Monday, May 21, 2012

SLPL තරගාවලියේදී අපේ ක්‍රීඩකයන්ට අඩුවෙන් ගෙවන්න සුදානමක්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලියේදී දේශීය ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකරනු ලබන පටිපාටිය කුමක්‌ද යන්න මෙතෙක්‌ ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කටයුතු නොකිරීම මත 2012/13 වසර සඳහා අත්සන් තැබීමට නියමිත ක්‍රීඩක කොන්ත්‍රාත්තුවට එකඟත්වය පළ නොකිරීමට ක්‍රීඩකයන් කටයුතු කිරීමේ සූදානමක්‌ පවතින බව වාර්තා වේ.

මෙසේ කිරීමට මූලිකම හේතුව ලෙස මෙම තරගාවලියට සහභාගිවන විදෙස්‌ ක්‍රීඩකයන් සඳහා ඩොලර් ලක්‍ෂ ගණනින් මුදල් ගෙවීමටත්, දේශීය තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන්ට එම දේශීය මිල ගණන්ම ගෙවීමට කටයුතු කිරීමේ කූට උපක්‍රමයක්‌ දියත්වෙමින් පැවැතීම බවත් සඳහන් වේ.

ජාතික සංචිතයේ පසුවන ක්‍රීඩකයන් 20 දෙනෙකුද සමගින් මුලු ක්‍රීඩකයන් 60 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩකයන් පිරිසක්‌ මෙම 2012/13 වසර සඳහා කොන්ත්‍රාත් ගත කිරීමට නියමිතව සිටියි.

මේ පිළිබඳව කරන ලද විමර්ශනයකදී, යම් ලෙසකින් මෙම ක්‍රීඩකයන් මෙම කොන්ත්‍රාත්තුවට අත්සන් තැබුවහොත් සියලුම ක්‍රීඩකයන් ක්‍රිකට්‌ ආයතනයේ ගිවිසුම්වලට අවනත විය යුතු වන බවත්, එහිදී වසරට අදාළ ගෙවීම් ක්‍රිකට්‌ ආයතනයෙන් සිදු කරන බැවින් අදාළ එස්‌. එල්. පී. එල්. තරගාවලියද දේශීය ගෙවීම් යටතේ ක්‍රීඩා කිරීමට එම ක්‍රීඩකයන්ට සිදුවන බවත් "දිවයින"ට අනාවරණය කර ගැනීමට හැකි විය.

මේ ආකාරයෙන් ක්‍රීඩකයන් යොදා ගනිමින් විශාල මුදලක්‌ සොයා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මෙන්ම එහි කොටස්‌කරුවන් වන සමර්සෙට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ ආයතනය පූර්ණ අවධානය යොමුවී තිබෙන බව එම ක්‍රීඩකයන්ට දැන ගැනීමට හැකිවී තිබේ.

මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි ජාතික තලයේ ක්‍රීඩකයකු "එස්‌. එල්. පී. එල්. තරගාවලියෙදී අපිට ගෙවන ගණන් සම්බන්ධව කිසිදු විනිවිධ භාවයක්‌ නැහැ. මෙයාලා ඒ ගැන කිසිම දෙයක්‌ කියන්නෙත් නැහැ. විදෙස්‌ ක්‍රීඩකයන්ට ඩොලර් 75,000 යි ලක්‍ෂයි ගෙවන කොට අපිට රුපියල් පන්දාහයි හයදාහයි. ඒක හරි අසාධාරණ ක්‍රියාවක්‌" යනුවෙන් සඳහන් කළේය.

මෙම තරගාවලිය පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ ක්‍රිකට්‌ ආයතනය සභාපති උපාලි ධර්මදාස සහ එහි ලේකම් නිශාන්ත රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන මූලස්‌ථානයේ පැවැති අතර එහිදී විකාශන අයිතිය ලබාදීම සම්බන්ධව තවමත් තීරණයකට එළැඹ නොමැති එහිදී සඳහන් විය.

එහෙත් මේ පිළිබඳ තතුදත් අයෙකු සඳහන් කර සිටියේ, මේ වන විටත් ඒ සම්බන්ධව ඊ. එස්‌. පී. එන්. ආයතනයට ලබාදීම සඳහා වූ සියලු එකඟතාවන් දෙපාර්ශ්වය අතර ඇතිවී තිබෙන බවයි.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි තවත් ක්‍රීඩකයකු සඳහන් කළේ, "ටී. වී. ඩීල් එකෙන් ලොකු ගාණක්‌ එනවා. එහෙම එකේ අපිව සොච්චමකට ගැනීම කිසි විටෙකත් අනුමත කළ නොහැකියි. අපි කියන්නේ විදෙස්‌ ක්‍රීඩකයන් වගේම අපිවත් ප්‍රසිද්ධියේ වෙන්දේසි විය යුතුයි, එහෙම වුණොත් විදෙස්‌ ක්‍රීඩකයන්ට සාපේක්‍ෂව අපිට සාධාරණයක්‌ ඉටුවේවි" යනුවෙන් සඳහන් කළේය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්