Friday, April 1, 2011

වාස්‌ සහ රන්දිව් ශ්‍රී ලංකා කණ්‌ඩාමට එක්‌වෙති මැතිව්ස් වෙනුවට රන්දිව් නම් කරයි

මුත්තයියා මුරලිදරන්ගේ සහ ඇන්ජලෝ මැතිව්ස්‌ගේ ආබාධ තත්ත්වයන් හේතුවෙන් අතිරේක ක්‍රීඩකයන් වශයෙන් චමින්ද වාස්‌ සහ සුරාඡ් රන්දිව් ශ්‍රී ලංකා සංචිතයට ඊයේ (31 දා) එක්‌වුහ.

මුරලිදරන්ගේ ආබාධ තත්ත්වය තවමත් පරීක්‍ෂණ මට්‌ටමේ පවතින අතර ඇන්ජලෝ මැතිව්ස්‌ද කෙසේ හෝ හෙට (02 දා) පැවැත්වෙන අවසන් තරගය සඳහා ක්‍රීඩා කරවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව ඊයේ වන විටත් සාකච්ඡා මට්‌ටමේ සිටි බව වාර්තා වේ.

පළමු වටයේ නවසීලන්තය සමග පැවැති තරගයේදී මුරලිදරන්ගේ කලව ප්‍රදේශයේ ආබාධයක්‌ ඇති වූ අතර එය සම්පූර්ණ සුව වීමට පෙර ඔහු අර්ධ අවසන් සහ අවසන් පූර්ව තරගවලට ක්‍රීඩා කිරීම මත මෙම අවදානම් තත්ත්වය උද්ගතවී ඇත. කෙසේ වෙතත් සිය අවසන් ජාත්‍යන්තර එක්‌දින තරගය ක්‍රීඩා කිරීමේ දැඩි අවශ්‍යතාවකින් සහ ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ජයගැනීමේ ආශාවෙන් සිටින මුරලිදරන් හෙට වන විට සම්පූර්ණ සුවය ලබනු ඇතැයි කණ්‌ඩායම් ආරංචි මාර්ග විශ්වාස කරයි.

නවසීලන්තය සමග පැවැති තරගය අතරතුර පන්දු රකිමින් සිටියදී මස්‌ පිඬු පෙරළීමේ ආබාධයකට ලක්‌වූ මැතිව්ස්‌ද ඊයේ වන විටත් සුවය නොලබා තිබුණ අතර ඔහු ක්‍රීඩා කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද වෛද්‍ය වාර්තා අනුව තීරණය කිරීමට නියමිතය.

චමින්ද වාස්‌ වසර දෙකහාමරකින් පමණ ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායම නියෝජනය නොකළ අතර සුරාඡ් රන්දිව් ලෝක කුසලාන තරගාවලියට පෙර සිට පැවැති අවසන් තරගාවලි කිහිපයම ක්‍රීඩා කර තිබේ. වාස්‌ට ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය නොමැති වුවද දේශීය සහ විදේශීය තරගවලට ක්‍රීඩා කරමින් ඔහු හොඳින් දස්‌කම් දක්‌වා තිබීම මත අදාළ අවස්‌ථාව ලැබී තිබේ. ශ්‍රී ලංකා කණ්‌ඩායම සමග වාස්‌ සහ රන්දිව් අද පුහුණුවීම් අරඹන අතර කණ්‌ඩායමට ක්‍රීඩා කිරීම සහ නොකිරීම පිළිබඳ තීරණය මුරලිදරන්ගේ සහ මැතිව්ස්‌ ගේ සෞඛ්‍ය තත්ත්වය අනුව තීරණය වේ.

මුම්බායි ප්‍රදේශයට රාත්‍රි කාලයේ අධික මීදුම පතිත වන අයුරු ඊයේ සන්ධ්‍යාවේ දැක ගන්නට ලැබු හෙයින් එය කණ්‌ඩායම් දෙකටම හෙට තරගයේදී විශාල අභියෝගයක්‌ වනු ඇත.

ඉන්දියානු කණ්‌ඩායමද ඊයේ මුම්බායි නුවර බලා පැමිණි අතර කණ්‌ඩායම් දෙකම අවසන් තරගයට පෙර සහභාගි වන අවසන් පුහුණු සැසියට අද දිනයේදී සහභාගි වීමට නියමිතය.

හෙට තරගය සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්‌ ඉන්දීය ආරක්‍ෂක අංශ විසින් දැනටමත් දියත් කර ඇති අතර ක්‍රීඩාංගණයට ඇතුලු වන සෑම දෙනාම පරීක්‍ෂාවට ලක්‌කිරීමටද තීරණය කර තිබේ.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්