර තනි ක්‍රීඩාංගණයකදී වැඩිම ලකුණු රැස්‌ කළ ක්‍රීඩකයාගේ වාර්තාවට එස්‌. එස්‌. සී. පිටියේදී හිමිකම් කියන මහේලට අද තරගය තරමක්‌ සුවිශේෂීතාවක්‌ උසුලනු ඇත. එස්‌. එස්‌. සී. පිටියේදී මුළු ලකුණු 2697 ක්‌ රැස්‌ කරගෙන ඇති මහේල ටෙස්‌ට්‌ තරගයකදී ශ්‍රී ලංකාව මෙහෙයවනු ලබන 32 වැනි අවස්‌ථාව මෙය වන අතර මෙම තරගයෙන් ජය ලද හොත් ශ්‍රී ලංකාවට වැඩිම ටෙස්‌ට්‌ තරග සංඛ්‍යාවක ජය ලබා දී තිබෙන සනත් ජයසූරිය සමගින් සම තැන් ගැනීමේ අවස්‌ථාව ඔහුට හිමිවනු ඇත. ජයසූරිය මෙහෙයවන ලද ටෙස්‌ට්‌ තරග 38 කදී තරග 18 ක ජය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන අතර මහේල මේ වන විටත් ටෙස්‌ට්‌ තරග 31 කදී තරග 17 ක ජය ශ්‍රී ලංකාවට හිමිකර දී තිබේ. එහෙත් ජයග්‍රාහී ප්‍රතිශතය අනුව මහේල, සනත් ජයසූරියට වඩා ඉදිරියෙන් පසුවේ.
මහේලට පසු එස්‌. එස්‌. සී. පිටියේදී වැඩිම ලකුණු වාර්තා කළ ක්‍රීඩකයා වන්නේ කුමාර් සංගක්‌කාර වන අතර ඔහුට ලකුණු 2000 සීමාව පසුකර යැමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 57 ක්‌ පමණි. සංගක්‌කාරට ඉදිරියෙන් මහේල ජයවර්ධන(එස්‌. එස්‌. සී. 2697 සහ ගාල්ල 2193) ජැක්‌ කලිස්‌ (2098) සහ ග්‍රැහැම් ගුච් (2015) එක්‌ ක්‍රීඩාංගණයක වැඩිම ලකුණු රැස්‌ කළ පිතිකරුවන් බවට පත්ව සිටිති.
මෙහිදී පාකිස්‌තානු නායක මිස්‌බා උල්හක්‌ද අදහස්‌ දක්‌වමින්, zමේක අලුත් තරගයක්‌. පෙර තරගයට වුණ දේ ගැන හිතලා වැඩක්‌ නැහැ. අපි මේ තරගයට හොඳින් ක්‍රීඩා කොට ශ්‍රී ලංකාවට තරගයක්‌ ලබාදිය යුතුයි. යනුවෙන් පැවැසීය.

Friday, June 29, 2012

පකිස්ථානය review ඉල්ලයි

සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ විනිසුරු තීරණ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. පාකිස්ථානු කණ්ඩායමේ කළමනාකාර නවිඞ් චීමා සහ පුහුණුකරු ඬේව් වට්මෝර් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ඬේවිඞ් බුන්ටයි. එහි පිටපතක් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වෙත ද යොමුකර තිබෙනවා. පළමු ටෙස්ට් තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික ඉයන් ගෝඞ් සහ ඔස්ටේ‍්‍රලියානු ජාතික ස්ටීව් ඬේවිස් වැරදි තීරණ 10 ත් 12 ත් අතර ප‍්‍රමාණයක් ලබාදී ඇති බව මෙම පැමිණිල්ලේ සඳහන්. මෙම තත්ත්වය තුළ තරගාවලියේ ඉතිරි තරග සඳහා විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීමේ ක‍්‍රමවේදය අවශ්‍ය බව ද පාකිස්ථානය ඉල්ලීමක් කර තිබෙනවා.


පාකිස්ථානය සමග සෙනසුරාදා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා 15දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද නම් කළේය.
ආබාධයකට ලක්ව සිටි චානක වෙළගෙදර වෙනුවට වේග පන්දුයවන ක්‍රීඩක දිල්හාර ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබේ.පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ අනෙක් සියලු ක්‍රීඩකයින් දෙවැනි තරගයට ඇතුලත්ය.
ඒ අනුව සංචිතය මෙසේය.


01- මහේල ජයවර්ධන (නායක)      
02- ඇන්ජලෝ මැතිව්ස් (උප නායක)
03- කුමාර් සංගක්කාර
04- දිනේෂ් දන්දිමාල්
05- ටී.එම්.ඩිල්ෂාන්
06- නුවන් ප්‍රදීප්
07- දිල්හාර ප්‍රනාන්දු
08- රංගන හේරත්   
09- සුරාජ් රන්දිව්    
10- ජීවන් මෙන්ඩිස්   
11- තිසර පෙරේරා   
12- තිලාන් සමරවීර   
13- තරංග පරණවිතාන
14- නුවන් කුලසේකර
15- ප්‍රසන්න ජයවර්ධන

Thursday, June 28, 2012

SLPL සෑම ක්‍රීඩකයෙකුම ඇමරිකානු ඩොලර් 35000 ක් වෙන්දේසියක් නෑ සමාරම්භක උළෙල 10 වැනිදා

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේ දේශීය සහ විදේශීය ක්‍රීඩකයන්ගේ ජාත්‍යන්තර දක්‍ෂතා සහ පළමු පෙළ තරගාවලි දක්‍ෂතා අනුව ක්‍රීඩකයන් වර්ගීකරණය කිරීමෙන් අනතුරුව කණ්‌ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමට නියමිතව ඇත.
එහිදී පළමු කාණ්‌ඩයට ජාත්‍යන්තර තලයේ විශිෂ්ඨ දක්‍ෂතා දක්‌වන ක්‍රීඩයන්ද දෙවැනි කාණ්‌ඩයට ජාත්‍යන්තර තරගවලදී දක්‍ෂතා දක්‌වා තිබෙන ක්‍රීඩකයන්ද තෙවැනි කාණ්‌ඩයට පළමු පෙළ ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන්ද ඇතුළත් වන බව වාර්තා වේ.
තරගාවලිය නියෝජනය කරන සියලුම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙරට පළමු පෙළ තරගවලදී ගෙවනු ලබන සුලු මිල ගණන් ගෙවීමට යෝජිතව තිබුණද සෑම ක්‍රීඩකයකුටම සාධාරණයක්‌ ඉටු කිරීමේ අරමුණින් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකයන් වන සමර්සෙට්‌ එන්ටර්ටේ්‍රට්‌මන්ට්‌ ආයතනය සෑම ක්‍රීඩකයකු ස්‌ථාන ගතවන කාණ්‌ඩ අනුව (දේශීය සහ විදේශීය) එකම මුදලක්‌ ගෙවීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව වසර තුනක කාළයක්‌ සඳහා පළමු කාණ්‌ඩයට ඇතුළත් සියලුම ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් 35000 බැගින්ද (රු.4725000/} ක්‌ පමණ) දෙවැනි කාණ්‌ඩයට අයත් වන සියලුම ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් 25000 බැගින්ද ගෙවීමට නියමිතව තිබේ. මීට අමතරව තෙවැනි කාණ්‌ඩයට ඇතුළත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් 6000 ක්‌ද තෙවැනි කාණ්‌ඩයට ඇතුළත් වන විදේශීය ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් 10000 බැගින්ද ගෙවීමට නියමිතව ඇත.
ක්‍රීඩකයන් තෝරා ගැනීම ලබන මස 5 සහ 6 වැනි දිනවලදී කුසපත් ඇදීමේ ක්‍රමයක්‌ මගින් කණ්‌ඩායම් හිමිකරුවන් විසින් තෝරා ගැනීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්‌ සහ මුත්තයියා මුරලිදරන් පළමු කාණ්‌ඩයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් වන අතර දෙවැනි කාණ්‌ඩයට දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, තිසර පෙරේරා, සුරාඡ් රන්දිව්, ජීවන්ත කුලතුංග, නුවන් කුලසේකර, ළහිරු තිරිමාන්න සහ චාමර සිල්වා ඇතුලු ක්‍රීඩකයන් මේ වන විට තෝරාගෙන ඇති බව වාර්තා වේ. මේ දිනවල ජාතික කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ නොමැතිව සිටින එහෙත් ඉකුත් කාලවලදී ජාත්‍යන්තර තරගවලදී දක්‍ෂතා දක්‌වා ඇති ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ද දෙවැනි කාණ්‌ඩයට තෝරා ගෙන ඇත.

ඔස්‌ට්‍රේලියාවේ බ්‍රෙට්‌ ලී, පාකිස්‌තානයේ ෂහිඩ් අප්රීඩි, උමාර් අක්‌මාල්, සයිඩ් අඡ්මාල්, මොහොමඩ් හපීස්‌ට අමතරව දකුණු අප්‍රිකානු, එංගලන්ත, නවසීලන්ත, බංග්ලාදේශ්, සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්ත, අයර්ලන්ත සහ නෙදර්ලන්ත ක්‍රීඩකයන්ද පළමු, දෙවැනි සහ තෙවැනි කාණ්‌ඩ යටතේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව ඇත.
මීට අමතරව සෑම කණ්‌ඩායමකම ප්‍රධාන පුහුණුකරු ලෙස විදේශී පුහුණුකරුවන් කටයුතු කරන අතර සහය පුහුණුකරුවන් සියලු දෙනා ශ්‍රී ලංකාවෙන් තෝරා ගෙන තිබේ.
තරගාවලිය නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍රවල මිල රු. 50, 100, 500 සහ 1000 වශයෙන් වන අතර එහිදී සෑම තරගයකම විවේක කාලය අතුරතුරදී නරඹන්නන් සඳහා දිනුම් ඇදීමකින් යතුරු පැදියක්‌ ත්‍යාග වශයෙන් පිරිනැමීමටද යෝජිතව තිබේ.
වැඩිම වටිනාකම වයඹ වුල්ව්ස්‌ කණ්‌ඩායමට
තරගාවලිය නියෝජය කරන කණ්‌ඩායම් හත අතරින් වැඩිම වටිනාකම වයඹ වුල්ව්ස්‌ කණ්‌ඩායමට හිමිව ඇති අතර එම කණ්‌ඩායම ඇමරිකානු ඩොලර් මිලියන 5.02 ක මුදලකට අළෙවි වී ඇති බව වාර්තා වේ. එමෙන්ම අවම වටිනාකම හිමි කණ්‌ඩායමට බවට නැගෙනහිර නාගාස්‌ කණ්‌ඩායම පත්ව ඇති අතර එම කණ්‌ඩායම ඇමරිකානු ඩොලර් මිලියන 2.02 කට අළෙවි වී තිබේ. මීට අමතරව කඳුරට කිඩ්ස්‌ (ඇ.ඩො.මි.4.98), රුහුණ රයිනෝස්‌ (ඇ.ඩො.මි. 4.06), උතුර ඔරෙක්‌ස්‌ (ඇ.ඩො.මි. 3.04), ඌව යුනිකෝන් (4.06), සහ බස්‌නාහිර බෙයාර් (4.33) වශයෙන් අළෙවි වී ඇති බව වාර්තා වේ.

නවතම වාර්තා අනුව එස්‌.එල්.පී.එල්. තරගාවලියේ සමස්‌ථ කණ්‌ඩායම් හත අළෙවි වී ඇති මිල ගණන්වල එකතුව ශ්‍රී ලංකා රුපියල් 473,850,0000 කට පමණ (දළ වශයෙන් හාරසිය හැත්තෑ තුන් කෝටි අසූ පන් ලක්‍ෂයක්‌ පමණ) අළෙවි වී ඇත.
සමාරම්භක උළෙල 10 වැනිදා සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේදී
අගෝස්‌තු මස 10 වැනි දින ප.ව. 5.00 සිට පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා භාතිය, සන්තුෂ් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන්ට අමතරව ඉන්දියානු ගායක ගායිකාවන් කිහිපදෙනෙකුද සහභාගි වීමට නියමිතය.
තරගාවලිය ලොව පුරා රටවල් 10 කට අධික සංඛ්‍යාවක්‌ සඳහා සජීවීව නැරඹීමේ අවස්‌ථාව එස්‌.එල්.පී.එල්. තරගාවලියේ නිල රූපවාහිනී විකාශන හිමිකරු වන එස්‌.ඊ.ටී. ආයතනය බලපොරොත්තු වේ.

Wednesday, June 27, 2012

BPL වලටත් වඩා අඩු මුදලකට SLPL කණ්‌ඩායම් හතම විදේශිකයින් මිලදි ගනී

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලිය නියෝජනය කරන කණ්‌ඩායම් හත මිලදී ගැනීම සඳහා වූ අවසන් දිනය පෙරේදා (25 දා) අවසන් වූ අතර එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 4.3 ක මුදලකට (ආසන්න වශයෙන් රු. 576 200 000) කණ්‌ඩායම් හතම අළෙවි වී ඇත.

කණ්‌ඩායම් හතම විදේශීය ගැනුම් කරුවන් විසින් මිලදී ගෙන ඇති අතර අදාළ කණ්‌ඩායම් සඳහා වන අයිතිය වසර හතකින් පසුව නැවතත් ගැනුම් කරුවන් විසින් අලුත් කළ යුතු බව වාර්තා වේ.

ලබන අගෝස්‌තු 11 වැනිදා සිට 31 වැනිදා දක්‌වා කොළඹ ආර්. ප්‍රේදාස ක්‍රීඩාංගණයේදී සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණවල තරගාවලිය පැවැත්වීමට නියමිත අතර සමස්‌ත තරගාවලියට තරග 24 ක්‌ ඇතුළත් වෙයි.

තරගාවලිය සඳහා දේශීය සහ විදේශිය ක්‍රීඩකයන් කාණ්‌ඩ දෙකක්‌ යටතේ කණ්‌ඩායම් ගත කිරීමට නියමිත අතර ක්‍රීඩකයන් සඳහා ලන්සු තැබීම ලබන ජූලි 5 - 6 දිනවලට යොදා ඇත. මේ සඳහා දේශීය ක්‍රීඩකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක්‌ සහභාගි කරවීමට නියමිතව ඇත.

තරගාවලියේ සමාරම්භ උළෙල ලබන 10 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර තරගාවලිය නියෝජනය කරන විදෙස්‌ ක්‍රීඩකයන් ප්‍රමාණය උපරිමය එක්‌ කණ්‌ඩායම සය දෙනකු වශයෙන් 35 ක්‌ පමණ වනු ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආරංචි මාර්ග අනුව තරගාවලිය නියෝජනය කරන විදෙස්‌ ක්‍රීඩකයන් තම සහභාගීත්වය මෙතෙක්‌ සනාථ කර නොමැත. ඉන්දීය ජාතික කණ්‌ඩායම නියෝජනය කරන ප්‍රධාන ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයද අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වේ.

තරගාවලිය සඳහා කඳුරට කිඩ්ස්‌, නැගෙනහිර නාගාස්‌, රුහුණ රයිනෝස්‌, උතුර ඔරෙක්‌ස්‌, ඌව යුනිකෝන්, වයඹ වුල්ව්ස්‌ සහ බස්‌නාහිර බෙයාර් යන නම්වලින් කණ්‌ඩායම් නම් කර ඇත.

එස්‌.එල්.පී.එල්. තරගාවලියේ කණ්‌ඩායම් හත ඇමරිකානු ඩොලර් මිලියන 4.3 කට අළෙවි වුවද පළමු වරට පැවැත්වූ ඉන්දියානු ප්‍රිමියර් ලීග් පන්දුවාර 20-20 තරගාවලියේ කණ්‌ඩායම් අට ඇමරිකානු ඩොලර් මිලියන 723 කට අළෙවි වී ඇති බවත් පළමු වරට බංග්ලාදේශයේ පැවැත්වූ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්‌ඩායම් හය ඇමරිකානු ඩොලර් මිලියන 6.49 කට අළෙවි වී ඇති බවත් වාර්තා පෙන්වා දෙයි.

Tuesday, June 26, 2012

ක්‍රිකට්‌ ඉතිහාසයේ පාකිස්‌තානයට ඉරෙහිව ඉහළම ටෙස්‌ට්‌ ජයග්‍රහණය ඊයේ වාර්තා කරයි

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේදී පාකිස්‌තානය පරදවා ලකුණු 209 ක දැවැන්ත ජයක්‌ වාර්තා කළ ශ්‍රී ලංකා කණ්‌ඩායම තරග 3 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලිය 1-0 ක්‌ වශයෙන් පෙරමුණ ගැනීමට ඊයේ (25 දා) සමත් වූවේය. වසර 30 කට අධික දෙරට අතර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ විසින් පාකිස්‌තානය පරාජය කරන ලද ඉහළම තරග ජයග්‍රහණය මෙය වීමද සුවිශේෂී වෙයි.

මීට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ පාකිස්‌තානයට එරෙහිව වාර්තා කරන ලද ඉහළම තරග ජයග්‍රහණය වූයේ ඉකුත් 2004 වසරේදී ෆයිසලාබාද්හි පැවැති තරගයේදී පරාජය කරන ලද ලකුණු 201 ලකුණු සංඛ්‍යාව විය.

ලකුණු 36 කට කඩුලු 3 ක්‌ අහිමිව තිබියදී ඊයේ දිනය ඇරඹූ පාකිස්‌තානු කණ්‌ඩායමේ පළමු කඩුල්ල ලෙස සයිඩ් අ-මාල්ව (12) දෙවැනි පන්දුවාරයේදීම දුවද්දී දවා ගැනීමකට හසු කර ගැනීමට රන්දිව් සමත්වූවේය. අනතුරුව පිටියට පිවිසි අසාද් ෂµsක්‌ සහ යුනිස්‌ ඛාන් පස්‌වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 151 ක්‌ එක්‌ කිරීමට සමත්වීම මත තරගය පස්‌වැනි දිනය දක්‌වා යැමේ අවදානමක්‌ උදාවූවේය.

ඒ අතරතුර ඔවුන් විසින් ලබා දුන් උඩ පන්දු කිහිපයක්‌ද ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී යැම මත ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ජයග්‍රහණය ප්‍රමාද වුවද දිනයක්‌ ඉතිරිව තිබියදීම පරාජයට පත් නොවී ගෞරවාන්විත පරාජයක්‌ දක්‌වා තරගය රැගෙන ඒම වෙනුවෙන් පාකිස්‌තානු පිතිකරුවෝ දැඩි වෙහෙසක්‌ ගත්හ. එහෙත් ඔවුන්ගේ දක්‍ෂතාවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්‍ෂතා ඉදිරියෙන් තිබීම මත එම උත්සාහයක්‌ ගඟට කැපූ ඉනි මෙන් විය. අවසානයේ පාකිස්‌තානු ඉනිම ලකුණු 300 කදී නිමාවට පත්වූවේය.

පන්දුවාර 80 අවසානයේ දෙවැනි නව පන්දුව ලබා ගැනීමට ශ්‍රී ලංකා නායකයා කටයුතු කිරීමත් සමග යවන ලද පළමු පන්දුවාරයේ පස්‌වැනි පන්දුවෙන් සාර්ථක පල නෙළා ගත් නුවන් කුලසේකර පැය 4 කට වඩා කාලයක්‌ කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට හිසරදයක්‌ව සිටි යුනිස්‌ ඛාන්ව ලකුණු 87 කට දවා ගැනීමට සමත් වූවේය. ඒ වන විටත් 48 වැනි අර්ධ ශතකය වාර්තා කරගෙන සිටි හෙතෙම පන්දු 213 කට මුහුණ දුන් ඉනිමෙන් හත් වතාවක්‌ පන්දුව හතරේ සීමාවෙන් ඔබ්බට යෑවීමට සමත්ව සිටියේය.

දිනයේ ආරම්භය සහ දිවා භෝජනය තෙක්‌ කාලයේදී එක්‌ කඩුල්ලක්‌ පමණක්‌ ලබා දුන්නද තේ පානයට මිනිත්තු කිහිපයකට පෙරදී රංගන හේරත් යෑවූ පන්දුවක්‌ ශµSක්‌ගේ පිත්තේ වැදී උඩ පන්දුවක්‌ ලෙස මහේල ජයවර්ධන රැක ගැනීම මත පාකිස්‌තානු කණ්‌ඩායමේ දෙවැනි කඩා වැටීමට පාදක වූවේය. දැවී යන විටත් පන්දු 165 කට මුහුණ දී සිටි ශµSක්‌ පස්‌වැනි අර්ධ ශතකයද සමගින් ලකුණු 80 ක්‌ රැස්‌ කරගෙන සිටියේය.

පාකිස්‌තානු ලකුණු පුවරුව ලකුණු 55 ක්‌ සටහන්ව තිබියදී හේරත්ගේ පන්දුවක්‌ හමුවේ යුනිස්‌ ඛාන් වයිඩ් මිඩ් ඕµa කලාපයේ පන්දු රකිමින් සිටි ඩිල්ෂාන් අතට උඩ පන්දුවක්‌ ලබා දුන්නද එය රැක ගැනීමේදී පොළොවට ස්‌පර්ෂවී තිබීම මත තවදුරටත් පිටියේ රැඳී සිටීමට හෙතෙම වාසනාවන්ත වූවේය. ඒ අයුරින්ම ෂµSක්‌ද රන්දීව්ගේ පන්දුවක්‌ හමුවේ ෂෝට්‌ මිඩ්විකට්‌ කලාපයේ සිට සංගක්‌කාර දෙසට අසීරු උඩපන්දුවක්‌ ලබා දුන්නද එයද රැකගැනීමට නොහැකි වීම මත ලකුණු 33 කදී අවසන් වීමට නියමිත වූ ඉනිම ලකුණු 80 ක්‌ දක්‌වා ඉහළ දමා ගැනීමේ වරම උදාවිය.

පාකිස්‌තානු කණ්‌ඩායමේ හය වැනි කඩුල්ල ලෙස යුනිස්‌ ඛාන් දැවී යැමත් සමග ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 4 ක්‌ ලබා ගතයුතු වූ නමුත් එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක්‌ වෙමින් කඩුල්ලේ රැඳී සිටීමට අද්නන් අක්‌මාල් සමත්වූවේය. ලකුණු 40 කින් සමන්විත වූ අක්‌මාල්ව දවා ගැනීමට නොහැකි වුවද අනෙක්‌ අන්තයේ කඩුලු දවා ගනිමින් තවත් දිනයකට තරගය රැගෙන යැම වැළැක්‌වීමට රන්දිව් සමත්වූවේය. හෙතෙම පාකිස්‌තානු අවසන් පිතිකරුවන් තිදෙනාවම දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සිව්වැනි දවසේම සැමරීමට දායක වූ ප්‍රධානියා බවට පත්වූවේය. ඔහුට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්‌කම් දැක්‌වූ නුවන් කුලසේකර කඩුලු 3 ක්‌ සහ රංගන හේරත් කඩුලු 2 ක්‌ දවා ගැනීමට සමත්වූහ.

වේග පන්දු යවන නුවන් ප්‍රදීප් පාකිස්‌තානු පිතිකරු මොහොමඩ් අයුබ්ව කඩුල්ල මුවා කිරීමේ වරදක හසුකර ගනිමින් සිය මංගල ටෙස්‌ට්‌ කඩුල්ල දවා ගැනීමට සමත් වූවේය. මංගල ටෙස්‌ට්‌ වරම් දිනා ගැනීමෙන් පසු පන්දු යවන ලද සිව්වැනි ඉනිමේදී අදාළ මංගල කඩුල්ල දවා ගැනීමට ප්‍රදීප් සමත්වීමද කැපී පෙනුණි. මීට පෙර හෙතෙම අබුඩාබිහි පැවැති තරගයේදී ඉනිම දෙකේදීම සහ මෙම තරගයේ පළමු ඉනිමේදීද පන්දු යෑව්වද එකම හෝ කඩුල්ලක්‌ දවා ගැනීමට අපොහොසත් වූවේය.

මෙම තරගයේ වීරයා සම්මානය පළමු ඉනිමේදී ලකුණු 199 ක්‌ ලබා ගත් කුමාර් සංගක්‌කාරට හිමිවූවේය.

Sunday, June 24, 2012

ගාල්ල ලකුණු පුවරුව සංගාට ද්ත්ව ශතකය අහිමි කරයි


ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වැඩි ගෞරව ගෙන දෙමින් පාකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද නිමාවට පත්විය.
අද දිනය අවසන් වනවිට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 48ක් ලබා සිටී.ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිමට ලබාගත් ලකුණු 472ට පිළිතුරු වශයෙනි.අද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9වැනි ද්විත්ව ශතකය ලබා ගැනීමට තිබූ මහඟු අවස්ථාව ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරට අහිමි විය.ඒ ඔහු එක් අන්තයක සිටියදි කණ්ඩායමේ සියලු පිතිකරුවන් දැවීයාම හේතුවෙනි.
 

මේ අතර පාකිස්ථානයේ සයිඩ් අජ්මාල්ට ශ්‍රී ලංකාවේ නුවන් කුලසේකරට හා  සුරාජ් රන්දිව්ට කඩුලු ත්‍රිත්ව දවා ගැනීමට තිබූ අවස්ථා ද මඟ හැරී ගිය අතර අද දිනය තුළ ලකුණු 220කට කඩුලු 13ක් ද දැවීයාම විශේෂත්වයකි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ අද දිනය ආරම්භ වනවිට සිය පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 300ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා ඉණිමේ මුළු ලකුණු ගණන 315ක් වනවිට දිනයේ පළමු කඩුල්ල ලෙස නායක මහේල ජයවර්ධන ලකුණු 62කට දැවී ගියේය.අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 335ක් වනවිට තිලාන් සමරවීර සයිඩ් අජ්මාල්ගේ පන්දුවක් හමුවේ ලකුණු 6කට දැවී ගියේය.එම පන්දුවාරයේම ඊළඟට යොමු කළ පන්දුවෙන් උප නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරිමට සයිඩ් අජ්මාල් සමත් විය.නමුත් අජ්මාල්ට කඩුලු ත්‍රිත්වය ලබා ගැනීමට නොහැකි විය.ප්‍රසන්න ජයවර්ධන ලකුණු 48කට දැවී ගියේය.නුවන් කුලසේකර හා රංගන හේරත් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය.මුළු ලකුණු ගණන 455ක් වනවිට ශ්‍රී ලංකා ඉණිමේ කඩුලු 9ක් දැවී ගියේය.

විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කරමින් හුදකලා සටනක නිරත වූ කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 199ක් ලබා ගත්තේය.සංගක්කාරට ලකුණු ද්විත්ව ශතකය අහිමි වූයේ ඉතා අවාසනාවන්ත අයුරිනි.ඔහු ලකුණු 193ක් ලබා සිටියදී දැවැන්ත හයේ පහරක් එල්ල කරනු ලැබිණි.එම අවස්ථාවේදි ගාල්ල ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුවේ සංගක්කාරගේ නම ඉදිරියෙන් ලකුණු 194ක් ලෙස සටහන්ව තිබුණි.එම නිසා සිය ටෙස්ට් දිවියේ 9වැනි ද්විත්ව ශතකය ලබා ගත්තේ යැයි සිතූ සංගක්කාර ක්‍රීඩා පිටියේදි තම පිත්ත ඉහළට ඔසවමින් සිය සතුට ප්‍රකාශ කළේය.ලකුණු පුවරුවේ සිදුවූ දෝෂයක් හේතුවෙන් එය එලෙස සටහන්ව තිබූ අතර අනතුරු තමාගේ නියම ලකුණු ගණන 200ක් නොව 199ක් බව සංගක්කාර දැන ගත්තේය.
නමුත් ලකුණු 200ට අවශ්‍ය කර තිබූ ඉතිරි ලකුණ එම පන්දුවාරය අවසන්වීමට පෙර සංගක්කාර ලබාගත නොහැකි විය.අනතුරුව උදා වූයේ ශ්‍රී ලංකා ඉණිමේ 153වැනි පන්දුවාරයයි.එම පන්දුවාරයේදි සංගක්කාර පන්දු යවන්නන්ගේ අන්තයේ සිටියදී කිසිදු ලකුණක් නොලබා සිටි නුවන් ප්‍රදීප් ශ්‍රී ලංකා ඉණිමේ අවසන් කඩුල්ල ලෙස දැවි ගියේ කුමාර් සංගක්කාරට සිය ටෙස්ට් දිවියේ 9වැනි ද්විත්ව ශතකය අහිමි කරමිනි.
සංගක්කාරගේ ලකුණු 199ට පන්දු 387ක් වැය කර තිබූ අතර එයට හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ සයිඩ් අජ්මාල් ලකුණු 146කට කඩුලු 5ක් දවා ගත්තේය.ඔහු එක් ඉණිමකදී කඩුලු 5ක් දවාගත් 6වැනි අවස්ථාව මෙය වේ.මොහොමඩ් හෆීස් කඩුලු 3ක් දවා ගත්තේය.


අනතුරුව සිය පළමු ඉණිම වෙනුවෙන් පාකිස්ථාන ඉණිම ආරම්භ කිරිමට මොහොමඩ් හෆීස් සහ තවුෆික් උමාර් පිටියට පිවිසියේය.නමුත් පාකිස්ථාන පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ සාර්ථකවීමට නොහැකි විය.මුළු ලකුණු ගණන 17ක් වනවිට තවුෆික් උමාර් ලකුණු 9කට දවා ගැනීමට නුවන් කුලසේකර සමත් විය.

එම පන්දුවාරයේම ඊළග පන්දුවේදි යළිත්වරක් ක්‍රියාත්මක වූ කුලසේකර, අසාර් අලී ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත්තේය.නමුත් කුලසේකරට කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට නොහැකි විය.ලකුණු පුවරුව 43ක් වනවිට පාකිස්ථාන ඉණිමේ තෙවැනි කඩුල්ල  ලෙස මොහොමඩ් හෆීස් සුරාජ් රන්දිව්ගේ පන්දුවකට දැවි ගියේය.හෆීස් ලබාගත් ලකුණු ගණන 20කි.

එම පන්දුවාරයේම ඊළඟ පන්දුවේදි පාකිස්ථානයේ සැදෑ පිතිකරුවා ලෙස පිටියට පිවිසි සයිඩ් අජ්මාල් ලකුණු ලබා ගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරිමට රන්දිව් සමත් විය.නමුත් සුරාජ් රන්දිව්ට ද කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට තිබු අවස්ථාව අහිමි විය.දිනයේ අවසන් කඩුල්ල ලෙස අසාඩ් ශෆීක් දවා ගැනීමට රංගන හේරත්ට හැකිවිය.ශෆීක්ට ද ලකුණු ලබා ගැනීමට නොහැකි විය.පන්දු යැවීමේදි රන්දිව් හා කුලසේකර අතරේ කඩුලු 2බැගින් බෙදී ගොස් තිබේ.සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මොහොමඩ් අයුබ් සහ යුන්ස් ඛාන් නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

නුවන් ප්‍රදීප් වෙනුවට ධම්මික ප්‍රසාද් සිටියේනම්
කුමාර් සංගක්කාරට ද්ත්ව ශතකය ලබා වැඩිම ද්ත්ව ශතකලාභින් අතරින් දෙවත ස්ථානයට ඒමට හැකියාව තිබුනි.

z ලකුණ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව හෙට

පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ඉසෙඩ් ලකුණුවලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හෙට (25 වැනිදා) ප්‍රකාශයට පත් කරන තීන්දුව දෙස ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ දැඩි අවධානයෙන් පසුවෙති.

ඉසෙඩ් ලකුණ නිකුත් කිරීමේදී සිසුන්ට අසාධාරණයක්‌ සිදුවී තිබේද යන්න සොයා බැලීමට විද්වත් කමිටුවක්‌ පත් කිරීම සඳහා අනුමැතිය දෙන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා විසින් කරන ලද ඉල්ලීම ද
ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්‍ෂේප කර තිබිණි.

නව හා පැරැණි වශයෙන් විෂය නිර්දේශ දෙකක්‌ යටතේ පැවැති මෙම විභාගයට අයදුම් කරුවන් දෙලක්‍ෂ හතළිස්‌ තුන්දහස්‌ අටසිය හැත්තෑ හය දෙනකු අයදුම්කර තිබූ අතර ඉන් 144,341 ක්‌ නව විෂය නිර්දේශය යටතේ ඉල්ලුම් කර තිබිණි.
 

විෂය නිර්දේශ දෙක යටතේ විභාගයට පෙනී සිටි මෙම සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගත වූ අතර ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සංඛ්‍යා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන්ගෙන් යුත් කමිටුවක්‌ පත් කළේ ඉන් පසුවය.

විභාග දෙපාර්තමේන්තුව ඉසෙඩ් ලකුණු නිකුත් කළේ එම විද්වත් කමිටුව විසින් සකස්‌ කරන ලද සූත්‍රයකට අනුවය. මෙම ඉසෙඩ් ලකුණු ක්‍රමවේදය නිසා බොහෝ සිසුන්ට අසාධාරණයක්‌ සිදුව ඇති බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමය හා එම විභාගයට පෙනී සිටි සිසුහු කිහිපදෙනෙක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළහ. අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ එම පෙත්සම් විභාග විය. හෙට ප්‍රකාශයට පත් කෙරෙන්නේ එම නඩුවේ තීන්දුවය.
 

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව විභාගයේ නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල ද නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.
 

ඩෙංගු වනසන්නට බී. ටී. අයි. බැක්‌ටීරියාවටත් වඩා ප්‍රබල අපේ බැක්‌ටීරියාවට තැනක්‌ දෙන්නේ නෑ

බී. ටී. අයි. බැක්‌ටීරියාවටත් වඩා ප්‍රබල ඩෙංගු මදුරු නාශක බැක්‌ටීරියාවක්‌ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇති නමුත්, සෞඛ්‍ය බලධාරීන් ඒවා භාවිත කිරීම හිතා මතා මගහරින බවට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

එම බැක්‌ටීරියාව බයෝ බවර් ලංකා සමාගම විසින් මීට වසර තුනකට පෙර නිෂ්පාදනය කර ඇති බවත්, 2010 වසරේදී සෞඛ්‍ය අමාත්‍යංශය එයින් ලීටර් 624 ක්‌ මිලදී ගත් නමුත්, එය මදුරු මර්දනය සඳහා නොයෙදවූ බවත් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මෙම බැක්‌ටීරියාව සම්බන්ධයෙන් සිදු කළ ක්‍ෂේත්‍ර පරීක්‍ෂණවලදී හෙළිදරව්වී ඇත්තේ එය බී. ටී. අයි. බැක්‌ටිරියාවටත් වඩා සාර්ථකව මදුරු මර්දනය සිදු කරන බව සහ එය සාර්ථක නිෂ්පාදනයක්‌ බව යෑයි ඒ මහතා කීවේය.


මෙම බැක්‌ටීරියාව සඳහා ස්‌ථීර ලියාපදිංචියක්‌ පලිබෝධ නාශක කාර්යාංශය මගින් ඉල්ලා සිටි අවස්‌ථාවේ ඊට ලබා දී ඇත්තේ තාවකාලික ලියාපදිංචියක්‌ බවත්, එය අලෙවි කිරීමේ අයිතිය ලබාදී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක්‌ බවත් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.


බී. ටී. අයි. බැක්‌ටීරියාව 2009 වසරේදී කියුබාවෙන් මෙරටට ගෙන්වීම සඳහා ලීටර් 10000 කට රුපියල් කෝටි 3 ක්‌ රජය වැය කළ බවත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත බැක්‌ටීරියාව එම ප්‍රමාණයම මිලදී ගැනීම සඳහා එම මුදලින් අඩක්‌ තරම්වත් වැය නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.


ඩෙංගු වසංගතයක්‌ බවට පත්ව ඇති මේ අස්‌ථාවේදීවත් පුද්ගලික ප්‍රතිලාභ සීමා කොට මෙම බිහිසුණු වසංගතය මර්දනය කිරීමට ක්‍රියා කරන ලෙස තම සංවිධානය සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම පැවසීය.


මෙම වසරේ පළමු මාස හයේදී ඩෙංගු රෝගීන් 75 දෙනෙකු මියගොස්‌ ඇති බවත්, රෝගය වැළඳුණු සංඛ්‍යාව 12336 ක්‌ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.


මෙය පසුගිය වසරට සාපේක්‍ෂව අති විශාල වැඩිවීමක්‌ බවද පැවසූ ඒ මහතා වැඩිම සෞඛ්‍ය පහසුකම් ඇති බස්‌නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක්‌ වාර්තාවීමෙන් ඩෙංගු මර්දන වැඩපිළිවෙළෙහි අසාර්ථක බව තහවුරු වන බවද සඳහන් කළේය.


මේ දිනවල පවතින කඩින් කඩ වැසි හේතුවෙන් ඉදිරි දිනවලදී තවදුරටත් ඩෙංගු වසංගතය පැතිර යනු ඇතැයි ඒ මහතා අවධාරණය කළේය.

Wednesday, June 20, 2012

ගාල්ලේදි ආරම්භවන පළමු ටෙස්ට් තරගය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි


 සංචාරක පාකිස්ථානු කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම නම් කොට තිබෙනවා. මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ උප නායකත්වය හොබවන්නේ ඇන්ජලෝ මැතිව්ස් විසින්. මීට අමතරව තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, දිනේෂ් චන්දිමාල් යන ක‍්‍රීඩකයින් කණ්ඩායමට පිතිකරුවන් ලෙස එක්කොට තිබෙනවා. එමෙන්ම චානක වෙළගෙදර, , නුවන් කුලසේකර, තිසර පෙරේරා, නුවන් ප‍්‍රදීප් යන ක‍්‍රීඩකයින් වේග පන්දු යවන්නන් ලෙසද සුරාජ් රන්දිව්, රංගන හේරත් සහ ජීවන් මෙන්ඩිස් යන ක‍්‍රීඩකයින් කණ්ඩායමට එක්වනවා. මේ අතර ප‍්‍රසන්න ජයවර්ධන කණ්ඩායමේ කඩුලූ රකින්නා ලෙස එක් කර ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ අදාළ සංචිතය පළමු ටෙස්ට් තරගය
සදහා පමණක් වලංගු වන බවය.


ඒ අනුව සංචිතය මෙසේය.
01- මහේල ජයවර්ධන (නායක)
02- ඇන්ජලෝ මැතිව්ස් (උපනායක)
03- ටී.එම්.ඩිල්ෂාන්
04- තරංග පරණවිතාන
05- කුමාර් සංගක්කාර
06- තිලාන් සමරවීර
07- දිනේෂ් චන්දිමාල්.
08- ප්‍රසන්න ජයවර්ධන
09- චානක වෙළගෙදර
10- සුරාජ් රන්දිව්
11- රංගන හේරත්
12- නුවන් කුලසේකර
13- නුවන් ප්‍රදීප්
14- තිසර පෙරේරා
15- ජීවන් මෙන්ඩිස්

ක්‍රිකට් තරග මෙරට විකාශය කිරීමේ අයිතිය CSN ට දුන් විදිහ මහරාජා අභිෙයාග කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී සහභාගීවන තරග විකාශය කිරීමේ අයිතිය කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ආයතනයට පැවරීම අසාධාරණ සහ සදාචාර විරෝධී ලෙස සිදුකරන ලද්දක් බව එම්.ටි.වි චැනල් පුද්ගලික සමාගම අවධාරණය කරයි.

එම්.ටී.වී. මාධ්‍ය ජාලය අභියෝග කරන්නේ එක් පාර්ශ්වයකට වාසිසහගත වන අයුරින් සිදුකළ අදාළ රූපවාහිනි විකාශන අයිතිය පැවරීම වහා අවලංගු කර ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට වැඩි වාසියක් හිමිවන අයුරින් ඊට යළි මිල ගණන් කැඳවන ලෙසය.

ඉදිරි වසර තුනේදී ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සත්තාරකත්වය දරණ මෙරටදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගවල දේශීය රූපවාහිනී අයිතිය කාල්ටන් ස්පෝට්ස් ආයතනයට පවරා ඇතැයි පසුගියදා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථා කිහිපයකදීම සදහන් කළේය.


ඔවුන් ගත් එම තීරණය අභියෝගයට ලක් කරමින් එම්.ටී.වී චැනල් පුද්ගලික සමාගම පසුගිය මැයි 22 වැනිදා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ලිපියකින් දැන්වූයේ අදාළ විකාශන අයිතිය ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය සහ කොන්දේසි කවරේදැයි තමන්ට නිල වශයෙන් දැනුම් දෙන ලෙසය.

ඊට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතා ජුනි 7 වැනිදා පිලිතුරු ලිපියක් එවා තිබුණි.


නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් අදාළ රූපවාහිනී විකාශන අයිතිය පවරා ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය එවු එම ලිපියේ සදහන් විය.


සිය ලිපියෙන් අජිත් ජයසේකර මහතා වැඩිදුරටත් පවසන්නේ අදාළ රූපවාහිනී විකාශන අයිතිය හිමිකර ගැනීම සදහා අයදුම් කරන ලෙස පුවත්පත් දැන්වීම් මගින් දැනුවත් කිරිමක් කළ බවය.


කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි 05 වැනිදා සහ 12 වැනිදා පිළිවෙළින් එම දැන්වීම් පුවත්පත් පළකර තිබුණේ ඉතා කුඩා වපසරියකයි.


නමුත් එස්.එල්.පී.එල් තරගාවලිය සදහා අනුග්‍රාහකයින් කැඳවීමේ දැන්වීම් සම්පුර්ණ පිටුවක් ලෙස ජාතික පුවත්පත් තුනකම පල කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණි.


එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නැවත වරක් ලිපියක් යොමු කරමින් එම රූපවාහිනි විකාශන අයිතිය පැවරීමේ ක්‍රියාවලිය සාධාරණ හා විනිවිද භාවයකින් තොරව කළ බවට ප්‍රධාන කාරණා කිහිපයක් යටතේ අවධාරණය කළේය.


මේ අනුව එම්.ටී.වී. ආයතනය එම ලිපියෙන් ප්‍රකාශ කර සිටින්නේ අදාළ පුවත්පත් නිවේදනය සැබවින්ම පාඨකයා නොමග යවන හා සැබෑ තොරතුරු අනාවරණ නොවන ආකාරයෙන් පළ කර ඇති බවය.


මෙම පසුබිම මත රූපවාහිනි විකාශන අයිතිය පැවරීමේ සමස්ත ක්‍රියාවලියම දෝෂ සහගත බව සහ එම අයිතිය පැවරීමට ගත් තීරණය යුක්ති සහගත නොවන බව එම්. ටී.වී. ආයතනය දක්වා තිබේ.


තමන් ජාතික ආර්ථිකයේ ප්‍රධාන මුලාශයන් බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයම පිළිගන්නා කරුණකි.


එම ආයතනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මහජනතාවගේ නිරන්තර අවධානයට යොමු වුණු ශ්‍රි ලංකා ක්‍රිකට් රටට දෙන දායාදය ඉමහත් බවය.


ක්‍රිකට් තරගවල රූපවාහිනී දේශීය විකාශන අයිතිය පැවරීම ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වේ.


වාර්තා වන අන්දමට දැඩි මුල්‍ය අර්බුදයක සිටින ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට එම ගැටලු විසදා ගැනීමට ඇති මාහැගි අවස්ථාවද එම අයිතිය ඉහළ මිලකට අලෙවි කිරීම බව විචාරකයින් පෙන්වා දෙයි.


එම්.ටී.වී. ආයතනය යොමු කළ ලිපියේ දැක්වෙන අන්දමට එක් ලන්සුවක් පමණක් සැළකිල්ලට ගෙන රූපවාහිනි විකාශන අයිතිය පැවරීමට ගත් තීරණය අවලංගු කර ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට ඉහළ මුදලක් උපයා ගත හැකිවන අයුරින් යළි සෙසු තරගකාරී ආයතනවලට ද ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදෙනු ඇතැයි යන්න ජනතාවගේ අපේක්ෂාවයි.

අතුරු වැටුප් යෝජනාව 30 දාට පෙර ක්‍රියාත්මක නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක

මීට වසර හතරකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය විසින්ම කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලද අතුරු වැටුප් යෝජනාව මෙම මස 30 වැනිදාට පෙර ක්‍රියාත්මක නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් 09 ක්‌ තීරණය කර ඇත.

ලංකා ගුරු සංගමය, සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය, ස්‌වාධීන අධ්‍යාපන සේවක සංගමය, පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, පළමු ශ්‍රේණියේ විදුහල්පති සංගමය, ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සහ සමස්‌ත ලංකා විදුහල්පති සංගමය මෙම තීරණය ගෙන තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ඇමැතිවරයාව සිටියදී ගුරු හා විදුහල්පති වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා කර මෙම අතුරු වැටුප් යෝජනාව අමාත්‍යාංශය සකස්‌ කළේ වසර ගණනක්‌ තිස්‌සේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන තෙක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා යෑයි මෙම සංගම් සාමාජිකයෝ පවසති.

2008 වසරේදී සකස්‌ කරන ලද එම වැටුප් යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශය මෙතෙක්‌ කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැතැයි ද එම යෝජනාව ක්‍රියාත්මක නොකරන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔවුහු පවසති.

Sunday, June 17, 2012

ඇමරිකාවට දුන්නට අපිට දෙන්නැති google map navigation ... මෙන්න ඉක්මනට ගන්න

මුලින්ම කියන්න ඔනේ මේක පාවිච්චි කරන්න පුළුවන් android phone වලට පමනයි කියන එක. ඔය ගොල්ලො කවුරුත් දන්නවා ඇති  ලංකාවේ වැඩිපුරම පාරවල් තියෙන එකම හොදම නොමිලේ දෙන මැප්එක තමයි google maps කියන්නේ. සල්ලි වලට ගන්න තියෙන එවායේ කොළඹින් පිට පාරවල් ගොඩක් අඩුයි ඒකනිසා  google map navigation ලංකාවේ ඉන්න අපිට ගොඩක් වටිනවා.

google map navigation වැඩි විස්තර පහල video එකෙන් බලන්න

ඇත්තම කිව්වොත් මේකේ කරන්නේ  phone එකේ  තියෙන google map එක අයින් කරලා  ලෝකයටම navigation active කරපු  google map දා ගන්න එක. හැබැයි තව එකක්  phone එක root  කරලා තියෙන්න ඔනේ.
phone එකේ  තියෙන google map එකේ navigation තිබුනත් active නෑ navigation වලට ගිහින් බලන්න  google maps navigation is not yet available in this location මෙහෙම වැටෙනවා  නේද.

මම කියන විදහට හරියටම කරන්න එතකොට හරි.

මේ වැඩේට application (android app) 2ක් අවශ්‍යයි
1 navigation active කරපු  google map එක
2 Titanium Backup  app එක
 මේ දෙකම මෙතනින් බා ගන්න

මෙතනින් පසු පියවරෙන් පියවරට යන්න
1 Titanium Backup  run කර backup/restore වෙත ගොස් map open කර map එක  backup කර ගන්න

පසුව wipe data  එක ඔබා data wipe කරගෙන  uninstall එක ඔබා map එක  uninstall කර ගන්න
3 ඊට පසුව download  කර ගත් navigation active කරපු  google map එක install කර ගෙන phone එක restart  කර ගන්න
4 නැවතත් 1 Titanium Backup  run කර backup/restore වෙත ගොස් map open කර restore එක ඔබා data  only එක ඔබන්න ( කලින් data ලබා ගැනීමට)

දැන් වැඩේ හරි  google map එකේ  navigation වලට ගිහින් බලන්න.

ඔබට ජය!

Friday, June 15, 2012

S L P L කණ්ඩායම් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිනේ

ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් 7 ප‍්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට ශි‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සූදානම් වනවා. ඒ අනුව එම කණ්ඩායම් පුද්ගලික ගැණුම්කරුවන්ට ඉහළම ලන්සුවකට ලබාගැනීමේ අවස්ථාව හිමිවනවා. වසර 7 ක කාලයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3ක අවම ලංසුවකට මෙම කණ්ඩායම් වෙන්දේසි කෙරෙනු ඇති. පුද්ගලික ගැණුම්කරුවන්ට ඒ සඳහා ලන්සු තැබීමට මේ මස 25වැනිදා දක්වා අවස්ථාව හිමිවන අතර එදිනම කණ්ඩායම් සඳහා වැඩිම ලංසුවට ගැණුම්කරුවන් තෝරා ගැනෙනු ඇති. මේ අනුව එක් ගැණුම්කරුවෙකුට කණ්ඩායම් 3 ක් සඳහා ලංසු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවනවා. මෙවර ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් ක‍්‍රිකට් තරඟාවලිය සඳහා ඉදිරිපත්වන කණ්ඩායම් වන්නේ බස්නාහිර, කඳුරට, නැගෙනහිර, රුහුණ, උතුර, ඌව හා වයඹ යන කණ්ඩායම්. මෙහි එක් කණ්ඩායමකට ක‍්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ඇතුළත්. එම සංචිතයට විදෙස් ක‍්‍රීඩකයන් 6 දෙනෙකු සහභාගි කරගැනීමට අවස්ථාව හිමිවනවා. එහෙත් තරඟයකදී ක‍්‍රීඩා කළ හැකිවන්නේ විදෙස් ක‍්‍රිඩකයන් සිව් දෙනෙකුට පමණයි. ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන වසරේ මැයි 5 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි. දැනට කණ්ඩායම් 5 ක් සඳහා සුපිරි කි‍්‍රීඩකයින් නම් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිරට දිල්ෂාන්, කඳුරටට සංගක්කාර, රුහුණට මාලිංග, උතුරට මුරලි සහ වයඹට නම් කරන ඇත්තේ මහේලයි. ඌව සහ නැගෙනහිර පළාත් සඳහා විදෙස් ක‍්‍රීඩකයන් දෙදෙනෙකු ඊට නම් කිරීමට නියමිත බවද වාර්තාවනවා.

Sunday, June 10, 2012

තිසර පෙරේරා ශ්‍රීලංකාවට ජය ගෙන එයි


සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 76ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගය පැවැති පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදි කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
 


ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලු 4ක් දැවී ලකුණු 280ක් ලබා ගැනීමට සමත් විය.ඊට පිළිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 46යි පන්දු 2ක්
අවසානයේදි සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 204ක් පමණි.
 
පළමු තරගයේදි මහේල ජයවර්ධන සහ ටී.එම්.ඩිල්ෂාන් ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළත් මෙම තරගයේදි ඩිල්ෂාන් සහ උපුල් තරංග ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේය.ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු 37ක් වනවිට පළමු කඩුල්ල බිඳ වැටුණි. ඒ අනුව පළමු කඩුල්ල ලෙස ලකුණු 18ක් ලබා සිටී උපුල් තරංග දැවී ගියේ සොහිල් තන්වීර්ගේ පන්දුවක් හමුවේ සෆ්රාස් අහමඩ් අතට උඩපන්දුවක් ලබාදීමෙනි.ශ්‍රී ලංකා ඉණිමේ දෙවනි කඩුල්ල ලෙස කුමාර් සංගක්කාර පිටියෙන් ඉවත් විය.ඔහුට ද ලබාගත හැකි වූයේ ලකුණු 18ක් පමණි.මොහොමඩ් හෆීස් යැවූ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් ලබාදෙමින් සංගක්කාර දැවී ගියේය.අනතුරුව ඩිල්ෂාන් සමග එක්වූ චන්දිමාල් ලකුණු  70ක වේගවත් සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය.එහිදී චන්දිමාල් ලකුණු 37ක් ලබාගත් අතර ඊට හතරේ පහර 3ක් ඇතුලත් විය.ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු ගණන 154ක් වනවිට චන්දිමාල් පිටියෙන් ඉවත් විය.ඒ සයිඩ් අජ්මාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරිමේ වරදට හසුවීමෙනි.අනතුරුව නායක මහේල ජයවර්ධන පිටියට පිවිසියේය.මහේල සහ ඩිල්ෂාන් ඉදිරියේ පාකිස්ථාන පන්දුයවන්නන් ප්‍රබල ප්‍රහාරයකට ලක්විය.ඔවුන් දෙදෙනා පිටිය තුළ සිය අණසක පතුරවමින් ලකුණු එක්රැස් කර ගැනීමට සමත් විය.විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ඩිල්ෂාන් සිය එක්දින ක්‍රිකට් දිවියේ 13වැනි ශතකය ලබා ගැනීමට සමත් විය.

ඩිල්ෂාන්ට අනගි සහායක් ලබාදෙමින් පිතිකරණයේ යෙදුණු මහේල ජයවර්ධන සිය එක්දින ක්‍රිකට් දිවියේ 67වැනි අර්ධ ශකය අද ලබා ගැනීමට සමත් විය.
ඩිල්ෂාන් හා මහේල අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවති සබඳතාව ලකුණු 86කි.මහේල ලකුණු 53කට පිටියෙන් ඉවත් වූ අතර ඒ සදහා ඔහු වැය කළ පන්දු ගණන 45කි.එම ඉණිමට හතරේ පහර 8ක් ඇතුලත් වූ අතර සයිඩ් අජ්මාල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් මහේල දැවී ගියේය.තිසර පෙරේරා නොදැවී ලකුණු 24ක් ලබා ගැනීමට සමත් විය.විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ඩිල්ෂාන් නොදැවී ලකුණු 119ක් ලබා ගැනීමට සමත් වූ අතර එයට ඔහු වැය කළ පන්දු ගණන 139කි.එම ඉණිමට හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් ඇතුලත් විය. 
පන්දු යැවීමේදි සොහිල් තන්වීර්, ශහිඩ් අෆ්රිඩි, සයිඩ් අජ්මාල්, සහ මොහොමඩ් හෆීස් අතරේ කඩුලු 1බැගින් බෙදී ගියේය.

අනතුරු පාකිස්ථානය වෙනුවෙන් මොහොමඩ් හෆීස් සහ අසාර් අලී ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේය.
ඔවුන් දෙදෙනා විසින් වේගවත් ඉණිමක් දියත් කළ අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය.තිසර පෙරේරා යැවූ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩපන්දුවක් ලබා දුන් මෙහොමඩ් හෆීස් ලකුණු 14කට දැවී ගියේය.ආරම්භක පිතිකරු අසාර් අලීට සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවන අර්ධ ශතකය වාර්තා කිරිමට හැකිවිය.ඒ සදහා ඔහු පන්දු 50ක් වැය කළ අතර ඊට හතරේ පහර 9ක් ඇතුලත් විය.අනතුරුව දෙවන කඩුල්ල ලෙස යුනිස් ඛාන් තිසර පෙරේරාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රිඩක කුමාර් සංගක්කාරට උඩපන්දුවක් ලබාදීමෙන් දැවී ගියේය.ඔහු ලබාගත හැකි වූයේ ලකුණු 4ක් පමණි.සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවක් ගොඩනැංවීමට පාකිස්ථාන නායක මිස්බා උල්-හක් සහ අසාර් අලී සමත් විය.මිස්බා සහ අසාර් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා ආක්‍රමණශීලි ඉණිමක් දියත් කළේය.මිස්බා උල්-හක් ලකුණු 27ක් ලබා සිටියදී තිසර පෙරේරා පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරිමේ වරදට හසුවීමෙන් දැවී ගියේය.අනතුරුව පිටියට පිවිසි උමාර් අක්මාල්ට ශ්‍රී ලංකා පන්දුයවන්නන් හමුවේ සාර්ථකවීමට නොහැකි විය.අක්මාල් ද ලකුණු 3ක් ලබා සිටියදී දවා ගැනීමට තිසර පෙරේරා සමත් විය.සිය එක්දින ක්‍රිකට් දිවියේ කුළුදුල් ශතකය වාර්තා කිරිමට තිබූ මහඟු අවස්ථාව අසාර් අලීට අද අහිමි විය.ඒ නුවන් කුලසේකර යොමු කළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනි.ඒ අනුව අසාර් ලකුණු 96කට පිටියෙන් ඉවත් විය.ඔහුගේ ලකුණු 96ට හතරේ පහර 12ක් ඇතුලත් වූ අතර ඊට පන්දු 119ක් වැය කර තිබුණි.අනතුරුව පාකිස්ථාන ඉණිමේ හයවැනි කඩුල්ල ලෙස ප්‍රහාරාත්මක පිතිකරු ශහිඩ් අෆ්රිඩි දැවි ගියේය.ඔහු ලබා ගත් ලකුණු ගණන 17කිසොහිල් තන්වීර් ලකුණු 3කට දැවී ගියේය.උමාර් ගුල් ලබාගත් ලකුණු ගණන 14කි. 
දක්ෂ පන්දුයැවීමක නිරත වූ තිසර පෙරේරා පන්දුවාර 10කදී ලකුණු 44කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය.නුවන් කුලසේකර හා ලසිත් මාලිංග අතරේ කඩුලු 2බැගින් බෙදි ගියේය.
 තරගයේ වීරයා සම්මානය තිසර පෙරේරාට හිමිවිය.

Saturday, June 9, 2012

අද තරගයේදී මහේල ජයවර්ධන සුපුරුදු අංක 04හෝ 05 ස්‌ථානයේ

තරගයකට ක්‍රීඩා කිරීමේදී ඒ ඒ කණ්‌ඩායම්වලින් එල්ල වන අභියෝගයන්ට අනුව වෙනස්‌ වෙනස්‌ දේවල් කිරීමට පෙළැඹෙන බවත්, ඒ හරහා කණ්‌ඩායමට වාසිදායක තත්ත්වයන් මෙන්ම අවාසිදායක තත්ත්වයන් වලට මුහුණ දීමට සිදුවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක මහේල ජයවර්ධන පවසයි. දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්‌දින තරගය අද ප.ව. 2.30 ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ෙපාකිස්‌තානය සමග පැවැති පළමු තරගයේදී ක්‍රියාත්මක කළ සියලු සැලසුම් අසාර්ථක වීම තරගයේ පරාජයට ඉවහල් වූ බවද මහේල පැවැසීය.තරග 5 කින් සමන්විත දෙරට අතර එක්‌දින තරගාවලියේ සමාරම්භක තරගය වූ පෙරේදා (07 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායට අනුව කඩුලු 6 ක පරාජයක්‌ ශ්‍රී ලංකාව අත්විය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා නායකයා, 'යම් යම් කණ්‌ඩායම් එක්‌ක ක්‍රීඩා කිරීමේදී ඔවුන්ගේ අභියෝගයන් හමුවේ අපි වෙනස්‌ වෙනස්‌ දේවල් කරනවා. මං හිතන්නේ සමහර වෙලාවට ඒවායෙන් යම් කිසි විදියක වාසිදායක තත්ත්වයන් මෙන්ම අවාසිදායක තත්ත්වයකුත් උදාවෙනවා. අපි බලන්නේ නිතරම ඒවා හොඳ අතට හරවා ගන්න' යනුවෙන් පැවැසීය.මෙම තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් සමගින් ඉනිම ආරම්භ කිරීම මහේල ජයවර්ධන සිදුකළ අතර ඒ අනුව ඔවුන් දෙදෙනාම ලකුණු 12 ක්‌ තුළදී ක්‍රීඩාගාරයට හරවා යෑවීමට පාකිස්‌තානු පන්දු යවන්නන් සමත්විය. ආරම්භක පිතිකරුවන්ගේ කඩා වැටීම මත ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවාර 15 අවසන් වීමටත් මත්තෙන්ම ඉදිරිපෙළ පිතිකරුවන් 5 දෙනාම දැවීයැම ශ්‍රී ලංකාවට ප්‍රබල ලෙසින් පාඩුවක්‌ ගෙන දුන්නේය.
'මං හිතන්නේ මේ පරාජයට මූලිකම හේතුව වුණේ පන්දුවට පහරදීම ආරම්භයේදීම අපේ කඩුලු ඉක්‌මනින් දැවී යැම. විශේෂයෙන්ම පළවැනි පන්දුවාර 10-15 ඇතුළත කඩුලු 5 ක්‌ දැවී ගියා. මේ වගේ තණතීරුවක ක්‍රීඩා කරද්දී ඒක ලොකු පසුබෑමක්‌. ඒ මත අපිට අවශ්‍ය ඉලක්‌කය වෙත යන්න බැරිවීම ලොකු පාඩුවක්‌ වුණා'යනුවෙන් ශ්‍රී ලංකා නායකයා පැවැසීය. මෙහිදී මහේල ජයවර්ධන ඉනිම ආරම්භ කිරීම මත කණ්‌ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයන් තිදෙනා (ඩිල්ෂාන් සහ සංගක්‌කාර ද ඇතුළුව) ඉදිරියෙන්ම පන්දුවට පහරදීම සිදුවන අතර පසුපෙළ ශක්‌තිමත් කිරීමේ කාර්යය පැවරී තිබෙන්නේ තරුණ ක්‍රීඩකයන් වන චන්දිමාල්, තිරිමාන්න සහ මැතිව්ස්‌ තිදෙනා වෙතය. මෙම තත්ත්වය ඔවුන්ට දැඩි පීඩනයක්‌ ගෙන දෙන්නක්‌ බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. මේ පිළිබඳවද මාධ්‍යවේදීන් ජයවර්ධනගෙන් කරුණු විමසන ලදුව, 'තරංගව ඔස්‌ටේ්‍රලියාවේදී ආරම්භක පිතිකරුවකු විදියට යොදා ගත්තේ. නමුත් තරග 4 ක්‌ 5 ක්‌ යද්දී අපිට තේරුණා ඔහුගෙන් අවශ්‍ය දේ සිදුවෙන්නේ නැහැ කියලා. ඉතිං අපි ඒ වෙලාවෙදි වෙනසක්‌ කළා. ඒ වෙලාවෙදි තමයි ළහිරුවයි තරංගවයි ගෙනාවෙ මැද පෙළ පිතිකරුවන් විදියට. ඒ වෙනස ඉදිරියට යන්න හොඳ රුකුලක්‌ වුණා. ඒ විදියටම අපි හිතුව මේ සංචාරයේත් අපිට ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලා' වශයෙන් පැවැසීය.
වැඩිදුරටත් අදහස්‌ පළ කර සිටි ශ්‍රී ලංකා නායකයා, 'මම ඉස්‌සෙල්ල කිව්වා වගේ අපි වෙනස්‌ කම් කරනවා අපි හිතන විදියට කණ්‌ඩායමට වාසියක්‌ වෙයි කියලා හිතලා. සමහරක්‌ වෙලාවට ඒවා හරියනවා සමහර වෙලාවට වරදිනවා. අපි බලන්න ඕන ඉදිරියට යද්දී අපි ඒ වගේ තීරණ ගන්නේ යම් කිසි වාසියක්‌ බලාගෙන. ඉතිං ඒක වෙනස්‌ කරන්න ඕන නම් අපි කරන්න බලනවා' යනුවෙන් අද තරගයේදී පිතිකරණ ලැයිස්‌තුවේ වෙනසක්‌ සිදුවන බවටද මහේල ඉඟියක්‌ ලබා දුන්නේය.ඒ අනුව අද තරගයේදී මහේල ජයවර්ධන සුපුරුදු අංක 04 ස්‌ථානයේ හෝ අංක 5 ස්‌ථානය ක්‍රීඩා කොට උපුල් තරංග ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කරනු ඇතැයි අපේක්‍ෂා කළ හැක. අද තරගයේ වැදගත් වන තවත් සාධකයක්‌ වන්නේ ප්‍රබල වේග පන්දු යවන්නන් පසුවන පාකිස්‌තානු කණ්‌ඩායම හමුවේ පළමු පන්දුවාර 10 හෝ 15 තුළදී කඩුලු ලබා නොදී ක්‍රීඩා කිරීම වේ. නව පන්දු දෙකක්‌ භාවිතයෙන් තරග කරන බැවින් ආරම්භක පිතිකරුවන් වැඩි වේලාවක්‌ කඩුල්ලේ රැඳී සිටීම අනිවාර්ය කටයුත්තකි.
පල්ලකැලේ තණතීරුවෙහි කාසියේ වාසිය තීරණාත්මකද යන්න පිළිබඳවද අදහස්‌ දක්‌වා සිටි මහේල ජයවර්ධන, 'මං හිතන්නේ මිස්‌බා වුණත් කරන්නේ කාසියේ වාසිය දිනුවනම් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන එක. විශේෂයෙන්ම විදුලි ආලෝක ධාරාවත් සමග රාත්‍රී කාලයේදී පන්දුවට පහර දෙන එක අභියෝගයක්‌. එම තත්ත්වය යටතේ ලකුණු 175 ක්‌ හෝ 200 ක්‌ හඹා යනවා කියන්නෙ අමාරු දෙයක්‌. නමුත් අපිට ලොකු ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගන්න නොහැකි වුණා. යම් විදියකින් අපි ලකුණු 190 ක්‌ පමණ ලබාගත්තා නම් ඒ තත්ත්වයන් යටතේ ඔවුන්ට ලකුණු ලබා ගැනීම අසීරු වන්නට තිබුණා' යනුවෙන් පැවැසීය.
'අපි බලන්න ඕන මේ තණතීරුවට කොහොම හරි හැඩගැහෙන්න. මේකෙ අපි ක්‍රීඩා කරපු නිසා දැන් අවබෝධයක්‌ තියෙනවා මොකද්ද කරන්න ඕන කියන එක. අපි බලනවා පාකිස්‌තාන කණ්‌ඩායමේ තර්ජන මොනවද අපි ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක.'
'මෙහිදී වැදගත් වන්නේ කිසියම් අවස්‌ථාවකදී අපිව අභියෝගයකට ලක්‌කළාම ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එය ඉතාමත් වැදගත්. පළමු තරගයේදී අපි ඒ අභියෝගවලට හොඳින් මුහුණ දුන්නේ නැහැ. ඒ නිසා අපි බලන්න ඕන පාකිස්‌තානය වැනි හොඳ කණ්‌ඩායමක්‌ එක්‌ක ක්‍රීඩා කරද්දී ඒ අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න' යනුවෙන් මහේල වැඩිදුරටත් පවසා සිටියේය.

Wednesday, June 6, 2012

මෙවර විද්‍යාපීඨ ගුරුවරුන් කලකට පසු දුෂ්කර පළාත්වල සේවයට

දුෂ්කර පළාත්වල වසර ගණනක්‌ තිස්‌සේ සේවය කරන ගුරුවරුන්ට තමන්ගේ ගම් ප්‍රදේශවලට මාරු වීම සඳහා අනුප්‍රාප්තිකයන් වශයෙන් මෙවර විද්‍යාපීඨ ගුරුවරුන් ස්‌ථානගත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙවැනි ක්‍රියාමාර්ගයක්‌ ගැනෙන්නේ වසර 3 කට පසුවය. මෙලෙස ස්‌ථානගත කිරීමේදී පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී අවම ප්‍රතිඵල පෙන්වූ පාසල්වලට වැඩි අවධානයක්‌ යොමු කෙරේ.

අධ්‍යාපන විද්‍යා පීඨ පුහුණුව ලද ගුරුවරුන් 2306 දෙනකු සඳහා මෙම මස අවසාන වීමට පෙර පත්වීම් පිරිනැමීමට අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි. මෙම ගුරුවරුන් ස්‌ථානගත කිරීමේදී උතුර, නැගෙනහිර, උතුරුමැද හා ඌව යන පළාත් පිළිබඳවද විශේෂ අවධානය යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම ගුරුවරුන්ගේ සියලු ඇගයීම් කටයුතු අවසන් වී ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.

ඉන් පසු ඔවුන්ගේ ලකුණුවලට අදාළ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය පෙබරවාරි මාසයේදී ජාතික අධ්‍යාපන ආයතනයට ලබාදී ඇත. ජාතික අධ්‍යාපන ආයතනය මගින් අමාත්‍යාංශයට ප්‍රතිඵල ලබා දී ඇත්තේ පසුගිය මාසයේදීය. පත්වීම් ලබාදීම ප්‍රමාද කරන බවට ඇතැම් පිරිස්‌ චෝදනා කළද ඔවුන්ගේ පත්වීම් වලංගු වන්නේ මෙම මස පළමු වැනිදා සිට යෑයි අමාත්‍යාංශය පවසයි.

වසර ගණනක්‌ තිස්‌සේ දුෂ්කර සේවයේ සිටින ගුරුවරුන් පිරිසක්‌ එම පාසල්වලින් මාරුවීම සඳහා ඉල්ලා ඇතැයිද අමාත්‍යාංශය සඳහන් කරයි.

Saturday, June 2, 2012

ශ්‍රී ලංකාවට තිසර පෙරේරා ජය ජය ගෙන එයි

 
ලංකා පන්දු යවන්නන්ගේ දක්‍ෂ පන්දු යැවිම නිසා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (1) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ආරම්භවු තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 37 ජය අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කල අතර ඔහුගේ එම තිරණයට අභියෝග කරමින් පාකිස්තාන පන්දු යවන්නන් දැඩි පිඩනයක් ශ්‍රී ලංකා පිලට එල්ල කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබා ගැනීමට හැකී වුයේ ලකුණු 132 ක් පමණි.පිළිතුරු ඉනිම ක‍්‍රීඩාකර පාකිස්තාන පිලට   ඕවර 17.4 අවසානයෙදී සියලූ දෙනා දැවී ලබා ගැනිමට හැකී වුයේ ලකුණු 95 පමණි.
ශ්‍රී ලංකා පිලට ලකුණු අවශ්‍යම මොහෝතේ ක‍්‍රීයාත්මක වෙමින් තිසර පෙරේරා පන්දු 16 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 32 ලබා ගත්තේය. ඔහුට අනගී සහයක් දුන් ළහිරු තිරිමාන්න හතරේ පහර 5 ක් සමගින්  ලකුණු 30 ක් ලබා ගැනිමට සමත් විය.
පාකිස්තාන පිලේ අහමඞ් ශෂාඞ් හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 36 න් රැස් කළ අතර වෙනත් කිසිදු පිතිකරුවකුට සර්ථක විමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඉඩ නොතැබුහ.
විස්සයි-20 තරගාවලියේ දෙවනි තරගය ලබන ඉරිදා පැවැත් විමට නියමිතය.
ශ්‍රී ලංකා පිල  ඕවර 20 කඩුලූ 7 දැවී 132 ( කුමාර් සංගක්කාර 19, ළහිරු තිරිමාන්න 30, තිසර පෙරේරා 32, සොහේල් තන්වීර් 12/3, සයීඞ් අජ්මාල් 20/2)
පාකිස්තාන පිල  ඕවර 17. 4 කදී සියලූ දෙනා දැවී 95 ( අහමඞ් ශෂාඞ් 36, උමාර් අක්මල් 12, නුවන් කුලසේකර 13/2, ලසිත් මාලිංග 12/2, ඇන්ජලෝ මැතිව්ස් 8/2)

Friday, June 1, 2012

ඩක්වත් ලූවිස් වෙනුවට තව එකක්

එක්දින කි‍්‍රකට් තරගවලදී භාවිතා කෙරෙන ඩක්වත් ලූවිස් ක‍්‍රමවේදය වෙනුවට වෙනත් ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට ඉන්දියානු ඉංජිනේරුවෙකු කටයුතු කර තිබෙනවා. ඉදිරි දින දෙක ඇතුළත ඩක්වත් ලූවිස් ක‍්‍රමවේදය වෙනුවට සකස් කළ විකල්ප යෝජනාව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරිමටයි අදාළ ඉංජිනේරුවරයා සූදානම් වන්නේ. වී.ජයදේවන් නැමති කේරළ ප‍්‍රාන්තයේ ඉංජිනේරුවරයෙකු වන මොහුගේ සොයා ගැනීමට හිටපු ඉන්දීය කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකු වන සුනිල් ගවස්කාර් ද සිය සහය පළ කොට තිබෙනවා. මෙම නව ක‍්‍රමවේදය වී.ජේ.ඞී.ක‍්‍රමවේදය ලෙසයි හඳුන්වාදී ඇත්තේ. මීට පෙර මෙම ක‍්‍රමවේදය ඉන්දියානු ප‍්‍රාන්ත කි‍්‍රකට් තරග කිහිපයකට ද යොදා ගත් බව ඉංජිනේරු වී.ජයදේවන් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා. 1992 වසරේ පැවති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසාන පූර්ව තරගයෙන් පසු ඩක්වත් ලූවිස් ක‍්‍රමය කි‍්‍රකට් ක‍්‍රීඩාවට හඳුන්වාදෙනු ලැබුවා. ඩක්වත් ලූවිස් ක‍්‍රමය යටතේ සිදුවන්නේ අයහපත් කාලගුණයෙන් හෝ වෙනත් හේතුවක් මත තරගයක් අතරමඟ නවතා දැමීමට සිදුවුවහොත් කණ්ඩායම් දෙක ලබා සිටි ලකුණු සංඛ්‍යාව ගැලපුමකට ලක් කර එක් කණ්ඩායමක් ජයග‍්‍රාහකයන් ලෙස තෝරා ගැනීමයි.