Sunday, May 13, 2012

SLPLසදහා විදෙස්‌ ක්‍රීඩකයෝ සහභාගි වේවිද?


ක්‍රිකට්‌ තරග රටා තුනකි. ඒ ටෙස්‌ට්‌, පන්දුවාර 50 සහ පන්දුවාර 20-20 යනුවෙනි. එහි පන්දුවාර 20-20 දැන් ලොව ජනප්‍රියම තරග රටාව බවට පත්ව තිබේ. ඒ සඳහා කදිම නිදසුන අයි.පී.එල්. තරගාවලියයි. ශ්‍රී ලංකාවත් එවැනි තරගාවලියක්‌ එස්‌.එල්.පී.එල්. හෙවත් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ලෙස පැවැත්වීමට දැන් සියලු කටයුතු සූදානම් කරමින් සිටී. එහෙත් විදෙස්‌ ක්‍රීඩකයෝ ඒ සඳහා සහභාගි වේවිද? යන ප්‍රශ්ණය උඩුදුවමින් තිබෙන වාතාවරණයක්‌ යටතේ ලබන අගෝස්‌තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්‌වා ස්‌ථිර වශයෙන්ම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇත.

එළැඹෙන 20-20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරු තරගාවලියක්‌ ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මැදිහත් වීමෙන් සහ සිංගප්පූරුවේ සමර්සේට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ඉකුත් වසරේ පළමුවරට මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණද ඉන්දියානු නම් දැරූ ක්‍රීඩකයන් සහභාගි නොවීම හේතුවෙන් සහ විවිධ ගැටලු හේතුවෙන් තරගාවලිය මෙම වසර දක්‌වා කල් තැබිණ. ඩී.එස්‌. සිල්වාගේ සභාපතිත්වය දැරූ ඉකුත් වසරේදී සිංගප්පූරුවේ සමර්සෙට්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ ආයතනය සමග අදාළ තරගවලිය වෙනුවෙන් ඉදිරි වසර පහක්‌ සඳහා මේ වන විට ගවිසුම් ගතව ඇත.

උපාලි ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තරගාවලිය ස්‌ථිර වශයෙන් පැවැත්වීමට දින වකවානු සැලසුම් කර ඇති අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණවල තරගාවලිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. තරග 24 කින් සමන්විත මෙම තරගාවලිය සඳහා කණ්‌ඩායම් 7 ක්‌ තරග වදිති.

විදෙස්‌ ක්‍රීඩකයන්ට ආරාධනා කිරීම සහ තරගාවලියේ තරග කාල සටහන සකස්‌ කිරීම මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සිදුකෙරෙන අතර කණ්‌ඩායම් සඳහා විදෙස්‌ ක්‍රීඩකයන් බඳවා ගැනීම අනුග්‍රහක ආයතනයේ මැදිහත්වීම මත ඉදිරියේදී සිදුවීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා විටෙක ප්‍රබල විදෙස්‌ ක්‍රීඩකයන් සහභාගි විය හැකි බව සඳහන් වුවද තවත් විටෙක ඔවුන් සහභාගි නොවීමේ සම්භාවිතාවක්‌ පවතී. මෙම තරගාවලියෙන් පසුව 20-20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන බැවින් ක්‍රීඩකයන් ආබාධවලට ලක්‌වීම හේතුවෙන් ඇතැම් රටවල් විදෙස්‌ ක්‍රීඩකයන්ව සහභාගි කරවීමට මැලිකමක්‌ දැක්‌වීමේ හැකියාවක්‌ ඇත. එහෙත් 20-20 ලෝක කුසලාන පෙරහුරුවක්‌ ලෙස ඇතැම් ක්‍රීඩකයන් සහභාගි කරනු ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් කණ්‌ඩායම් හතක්‌ තරග වදින එස්‌.එල්.පී.එල්. තරගාවලියේ බස්‌නාහිර බෙයාර්ස්‌, කඳුරට කයිට්‌ස්‌, නැගෙනහිර නාගාස්‌, රුහුණු රයිනෝස්‌, උතුර ඔරික්‌සස්‌, ඌව යුනිකෝන්ස්‌ සහ වයඹ වුල්ව්ස්‌ යනුවෙන් කණ්‌ඩායම් නම් කර ඇත.

මෙතෙක්‌ කණ්‌ඩායම්වල නායකත්වය පිළිබඳව ස්‌ථිර වාර්තාවක්‌ වාර්තා නොවුනද බස්‌නාහිර බෙයාර්ස්‌ කණ්‌ඩායම තිලකරත්න ඩිල්ෂාන් විසින්ද කඳුරට කයිට්‌ස්‌ කණ්‌ඩායම කුමාර් සංගක්‌කාර විසින්ද නැගෙනහිර නාගාස්‌ කණ්‌ඩායම ෂහිඩ් අෆ්රීඩි විසින්ද රුහුණ රයිනෝස්‌ කණ්‌ඩායම සනත් ජයසූරිය විසින්ද උතුර ඔරික්‌සස්‌ කණ්‌ඩායම ඩැනියෙල් වෙටෝරි විසින්ද ඌව යුනිකෝන්ස්‌ කණ්‌ඩායම චමින්ද වාස්‌ විසින්ද වයඹ වෝල්වස්‌ කණ්‌ඩායම මහේල ජයවර්ධන විසින්ද හොබවන බවට ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

සෑම තරගයකදීම එක්‌ කණ්‌ඩායම දේශීය ක්‍රීඩකයන් හත් දෙනකු සහභාගි විය යුතු අතර ඉන් එක්‌ ක්‍රීඩකයකු වයස අවුරුදු 21 කට අඩුවිය යුතුය. තරගයකදී කණ්‌ඩායමකට ක්‍රීඩා කළ හැක්‌කේ උපරිමය විදෙස්‌ ක්‍රීඩකයන් හතරක්‌ පමණි.

ඉන්දියානු ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය 20-20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්‌ක කර ගනිමින් පෙර පරිදි ඔවුන්ගේ සුපිරි ක්‍රීඩකයන් මෙවර ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි කරවීමට අකමැත්ත පළ කළහොත් එය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට කොකා පෙන්වීමක්‌ බඳු විය හැකිය. මන්ද අයි.පී.එල්. තරගාවලියට ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය සියලු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ඉන්දියාවට ලබාදෙද්දී ඉන්දියානු ක්‍රීඩකයන් ආරක්‍ෂා කර ගැනීමට ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය උත්සුක වුවහොත් එය ඉදිරියේදී අයි.පී.එල්. සහ එස්‌.එල්.පී.එල්. වෙනුවෙන් ප්‍රශ්නාර්ථයක්‌ මතුවනු ඇත. එවැනි වාතාවරණයක්‌ උඩ තරගාවලිය නියෝජනය කරන විදෙස්‌ ක්‍රීඩකයන් පිළිබඳව ඉදිරි දින කිහිපයේදී ස්‌ථිර වාර්තාවක්‌ ලබා ගැනීමට හැකිවනු ඇත.

2 comments:

  1. ohammama thama wenne lankawata koka penawi indiawa

    ReplyDelete
  2. http://www.hindustantimes.com/sports-news/cricketnews/Indian-players-could-play-in-SLPL-BCCI/Article1-854845.aspx

    ///Last time around, there were specific reasons why the BCCI could not support the tournament. And we informed the Sri Lankan board at that time.

    "This time, if there are any proposals made, we will examine it. And we have to be satisfied that the doubts and problems we had last time will not continue," Srinivasan said.///

    මේකේ විදිහට නම් අවුලක් වෙන එකක් නෑ , මුන්ට මොනවද දන්නේ නැ මෙයාකාර තියන ප්‍රශ්න විසඳ ගන්න

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්