Saturday, July 24, 2010

අලුත් තාලයේ බෙහෙත් වට්‌ටෝරුවට එක්‌ වන බෙහෙත් නො වන වෙනත් දේ

ඖෂධ පරිභෝජනය ආහාර පරිභෝනය තරමට ම අද අපේ ජනතාවට සමීප වී ඇති බව පැහැදිලි ය. ඖෂධ පමණක්‌ නො ව ඖෂධ මුහුණුවරින් තවත් දේ ඉවක්‌ බවක්‌ නැතිව රටට ගොඩබැසීමේ අවකාශය සැලසී ඇත්තේ ඒ අනුව ය. එලෙස රටට ද, ෆාමසියට ද, ඇතැම් වෛද්‍යවරුන් ගේ දිගු වට්‌ටෝරුවට ද, අවසානයේ කොයි කාගේත් උදරයට ද ගොඩ වන බෙහෙත් නො වන වෙනත් දේ පිළිබඳව විමසිලිමත් වීම බෙහෙවින් වැඩදායක ය. එවැනි විමසිලිමත් වීමකින් අවම විය හැක්‌කේ නැති ලෙඩ ගොඩ වීමේ ඉඩ ය.

ඖෂධයක්‌ ලෙස සඳහන් වන්නේ රෝග විනිශ්චයකට, ප්‍රතිකාරයකට, රෝගයක්‌ කායික අසාමාන්‍යතාවක්‌ හෝ ඒ හා බැඳෙන රෝග ලක්‌ෂණයක්‌ වළක්‌වන්නට, බැහැර කරන්නට ද, වෙනසකට පත් කායික ක්‍රියාකාරිත්වයක්‌ යථා තත්ත්වයට පමුණුවන්නට, නිවැරැදිව සකස්‌ කරන්නට ද යොදා ගැනීම සඳහා නිපදවන හා අලෙවි වන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍ය මිශ්‍රණයකි.

එලෙස ඖෂධ අරුත් ගැන්වෙන්නේ තිස්‌ වසරකට පෙර අපේ රටේ නීතිගත කළ, 1980 අංක 27 දරන, විලවුන්, උපකරණ හා ඖෂධ පනතේ සඳහන් වගන්තියකිනි. Cosmetics, Devices and Drugs Act No - 27,  1980)

පනතෙහි සඳහන් මේ වගන්තියේ අවසානයට එක්‌ වී ඇති තවත් සටහනකින් පළ වන්නේ ආයුර්වේද හෝ හෝමියෝපති හෝ ඖෂධ, අදාළ අරුත් ගැන්වීමට ඇතුළත් නො වන බව ය.

විලවුන්, උපකරණ සහ ඖෂධ ලියාපදිංචියට ප්‍රමිතිය පවත්වා ගැනීමට හෝ අවශ්‍ය විටෙක ආනයනය, අලෙවිය නැවැත්වීමට හෝ පනතින් හිමි වන බලතල ක්‍රියාත්මක කළ හැක්‌කේ විලවුන්, උපකරණ හා ඖෂධ පිළිබඳ තාක්‌ෂණික උපදේශක කමිටුවට ය. ඉහළ සෞඛ්‍ය බලධාරීන්, ඖෂධවේද මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් අතුළු අදාළ සියලු පාර්ශ්වයන් නියෝජනය වන පසළොස්‌ දෙනකු ගෙන් සමන්විත මේ කමිටුවට කළ හැකි දේ සුළු නැත. පනත ක්‍රියාත්මක වී තිස්‌ වසරක්‌ සපිරෙන අතරතුර දී රටේ ඖෂධ අලෙවියෙන් සිදු ව ඇති බහුවිධ වෙනස්‌කම් මැදහත් පරීක්‌ෂාවකට ලක්‌ කිරීම ද, පනතේ කොතැනක හෝ අඩුලුහුඬුකම්, ඇත්නම් නොපමාව සකස්‌ කිරීම ද කමිටුවෙන් අදට විය යුතු කාර්යයන් අතර ප්‍රධාන ය.

ඖෂධ භාවිතය පිළිබඳව කෙරෙන විමසුමක දී මතකයට පිවිසෙන තවත් මාතෘකාවක්‌ වන්නේ ඖෂධ දාමය ය. (Medicine chain). මේ මාතෘකාවේ අන්තර්ගත වන උප මාතෘකා වන්නේ, ඖෂධ නිෂ්පාදනය, පාලනය හා භාවිතය, ඖෂධ දාමයේ දී සදාචාරයට පටහැනි දේ සිදු විය හැකි බව හා එබඳු ඇතැම් සිදුවීම් වාර්තා වීම් හෝ හෙළිදරව්වීම්වලට පාත්‍ර නො වන බව ද පැහැදිලි ය. ඖෂධ දාමය තුළ සදාචාරයට පටහැනි දේ සිදු වන ලෝකයේ රටවල ඒ සඳහා හේතු වී ඇත්තේ නීති ප්‍රතිපාදන නොමැති වීම, පවතින අතුරු පනත් හරිහැටි ක්‍රියාත්මක නො වීම හෝ කාලයේ වෙනසට අනුව නීතිරීති ගැළපෙන අයුරින් සකස්‌ නොවීම ය.

ව්‍යාජ ඖෂධ (Counterfeit medcines) අද පත් ව ඇත්තේ, ලෝකයේ විවිධ රටවල විවිධ ප්‍රමාණයෙන් පවතින ගැටලුවක්‌ බවට ය. එවැනි ඖෂධ ඉදිරිපත් වන්නේ වංචා සහගත හැඳින්වීම් සහිතව ය. ඇතැම් විට ක්‍රියාකාරී සංඝටක නැති හෙයින් ප්‍රතිකාරය ඵල රහිත වීම ද, තවත් විටෙක වැරැදි සංඝටක ඇති හෙයින් ජීවිතය අවසාන වීම ද මෙවැනි ව්‍යාජ ඖෂධ භාවිතයක ප්‍රථිඵලයක්‌ විය හැකි ය. ව්‍යාජ ඖෂධ ලෙස සැකයට භාජන වීමට හෝ හඳුනා ගැනීමට ඇති අවකාශය මඟහරවමින්, අලෙවිකරණයේ දී දිනෙන් දින වෙනස්‌ වන ක්‍රමවේද අනුගමනය කෙරෙන ආකාරය ද එහි දී පැහැදිලි ය.

පිළිගත් වෛද්‍යවරයකුට සිය බෙහෙත් වට්‌ටෝරුවේ ඇතුළත් කළ හැක්‌කේ, රෝගයට අදාළව තමන්ට සහතික විය හැකි ඖෂධයක්‌ පමණි. එවැනි සහතික වීමකට හැකියාව සපයන්නේ, වෛද්‍ය විද්‍යාවේ දී හදාරන ඖෂධවේදය පිළිබඳ පිළිගත් පතපොත, ලේඛන අතර සටහන් වන නිවැරැදි ඖෂධ සම්බන්ධව ලියෑවුණු වතගොත ය. එවැනි නිවැරැදි හා පිළිගත් ඖෂධයක්‌ රෝගයක්‌ සඳහා නියම කෙරෙන්නේ ද රෝගියා පිළිබඳව වන මනා සැලකිලිමත් වීමකින් අනතුරු ව ය. ඖෂධ ප්‍රතිකාරයේ දී රෝගියා ගේ වයස, බර හා පැවති හා පවතින වෙනස්‌ රෝග පිළිබඳව අවධානය යොමු වන්නේ ඒ අනුව ය.

ඖෂධයක්‌ පිළිගත් ඖෂධයක්‌ වන්නට පසු කළ යුතු අවස්‌ථා කිහිපයකි. වෛද්‍ය විද්‍යාත්මකව, සිදු වන අත්හදා බැලීම් ක්‍රියාත්මක වන්නේ ඖෂධ උපාංග හෝ ප්‍රතිකාර ක්‍රමවේදයන්හි ආරක්‌ෂිතබව හා ඵලදායී බව තහවුරු කර ගැනීමට ය. එවැනි අත්හදා බැලීමක්‌ ඇරඹිය හැකි වන්නේ ද මූලික තොරතුරු එක්‌රැස්‌ කොට ගැනීමෙන් අනතුරුව අදාළ සෞඛ්‍ය හා ආචාර ධර්ම සම්බන්ධ අංශයන් ගේ අනුමැතිය ලැබීමෙන් පසුව පමණි. එතැන් පටන් සිදු වන්නේ ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වන සෞඛ්‍ය සම්පන්න කණ්‌ඩායමක්‌ හා රෝගීන් යොදා ගනිමින් මුල දී කුඩා කණ්‌ඩායම් සඳහා වන සමීක්‌ෂණ ව්‍යාපෘති ද, පසුව විශාල කණ්‌ඩායම් සඳහා වන මහා පරිමාණයේ සමීක්‌ෂණ ව්‍යාපෘති ද ක්‍රියාත්මක වීම ය. අත්හදා බැලීම් සඳහා යොදා ගන්නා කණ්‌ඩායමේ විශාලත්වය ක්‍රමයෙන් වැඩි කරනුයේ ඖෂධයේ සුරක්‌ෂිත බව හා ඵලදායී බව පිළිබඳව දැකිය හැකි යහපත් ආකාරයේ ප්‍රතිඵලයකට අනුරූපව ය. අරම්භයේ දී එක්‌ රටක එක්‌ මධ්‍යස්‌ථානයක සිදු වන අත්හදා බැලීමක්‌, අවසානයේ දී රටවල් කිහිපයක මධ්‍යස්‌ථාන කිහිපයකට ව්‍යාප්ත වන්නේ ඒ අනුව ය.

ඖෂධ අත්හදා බැලීමක පවතින මූලික අදියර ගණනින් පහකි. පළමු අදියර නම් වන්නේ බිංදුවෙනි. (Phase 0)ග එහි දී ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වන කණ්‌ඩායම 10 සිට 15 දක්‌වා වන කුඩා පිරිසකට සීමා වන අතර ලබා දෙන්නේ ද ඖෂධයේ නියමිත මාත්‍රාවට වඩා අඩු මාත්‍රාවකි. ඖෂධයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මූලික හා ප්‍රථමික දත්ත එක්‌ රැස්‌ කර ගැනීම මේ අවස්‌ථාවේ අරමුණ ය. අදාළ අත්හදා බැලීම පැවැත්වීමට හෝ නැවැත්වීමට හෝ තීරණය වන්නේ එලෙස එක්‌රැස්‌ වන දත්තයන් පිළිබඳව වන නිවැරැදි තක්‌සේරුවකට අනුව ය.

අදියර I (Phase I) ඊළඟ අවස්‌ථාවයි. එහි දී අත්හදා බැලීම් සඳහා බොහෝ විට යොදා ගැනෙන්නේ ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වන 20 සිට 100ක්‌ දක්‌වා වන සෞඛ්‍ය සම්පන්න කණ්‌ඩායමකි. ඖෂධයේ සුරක්‌ෂිත බව, සිරුරට ඔරොත්තු දිය හැකි ස්‌වභාවය, බලපෑම සහ විවිධ ප්‍රමාණයෙන් ලබා දෙන මාත්‍රාවන් ගේ උචිත බව එහි දී සොයා බැලෙන කරුණු අතර ප්‍රධාන ය. විකල්ප ප්‍රතිකාර සොයා ගැනීම අපහසු රෝග තත්ත්වයන් සම්බන්ධයෙන්, අදාළ රෝගී කණ්‌ඩායම් ද ඇතැම් විට මේ අවස්‌ථාව සඳහා යොදා ගැනෙනු ඇත. එච්.අයි.වී. ආසාදනය සහ ඇතැම් බරපතල පිළිකා රෝග තත්ත්වයන් ඒ සඳහා උදාහරණයන් ය.

අදියර II (Phase II) සඳහා 20 සිට 300 දක්‌වා වන සෞඛ්‍ය සම්පන්න හා අදාළ රෝග තත්ත්වයේ පසු වන රෝගීන් වශයෙන් වන කණ්‌ඩායම් යොදා ගැනෙන්නේ අදියර ෂහි දී ඖෂධයේ සුරක්‌ෂිත බව තහවුරු වීමෙන් අනතුරුව ය.

අදියර III (Phase III) ස්‌ථාන වැඩි ගණනක 300 සිට 3000 දක්‌වා වන වැඩි කණ්‌ඩායමක්‌ අතර සිදු වනුයේ ප්‍රමාණාත්මකව ඖෂධයේ පලදායී බව නිර්ණය කිරීමට සහ අදාළ රෝග තත්ත්වය සඳහා දැනට භාවිත වන සුදුසු ම ඖෂධය සමග වන ගුණාත්මක සැසඳීමකට ය.

මෙය අත්හදා බැලීම් අවස්‌ථා අතරින් වැඩි වැයක්‌ හා වැඩි කාලයක්‌ යෙදවෙන අවස්‌ථාවකි. මේ අවස්‌ථාවේ අත්හදා බැලීමට ලක්‌ වන ඖෂධයක්‌ ලොව පිළිගත් ඖෂධ පාලන ආයතනයන්හි මාර්ගෝපදේශනයට හා අනුමැතියට යටත් ව රෝගීන් සඳහා භාවිත කළ හැකි අතර එහි දී පවතින ප්‍රධාන කොන්දේසිය වන්නේ අහිතකර අතුරු ප්‍රතිඵල වාර්තා වීමක දී අදාළ ඖෂධය වෙළෙඳපොළෙන් ඉවත් කළ යුතු බව ය.

අදියර IV (Phase III) ලෙස සැලකෙන්නේ අත්හදා බැලීමේ ක්‍රියාවලියේ අවසාන හෙවත් පස්‌ වැනි අවස්‌ථාව ය. එය හැඳින්වෙන්නේ "පසු අලෙවි ආවේක්‌ෂණ අත්හදා බැලීම" (Post Marketing Surveillance Trial) යනුවෙනි. අලෙවියට අනුමතිය ලැබීමෙන් අනතුරුව ඖෂධයේ සුරක්‌ෂිත බව පිළිබඳව දිගින් දිගට ම සිදු වන විපරමක්‌ ලෙස ක්‍රියාත්මක වන මේ අවස්‌ථාව මගින් කලාතුරකින් හෝ දීර්ඝකාලීනව විය හැකි අතුරු ප්‍රතිඵල සම්බන්ධයෙන් සොයා බැලෙනු ඇත.

ලොව පිළිගත් ඖෂධ ලෙස අදාළ පතපොත, ලේඛනවලට ඇතුළත් වන්නේ මෙවැනි විද්‍යාත්මක විමසුමකට හසු වන ඖෂධයන් ය. වෛද්‍යවරයකුට සිය බෙහෙත් වට්‌ටෝරුවේ මෙවැනි ඖෂධ ඇතුළත් කිරීමට ඇත්තේ සදාචාරාත්මක අයිතියකි. එහෙත් පිළිගත් අත්හදා බැලීම් ක්‍රියාවලියකට ලක්‌ ව ඇති බවට සහතිකයක්‌ නැති ඖෂධ නමින් හැඳින්වෙන වෙනත් දේ බෙහෙත් වට්‌ටෝරුවේ සටහන් වීමක දී අභියෝගයට ලක්‌ වන්නේ ද එලෙස සුරැකිය යුතු ආචාර ධර්මයන් ම ය.

අද ශාකසාර, ස්‌වාභාවික ආදී නාම විශේෂණ ඇති ව ෆාමසියට ද ඇතැම් වෛද්‍යවරුන් ගේ දිගු බෙහෙත් වට්‌ටෝරුවලට ද, අවසානයේ අදාළ සැබෑ තොරතුරු කිසිත් නො දන්නා රෝගීන් ගේ උදරයට ද, රුධිරයට ද ගොඩ වන අලුත් කාලයේ හා තාලයේ ඖෂධයන්හි සැඟවුණු qතිත්ත ඇත්ත හෙළි කර ගැනීම රටට ද ජනතාවට ද බෙහෙවින් ගුණදායක ය. සිරුරේ රුධිර ගමනාගමනය ස්‌වාභාවික අයුරින් පවත්වා ගන්නට ද, අධි රුධිර පීඩනය හොඳ රුධිර පීඩනයකට ගන්නට ද, රුධිර කොලෙස්‌ටරෝල් රිසි සේ මට්‌ටම් කර දමන්නට ද, සිරුරේ සියලු අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වයන් සමතුලිත කොට කායික යහ පැවැත්මට වැඩි ඉඩක්‌ දෙන්නට ද, මැදි වියට පත් වන කාන්තාවන් ගේ ආර්තවහරණයට, පසු ඇති වන වෙනස්‌වීම් රිසි පරිදි සකස්‌ කරගන්නට ද, විකිණෙන දේ මෙලෙස ගොඩ වන බෙහෙත් ලෙස සඳහන් වන වෙනත් දේ අතර ප්‍රධාන ය.

මෙලෙස භාවිතයේ යෙදෙන බෙහෙත් නො වන වෙනත් දේ මගින් ඇති විය හැකි අතුරු ප්‍රතිඵල වෙනුවෙන් වගකියන්නට කිසිවකු හෝ කිසිදු ආයතනයක්‌ හෝ නොමැති බව පැහැදිලි ය. ඖෂධ පරිභෝජනයේ දී ජනතාව අද වඩාත් පරෙස්‌සම් විය යුත්තේ වගකීමෙන් තොර වෙළෙඳ ප්‍රචාරණයෙන් නෙත හිත රටවා නො ගන්නට ය. ඖෂධ මුහුණුවරින් රටට ගොඩබැස, ඇතැම් වෛද්‍යවරුන් ගේ වට්‌ටෝරු මාර්ගයෙන් සිය සිරුරට පිවිසෙන පෙති, කරල්, දියර, විධිමත් පාලනයකට ලක්‌ වන තුරු ජනතාව අනුගමනය කළ යුත්තේ තමන් ගේ ආරක්‌ෂාව තමන් සලසා ගැනීමේ ක්‍රියා පිළිවෙත ය. එහි දී වට්‌ටෝරුවේ ලියා දෙන දේ වෛද්‍යවරයා ගෙන් අසා දැන ගැනීමට හුරුපුරුදු වීම බෙහෙවින් හිතකර ය. ලියා දෙන ඖෂධය රෝගියාට බලපවත්වන ආකාරය පිළිබඳව තොරතුරු සැපයීම වෛද්‍යවරයා ගේ ද වගකීම ය. ඇති ලෙඩ නැති වන්නටත්, නැති ලෙඩ ඇති නො වන්නටත් නිවැරැදි බෙහෙත් තෝරා බේරා ගැනීමේ හැකියාව හැකි පමණින් සපයා ගැනීම අද අත්‍යවශ්‍ය ය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්