Monday, August 29, 2011

සනත් ජයසූරියගේ ඇන ගැනීම

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පස්වන හා අවසාන එක්දින තරගය පැවති දිනයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට විස්තර ප්‍රචාරක කටයුතු සිදුකළ ජාත්‍යන්තර විස්තර විචාරක ටෝනි ග්‍රේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනත් ජයසූරියගෙන් ප්‍රශ්න දෙකක් ඇසූවේය.

"ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද.."
එහෙට මෙහෙට ඇඹරෙමින් සිටි සනත්ට එකී ප්‍රශ්නයට පිළිතුරක් ගොනු කර ගත නොහැකිවිය.

"නිල් මානෙල්.."ටෝනි ග්‍රේ කියා සිටියේය.
සනත් එය අනුමත කරමින් හිස වනා සිනාසුනේය.

"ඔබේ රටේ ජාතික වෘක්ෂය කුමක්ද..?"
ටෝනි ග්‍රේ යළිත් ඇසුවේය.

සනත් ජයසූරිය යළිත් උඩබිම බැලුවේය.

"නා"
ටෝනි ග්‍රේ සිහිපත් කළේය.

"ඒක මං දැනගෙන සිටියා"
සනත් යාම්තමට හිස වනා ජාම බේරාගන්නට උත්සාහ කළේය.

තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා ජයග්‍රහණය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.අතීතයේ මාස්ටර් බ්ලාස්ටර් ලෙස හැඳින් වූ සනත් ජයසූරිය තමන්ගේ රටේ ජාතික පූෂ්පය හෝ ජාතික වෘක්ෂය නොදැනීම කාටවත් ප්‍රශ්නයක් නොවී ජයග්‍රහණයේ උද්දාමයෙන් සියල්ල යටපත් වී ගියේය.

Tuesday, August 16, 2011

ඕස්ටේ‍්‍රලියාව හමුවේ පරාජ පිට පරාජ නිසා ශ්‍රී ලංකාව පහළටම වැටෙයි

 ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව දැන් පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස  ඕස්ටේ‍්‍රලියානු පිල පෙරමුණ ගැනීමත් සමග ශ්‍රී ලංකා පිල අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින රටවල් ශ්‍රේණිගත කිරීමේ දී සිවු වැනි ස්ථානය දක්වා පහතට වැටී තිබේ.

දෙරට අතර එක්දින තරගාවලිය ආරම්භවීමට පෙර ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 118 ක් ලබා දෙවැනි ස්ථානයේ සිටි අතර  ඕස්ටේ‍්‍රලියාව ලකුණු 130 ක් ලබා පළමු ස්ථානයේ පසුවිය. තරගාවලියේදී  ඕස්ටේ‍්‍රලියාව තරග 4-1 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්වුයේ නම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට ඔවුන්ට අවස්ථාව තිබුණි.

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්:


රට                                     ප‍්‍රසාද ලකුණු
1.ඕස්ටේ‍්‍රලියාව                       133
2. ඉන්දියාව                           117
3. දකුණු අප‍්‍රිකාව                    116
4. ශ‍්‍රී ලංකාව                           115
5. එංගලන්තය                        106
6. පාකිස්තානය                      100
7. නවසීලන්තය                       90
8. බටහිර ඉන්දීයකොදෙව්       78
9. බංග්ලාදේශය                      63
10. සිම්බාබ්වේ                        46
11. අයර්ලන්තය                      42
12. නෙදර්ලන්තය                     5
13. කෙන්යාව                           0

Saturday, August 13, 2011

ශ්‍රී ලංකා ඔස්‌ට්‍රේලියා දෙවැනි එක්‌දින ක්‍රිකට් තරගය හෙට

ඔස්‌ට්‍රේලියාව හමුවේ පියවරක්‌ පසු පසින් සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම දෙරට අතර තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ දෙවැනි තරගයට හෙට (14 දා) හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී සහභාගිවෙයි. තරගය හෙට ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිය.

පල්ලකැලේ ක්‍රීඩාං ගණයේදී පැවැති පළමු එක්‌දින තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 7 කින් පරාජය කරමින් ආරම්භයේදීම තරගාවලිය 1-0 ක්‌ ලෙස පෙරමුණ ගැනීමට ඔස්‌ට්‍රේලියාව සමත් වීම හෙට තරගයේදී ශ්‍රී ලංකාවට අමතර පීඩනයක්‌ ගෙන දෙන කරුණක්‌ වී තිබේ. අන්තර්ජාතික එක්‌දින ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වලද ඔස්‌ට්‍රේලියාවට වඩා පියවරක්‌ පසුපසින් පසුවන ශ්‍රී ලංකාව තරගාවලියේ ඉදිරි තරග හතරම ජයගතහොත් අදාළ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්‌ථානය දිනා ගනිමින් ඔස්‌ට්‍රේලියාව දෙවැනි තැනට ඇද දමනු ඇත. එම අභියෝගය සහ තරගාවලිය 1-1 ක්‌ ලෙස සමතැන් ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරගය ජයගත යුතුම වේ. "අපි ඔස්‌ට්‍රේලියාවට කඩුලු පූජා කළා. නමුත් වැරදි හදා ගනිමින් දෙවැනි තරගය ජයගෙන තරගාවලිය 1-1 ක්‌ ලෙස සමතැන් ගැනීමට අපි සූදානම් වෙනවා." යනුවෙන් ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පළමු තරගය පරාජයෙන් පසුව මාධ්‍ය හමුවේ පවසා තිබේ.

පළමු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්‌වූ කලබලකාරී පිතිහරඹය හේතුවෙන් ඔස්‌ට්‍රේලියානු පන්දු යවන්නන්ට කඩුලු පූජා කළ අතර එහිදී මිචෙල් ජොන්සන් කඩුලු 6 ක්‌ දවා ගැනීමට සමත් විය. එම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වූ උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන අනවශ්‍ය පහරවල් එල්ල කරමින් දැවී යාම ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පරාජයේ ප්‍රබල සාධකය බවට පත්විය. අදාළ පිතිකරුවන් හෙට තරගයේදී සන්සුන් පිතිහරඹයක නියෑලීම ඔස්‌ට්‍රේලියාව පරාජය කිරීමේ ප්‍රබල සාධකයක්‌ වනු ඇත.

ඔස්‌ට්‍රේලියානු ආරම්භක පිතිකරු ෂේන් වොට්‌සන් ගේ වේගවත් පිතිහරඹය මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ආරම්භයේදීම සැලසුම් සකස්‌ කළ යුතුවේ. මෙම තරගාවලියේ මෙතෙක්‌ කිසිදු තරගයකට ක්‍රීඩා නොකළ ලසිත් මාලිංග හෙට තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ. මාලිංගගේ පැමිණීමත් සමග සුරංග ලක්‌මාල්ට අවසන් 11 දෙනා අතරට එක්‌වීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වේ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග මෙම තරගයේදී තවත් ලකුණු 68 ක්‌ ලබාගතහොත් එක්‌දින ලකුණු 4000 සීමාව පසුකර යැමේ අවස්‌ථාවට හිමිකම් කියන අතර ඔහු මේ වන විට එක්‌දින තරග 122 කදී ශතක 11 ක්‌ සහ අර්ධ ශතක 19 ක්‌ සමග ලකුණු 3932 ක්‌ ලබා තිබේ. ශ්‍රී ලංකා උපනායක ඇන්ජලෝ මැතිව්ස්‌ සිය එක්‌දින ලකුණු 1000 සීමාව පසුකිරීමට තවත් ලකුණු 2 ක්‌ මෙපිටින් සිටින අතර ඔහු දැනට එක්‌දින තරග 50 කදී ලකුණු 998 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 35.64 ක්‌ ලෙස සටහන් වේ.

ඔස්‌ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් දෙරට අතර එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වීමේ අවස්‌ථාව අතපොවොන මානයේ සිට හෙට තරගයට සහභාගි වේ. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව සහභාගි වී ඇති එක්‌දින තරග 40 කදී ලකුණු 1503 ක්‌ ලබා තිබෙන අතර එහි පෙරමුණ ඔස්‌ට්‍රේලියාවේ හිටපු කඩුලු රකින ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්‌ට්‌ සතුව ඇත. ගිල්ක්‍රිස්‌ ශ්‍රී ලංකාව සමග එක්‌දින තරග 30 කදී ලකුණු 1511 ක්‌ ලබා තිබෙන අතර පොන්ටින්ට අදාළ කඩඉම පසුකිරීම සඳහා ලබාගත යුත්තේ තවත් ලකුණු 8 ක්‌ පමණි.

හෙට තරගය පැවැත්වෙන හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ මෙතෙක්‌ පවත්වා ඇත්තේ එක්‌දින තරග 2 ක්‌ පමණක්‌ වනහෙට තරගය එහි පවත්වනු ලබන තෙවැනි ජාත්‍යන්තර තරගය ලෙස සටහන් වේ. එම ක්‍රීඩාංගණය පිතිකරුවන්ට මනා සහයෝගයක්‌ දැක්‌වීමට බොහෝ දුරට අවකාශ ඇත. මහේල ජයවර්ධන කැනඩාවට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේදී රැස්‌ කළ ලකුණු 100 රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී වාර්තාවූ එකම ශතකය ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

තිලකරත්න ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌ (උපනායක), දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්‌, සුරාඡ් රන්දිව්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්‌, සුරංග ලක්‌මාල්, රංගන හේරත්, චාමර සිල්වා, තිසර පෙරේරා, ෂමින්ද එරංග

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම

මයිකල් ක්‌ලාක්‌ (නායක), ඩොග් බොලින්ජර්, ක්‌ෂේවියර් ඩර්ටි, බ්‍රැඩ් හැඩින්, ජෝන් හස්‌ටින්ග්, ඩේවිඩ් හසී, මයිකල් හසි, මිචෙල් ජොන්සන්, බ්‍රෙට්‌ ලී, ෂෝන් මාර්ෂ්, ඡේම්ස්‌ ගැමින්සන්, රිකී පොන්ටින්, ස්‌ටීවන් ස්‌මිත් සහ ෂේන් වොට්‌සන්

Sunday, August 7, 2011

ටෙස්‌ට්‌ ලෝක කුසලානට කැන්ගරුවන්ද? සිංහයන්ද?


එදා ඔස්‌ටේ්‍රලියාවට මුරලි අමාරුකාරයෙක්‌ වූවා සේම ශ්‍රී ලංකාවට ෂේන් වෝන් අමාරුකාරයෙක්‌ විය. එබැවින් ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර සටන බොහෝ විට මුරලි සහ වෝන් අතර සටනක්‌ බවට පත්විය. ඒ මීට සත්වසරකට පෙර ඔස්‌ටේ්‍රලියාව ශ්‍රී ලංකාවේ සංචාරය කරන විටය.

නවතම ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්

1. ඉන්දියාව 125

2. ද.අප්‍රිකාව 118

3. එංගලන්තය 117

4. ශ්‍රී ලංකාව 108

5. ඔස්‌ටේ්‍රලියාව 100

6. පාකිස්‌තානය 93
7. බ.ඉ.කොදෙව් 89
8. නවසීලන්තය 78
9. බංග්ලාදේශය 13

නමුත් මෙවර කණ්‌ඩායම් දෙක අතර පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලිය හුදෙක්‌ ලෝක ක්‍රිකට්‌ ශූරතාව සඳහා සුදුසුකම් ලැබීමේ සටනක්‌ බවට නිර්මාණය වී තිබීම එදා මෙන් අදත් ඔස්‌ටේ්‍රලියා-ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තරගාවලියේ උණුසුම වැඩිකරවන්නක්‌ බවට පත්ව තිබේ.

දින 53 ක්‌ තුළ පැවැත්වෙන 20-20 තරග දෙක, එක්‌දින තරග පහ සහ ත්‍රිත්ව ටෙස්‌ට්‌ තරග මාලාව දෙරට අතර එක්‌ සංචාරයකදී පැවැත්වෙන වැඩිම තරග සංඛ්‍යාව ලෙස මෙවර ඉතිහාසගතවීම තරගාවලියේ තියුණු බව තවදුරටත් තිව්‍ර කරවන්නක්‌ වී තිබේ.

මීට වසර දෙකකට ආසන්න කාලයක්‌ තුළ එක්‌දින සහ ටෙස්‌ට්‌ දෙංශයේම ඔටුනු දරා සිටි ඔස්‌ටේ්‍රලියාවේ ටෙස්‌ට්‌ ඔටුන්න මේ වන විට ගිලිගී ගොසිනි. එහි වත්මන් හිමිකරුවා ඉන්දියාවය. නමුත් එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල ඔස්‌ටේ්‍රලියාව තවමත් පෙරමුණේය. ශ්‍රී ලංකාව එක්‌දින සහ ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල පළමු සිව්දෙනා අතර සිටිමින් ඔස්‌ටේ්‍රලියාව සමග ගැටෙති. එක්‌දින තරගාවලිය සහ ටෙස්‌ට්‌ තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගතහොත් නියත වශයෙන් ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල සහ එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල ඉහළ නගිනු ඇත. ඔස්‌ටේ්‍රලියාව ටෙස්‌ට්‌ තරගාවලිය පරාජය වුවහොත් පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ලෝක කුසලාන නියෝජනය කිරීමේ අවස්‌ථාව මග හැරී යනු ඇත. ලොව පළමු ටෙස්‌ට්‌ තරගය ක්‍රීඩා කළ ඔස්‌ටේ්‍රලියාවට පළමු ටෙස්‌ට්‌ ලෝක කුසලානයෙන් ඉවත්වීම යනු එරට ක්‍රිකට්‌ ක්‍රීඩාවට එල්ල වන දරුණු කණේ පහරක්‌ බඳුය. එසේම ලොව ටෙස්‌ට්‌ වරම් ලැබූ 8 වැනි රට වන ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබන පළමු කණ්‌ඩායම් හතරට එක්‌වීම ශ්‍රී ලංකාව ලද විශාල ජයග්‍රහණයක්‌ බව වටහා ගනිමින් ඔස්‌ටේ්‍රලියාව පරාජය කිරීමට වගබලා ගතයුතු වේ.

ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන්ට නායකත්වයේ ඔටුන්න රැක ගැනීමත් ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක්‌ සම්පූර්ණ තරගාවලියකදී ඔස්‌ටේ්‍රලියාව මෙහෙයවන අයුරුත් මෙවර තරගාවලියේ තවත් වැදගත් පැතිකඩක්‌ ලෙස හැදින්විය හැකිය.

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ නිත්‍ය නායක මයිකල් ක්‌ලාක්‌ ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර එරට මාධ්‍යට පවසා සිටියේ, "අපිට ටෙස්‌ට්‌ ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තරගාවලියෙන් පරාජය කළ යුතුයි. අපි ඒ සඳහා මාස දෙකක්‌ කණ්‌ඩායමක්‌ ලෙස හොඳින් පුහුණුවීම් කළා. සාකච්ඡා කළා. අනතුරුව අපි දකුණු අප්‍රිකාවත් පරාජය කරමින් ටෙස්‌ට්‌ ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වනවා. නමුත් ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන බව මතක තබාගෙන තමයි අපි ක්‍රීඩාකරන්නේ." යනුවෙනි.

2013 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ටෙස්‌ට්‌ ලෝක කුසලාන තරගාවලියට සහභාගි විය හැක්‌කේ මෙම දෙසැම්බර් 31 වැනිදාට පෙර ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්‌ඩායම් 4 ට පමණක්‌ වීම මත ඔස්‌ටේ්‍රලියාව මෙවර ශ්‍රී ලංකාව සමග ටෙස්‌ට්‌ ජයග්‍රහණයක්‌ අපේක්‍ෂාවෙන්ම තරග වැදීම ඔස්‌ටේ්‍රලියාවට අමතර පීඩනයක්‌ වන අතර ශ්‍රී ලංකාව අදාළ අභියෝගයට මුහුණදීම සඳහා නව පුහුණුකරුවකු සමග ඉකුත් සති දෙකක පමණ කාලයක සිට අදාළ ඉලක්‌කය වෙනුවෙන් පුහුණුවීම් ආරම්භ කළේය. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඩිල්ෂාන් පවසන්නේ, "අපේ නව පුහුණුකරු රොමේෂ් අයිය සමග වැඩ කිරීම හරිම පහසුයි. අපි ඔහුගෙන් විදෙස්‌ පුහුණුකරුවන්ගෙන් නොදැකපු විශේෂත්වයක්‌ කෙටි කාලයකදී දැක්‌කා. එංගලන්ත සංචාරයේදී ලබාගත් හොඳ දේවල් සමග අපි මෙවර ඔස්‌ටේ්‍රලියාව පරාජය කිරීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙනි.

ශ්‍රී ලංකාවේ දඟ පන්දු යෑවීම ඔස්‌ටේ්‍රලියාවට ඇති ප්‍රබල අභියෝග වන අතර ඒ පිළිබඳව හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු ට්‍රෙවර් බේලීස්‌ ඔස්‌ටේ්‍රලියානු මාධ්‍යට පවසා සිටියේ අජන්ත මෙන්ඩිස්‌, රංගන හේරත් සහ සුරාඡ් රන්දිව් ගේ පන්දුවලින් බේරීමට ඔස්‌ටේ්‍රලියා පිතිකරුවන් සැලසුම් සකස්‌ කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රබල පිතිකරුවන් වන සංගක්‌කාර සහ මහේල මෙල්ල කිරීමට නම් හොඳින් පන්දුව දෝලනය කිරීම සහ බවුන්සර් පන්දු යෑවීම වැදගත් බවත් මහේල සහ සංගක්‌කාර ඉක්‌මණින් දවා ගැනීමෙන් සමස්‌ත කණ්‌ඩායම අමාරුවේ දැමිය හැකි බවත් බේලිස්‌ වැඩිදුරටත් පවසා තිබේ.

ඔස්‌ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට්‌ ඉතිහාසයේ පවත්වා ඇති එක්‌දින තරග 73 ක්‌ අතරින් ඔස්‌ටේ්‍රලියාව ජයග්‍රහණය 47 ක්‌ ලබා ඇති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණ 23 ක්‌ ලබා තිබේ. තරග දෙකක්‌ තීරණය රහිතව අවසන් වී ඇත. ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ එක්‌දින තරග 12 කදී ජයග්‍රහණ 6 ක්‌ සහ පරාද පහක්‌ ලබා ඇත. ඔස්‌ටේ්‍රලියාව අවසන් වරට සහභාගි වූ එක්‌දින තරග 17 කදී ජයග්‍රහණ 13 ක්‌ සහ පරාජයන් 3 ක්‌ ලබා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර මෙවර පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලිය දෙරට අතර පැවැත්වෙන 10 වැනි ටෙස්‌ට්‌ තරගාවලිය වන අතර මීට පෙර පැවැති තරගාවලි 9 ක්‌ අතරින් ඔස්‌ටේ්‍රලියාව තරගාවලි 8 ක්‌ ජය ගෙන ඇත. ශ්‍රී ලංකාව ඔස්‌ටේ්‍රලියාව හමුවේ ජයගෙන ඇත්තේ එක්‌ ටෙස්‌ට්‌ තරගාවලියක්‌ පමණක්‌ වන අතර එය 1999 වසරේ අර්ජුන රණතුංග ගේ නායකත්වය යටතේ ලබා තිබේ. දෙරට අතර පැවැති සමස්‌ත ටෙස්‌ට්‌ තරග 20 අතුරින් ඔස්‌ටේ්‍රලියාව ජයග්‍රහණ 13 ක්‌ සහ ශ්‍රී ලංකාව එක්‌ ටෙස්‌ට්‌ තරග ජයකට හිමිකම් කියයි.

ඉතිහාසය එසේ වුවද වත්මන් කණ්‌ඩායම් දෙක අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. මෙවර ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ රිකී පොන්ටින් හැරුණු විට අනිකුත් කිසිදු ක්‍රීඩකයකු ශ්‍රී ලංකාවේ ටෙස්‌ට්‌ ක්‍රීඩා කර නොතිබීම ඔස්‌ටේ්‍රලියාවේ පීඩනය කර කරවන්නක්‌ වී තිබේ.

රිකී පොන්ටින් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්‌ට්‌ තරග 12 කදී එක්‌ ශතකයක්‌ සහ අර්ධ ශතක 7 ක්‌ සමග ලකුණු 851 ක්‌ ලබා දෙරට අතර පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටී. මහේල ජයවර්ධන ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරග 10 කදී එක්‌ ශතකයක්‌ සහ එක්‌ අර්ධ ශතකයක්‌ සමග ලකුණු 581 ක්‌ ලබා ඇත.

2013 ටෙස්‌ට්‌ ලෝක කුසලාන තරගාවලියෙන් ඔස්‌ටේ්‍රලියාව ඉවත් කිරීමේ වගකීම ශ්‍රී ලංකාව සතුව ඇත. ටෙස්‌ට්‌ තරගාවලිය ජය ගැනීමට පෙර ශ්‍රී ලංකාව පියවරෙන් පියවර ඔස්‌ටේ්‍රලියාව පරාජය කළ යුතුය. එහිදී පළමුව 20-20 තරග දෙකත් අනතුරුව එක්‌දින තරගාවලියත් ජය ගැනීම ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ තරගාවලිය ජය ගැනීමට මහත් රුකුලක්‌ වනු ඇත.

Saturday, August 6, 2011

ශ්‍රී ලංකා - ඔස්‌ටේ්‍රලියා 20-20 ක්‍රිකට්‌ සටන අද ඇරඹේ

සති 7 කට ආසන්න කාලයක්‌ පුරා පැවැත්වීමට නියමිත සංචාරක ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට්‌ තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරනු ලබන තරග 2 කින් සමන්විත පන්දුවාර 20/20 ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය අද (06 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය ප.ව. 7 ට ආරම්භ වීමට නියමිතය.

අද සටනට පිවිසෙන ශ්‍රී ලංකා කණ්‌ඩායම ද නවක ක්‍රීඩකයන්ගෙන් මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් පරිපූර්ණ කණ්‌ඩායමක්‌ වන අතර ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම මෙම 20/20 තරගාවලිය සඳහා නවක නායකයකු මෙන්ම නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සමගින් සහභාගිවීම විශේෂත්වයකි. ඔස්‌ටේ්‍රලියානු පිලේ නිත්‍ය නායක මයිකල් ක්‌ලාක්‌ තරග 2 කින් සමන්විත පන්දුවාර 20/20 තරගාවලියට නම් නොකළ බැවින්, කණ්‌ඩායම මෙහෙයවීමේ වගකීම නවක ක්‍රීඩකයකු වන කැමරන් වයිට්‌ වෙත පැවරී තිබේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායමත් මෙතෙක්‌ සිය මවුබිමේදී තරග වැදී තිබෙන එකම පන්දුවාර 20 තරගයකදී හෝ ජය වාර්තා කිරීමට අපොහොසත්ව සිටින අතර එහිදී සිය මවුබිමේදී ශ්‍රී ලංකාව මෙහෙයවනු ලබන පළමු තරගයේදීම එම ජයග්‍රහණය ලබා ගැනීම තමාගේ අරමුණ බව ශ්‍රී ලංකා නායක ටී. එම්. ඩිල්ෂාන් ඊයේ පැවසීය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම පන්දුවාර 20/20 තරගාවලිය වන අන්තර් පළාත් තරගාවලිය පසුගියදා පැවැති අතර එහිදී අද තරගයට ක්‍රීඩා කරනු ලබන කණ්‌ඩායමේ සාමාජිකයන් බහුතරයක්‌ එම තරගාවලිය නියෝජනය කොට තිබීමද තරගයේදී ශ්‍රී ලංකාවට අතිරේක වාසියක්‌ ගෙන දෙන්නක්‌ වේ.

දඟ පන්දු යවන්නන්ට මුහුණදීමට ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම දක්‌වනු ලබන දුර්වලතාව මත අද තරගයේදී සකසනු ලබන තණතීරුව ඉපිලීම අඩු මෙන්ම දඟ පන්දු යවන්නන්ට උචිත වන අයුරින් සකසනු ලබනු ඇත.

අද තරගය පැවැත්වීම සඳහා සකසන ලද තණතීරුව ඊයේ දිනයේදී වැසි ආවරණවලින් විවෘත කළ තිබුණු අතර තණකොළ සම්පූර්ණයෙන්ම වාගේ කපා තිබීම ඉහතින් සඳහන් කළ කරුණ වඩාත් සාක්‌ෂාත් කරන්නක්‌ විය.

එහෙත් දඟ පන්දු යවන්නන්ට උචිත අයුරින් සැකසීමට නම් තණතීරුව පරණ විය යුතු වන බැවින් පල්ලකැලේ තණතීරුව අලූතින් නිර්මාණය කරන ලද තණතීරුවක්‌ වන බැවින් එය දඟ පන්දු යවන්නන්ට සහයෝගය ලබා දන ලෙස නිර්මාණය කිරීම පල්ලකැලේ තණතීරු සකසන්නන් මුහුණ දෙනු ලබන ප්‍රධාන අභියෝගය වෙයි.

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම සිය පුහුණුවීම්වල ඊයේ දහවල් වරුවේ නිරත වූ අතර ශ්‍රී ලංකා කණ්‌ඩායම සවස්‌ යාමයේදී පුහුණුවීම් වල නිරත විය.

තරගය පිළිබඳව අදහස්‌ දැක්‌වූ ඔස්‌ටේ්‍රලියානු නායක කැමරන් වයිට්‌ සඳහන් කර සිටියේ zඊයේ (04 දා) තණතීරුවේ හොඳින් තණකොල තිබුණා. නමුත් මම දන්නෙ නැහැ හෙට වෙද්දී තණතීරුව කොහොම වෙයිද කියලා යනුවෙන් අදහස්‌ දැක්‌වීය.

එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායම පිළිබඳව අදහස්‌ දැක්‌වූ වයිට්‌, පන්දුවාර 20/20 තරග සඳහා ලසිත් මාලිංග කණ්‌ඩායට ඇතුළත් නොවුණ නමුත් ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්‌ඩායම භයානක කණ්‌ඩායමක්‌ බව සඳහන් කර සිටියේය.

මෙතෙක්‌ දෙරට පන්දුවාර 20/20 තරග 4 කදී මුණ ගැසී තිබෙන අතර එහිදී දෙපිළම තරග 2 බැගින් ජයගෙන තිබේ. මෙම තරග යටතේ දෙරට අවසන් වරට පසුගිය වසරේ පර්ත්හි වකා ක්‍රීඩාංගණයේදී මුණ ගැසී තිබෙන අතර එහිදී ඔස්‌ටේ්‍රලියාව පරදා කඩුලු 7 ක ජයක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

අද තරගයේදී බොහෝ දුරට දඟ පන්දු යවන්නන් ලෙස සුරාඡ් රන්දිව් සහ රංගන හේරත් තරග වැදීමට නියමිත වන නමුත් දඟ පන්දු යවන්නන් සිවුදෙනකුගේ සහයෝaගය ලබා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා නායකයා සඳහන් කර සිටියේය. එහෙත් ඒ සියල්ල පිළිබඳ තීරණය අද උදෑසන තණතීරුව නිරීක්‍ෂණය කිරීමෙන් පසු තීරණය කරන බව වැඩිදුරටත් පැවසීය.

එංගලන්තය සමග පැවැති තරගය ක්‍රීඩා කළ සනත් ජයසූරිය සහ තිළිණ කණ්‌ඩම්බි මෙම තරගාවලියට නම් නොකළ බැවින් ඒ වෙනුවට අන්තර් පළාත් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණෙහි පසුවූ දිනේෂ් චන්දිමාල් සහ චාමර සිල්වා බොහෝ දුරට ක්‍රීඩා කරනු ඇත. එහෙත් පිතිකරුවකු මෙන්ම දඟ පන්දු යවන්නකු වශයෙන් නම් දරා සිටි දිල්රුවන් පෙරේරාද හදිසියේම කණ්‌ඩායම් නම් කිරීම මත එම ස්‌ථානයට කවුරුන් ක්‍රීඩා කරයිද යන්න අවිනිශ්චිත වී තිබේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී .එම්. ඩිල්ෂාන්(නායක), ඇංජලෝ මැතිව්ස්‌, මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරාඡ් රන්දිව්, නුවන් කුලසේකර, ජීවන් මෙන්ඩිස්‌, චාමර සිල්වා, දිල්රුවන් පෙරේරා, තිසර පෙරේරා, ධම්මික ප්‍රසාද්, අජන්ත මෙන්ඩිස්‌, සුරංග ලක්‌මාල්, ශමින්ද්‍ර එරංග.

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම - කැමරන් වයිට්‌(නායක), ආරොන් µsරින්ච්, බ්‍රැඩ් හැඩින්, ජොන් හස්‌ටින්ග්ස්‌, ඩේවිඩ් හසී, මිචෙල් ජොන්සන්, බ්‍රෙට්‌ ලී, ෂෝන් මාෂ්, ස්‌ටීව් ඔකීµa, ඡේම්ස්‌ පැටින්සන්, ස්‌ටීවන් ස්‌මිත්, ඩේවිඩ් වෝනර්, ෂේන් වොට්‌සන්.

Tuesday, August 2, 2011

ශ්‍රී ලංකාව එක්දින ක‍්‍රිකට් රටවල් අතර දෙවැනි තැනට

අයි.සී.සී නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දියානු කණ්ඩායම අභිබවා යමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව තිබේ.

නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් වලට අනුව ප්‍රසාද ලකුණු 130ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ප්‍රථම ස්ථානයට පත්ව සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 118ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලකුණු 117ක් ලබා සිටින ඉන්දියානු කණ්ඩායම තෙවන ස්ථානයේ පසුවෙයි.

පිළිවෙලින් සිව්වන හා පස්වැනි ස්ථාන දකුණූ අප්‍රිකානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම හිමි කර ගෙන ඇත.
දෙවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා ප‍්‍රසාද ලකුණු 118 ක් ලබා සිටින අතර වාර්ෂික යාවත්කාලීන කිරීමේදී         ශ්‍රී ලංකාවට ප‍්‍රසාද ලකුණු දෙකක් එකතු විය.

               එක්දින ශ්‍රේණිගත කිරීම

         රට                              ප‍්‍රසාද ලකුණ
1.  ඕස්ටේ‍්‍රලියාව                           130
2. ශ‍්‍රී ලකාව                                  118
3. ඉන්දියාව                                 117
4. දකුණු අප‍්‍රිකාව                         116
5. එංගලන්තය                             106
6. පාකිස්තානය                           100
7. නවසීලන්තය                            90
8. බටහිර ඉන්දීය කොදෙව්            78
9. බංග්ලාදේශය                            70
10. අයර්ලන්තය                            42
11. සිම්බාබ්වේ                              38
12. නෙදර්ලන්තය                           5
13. කෙන්යාව                                 0