Wednesday, February 8, 2012

ලෝක ශූරයන් හා අනුශූරයන් අතර ලෝක කුසලානයෙන් පසුව ප්‍රථම ගැටුම අද

දිවා රාත්‍රි තරගයක්‌ වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.

තරගාවලියේ ආරම්භක තරගයේදීම සත්කාරක ඔස්‌ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වූ ඉන්දියාවට අද දිනයේ ඇති සැනසුම් සහගත තත්ත්වය වන්නේ මීට මාස 10 කට පෙර ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමේ සුබවාදී මානසිකත්වය පමණි. ඒ හැරෙන්නට ඔවුන් ඔස්‌ටේ්‍රලියානු සංචාරයේදී ටෙස්‌ට්‌ තරගාවලිය 4-0 ක්‌ වශයෙන්ද අනතුරුව 20-20 තරගාවලිය පරාජයට පත්වී හෙම්බත්ව සිටිති.

ශ්‍රී ලංකාවද ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කිසිදු එක්‌දින තරගාවලියක්‌ ජයග්‍රහණය නොකළද ඉකුත් දකුණු අප්‍රිකානු සංචාරයේ අවසන් තරග දෙකේදී ලකුණු 300 කට වැඩි ඉලක්‌කයන් හඹා ගොස්‌ ජයග්‍රහණය කිරීමේ සුබවාදී මානසිකත්වය සමග අද තරග වදිනු ලබයි. "අපිට කණ්‌ඩායමක්‌ ලෙස පසුගිය දිනවල එක දිගට ජයග්‍රාහී රිද්මය පවත්වා ගන්න බැරිවුණා. ඒත් අපි දැන් අලුත් විදිහට හිතල තමයි මේ තරගාවලියට සහභාගි වෙන්නේ. තුන් ඉරියව්වෙන්ම සමබර දක්‍ෂතාව දැක්‌වීම තමයි අපේ අරමුණ." යනුවෙන් මහේල අදහස්‌ දක්‌වා සිටියි.

ඉකුත් ලෝක කුසලාන අවසන් මහ තරගයෙන් මාස 10 කට පසුව ලෝක ශූර ඉන්දියාව සහ එහි අනුශූර ශ්‍රී ලංකාව මුණ ගැසෙන පළමු අවස්‌ථාව මෙය වෙයි. මීට පෙර දෙපිළ එක්‌දින තරග 129 කට සහභාගි වී ශ්‍රී ලංකාව ජයග්‍රහණ 50 ක්‌ද ඉන්දියාව ජයග්‍රහණ 68 ක්‌ද ලබා තිබේ.

ඩිල්ෂාන් නායකත්වයෙන් ඉවත්වීමෙන් පසු මහේල ජයවර්ධනගේ නව නායකත්වය යටතේ සහ නව පුහුණුකරුවකු යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගයද මෙය වන අතර මීට පෙර මහේල ශ්‍රී ලංකාව මෙහෙයවූ තරග 94 කදී ජයග්‍රහණ 54 ක්‌ ශ්‍රී ලංකාවට ලබා දීමට සමත්ව ඇත.

අද තරගයේදී කුමාර් සංගක්‌කාර ලකුණු 90 ක්‌ ලබාගත හොත් ලකුණු දස දහස සම්පූර්ණ කළ ලොව දහ වැන්නා සහ ශ්‍රී ලංකාවෙන් එවැනි දස්‌කමක්‌ කළ තෙවැන්නා ලෙස ඔහු ඉතිහාස ගත වනු ඇත. සංගක්‌කාර දැනට එක්‌දින තරග 311 කදී ලකුණු 9910 ක්‌ ලබා තිබේ.

වේග පන්දු යවන්නන්ට උචිත තණතීරුවක්‌ ලෙස හඳුන්වනු ලබන පර්ත් තණතීරුවේ මෙම තරගය සඳහාද මද කොළ පැහැයකින් යුත් තණතීරුවක්‌ සකසා ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව පර්ත් ක්‍රීඩාංගණයේදී එක්‌දින තරගයකට පිවිසෙන්නෙ (2008 න් පසුව) සිව් වසරකට පසුව වන අතර ඉන්දියාව පර්ත් ක්‍රීඩාංගණයේදී එක්‌දින තරගයකට සහභාගි වන්නේ (2004) වසර 12 කට පසුවීම විශේෂත්වයකි. මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව තරග 15 කට සහභාගි ජයග්‍රහණ 2 ක්‌ ලබා ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා වන්නේ 233 කි. ඉන්දියාව පර්ත් ක්‍රීඩාංගණයේදී සහභාගි වී ඇති තරග 9 කදී ජයග්‍රහණ තුනක්‌ ලබා තිබුණද ඔවුන් ලබා ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 227 ක්‌ ලෙස සටහන් වේ.

තරගාවලියට පෙර ශ්‍රී ලංකාව පුහුණු තරග දෙකකට සහභාගි වුවද ඉන් එක්‌ තරගයක්‌ වර්ෂාවට සේදී ගිය අතර සෙසු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්විය. වික්‌ටෝරියා දෙවැනි පෙළ කණ්‌ඩායම සමග පැවැති එම පුහුණු තරගයට මහේල, ඩිල්ෂාන්, මැතිව්ස්‌ සහ මාලිංග යන ප්‍රබල ක්‍රීඩකයන් ක්‍රීඩා නොකළද ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 173 ක ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 149 ට සීමා විය. "පුහුණු තරගයේ පරාජය මේ තරගයට කොහෙත්ම බලපෑමක්‌ නැහැ. අපේ සැලසුම තියෙන්නේ තරගාවලියේ ඉදිරියට යැම පමණයි." යනුවෙන් මහේල අදහස්‌ දක්‌වා තිබේ.

ඉන්දියානු නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි අද තරගයේදී විවේක ගැන්වීම පිළිබඳව වාර්තා වුවද එහි අවසන් තීරණය අද උදෑසන තීරණය වන බවද වාර්තා වේ. දෝනි අද ක්‍රීඩා නොකළොත් ෂෙවාර්ග් ඉන්දියානු කණ්‌ඩායම මෙහෙයවනු ලබයි. කෙසේ වෙතත් ඉන්දියානු නවක ක්‍රීඩකයන්ට අවස්‌ථාව ලබාදීම තම කණ්‌ඩායමේ ප්‍රධාන අරමුණ බව ෂෙවාර්ග් පවසයි. එබැවින් නායක දෝනි ක්‍රීඩා කළහොත් ආරම්භක පිතිකරු වූ ගෞතම් ගාම්භීර්ට ස්‌ථානය අහිමිව යැමේ අවධානමක්‌ පවතී.

තරගයට සහභාගි වීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකාව කණ්‌ඩායම - තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, නුවන් කුලසේකර, රංගන හේරත්, ලසිත් මාලිංග,  ධම්මික ප්‍රසාද්

තරගයට සහභාගි වීමට අපේක්‍ෂිත ඉන්දියානු කණ්‌ඩායම - විරේන්ද්‍ර ෂෙවාර්ග්, සචින් ටෙන්ඩුල්කාර්, රෝහිත් ෂර්මා, සුරේෂ් රයිනා, මහේන්ද්‍ර සිං දෝනි, ඉර්පන් පතන්, රවී චන්ද්‍රන් අස්‌වින්, විනි කුමාර්, ප්‍රවීන් කුමාර්, සහීර් ඛාන්

 

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්