Monday, May 30, 2011

ගුරුවරුන් හා සිසුන් සඳහා අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යාපන ව්‍යාපෘතියක්‌ ළඟදීම

අධ්‍යාපන අමාත්‍යංශය, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව, සහ එටිසෙලාට්‌ සමාගම එක්‌ ව තොරතුරු තාක්‌ෂණ ක්‍ෂෙත්‍රයේ සංවර්ධනය හා දැයේ සිසු දරුවන් හා ගුරුවරුන් උදෙසා අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යාපනික ව්‍යාපෘතියක්‌ හඳුන්වා දීම සඳහා වන අවබෝධතා ගිවිසුම මැයි 12 වැනි දින ටාඡ් සමුද්‍රd හෝටලයේ දී අත්සන් කෙරිණි. මෙහි දී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස්‌ දැක්‌වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, "අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ වගකීම් ඉටු කරමින් නිදහස්‌ අධ්‍යාපනය පුළුල් කර පෝෂණය කිරීමට වෙනස්‌කම් රාශියක්‌ කළ යුතු වෙනවා.
රටේ දරුවන්ට මාපියන්ට හා ගුරුවරුන්ට ගෞරවයක්‌ ලෙසත් විශ්වයට බරක්‌ නො වන ලෙසත් ජාත්‍යන්තරයටත් දේශයටත් ගැලපෙන අයුරින් සකස්‌ කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණයේ අරමුණයි. මේ සඳහා දිවයිනේ ද්විතීයික පාසල් දහසක්‌ තෝරාගෙන එම පාසල්වල 6 වැනි ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්‌වා භෞතික හා මානව සම්පත් දියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. මේ සඳහා සැම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයකින් ම පාසල් 3ක්‌ යහපත් සංවර්ධිත පාසල් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ උදෙසා 2012 වසරේ සිට තොරතුරු සන්නිවේදනය හය වැනි ශ්‍රේණියෙන් ඉහළට ඉගැන්වීමට කටයුතු කරනවා" යෑයි පැවසී ය.
අදියර තුනකින් ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් දශලක්‌ෂ 400ක්‌ පමණ වැය වනු ඇත. පළමු අදියර යටතේ මධ්‍යම ආණ්‌ඩුව යටතේ ඇති ජාතික පාසල් 340ක්‌ තෝරා ගැනෙන අතර දෙවනුව ද්විතීයික පාසල් දහස ද තුන්වැනි අදියරට සියලු ම කුඩා පාසල් ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් කෙරෙනු ඇත. මෙහි දී එටිසෙලාට්‌ ආයතනයේ ප්‍රධාන විධායක දුමින්ද රත්නායක මහතා අදහස්‌ දක්‌වමින් "දරුවන් අනිසි ලෙස අන්තර්ජාලයට යොමුවේ යෑයි මාපියන් තුළ බියක්‌ පවතිනවා. මෙයට පිළියමක්‌ ලෙස සුප්‍රකට ළමා සුරක්‌ෂණ මෘදුකාංගයක්‌ වන NetNanny නම් මෘදුකාංගය විශේෂ පැකේජයකට ඇතුළත් කර සිසු දරුවන්ට හා ගුරු භවතුන්ටත් ඉතා සහනදායි මිලකට රජයේ වාණිජ නීතිගත සංස්‌ථාව හරහා ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම සමාජ සත්කාරක සේවාවක්‌ ලෙස දිවයිනේ සියලු ම පාසල් වෙතට පරිත්‍යාගයක්‌ ලෙස මේ පැකේජය ලබා දීමට කටයුතු කරනවා" යනුවෙන් පැවසී ය.
මේ ව්‍යාපෘතිය යටතේ 3.75G සේවාව හා සම්බන්ධතාව මෙරට අධ්‍යාපන ක්‍ෂෙත්‍රයට හඳුන්වා දීමට නියමිත ය. මෙහි දී මේ සුවිශේෂී පැකේජයට නෝට්‌බුක්‌ පරිගණකයක්‌, සුපිරි වේගයෙන් යුත් එටිසෙලාට්‌ අන්තර්ජාල සම්බන්ධතාවක්‌, පාසල් විෂය නිර්දේශයට අනුකූල ඉලෙක්‌ට්‍රොනික අධ්‍යාපන වැඩසටහන් සහ HSPA+ මොඩමයක්‌ ද අන්තර්ගත වනු ඇත.

Tuesday, May 24, 2011

දෙවන පුහුණු තර‍ගයේ ජයත් ශ්‍රී ලංකාවට නුවන් ප්‍රදීප් හා දිල්හාර ප්‍රනාන්දු ගෙන් දස්කම්

යොවුන් වේග පන්දුයවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ දක්ෂ පන්දු යැවීම නිසා එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 38ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ අනුව එංගලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට පෙර පැවති පුහුණු තරග දෙකෙන්ම ශ්‍රී ලංකාව ජය හිමිවිය.
එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉණිමට කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු 493ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 266ක්

රැස් කළේය.

අද තරගය ආරම්භ කරනවිට සිය දෙවැනි ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 392ක් ලබා සිටියේය.

පන්දුවාර 104යි පන්දු 4ක් අවසානයේදි ශ්‍රී ලංකාව දෙවැනි ඉණිමට සියලුදෙනා දැවී ලකුණු 448ක් රැස් කළේය.

නායක ටී.එම්.ඩිල්ෂාන් සහ තරංග පරණවිතාන පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 200කි.

ඩිල්ෂාන් ලකුණු 117ක් රැස් කළේය.

තරංග පරණවිතාන රැස් කළ ලකුණු සංඛ්‍යාව 125කි.

තිලාන් සමරවීර ලකුණු 74ක් ලබා ගත්තේය.



පන්දු යැවීමේදි ජේඩ් ඩර්න්බැට් පන්දුවාර 24යි පන්දු 4කදී ලකුණු 94කට කඩුලු 4ක් දවා ගත්තේය.

ස්ටීවන් ෆින් ලකුණු 90ට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පළමු කඩුලු 8 ලකුණු 170ක් තුළ බිඳ වැටීම විශේෂත්වයකි.

පන්දු යැවීමේදි දිල්හාර ප්‍රනාන්දු පන්දුවාර 11කදී ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තේය.

නුවන් ප්‍රදීප් රොෂාන් පන්දුවාර 10කදී ලකුණු 29කට දවාගත් කඩුලු සංඛ‍්‍යාව 4කි. 


එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලිය තුළදී යවනු ලබන සෑම පන්දුවකම සියයට සියයක උපරිමය යෙදීම තමාගේ එකම පරමාර්ථය වන බව වේග පන්දු යවන දිල්හාර ප්‍රනාන්දු පවසයි.

එංගලන්ත ලයන්ස්‌ කණ්‌ඩායම සමගින් පෙරේදා (22 දා) අවසන් වුණු සිව්දින පුහුණු තරගයේදී දිල්හාර ප්‍රනාන්දු ලකුණු 33 කට කඩුලු 3 ක්‌ දවා ගනිමින් පන්දුවෙන් දස්‌කම් දැක්‌වීමට සමත්වූවේය. අදාළ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී දිල්හාර ඉහත අදහස්‌ පළ කර සිටියේය.

"මෙතෙක්‌ කලක්‌ මට තරගයක්‌ ක්‍රීඩා කරන්න ලැබුණේ ක්‍රීඩකයකු ආබාධයකට හෝ විවේක ගැන්වුවොත් පමණයි. නමුත් මේ තරගාවලියේදී එම තත්ත්වය වෙනස්‌ කර ගැනීමට හොඳ අවස්‌ථාවක්‌ මට ලැබිලා තියෙනවා. මේ වගේ අවස්‌ථාවක්‌ මට ආයිත් ලැබෙයි කියලා හිතන්න බැහැ. එම නිසා යවන හැම පන්දුවකම සියයට සියයක උපරිමය ලබාදීම තමයි මගේ බලාපොරොත්තුව. නමුත් මම දන්නේ නැහැ ඒකෙ ප්‍රතිඵලය මොකක්‌ වෙයිද කියලා" යනුවෙන් දිල්හාර පවසයි.

මෙම තරගයේදී පළමු ඉනිමේ ශතක ලාභී ඉයන් මෝගන්(04), රවී බොපාරා(29) සහ ඡේම්ස්‌ ටේලර්ගේ(11) කඩුලු 3 ම පන්දු 6 කදී දවා ගැනීමට දිල්හාර ප්‍රනාන්දු සමත්විය. අදාළ පන්දු යෑවීම මත ප්‍රධාන කොට අනපේක්‍ෂිත අයුරින් ලකුණු 38 ක තරග ජයක්‌ ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට හැකි විය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් වශයෙන් කටයුතු කළ චමින්ද වාස්‌ සහ ලසිත් මාලිංග දෙදෙනාම විශ්‍රාම ගැනීම මත ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙස දිල්හාර ප්‍රනාන්දු දැන් පත්ව සිටියි.

"අන්තිම වසර කිහිපය තුළදී මට කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයකු වීමට නොහැකි වුණා. මගේ තරග සහභාගිත්වය පිළිබඳව හොඳින් අධ්‍යයනය කළොත් මම තරගයට ක්‍රීඩා කරල තියෙන්නේ තරගාවලියකට එක්‌ තරගයක්‌ වගේ. නමුත් මේ තරගාවලියේදී ප්‍රධාන වේග පන්දු යවන්නා වශයෙන් පෙරමුණ ගැනීමට මට හැකි වෙලා තියෙනවා. ඒ පිළිබඳව මම අතිශයින් සතුටට පත්ව සිටිනවා" යනුවෙන් දිල්හාර පවසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 35 කට ක්‍රීඩා කරමින් කඩුලු 90 ක්‌ බිඳ හෙළා ඇති දිල්හාර ප්‍රනාන්දු "පසුගිය වසර 2-3 ක කාලයේදී මට එක දිගට තරග වල ක්‍රීඩා කරන්න අවස්‌ථාව උදා වුණේ නැහැ. අද එක තරගයකට ක්‍රීඩා කළොත් ඊළඟ තරගයට ක්‍රීඩා කරන්න තව මාස එකහමාරක්‌ හෝ දෙකක්‌ බලාගෙන සිටින්නට වෙනවා. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියේදී කණ්‌ඩායමේ සිටියත් එකම තරගයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව හිමි වුණේ නැහැ" යනුවෙන් සඳහන් කරයි. මෙහිදී වැඩිදුරටත් තරගවලට සහභාගිත්වය පිළිබඳව තක්‌සේරුවක්‌ ලබා දුන් හෙතෙම සඳහන් කර සිටියේ, අවසන් මාස 12 ක කාලය තුළ තමාට ක්‍රීඩා කිරීමට අවස්‌ථාව උදා වූයේ එක්‌දින තරග 7 කට පමණක්‌ බවත් එහිදී කඩුලු 11 ක්‌ බිඳ හෙළීමට තමාට හැකි වූ බවත් සඳහන් කර සිටියේය.

මෙවර ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පසුවන එකම අත්දැකීම් සපිරි වේග පන්දු යවන්නා වන්නේ දිල්හාර ප්‍රනාන්දුය. හෙතෙම 2002 වසරේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ එංගලන්ත සංචාරයේදී මෙන්ම 2009 වසරේ පැවැති ප්‍රාන්ත තරගාවලියේදී වෝක්‌ටර්ෂයර් ප්‍රාන්ත කණ්‌ඩායම නියෝජනය කරමින් එංගලන්ත තණතීරු පිළිබඳව වැඩිම දැනුමක්‌ ඇති වේග පන්දු යවන ක්‍රීඩකයා බවට පත්ව සිටියි.

මෙහිදී අවසන් වශයෙන් අදහස්‌ දැක්‌වූ දිල්හාර සඳහන් කර සිටින්නේ, පසුගිය කාලය තුළදී පන්දු යෑවීමේදී තමාගේ අතින් නිපන්දු වැඩි වශයෙන් යෑවුණු බවත්, එම තත්ත්වය මග හරවා ගැනීම වෙනුවෙන් උදව් කළ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක මහතාට තමා ණය ගැති වන බවයි.

"ඇත්තෙන්ම නිපන්දු ප්‍රශ්නයෙන් ගොඩ එන්න වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක මහතා බොහෝ සෙයින් උදව් වුණා. ඔහු නිසා තමයි නිපන්දු ප්‍රශ්නෙන් ගොඩ ඒමට හැකි වුණේ. ඇත්තෙන්ම මම ඔහුට ණය ගැතියි" යනුවෙන් දිල්හාර ප්‍රනාන්දු අවසන් වශයෙන් අඅදහස්‌ දක්‌වා සිටියේය.

Sunday, May 22, 2011

වාහන දුම් පරීක්‌ෂාවේ සිදුරු වැහීම සහ මහමඟ බලශක්‌තියේ සුභාවිතය

අද ලොව සැම රටක ම මෙන්ම ශ්‍රී ලංකාවේ ද භාවිත කරන මෝටර් රථවල භාවිත වන්නේ අභ්‍යන්තර දහන එන්ජිම ((Internal Combustion Engine) සහිත තාක්‍ෂණයයි. විද්වතුන් ගේ මතයට අනුව මෙය එතරම් ඵලදායි නො වන තාක්‌ෂණයක්‌ ලෙස පිළිගැනේ. එසේ වන්නේ ෆොසිල ඉන්ධන බහුලව මෙම වාහන සඳහා යොදා ගන්නා බැවිනි. ඒ අනුව මේ තාක්‌ෂණය සහිත මෝටර් රථ අද පරිසර දූෂක කාරකයක්‌ ලෙස පිළිගෙන ඇත.

සම්මත මෝටර් රථයක කාර්යක්‍ෂමතාව ප්‍රතිශතයක්‌ ලෙස ගත් කල සියයට 15කි. මෙයින් පැහැදිලිs වන්නේ සියයට 85ක ප්‍රතිශතයක ඉන්ධන ශක්‌තියක්‌ අපතේ යන බව ය. සියයට 85ක්‌ යනු අති විශාල ශක්‌තියකි. මේ සඳහා වැය වන මුදල ද අති විශාල ය. තව ද මෙසේ වැය වන්නේ, ක්‌ෂය වන්නේ ස්‌වාභාවික සම්පතකි. එබැවින් මෙය ජාතික ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ ෆොසිල ඉන්ධන භූ සම්පතක්‌ ලෙස හමු නො වුණත් ෆොසිල ඉන්ධන භාවිතයෙන් මෙරට ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමි කරගෙන සිටියි. ඒ බැව් සීමිත කාලයක්‌ තුළ මහමඟ ධාවනය වන රථවාහන දෙස බැලීමෙන් පමණක්‌ වුව අවබෝධ කරගත හැකි වෙයි.

ෆොසිල ඉන්ධන භාවිතයෙන් සිදු වන පරිසර දූෂණය ද ලොව අන් රටවලට මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඉහළ ගොස්‌ ඇත. මේ පරිසර දූෂිත තත්ත්වය පාලනය කිරීම සඳහා වත්මන් රජය මහමඟ ධාවනය වන සියලු ම වර්ගයේ රථවාහනවල දුම් පරීක්‍ෂා කිරීමේ තාක්‍ෂණික ක්‍රමවේදයක්‌ හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ මධ්‍යස්‌ථාන 130ක පමණ මේ දුම් පරීක්‌ෂාව සිදු කෙරෙයි. එහෙත් මේ දුම් පරීක්‌ෂාව කළ යුත්තක්‌ ම ද? එය නිසි අයුරින් සිදු කෙරෙයි ද? මෙයින් ලැබෙන ප්‍රතිලාභය කුමක්‌ ද? යනාදී ගැටලු රාශියක්‌ මේ අරභයා ජනතාව තුළ තවමත් පවතියි. මේ සම්බන්ධව සහ සමස්‌තයක්‌ ලෙස රටේ බලශක්‌ති අර්බුදය සම්බන්ධව අද සතියේ විමසුමින් අදහස්‌ දක්‌වා සිටින්නේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තුසිත සුගතපාල මහතා ය.
 


පෙට්‍රල් වාහනයක දුම් පරීක්ෂා කිරීම

ඩීසල් වාහනයක දුම් පරීක්ෂා කිරීමේ උපකරණයක්
"මහමඟ ධාවනය වන සියලු ම වාහන ධාවනය වීමේ දී දුමක්‌ පිට වනවා. අලුත් හා පරණ වාහන කියලා වෙනසක්‌ නෑ. මේ දුම පිට වීම සිදු වන්නේ වාහනය භාවිත කරන ආකාරය අනුවයි. අලුත් වාහනයක්‌ වුණත් නියමිත වෙලාවට සේවාවක්‌ (Service) නො කළොත් එහි කාර්යක්‍ෂමතාව අඩු වනවා. විවිධ වෙනත් දෝෂ ඇති වනවා. නියමිත පරිදි වාහනයක්‌ සේවාවට ලක්‌ කළොත් කාර්යක්‍ෂමතාව වැඩි කර ආර්ථික ප්‍රතිලාභයක්‌ ලාබාගන්න පුළුවන්. දැන් රජයේ නියෝගය පරිදි මහමඟ ධාවනය වන සියලු ම වාහන දුම් පරීක්‍ෂාවට ලක්‌ කෙරෙනවා.

බොහෝ දෙනා මේක අමතර වියදමක්‌ ලෙසට අර්ථ දැක්‌වුවත් ඇත්තෙන් ම මේක වාහන හිමියන්ට ප්‍රතිලාභයක්‌. දුම් දමන වාහන තිබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්‌. ඒ කියන්නේ සියයට 20ක්‌ පමණ. මේ සියයට 20ක්‌ වැනි ප්‍රමාණයක්‌ තමයි සියයට 80ක පමණ පරිසර දූෂණයක්‌ ඇති කරන්නේ. මෙන්න මේ සියයට 20ක පමණ වාහන ප්‍රමාණය හඳුනා ගන්න තමයි මේ දුම් පරීක්‍ෂාව කරන්නේ.

සමහර විට වාහනවලින් නිකුත් කරන කාබන්මොනොක්‌සයිඩ් හා හයිෙඩ්‍රාකාබන් වැනි වායු පියවි ඇසට පෙනෙන්නේ නෑ. කළු දුම හා සුදු දුම තමයි වැඩිපුර ම පෙනෙන්ට තිබෙන්නේ. නිකුත් වන කළු දුමට හේතු වන්නේ නො දැවුණු කාබන් අංශු පිට වීමයි. සමහරුන් හිතන්නේ සුදු දුම අහිතකර නැහැ කියලයි. ඒත් සුදු පාටට දුම දමන්නේ නො දැවුණු ඉන්ධන නිසයි. දුම නිල් පාටට පෙනෙන්නේ ලිහිසි තෙල් නිසයි. මේ සැම දෙයකින් ම කෙරෙන්නේ පරිසර දූෂණයක්‌. අලුත් වාහනයක්‌ වුණත් නියමිත පරිදි නඩත්තු නො කළොත් ඉහත සඳහන් කළ ආකාරයේ දුම් පිට කරමින් පරිසරය දූෂණය කරන්න පුළුවන්.

දුම් පරීක්‌ෂාවේ දී වාහනයක්‌ පරීක්‍ෂාවට ලක්‌ කර දුර්වලතා හඳුනා ගත්තොත් ඒ වාහනය ධාවනයෙන් ඉවත් කරන්න උපදෙස්‌ දෙන්නේ නෑ උපදෙස්‌ දෙන්නේ ඒ දුර්වලතා මඟහරවා ගන්නයි. දින 60ක්‌ ඇතුළත ඒ දුර්වලතා මඟහරවාගෙන නැවත පරික්‍ෂාවට ලක්‌ කළ යුතුයි. දුම් පරීක්‌ෂාවෙන් පසු සියයට 15ක පමණ ප්‍රතිශතයක වාහන දුම් පරීක්‌ෂාවෙන් අසමත් වෙනවා. ඒ ප්‍රමාණය දෙන උපදෙස්‌ අනුව දුර්වලතා මඟහරවා ගෙන නැවතත් දුම් පරීක්‌ෂාවට ලක්‌ කළොත් එයිනුත් අසමත් වන කොටස තමයි ධාවනයෙන් ඉවත් කරන්න කියල උපදෙස්‌ දෙන්නේ.

කොහොම නමුත් ලෝකයේ වෙනත් රටවල දුම් පරීක්‍ෂා කරන තාක්‍ෂණික ක්‍රමවේද සමග සසඳන කොට අපේ රටේ භාවිත වෙන්නේ එතරම් දියුණු තාක්‌ෂණයක්‌ නො වෙයි. ඒ නිසා හොර බොරු කරන්න තිබෙන ඉඩකඩ වැඩි බව පිළිගන්නට වනවා. හැබැයි මේ ක්‍රමවේදය සාර්ථකව කරගෙන යැම සඳහා පරීක්‍ෂාවෙන් ලැබෙන දත්ත පරිගණකගත කරනවා. මේ දත්ත ප්‍රධාන පරිපාලන මධ්‍යස්‌ථානයට යවනවා. පරීක්‍ෂාව හරිහැටි කළේ නැත්නම් පරිගණකගත වෙන්නේ නෑ. හේතුව ඒ සඳහා වන මෘදුකාංගය ක්‍රියාත්මක නො වන නිසා. මේ දත්ත, සහතිකයට ඇතුළත් වෙනවා. එක පරික්‍ෂණයකට දත්ත 40ක්‌ පමණ ඇතුළත් වෙනවා. වාහනයේ කාර්යක්‍ෂමතාව, පරික්‍ෂණයට ලක්‌ කළ පුද්ගලයා ගේ නම, උපකරණයේ නම, ඩීසල් හා පෙට්‍රල් සඳහා වෙන් වූ උපකරණ දෙකෙන් කුමක්‌ පාවිච්චි කළා ද යන්න, පරීක්‍ෂණයට ලක්‌ කළ ස්‌ථානය හා වේලාව, වාහනයේ චැසි අංකය ඇතුළු දත්ත රාශියක්‌ ඇතුළත් වෙනවා.

මෙපමණ දත්ත රාශියක්‌ ඇතුළත් සහතික කිරීමේ යාන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වුණත් හොරට නිකුත් කරන දුම් පරීක්‌ෂා සහතික හමු වී තිබෙනවා. උදාහරණයක්‌ විදියට වාහනය ඩීසල් වුණත් දුම් පරීක්‌ෂාව කරල තිබෙන්නේ පෙට්‍රල්වලට. වෙලාව රාත්‍රී 12ට.

මේ දුර්වලතා මඟහරවා ගත හැකි ද? එසේ නම් එය කළ යුත්තේ කෙසේ ද?යන්න පිළිබඳව කළ විමසීමේ දී ආචාර්ය සුගතපාල අදහස්‌ දැක්‌වූයේ මෙලෙසිනි.

ස්‌මෝක්‌ ස්‌පොටර් (Smoke Spotter) කියන වැඩසටහනට අනුව උපාධිධාරීන් 6 දෙනකුට විශේෂ පුහුණුවක්‌ ලබා දීමට අදහස්‌ කර තිබෙනවා. මේ අයට ලබා දෙන පුහුණුව අනුව මහමඟ ධාවනය වන වාහනයකින් පිට වන දුමට අනුව එය දූෂිත තත්ත්වයේ පවතිනවා ද කියා හඳුනා ගන්න හැකියාව තිබෙනවා මේ අය කරන්නේ එවැනි වාහනයක්‌ දුටුවොත් එහි අංකය ලියාගෙන අදාළ කාර්යාලයට දැන්වීම. මෝටර් රථ දෙපාර්මේන්තුවේ තිබෙන විශේෂ කාර්යාලයෙන් වාහන හිමියාට දැන්වීමක්‌ කරනවා. ඉන්පසුව කරන්නේ ඒ නිලධාරීන් වාහනය පරික්‍ෂාවකට ලක්‌ කිරීමයි. දෝෂ සහිත නම් දඩයක්‌ අය කර නැවත දුර්වලතා මඟහරවා ගැනීමට උපදෙස්‌ දෙනවා. යම් ආකාරයකින් ස්‌පොටර් නමින් හඳුන්වන මේ නිලධාරීන් ගෙන් වරදක්‌ සිදු වුවොත් හා නිවැරැදිව වාහනය හඳුනා ගන්න අපහසු වුණොත් ඔහුගේ සේවය ඇගයීමකට ලක්‌ වෙන්නේ නෑ. කරන වැරැදි ප්‍රමාණය වැඩි නම් ඔහු ගේ සේවය අවලංගු කර සේවයෙන් ඉවත් කරනවා.

දැනට මේ ක්‍රමය හොංකොංවල ක්‍රියාත්මක වෙනවා. අපේ රටෙත් ඇති කිරීමට නිලධාරීන් 6 දෙනකු පුහුණු කරන්න කටයුතු කරමින් සිටින්නේ. හොංකොංවල මේ ස්‌පොටර් තනතුර සඳහා සහභාගි කරවා ගන්නේ වෛද්‍යවරුන් හා ඉංජිනේරුවරුන් වැනි සමාජයේ උගත් වැදගත් වෘත්තීන්වල නියෑළෙන අයයි. මේ අය ජාතික සේවාවක්‌ හැටියට මේ තනතුර භාරගන්නවා. මේක අපේ රටට ගැලපෙන ආකාරයට කරන්න පුළුවන්.

මේ අයට ලබා දී තිබෙන දැනුම පුහුණුව හා බලතල අනුව දුම් දමන වාහනයක්‌ දුටුවොත් වාහනය පරීක්‍ෂාවට ලක්‌ කර දුම් පරීක්‍ෂා සහතිකයක්‌ ලබාගත්තා ද? එය ලබාගත්තේ කෙසේ ද? කොතැනින් ද? නිකුත් කළ නිලධාරියා කවුද? වෙලාව කුමක්‌ ද? යනාදිය පරික්‍ෂාවට ලක්‌ කර එයට නීතියෙන් කටයුතු කිරීමට අවසර ලබා දිය යුතු වෙනවා.

මේ වාහන දුම් පරික්‍ෂාව 2003 ජුනි 30 වැනි දින නිකුත් කරන ලද 1295/11 දරන ගැසට්‌ නිවේදනයට අනුව සිදු කරන අතර පෙට්‍රල් වාහනයක්‌ දුම් පරීක්‍ෂාවෙන් අසමත් වුවොත් එනම් කාබන් මොනොක්‌සයිඩ් (CO) නිකුත් වීම හේතුවෙන් අසමත් වුණොත් ඉන්ධන පද්ධතිය, වායු ඉන්ධන මිශ්‍රණය, කාබියුරේටරයේ ෆ්ලෝටරය නීඩ්ල් ජෙට්‌, කාබියුරේටරයේ ලැසි දිවුම් පරිපථය (Idle circuit). කාබියුරේටරයේ ප්‍රධාන පරිපථය (main circuit). යන උපාංග පරීක්‍ෂාවට ලක්‌ කර එහි දෝෂ මඟහරවා ගත යුතු ය.

හයිෙඩ්‍රාකාබන් (HC) පිට වීම හේතුවෙන් අසමත් වූයේ නම් වැකියුම් හෝස්‌, ටයිමින්, 2ඔ හා පෙට්‍රල් මිශ්‍රණය, ස්‌පර්ශක තුඩු හා එහි පරතරය, ස්‌පාක්‌ ප්ලග් හා එහි තුඩු අතර පරතරය, වායු පෙරහන (Air filter), ප්ලග් වයර්, PVC කපාට, ඩිස්‌ටි්‍රබියුටරය යන උපාංග පරීක්‍ෂාවට ලක්‌ කර එහි දෝෂ මඟහරවාගත යුතු ය.

ඩීසල් වාහනයක්‌ දුම් පරීක්‌ෂාවෙන් අසමත් වුවොත්, පිටාර නළයේ (Silencer) කාබන් වැඩියෙන් තැන්පත් වීම, වායු පෙරණය (Air filter) අවහිර වී තිබීම හෝ ව්‍යාජ වායු පෙරණයක්‌ භාවිතයට ගෙන තිබීම, ජලය කලවම් කළ අපිරිසිදු ඉන්ධන භාවිතය, ඉන්ජෙක්‌ටර් පොම්පයේ හා ඉන්ජෙක්‌ටර්වල දෝෂ, කපාට (Valve) නිවැරැදි ලෙස සීරුමාරු නො කිරීම, පුෂ්රොඩ්, ඉන්ජෙක්‌ටර් ලින්ක්‌ස්‌ ගෙවී තිබීම,, ටර්බෝ චාජරයේ /සුපර් චාජරයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නො වීම වැනි දේ හේතු විය හැකි බැවින් එම දෝෂ මඟහරවා ගැනීම කළ යුතු ය.

අතීතයට වඩා වර්තමානය සංකීර්ණ ය. එසේ වූයේ මිනිසාගේ සරල පැවැත්ම ක්‍රමයෙන් සංකීර්ණ වූ බැවිනි. අවට පරිසරයෙන් ලැබෙන දෙයින් පමණක්‌ යෑපුණු අතීත මිනිසා එයින් බැහැර වී නිෂ්පාදනය කර යෑපීමේ මාර්¨ගයකට අවතීර්ණ වීම ඊට හේතුව ය. ගින්දර සොයා ගැනීමත් සමග තාක්‍ෂණික ජීවිතයට අවතීර්ණ වූ මිනිසා ගමනාගමන පහසුව සඳහා ක්‍රමවේද සොයා යැමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෝටර් රථය සොයා ගැනීමට හැකි විය. මෝටර් රථ තාක්‍ෂණය ක්‍රමයෙන් දියුණු වීමත් සමග ෆොසිල ඉන්ධන භාවිතය ද ක්‍රමයෙන් වැඩි විය.

වත්මන් යුගය පිළිබඳව විමසීමේ දී ෆොසිල ඉන්ධන භාවිතයේ උපරිමයෙන් උපරිමයට පැමිණ ඇති අතර සුළං බලය, භූ තාපක බලය, සූර්ය කෝෂ භාවිතය මෙන්ම මුහුදු රළ ඇසුරෙන් විදුලිය නිපදවීමට ද අවතීර්ණ වී ඇත. එසේ ම ජල විදුලිය ද බලශක්‌තියක්‌ ලෙස උපරිම පරිභෝජනයට මිනිසා අවතීර්ණ වී ඇත. මේ සියලු ම බලශක්‌ති ප්‍රභවවලින් සෑහීමකට පත් නො වන මිනිසා විකල්ප බලශක්‌ති කෙරෙහි නෙත් සිත් යොමා ඇති බවක්‌ ද දක්‌නට ලැබේ. න්‍යෂ්ටික බලශක්‌තිය ඊට කදිම නිදසුනකි. මේ සැම බලශක්‌ති පරිහරණයකින් ම පාහේ අවසන් ප්‍රතිඵලය වශයෙන් පරිසර දූෂණයක්‌ ද සිදු වෙයි. පරිසර දූෂණයේ උපරිමයට පත් වෙමින් තිබෙන මිහිතලයේ වෙසෙන මානවයා සෞඛ්‍යමය පරිහානියකට ද පත් වී ඇත.

ලෝක තත්ත්වය හා සමානව ම ශ්‍රී ලංකාව ද පරිසර දූෂණයේ උපරිමයට ක්‍රමයෙන් ළඟා වී තිබෙන්නේ ඉවක්‌ බවක්‌ නැති ව කෙරෙන බලශක්‌ති පරිභෝජනයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. අතීත ලක්‌වැසියා පරිසර හිතකාමීව සරල තිරසර ජීවිතයක්‌ ගෙවූ බැව් නොරහසකි. එසේ වුව ද නූතන ලොව දියුණු යෑයි සම්මත රටවල් අනුගමනය කරමින් පරිසර හිතකාමී නො වන සංකීර්ණ ජීවන රටාවකට අප රට ද අවතීර්ණ වී ඇති බැව් දක්‌නට ලැබෙන දෙයකි. මෙයින් ලත් හිතකර ප්‍රතිඵල ඇතත් ඊට වඩා අහිතකර ප්‍රතිඵල ද ඇති බැව් පිළිගත යුතු කරුණකි.

මේ ශක්‌ති පරිභෝජනයේ විපරිත ස්‌වභාවය පිළිබඳව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තුසිත සුගතපාල මහතා අදහස්‌ දැක්‌වූයේ මෙලෙසිනි.

අතීත මිනිසාට තිබුණේ සීමිත අවශ්‍යතා කීපයක්‌. අද ක්‍රමයෙන් සංකීර්ණ තත්ත්වයට පත් වෙලා. එසේ වුණේ විවිධ අවශ්‍යතාවලට සිත යොමු කළ නිසයි. මේ අවශ්‍යතා අතරින් ප්‍රධාන අවශ්‍යතාවක්‌ වන්නේ ගමනාගමනයයි. ඈත යුගයේ ගමන් බිමන් ගියේ පයින්. ඒ සඳහා ප්‍රයෝජනයට ගත්තේ ශාරීරික ශක්‌තියයි. තව විදියකින් කිව්වොත් ශක්‌තිය ප්‍රයෝජනයට ගත්තේ ජීවත් වීමට පමණයි. මේ ශක්‌තිය නිපදවූයේ මිනිසා දෛනිකව ගත් ආහාරයෙන්. ක්‍රමයෙන් දඩයම් යුගයට අවතීර්ණ වීමත් සමග බලශක්‌තිය පෙරට වඩා වැඩියෙන් අවශ්‍ය වුණා. ඒ සඳහා ඔහු වැඩියෙන් ආහාර අනුභව කරන්න ඇති. දර භාවිතයට පුරුදු වුණේ වැඩියෙන් ශක්‌තිය අවශ්‍ය වූ නිසයි. ගොවිතැන් කරන්න පටන්ගත් පසු තවත් ශත්තිය අවශ්‍ය වුණා. අද වන විට ශක්‌තියේ අවශ්‍යතා විවිධ පැතිකඩ ඔස්‌සේ වර්ධනය වී තිබෙනවා.

වානේ සොයා ගැනීමෙන් පසුවයි ෆොසිල ඉන්ධන නැතිනම් තෙල් සොයාගැනීම සිදු කළේ. ෆොසිල ඉන්ධන සොයාගැනීමත් සමග මිනිසා ගේ අවශ්‍යතා වැඩි වුණා. අද මේ අවශ්‍යතා උපරිම මට්‌ටමට ඇවිත් තිබෙනවා. ඒ අනුව ප්‍රවාහනය හෙවත් ගමනාගමනය අද මිනිසා ගේ දැඩි අවශ්‍යතාවක්‌.

ශ්‍රී ලංකාවේ ජනගහනයේ වර්ධනයක්‌ පෙන්නුම් කරනවා. මේ නිසා එක්‌ අයෙක්‌ පරිභෝජනය කරන ශක්‌ති ප්‍රමාණයේ වර්ධනයක්‌ පෙන්නුම් කරනවා. මෙයින් සිදු වූයේත් සිදු වන්නේත් ස්‌වාභාවික සම්පත්වල අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යැමයි.

ලක්‌වැසියන් ගේ බලශක්‌ති පරිභෝජනය ගැන විමසීමේ දී මෙරට තුළ සිදු වන ප්‍රවාහන කටයුතු අමතක කළ නොහැකි ය. නිසි පාලනයකින් තොර ව සිදු කෙරෙන මෝටර් රථ ධාවනයට අති විශාල ඉන්ධන පිරිවැයක්‌ අවශ්‍ය වන අතර සිදු වන පරිසර දූෂණයේ ද නිමාවක්‌ නැත. එසේ ම ඇති වන මාර්ග තදබදය ද පැතිකඩ ගණනාවකින් රටේ ආර්ථිකය මෙන්ම පුද්ගල සංවර්ධනය ද බිඳ හෙළයි. මෙය පිටුදැකිය හැක්‌කේ කෙසේ ද යන්න පිළිබඳව ආචාර්ය තුසිත සුගතපාල මහතා දරන්නේ මෙවන් අදහසකි.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්‍ෂෙත්‍රය පිළිබඳව විමසීමේ දී දුම්රිය, පෞද්ගලික බස්‌, ලංගම බස්‌ සේවාව, ත්‍රීරෝද රථ, පෞද්ගලික මෝටර් රථ හා වෑන් රථ, යතුරුපැදි මෙන්ම පාපැදි මහජනතාව ගමනාගමනය සඳහා යොදා ගන්නා බැව් පෙනී යනවා. අපි මෙහි දී තිරසාර ලෙස මේ ප්‍රවාහනය යොදා ගන්නේ කෙසේ ද කියල බැලිය යුතුයි. මේ රටේ තිබෙන රථ වාහනවලින් සියයට 70ක්‌ පමණ තිබෙන්නේ ත්‍රීරෝද රථ හා යතුරු පැදි. මෙයින් සියයට 55ක්‌ යතුරුපැදි. ඉතිරි සියයට 15 ත්‍රීරෝද රථ. බස්‌ රථ තිබෙන්නේ සියයට 2ක පමණ ප්‍රතිශතයක්‌. බස්‌රථවලට වඩා වැඩි ප්‍රමාණයක්‌ මෝටර් රථ තිබෙනවා. අපි මෝටර් රථයක්‌ ගනිමු. මෝටර් රථයකින් එක පුද්ගලයකු කිලෝමීටර් 1ක්‌ දුර යැමට යන විදයම, මඟීන් පිරවූ බස්‌ රථයකින් කිලෝ මීටර් 1ක්‌ දුර යැමට වැය වන වියදමට වඩා වැඩි අගයක්‌ ගන්නවා. මෙයින් පෙනී යන්නේ බස්‌ රථයකින් ගමන් කිරීමේ දී එක මගියකු වෙනුවෙන් යන්නේ ඉතා සුළු ඉන්ධන වියදමක්‌. යතුරුපැදියකින් යැමේ දීත් අධික වියදමක්‌ වගේම ඉන්ධන වැය වීමක්‌ සිදු වනවා. මහජන ගමනාගමනයේ දී ඉන්ධන භාවිත කරන්නේ සම්පතක්‌ ලෙසයි. පෞද්ගලික වාහන භාවිතයේ දී ඉන්ධන භාවිත වෙන්නේ පෞද්ගලික යහපත සඳහායි. සමහර විට තමන් ගේ තත්ත්වය රැකගන්න වෙන්න පුළුවන්. මේ නිසා ඉන්ධන පිරිමැසීමට තිබෙන එක ම පිළිතුර තමයි පෞද්ගලික වාහන ධාවනය අඩු කර පොදු මගී වාහන ධාවන සේවාවක්‌ ඇති කිරීම.

ධාවනය වන රථ වාහන ප්‍රමාණය වැඩි වීමේ දී සිදු වන මහාමාර්ග තදබදය වැළැක්‌වීමට මහා මාර්ග පුළුල් විය යුතුයි. මේ සඳහා වැය වන්නේ රජයේ හෝ පෞද්ගලික ඉඩම්. මහා මාර්ග සඳහා ඉඩම් වැය වීම රටක සංවර්ධනයට බාධාවක්‌. ලංකාවේ සිටින ජනගහනයෙන් සියයට 60ක ප්‍රතිශතයක්‌ ගමන් කරන්නේ බස්‌වලින්. ඉතිරිs සියයට 40 ගමන් කරන්නේ පෞද්ගලික වාහනවලින්. මහමඟ ඉඩ ප්‍රමාණයෙන් සියයට 70ක්‌ පමණ අත් කර ගන්නේ පෞද්ගලික වාහන. ඉතිරියෙන් සියයට 10ක්‌ පමණ අත් කර ගන්නේ මහජන බස්‌ රථ. ඒත් පෞද්ගලික වාහන පදවන්නන් කෑගහනවා තමන්ට ගමන් යන්න පාරේ ඉඩ නැහැ කියල, හරි නම් බස්‌ රථවල යන මගීන් තමයි මාර්ග තදබදයට කෑ ගහන්න ඕනේ. මේ නිසා වැඩි ඉඩකඩ ප්‍රමාණයක්‌ මගී ප්‍රවාහන සේවාවට දෙන්න ඕනේ. ඒ නිසා මෙහි වෙනසක්‌ සිදු විය යුතුයි. පාරේ පාපැදියෙන් යන මිනිසුන් රාශියක්‌ ඉන්නවා. මේ අය රටට අති විශාල සේවාවක්‌ කරනවා. ඉන්ධන වැය වීමක්‌ සිදු වන්නේ නැති නිසා ඔවුන් ගෙන් පරිසර දූෂණයක්‌ සිදු වෙන්නේ නෑ. එහෙනම් පාපැදියෙන් යන මගීන්ට වැඩි ඉඩකඩක්‌ ලබා දීම අත්‍යවශ්‍යයි. පයින් ගමන් කරන මගියත් ඒ වගේමයි.

ඒ අනුව බලන විට මහා මාර්ගයක මුල් තැන දෙන්න ඕනේ පයින් යන මගීන්ට, දෙවැනි තැන පාපැදියෙන් යන මගීන්ට, තුන්වැනි තැන මහජන ප්‍රවාහන සේවයට නැත්නම් මගී බස්‌රථවලට. හතරවැනි හා පස්‌වැනි තැන පෞද්ගලික වාහනවලට, හා යතුරු පැදිවලට ලැබෙන්න ඕනේ. මේ ක්‍රමවේදය තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. නමුත් වෙන්නේ වෙන දෙයක්‌. පයින් යන මගියටත් පාපැදියෙන් යන මගියටත් කිසි තැනක්‌ ලැබිල නෑ. ඒ නිසා මම කියන්නේ මේ රටේ ප්‍රවාහන ක්‍රමවේදයේ වෙනසක්‌ ඇති විය යුතුයි කියලයි. අපි පෞද්ගලික වාහන අත්‍යවශ්‍ය අවස්‌ථාවක දී හැර අනෙක්‌ අවස්‌ථාවල දී පොදු වාහන භාවිතයට හුරු වෙන්න ඕනේ. පොදු මගී වාහන ධාවනය කරන්නන්ට හෝ ඒ වාහන අයිතිකරුට තමා කරන්නේ සේවාවක්‌ යන හැඟීම ඇති වෙන්න ඕනේ. ඒ වගේ ම පෞද්ගලික වාහන පරිහරණය කරන්නන් තමන් කරන පරිසර දූෂණයත් බලශක්‌ති විනාශයත් ගැන ලඡ්ජා වෙන්න ඕනේ. ජාතික වශයෙන් කරන ඇගයීමේ දී පෞද්ගලික වාහනවලින් ගමන් කරන්නා සිටිය යුත්තේ මුල් තැන නො වෙයි. අවසන් ස්‌ථානයේයි. ඒ කියන්නේ ආකල්පවල වෙනසක්‌ ඇති විය යුතුයි. ආකල්ප වෙනසක්‌ සිදු කිරීමට මුල් තැන දිය යුතුයි. නගර සැලැස්‌ම දෙවැනි තැන ගත යුතුයි. තාක්‌ෂණය තුන්වැනි තැන ගත යුතුයි. මේ කරුණු තුන ගැන රටක ධාවන සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කරවීමේ දී සලකා බැලීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක.

පොසිල ඉන්ධන අවසන් වූ පසු.....

කර තිබෙන ඇස්‌තමේන්තුවලට අනුව ෆොසිල ඉන්ධනවල ආයු කාලය තවත් අවුරුදු 50කට සීමා වී ඇත. ෆොසිල ඉන්ධන අවසන් වූ පසු අප කළ යුත්තේ කුමක්‌ ද? භාවිතයට ගත යුතු ඉන්ධනය කුමක්‌ ද? එවිට අප යා යුත්තේ විදුලියෙන් ධාවනය වන මෝටර් රථ වෙත ය.

මෙවැනි මෝටර් රථයට අවශ්‍ය විදුලිය ලාබදායකව ලබාගත හැක්‌කේ කෙසේ ද? විදුලිය ලබා ගැනීමේ දී භාවිත කළ යුතු සරල තාක්‍ෂණික ක්‍රමවේදය සූර්ය කෝෂ භාවිතයයි. මෙය පරිසර දූෂණයක්‌ නැති ස්‌වාභාවික සම්පතකි. (Green energy), සුළං බලය (Wind power), භූ තාපක බලය (Thermal energy) වැනි පරිසර දූෂණයක්‌ නොමැති බලශක්‌තිවලින් විදුලිය නිපදවා කෝෂ ආරෝපණය කිරීමෙන් විදුලිය අවශ්‍ය පමණට ප්‍රයෝජනයට ගත හැකි ය. ඉදිරියේ දී මෙවැනි බලශක්‌ති හෙවත් හරිත ශක්‌තීන් ප්‍රයෝජනයට ගත යුතු ය.

මෙහි දී පැනනඟින එක ම ගැටලුව වන්නේ ආරෝපණය කළ කෝෂයකින් හෙවත් බැටරියකින් යා හැකි උපරිම දුර කිලෝමීටර් 50ක්‌ පමණ වීමයි. කිලෝමීටර් 200ක්‌ වැනි දුරක ධාවනය වීමට බැටරි 4ක්‌ පමණ අවශ්‍ය වෙයි. බැටරි 4ක බර වාහනයේ බරක්‌ බවට පත් වෙයි. එසේ ම බැටරි 4 සඳහා විශාල ඉඩ ප්‍රමාණයක්‌ වෙන් කළ යුතු වෙයි.

මේ තත්ත්වය පරිසර හිතකාමී වුව ද බොහෝ අවස්‌ථාවල දී ප්‍රායෝගික නො වන බැවින් විද්‍යාඥයෝ හයිඩ්‍රජන් වායුව ඉන්ධනයක්‌ ලෙස යොදා ගැනීමේ උත්සාහයක යෙදී සිටිති. මේ තත්ත්වය පිළිබඳව ආචාර්ය තුසිත සුගතපාල දක්‌වන්නේ මෙවන් අදහසකි.

හයිඩ්‍රජන් ඉන්ධනය ඉදිරි ලෝකය සඳහා වඩාත් ප්‍රයෝජනවත් ඉන්ධනයක්‌ ලෙසට හඳුන්වන්න පුළුවන්. පරිසර දූෂණයක්‌ සිදු කෙරෙන්නේ නෑ. හයිඩ්‍රජන් වතුරෙන් නිපදවන්න පුළුවන්. මේ හයිඩ්‍රජන් වාතයෙන් ගන්නා ඔක්‌සිජන් සමග එකතු කරනවා. මේ අවස්‌ථාවේ දී ජලය හැදෙනවා වගේම විදුලිය නිපදවනවා. මේක තමයි ඉන්ධන තාක්‍ෂණය (Fuel Technology) කියල හඳුන්වන්නේ. මෙහි දී ජලයෙන් හයිඩ්‍රජන් හා ඔක්‌සිජන් වෙන් කරන්න ශක්‌තිය වශයෙන් අවශ්‍ය වන විදුලි ප්‍රතිශතය සියයට 70ක්‌ පමණ වෙනවා. නැවතත් හයිඩ්‍රජන් හා ඔක්‌සිජන් එක්‌ කර නිපදවන විදුලිය ප්‍රතිශතයෙන් මෝටර් රථ එන්ජිමක්‌ ක්‍රියාත්මක කරන්න පුළුවන්.

මේ වන විට ලෝකයේ හයිඩ්‍රජන් ඉන්ධන කාර් නිපදවා තිබුණත් තවම පර්යේෂණ මට්‌ටමකයි තිබෙන්නේ. පර්යේෂණවලින් තවදුරටත් දියුණු කළ යුතු වෙනවා. මේ තාක්‍ෂණික ක්‍රමවේදයේ දී සාමාන්‍ය බැටරි භාවිත වන්නේ නෑ. මේ සඳහා ම නිපදවූ ඉන්ධන කෝෂ තමයි භාවිත වෙන්නේ. මෙය තවත් අවුරුදු 50කින් පමණ භාවිතයට ගත හැකි අනාගත තාක්‌ෂණයක්‌. පරිසර දූෂණය සිදු නො කරන නිසා මෙය පිළිගැනීමකට ලක්‌ වේ වි.

විදුසර සගරාවේ සතියේ විමසුම ඇසුරින්
අමල් උඩවත්ත
ඡායාරූප - සුජාතා ජයරත්න

විශේෂ ස්‌තූතිය - ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරියේ චමින්ද ලියනගේ මහතාට, ලාෆ්ස්‌ ECO ශ්‍රී ආයතනයේ කොටහේන අංශයේ මධ්‍යස්‌ථාන කළමනාකරු සුසන්ත ප්‍රනාන්දු මහතාට හා දුම් පරීක්‍ෂක (Line Inspecter) තිළිණ සචින්තන මහතාට.

Wednesday, May 18, 2011

හොඳම කණ්‌ඩායම හමුවේ වුවත් මගේ කණ්‌ඩායම පසුබැස යන්නේ නෑ ශ්‍රී ලංකා පුහුණුකරු ස්‌ටුවර්ට්‌ ලෝ

ලොව හොඳම ටෙස්‌ට්‌ කණ්‌ඩායම් අතර එංගලන්ත කණ්‌ඩායම පෙරමුණේ පසු වුවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත ටෙස්‌ට්‌ තරගාවලියේදී තම කණ්‌ඩායම කිසි විටෙකින් වත් පසුබැස නොයන කණ්‌ඩායමක්‌ බව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ස්‌ටුවර්ට්‌ ලෝ පූර්ව පෙරනිමිති දක්‌වා ඇත.

ටෙස්‌ට්‌ තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායම පුහුණු තරග 2 කට සහභාගිවීමට නියමිත අතර එහිදී මිඩ්ල්සෙක්‌ස්‌ කණ්‌ඩායම සමගින් පෙරේදා (16 දා) අවසන් වුණු තරගය කඩුලු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත්විය. එම තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ලෝ තම අදහස්‌ පළ කර තිබේ.

මිඩ්ල්සෙක්‌ස්‌ කණ්‌ඩායම සමගින් වූ තරගයට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රභල ක්‍රීඩකයන් රැසක්‌ සහභාගි නොවුණු නමුත් එහිදී කණ්‌ඩායමට එක්‌වී සිටින නවක ක්‍රීඩකයන් සමගින් තරග වදින ලදී. එමෙන්ම නායක ටී. එම්. ඩිල්ෂාන් නායකත්වය ලබා දෙනු ලබන පළමු ටෙස්‌ට්‌ තරගාවලිය වන මෙම තරගාවලියේදී පළමු පුහුණු තරගයේදී පන්දු යවන්නන් මෙන්ම පිතිකරුවන්ද තම යුතුකම් කොටස නිසියාකාරව ඉටු කිරීම මත වත්මන් එංගලන්ත නායක ඇන්ඩ්‍රD ස්‌ට්‍රොaස්‌ පවා පසුවූ මිඩ්ල්සෙක්‌ස්‌ කණ්‌ඩායම සමගින් වූ තරගය ශ්‍රී ලංකා කණ්‌ඩායමට පහසුවෙන් ජයගත හැකි විය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා ඇති ශ්‍රී ලංකා පුහුණුකරු ලෝ, මෙවර තරගාවලිsයේදී කණ්‌ඩායම් සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂතා වලට වඩා එංගලන්ත කණ්‌ඩායමේ දක්‍ෂතා ඉහළින් පවතින බව තමන් පිළි ගන්නා බවයි.

"ඇත්ත මගේ පිලේ ක්‍රීඩකයන් දුර්වල ක්‍රීඩකයන් ලෙස සමහරු දකිනවා. ඒත් එක්‌කම අපි පිළිගන්න ඕන තව දෙයක්‌ තියෙනවා. ඒ තමයි නිරන්තරයෙන්ම මිනිස්‌සු දුර්වල බවට පත් කිරීමේ වැඩපිළිවෙළකුත් දියත් වෙනවා කියන එක".

"ලෝකෙ හොඳම ටෙස්‌ට්‌ කණ්‌ඩායමත් එක්‌ක තරග කිරීම ලේසිs කාර්යයක්‌ නොවෙයි. ඔවුන් අවසන් මාස 18 ක පමණ කාලය ඉතාමත් හොඳින් ක්‍රීඩා කරල තියෙනවා. අපි දන්නවා අපිට වඩා ඔවුන් මෙහිදී හොඳට තරග කරන බව. නමුත් අපිත් ඇවිල්ල ඉන්නෙ පරදින්න නොවෙයි. අතිශය ප්‍රබල කණ්‌ඩායමක්‌ ලෙස තරග කළ හැකි තරමේ කණ්‌ඩායමක්‌ වීමට තමයි අපිත් සැලසුම් කරල තියෙන්නේ" යනුවෙන් ලෝ පවසයි.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියෙන් අනතුරුව හිටපු පුහුණුකරු ට්‍රෙවර් බේලීස්‌ ඉවත්ව යැමත් සමඟ ස්‌ටුවර්ට්‌ ලෝට අදාළ එංගලන්ත සංචාරයේදී කණ්‌ඩායමේ තාවකාලිකව ප්‍රධාන පුහුණුකරු තනතුරේ කටයුතු කිරීමේ අවස්‌ථාව හිමිවිය. එහෙත් මෙම තරගාවලිය ජයග්‍රාහීව අවසන් කිරීමට ලෝ ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්‌ඩායම සමත් වුවහොත් ඉදිරියේදී අදාළ තනතුරෙහි පූර්ණ කාලීව කටයුතු කිරීමේ අවස්‌ථාව බොහෝ දුරට ඔහුට හිමිවනු ඇත. ඒ පිළිබඳවද අදහස්‌ දක්‌වා ඇති ලෝ, "ඔව් මම ඒ පිළිබඳව උනන්දුවෙන්" යෑයි සඳහන් කර තිබෙන අතරම, තමාගේ සුදුසුකම පෙන්නුම් කිරීමට මේ තරගාවලිය ඉතාමත් හොඳ අවස්‌ථාවක්‌ වී තිබෙන බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙහිදී ලසිත් මාලිංග ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් විශ්‍රාම යැම පිළිබඳවද අදහස්‌ දක්‌වා ඇති ලෝ, ඔහුගේ අඩුව පිරවීම සඳහා ක්‍රීඩකයකු සොයා ගැනීම ඉතාම අසීරු කරුණක්‌ බව සඳහන් කර තිබේ. එහෙත් මාලිංගගේ පන්දු යෑවීමේ ඉරියව්වට සමාන පන්දු යෑවීමේ ඉරියව්වක්‌ හිමි 24 හැවිරිදි නුවන් ප්‍රදීප් ලසිත් මාලිංගගේ අනුප්‍රාප්තිකයා වීමට බොහෝ දුරට ඉඩ ඇති බවට ස්‌ටුවර්ට්‌ ලෝ ඉඟි පළ කර තිබේ.

Thursday, May 12, 2011

ජංගම දුරකථනවලට අකුණු අදිනවා ද? විද්‍යාත්මක ප්‍රජාව තවත් කඹ ඇදිල්ලක

ජංගම දුරකථනවලට අකුණු වදිනවා".... "ජංගම දුරකථන රැගෙන යැම අකුණු මරණවලට හේතුවක්‌"....ජංගම දුරකථන රැගෙන යැම නිසා අකුණු වදින්නට වැඩි ඉඩකඩක්‌ තිබෙනවා"....

මේ සමාජයේ බොහෝ දෙනා අතර පැතිර යන රාවයකි. මේ මතය තහවුරු කෙරෙන ප්‍රවෘත්ති වාර්තා ද අපේ මාධ්‍යවලින් පළ වේ. මේ දිනවල අකුණු පිළිබඳ ලොකු උනන්දුවක්‌ පවතී. හැම වසරක ම අප්‍රේල් ආශ්‍රිත කාලවකවානුවේ විශාල අකුණු මරණ ගණනක්‌ වාර්තා වේ.

ලොව ජංගම දුරකථන භාවිත කරන පිරිස අතිවිශාල ය. ලොව අද භාවිත වන ජංගම දුරකථන සංඛ්‍යාව බිලියන 6 ද ඉක්‌මවයි. 2009 දී එය බිලියන 4.3ක්‌ විය. දැනට ලංකාවේ භාවිතයේ පවතින ජංගම දුරකථන සිම් සංඛ්‍යාව මිලියන 17ක්‌ පමණ වේ. මෙතරම් විශාල පිරිසක්‌ පාවිච්චි කරන්නා වූ උපකරණයක්‌ සැබැවින් ම අකූණුවලට ලක්‌ වීමේ අනතුරක්‌ ඇත් ද යන්න සහ එසේ නම් ඉන් බේරී සිටින්නට දැන සිටීම ඉතා වැදගත් ය.

එහෙත් අප යමකින් පරෙස්‌සම් විය යුත්තේ වැරැදි විශ්වාස පදනම් කරගෙන නො වේ. ජංගම දුරකථනවලට අකුණු ආකර්ෂණය වනවා ද යන්න විද්‍යාත්මකව විමසීමට අප අදහස්‌ කළේ එහෙයිනි.

ජංගම දුරකථනවලට අකුණු අදින බව පවසන්නේ අප ගේ ජනමාධ්‍ය පමණක්‌ නො වේ. ජාත්‍යන්තර ජනමාධ්‍ය ද ඒ බව පවසයි. මේ ජාත්‍යන්තර මාධ්‍ය ද හුදු ඕපාදූප පත්තර හෝ සඟරා ම නො වේ. නිදසුනක්‌ දැක්‌වුව හොත් 2006 දී සයන්ස්‌ ඩේලිහි පළ වූ වාර්තාවකින් කියෑවුණේ ජංගම දුරකථන අත තබාගැනීමෙන් අකුණු වැදීමට වැඩි ඉඩක්‌ ඇති බවයි.

විද්‍යාත්මක ප්‍රජාව අතර ඊට ද වැඩි පිළිගැනීමක්‌ හිමි බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයෙහි 2006 වසරේ එක්‌ කලාපයක පළ වූ ලිපියකින් කියෑවුණේ 15 හැවිරිදි දැරියක්‌ ජංගම දුරකථනයක්‌ අතේ තබාගෙන සිටීම නිසා අකුණු ප්‍රහාරයකට ලක්‌ වූ බවයි. අකුණට හේතුව ජංගම දුරකථනය බව එහි අවධාරණය කර තිබිණි. මේ ලිපිය පළ වී සති කීපයකට පසු ඇමෙරිකානු National Oceanic and Atmospheric Administration  (NOAA) ආයතනය තම වෙබ් අඩවියෙහි ඊට මෙසේ ප්‍රතිචාර දැක්‌වී ය.

ජංගම දුරකථන හා අකුණු

පසුගිය කාලයේ පළ වූ මාධ්‍ය වාර්තාවලට පටහැනි ව අප ගේ ආයතනයේ අකුණු විශේෂඥයන් පවසා සිටින්නේ ජංගම දුරකථනවලට (දුරකථනය රැගෙන යන්නාට) අකුණු විශේෂයෙන් ආකර්ෂණය නො වන බවයි. ජංගම දුරකථන, කුඩා ලෝහ අයිතම, ආධාරක වැනි දේ අකුණු ආකර්ෂණය නො කරයි. මිනිසුන් අනතුරට පත් වන්නේ ඔවුන් වැරැදි වෙලාවෙහි වැරැදි තැන සිටින හෙයින් බව ප්‍රකට අකුණු විශේෂඥ ජෝන් ජෙන්සෙනියුස්‌ ගේ අදහසයි. වැරැදි තැන යනු එළිමහනයි. වැරැදි වෙලාව යනු අකුණු ගසනා වෙලාවයි.

අකුණු අනතුරු ගැන වූ තම නිබන්ධයෙහි ඉලිනොයි සරසවියේ මහාචාර්ය ඈන් කුපර් මෙසේ කියයි.

"අකුණු ජංගම දුරකථනවලට සම්බන්ධ කිරීම මිථ්‍යාවක්‌ වන අතර වගවිභාගයකින් තොර ව එම මිථ්‍යාවට කදිම ප්‍රචාරයක්‌ ලැබී තිබේ. ජංගම දුරකථන රැගෙන යන පුද්ගලයන් අකුණු නිසා අනතුරට පත් වූ බවට වාර්තා ලැබෙතත් අකුණු හා ජංගම දුරකථන අතර කිසිදු සබඳතාවක්‌ නැත." කෙසේ වෙතත් ස්‌ථාවර දුරකථන මගින් නම් යම් අකුණු අවදානමක්‌ ඇති බව ඇය පෙන්වා දෙයි. බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නලයේ ජංගම දුරකථනවලින් අකුණු ඇදගන්නා බව සඳහන් ලිපියට පාදක වූයේ ලන්ඩනයේ නෝත්වික්‌ පාක්‌ රෝහලේ වෛද්‍යවරුන් කීප දෙනකු ලබා දුන් තොරතුරු ය. එහෙත් පසුව පුවත්පතකට සාකච්ඡාවක්‌ ලබා දෙමින් මේ තිදෙනා ගෙන් එක්‌ අයකු වන වෛද්‍ය ස්‌වින්දා එස්‌ප්‍රිට්‌ කියා සිටියේ (ස්‌වින්දා උගුර නාසය කණ පිළිබඳ විශේෂඥවරියකි) තමන් මේ අනතුරු ඇඟවීම කළේ සද්භාවයෙන් බවයි. එමෙන්ම ඒ මොහොතේ ලැබුණු දත්ත අනුව නිරවද්‍ය ව කටයුතු කළ බව ද ඇය කීවා ය.

අකුණු ගසන විට ජංගම දුරකථන ක්‍රියාත්මක කිරීම හොඳ ද නරක ද යන්න ගැන විද්වතුන් දරන අදහස්‌වලට ඒකමිතියක්‌ නැත. ඇතැමුන් පවසන්නේ ජංගම දුරකථන අකුණු ආකර්ෂණය කරගන්නා බව ය. ඇතැමෙක්‌ එසේ නො වන බව පවසති. අන්තර්ජාලයේ මේ පිළිබඳව පළ වන ලිපි විශාල සංඛ්‍යාවක ඇත්තේ ජංගම දුරකථන අකුණු ආකර්ෂණය කරන බවයි. එහෙත් ඊට පටහැනි ව එය එසේ නො වන බව සඳහන් ලිපිද රැසක්‌ ඇත. මා කියවූ ලිපි රැසක සඳහන් වූයේ මෙය නාගරික මිථ්‍යාවක්‌ බවත් එය ප්‍රවර්ධනය කරන ලද්දේ අන්තර්ජාල වෙබ් අඩවිකරුවන් බවත් ය.

අන්තර්ජාල මිථ්‍යාවක්‌ ද?

ඇත්තෙන් ම අකුණු ආකර්ෂණය කරන්නට ජංගම දුරකථනවලට නොහැකි ද? එය හුදු අන්තර්ජාල මිථ්‍යාවක්‌ පමණක්‌ ද? එය තවත් මාධ්‍ය බේගලයක්‌ ද? අකුණු හා ජංගම දුරකථන අතර සබඳතාවක්‌ ඇත්තේ ම නැද්ද? මේ පිළිබඳව අපි කැලණි සරසවියේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වසන්ත ජයතිස්‌ස මහතා වෙතින් විමසීමු. මේ ඔහු දැක්‌වූ අදහස්‌ ය.

"අකුණක්‌ පෘථිවියට එන්නේ ආරෝපණය වැඩි තැනක සිට අඩු තැනක භූගත වන්නටයි. ආරෝපණය විසර්ජනය කරන්නේ කොහොම ද කියලයි අකුණ බලන්නේ. මුලින් ම උඩින් තියෙන කුලුනු ආදී උස්‌ දේට අකුණු ඇදී යනවා. ජංගම දුරකථනය කියන වස්‌තුවට ජංගම දුරකථනය කියන හේතුව නිසා ම විශේෂයෙන් ම අකුණු ආකර්ෂණය වන්නේ නැහැ. හැබැයි එයින් අදහස්‌ කළේ අකුණු ඒ වෙත නො එනවා කියා නො වෙයි. කවුරුන් හෝ හිතනවා නම් එහි ක්‍රියාත්මක වන තරංග ආශ්‍රිතව අකුණු වදිනවා කියා එය මිථ්‍යාවක්‌. ජංගම දුරකථනවලට අදාළ වන්නේ ක්‌ෂුද්‍ර තරංග. භෞතික විද්‍යා සිද්ධාන්ත අනුව නම් ඒ තරංග එක්‌ක එක්‌ වෙලා අකුණක්‌ එන්න බැහැ. මං මේ පැහැදිලි කළේ තරංග සම්ප්‍රේෂණයට අදාළවයි. හැබැයි ජංගම දුරකථනයක්‌ වෙත අකුණක්‌ ආකර්ෂණය විය හැකි ක්‍රම තිබෙනවා. ජංගම දුරකථනවල ලෝහ අන්තර්ගත වනවා. එම ලෝහවලට අකුණු ආකර්¨¨ෂණය විය හැකියි. හැබැයි ඒ ක්‍රමයට ජංගම දුරකථනවලට විතරක්‌ නො වෙයි එවැනි සන්නායක ඇතුළත් තව බොහෝ දෙයට අකුණු ආකර්ෂණය විය යුතුයි. දන් මෙහෙම හිතන්න. ඔබ දන්නවා එළිමහනේ විවෘත අවකාශයක කෙනෙක්‌ හිටියොත් ඔහුට, ඇයට අකුණක්‌ පතිත වන්න වැඩි ඉඩක්‌ තිබෙනවා කියා. ඔබ පිට්‌ටනියකට හෝ වෙනත් මුඩු බිමකට ලෝහ කැබැල්ලක්‌ අරගෙන යන්න තියෙන ඉඩ අඩුයි නෙ. එහෙත් ඔබ නිතර ම ජංගම දුරකථන අතේ තබාගෙන ඉන්නවා. ඉතිං හිස්‌ බිමකට ජංගම දුරකථන රැගෙන යන්න තියෙන ඉඩ වැඩියි. එනිසා අකුණු වදින සම්භාවිතාව ද ඉහළයි."

වෘත්තීය තාක්‌ෂණ විශ්වවිද්‍යාලයයේ කර්මාන්ත හා වෘත්තීය තාක්‌ෂණ පීඨයේ පීඨාධිපති ඩී. ඩී. විඡේසිංහ මහතා පවසන්නේ ද ජංගම දුරකථන මගින් අකුණු ප්‍රහාරයකට ගොදුරු වීමේ ඉඩකඩ ඉතා අඩු බවයි. මේ පිළිබඳව පළ වී ඇති අධ්‍යයන වාර්තා ඇසුරෙන් ඒ මහතා පැහැදිලි කරන්නේ මේ මතවාදය මිථ්‍යාවක්‌ වීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් පිටත ස්‌ථානයක දී ජංගම දුරකථනයක්‌ අත ඇති අයකුට අකුණු වදින්නට ඉඩක්‌ නැත්තේ නැතැයි ද පීඨාධිපතිවරයා පවසයි. ඔහු ගේ මතය නම් අකුණු පවතින විටක දී නිවසක්‌ තුළ හෝ වෙනත් ආවරණ ස්‌ථානයක්‌ තුළ දී ජංගම දුරකථනයකින් ඇමතුම් ගැනීම හානිකර නො වන බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ එම්. ඩී. දයානන්ද මහතා මේ ගැන දරන අදහස මෙබඳු ය. "අකුණක්‌ ගහන විට රැහැන් සහිත දුරකථනවලටයි වැදෙන්නට වැඩි සම්භාවිතාවක්‌ ඇත්තේ. ජංගම දුරකථනයක්‌ ඉලෙක්‌ට්‍රොනික උපකරණ අකුණ ආසන්නයේ වැදුණොත් ප්‍රේරණය වී අපට අකුණක්‌ වදින්න ඉඩ තිබෙනවා. එනිසා වඩාත් ආරක්‌ෂාකාරී වන්නේ රැහැන් සහිත හෝ

රැහැන් රහිත දුරකථන දෙවර්ගය ම අකුණු ඇති විට පාවිච්චි නො කර ඉන්න එකයි".

2010 මැයි මස දී ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක්‌ සපයමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා පවසා ඇත්තේ ද ජංගම දුරකථන පාවිච්චිය අකුණු වැදීමට හේතු වන බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‌ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ද ජංගම දුරකථන භාවිතය (අකුණු ඇති විට) නිර්දේශ නො කරයි. "දැනට අකුණු අනතුරු නිසා මරණ 23ක්‌ වාර්තා වෙලා. ගිය වසරේ 34යි. හැබැයි මේ වසරේ අප්‍රේල් මාසයට පමණක්‌ 16ක්‌ වාර්තා වුණා. විවිධ හේතු තියෙනවා. වැඩියෙන් ම මැරුණෙ කුඹුරුවල සිටි, වැව්වල නාමින් සිටි වැනි පරිසරයේ සිටි අය. ජංගම දුරකථනයක්‌ කියන්නේ තරංගයක්‌ සහිත දෙයක්‌. අකුණු සර එයට යම් විදියකින් බලපානවායි මට සිතෙනවා. අකුණු ගහන වෙලාවට අපි නිර්දේශ කරන්නේ පරිපථ විසන්ධි කරන්න. රූපවාහිනි විසන්ධි කරන්න. ඒ වගේ ම ජංගම දුරකථන භාවිතයත් හොඳ නැතැයි යන්න මගේ හැඟීමයි.

කිසි ම අනතුරක්‌ නැහැ

කෙසේ වෙතත් දුරකථන අලුත්වැඩියාව සම්බන්ධයෙන් අත්දැකීම් ඇති විශේෂඥයන් ගේ මතය වන්නේ ජංගම දුරකථනත් අකුණුත් අතර පැහැදිලි සබඳතාවක්‌ නැති බවයි. නිදසුනක්‌ දක්‌වත හොත් අබාන්ස්‌ ආයතනයේ සේවා කළමනාකාර සාගර සත්‍යපාල මහතාට අනුව ජංගම දුරකථන කිසිදු ආකාරයකින් අකුණු ආකර්ෂණය කරන බවට සාධක ලැබී නැත. ජංගම දුරකථනයක්‌ තුළ කොපර්, ඇලුමිනියම් හා තවත් ලෝහ ඉතා සුළු ප්‍රමාණයක්‌ අන්තර්ගත ය. ඒවා අකුණක්‌ ආකර්ෂණයට තරම් බලවත් "සාන්ද්‍රණයකින්" නො පවතින බව ඔහු ගේ අදහසයි. වැඩි ම වුණොත් දුරකථනයේ ක්‍රියාකාරිත්වයට පමණක්‌ අකුණකින් බලපෑමක්‌ ඇති විය හැකි බව ඔහු ගේ අදහසයි.

අකුණක්‌ ඇඟ ඇතුළට යන්නට ජංගම දුරකථනය බලපානවා

එංගලන්තයේ නෝත්වික්‌ පාර්ක්‌ රෝහලේ විද්වතුන් පිරිසක්‌ Cellphone in Thundestorm නමැති වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ ජංගම දුරකථන වැනි ද්‍රව්‍ය ළඟ තබා ගැනීම අකුණු අනතුරු ඉහළ යෑවීමට හේතු වන බවයි. මිනිස්‌ චර්මයේ පවතින ප්‍රතිරෝධය හේතුකොටගෙන වදින හැම අකුණක්‌ ම සිරුරට ඇතුළු නො වන බව ඔවුහු කියති. එනම් එය හම වටා (පෘෂ්ඨයේ) දිව ගොස්‌ ඉවත යන බව ඔවුන් ගේ අදහසයි. එවිට පුද්ගලයකුට මාරක තුවාල සිදු වීමේ අවදානම අඩු ය. එහෙත් ජංගම දුරකථන හෝ වෙනත් සන්නායක ද්‍රව්‍ය, දියර ආදිය ළඟ තබාගැනීම නිසා ඉහත කී ලෙස අකුණ ඉවතට නො යා ඇඟ තුළට ගමන් ගනී. මෙලෙස ජංගම දුරකථන නිසා මාරක අනතුරු සිදු වූ අවස්‌ථා ගැන (එංගලන්තයේ චීනයේ, මාලදිවයිනේ) ඔවුහු උදාහරණ ලෙස විස්‌තර කරති.

ජාත්‍යන්තර වාර්තා

ඕස්‌ටේ්‍රලියානු අකුණු ආරක්‌ෂණ ප්‍රමිතිකරණ ආයතනය අකුණු ගසන අවස්‌ථාවල රැහැන් රහිත ජංගම දුරකථන පාවිච්චිය තහනම් කර ඇත. 2010 වසරේ දී ජංගම දුරකථන පාවිච්චි කරමින් සිටි පුද්ගලයන් අකුණු අනතුරුවලට ලක්‌ වූ අවස්‌ථා 5ක්‌ පමණ ඕස්‌ටේ්‍රලියාවෙන් වාර්තා වේ. ඇමෙරිකාවේ ෆ්ලොරිඩාව යනු නරක ම ලෙස අකුණු තර්ජනයට ලක්‌ වන ප්‍රදේශයකි. ESD ජර්නලයට අනුව හැම වසරක ම ජංගම දුරකථනවලින් එළිමහනේ කතා කරමින් සිටින සැලකිය යුතු පිරිසක්‌ ෆ්ලෝරිඩාවේ දී අකුණු අනතුරුවලට ලක්‌ වෙති. ෆ්ලොරිඩාව සැලකූ කල හැම වසරක ම අකුණු නිසා 10 දෙනෙක්‌ මරණයට පත් වෙති. ඇමෙරිකාවේ සිදු වන අකුණු මරණවලින් සියයට විස්‌සක්‌ පමණ ම සිදු වන්නේ මෙහි ය. ෆ්ලොරිඩා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥ රසල් හෙන්ස්‌ අකුණු ගසද්දී ජංගම දුරකථන ළඟ තබා ගැනීම හානිකර බවට අනතුරු අඟවයි.

China through a lens සඟරාවේ පළ වූ ලිපියකින් කියෑවුණේ 2003 ජුනි මස දී පුද්ගලයන් පස්‌ දෙනකුට ආසන්න ප්‍රමාණයක්‌ ජංගම දුරකථන පාවිච්චි කරමින් සිටිය දී අකුණු වැදීම්වලට ගොදුරු වූ බව ය. එම සඟරාව, මේ සිද්ධි පාදක කරගෙන චීනයේ පීකිං විශ්වවිද්‍යාලයයේ වායුගෝලීය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලියු ෂුහුආ සමග සම්මුඛ සාකච්ඡාවක්‌ ද පවත්වා තිබිණි. ලියු පවසා තිබුණේ මේ වැන්නකි.

"ජංගම දුරකථන මගින් නිකුත් කරන විද්යුත් චුම්බක තරංග හොඳ විද්යුත් සන්නායකයක්‌. ජංගම දුරකථනය අකුණු සන්නායකයක්‌ විදිහට ක්‍රියා කරනවා. අකුණෙන් එන විද්යුත් ධාරාව එතැනට කේන්ද්‍රගත වනවා. අකුණු ඇති වෙලාවට ජංගම දුරකථන පාවිච්චිය භයානකයි. විශේෂයෙන් ම ඉන්ධන පිරවුම්හල්වල හා වෙනත් ඒ වැනි තැන්වල දී ඒවා ඉතා ම භයානකයි. අකුණු සහිත කාලවල දී චීන මහා ප්‍රාකාරය වැනි ස්‌ථාන නරඹන්නට යන සංචාරකයන්ට ජංගම දුරකථන ක්‍රියා විරහිත කරගෙන යන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

විදුසර සටහන ( මේ සම්බන්ධයෙන් අපේ රටේ මේ විෂය ක්‌ෂේත්‍රය පිළිබඳ දැනුවත් පිරිස්‌වල අදහස්‌ හා පැහැදිලි කිරීම් දැනගැනීමට අප කැමැතියි. කරුණාකර අපට ලියන්න.

මනෝඡ් රත්නායක විදුසර පුවත් පතට

 

Wednesday, May 11, 2011

හෂාන් දෙස රටම බලා සිටියි!

උදා වී ඇති වාතාවරණය අනුව හෂාන් තිලකරත්නට පිටිය සිසාරා රිසි සේ "පන්දුවට පහර දීමට" අවස්‌ථාව උදාවී ඇත. හෙතෙම, මෙම අනගි අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගෙන රටක්‌ දැයක්‌ ඉමහත් බලාපොරොත්තුවෙන් සිටින තරග පාවා දෙන්නන් පිළිබඳ පුවත හෙළි නොකළහොත්, හෂාන් තිලකරත්න තවත් දේශපාලන පචයෙක්‌ වශයෙන් ඉතිහාසයට යනු ඇත.

දේශීය ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අතීතය වසර 1802 දක්‌වා දිව යන්නෙකි. වරෙක එය මෙරට තේ සහ රබර් වගා කළ සුද්දන්ගේ බූදලයක්‌ විය. කාලයාගේ ඇවෑමෙන් එයට Ê"දේශීය" ලේබලය ඈඳුනද, එය සුදු ආධිපත්‍යයෙන් මිදී මෙරැටියන් අතට පත් වන විටත් එය "සුදු"ම විය. හෙවත්, මෙරට ඉහළ යෑයි සම්මත පරම්පරාවේ දැඩි පාලනයට නතු වී, එම ඉතිහාසයෙන්ද සමුගෙන අද පූර්ණ දේශීය තත්ත්වයට පත්ව ඇත. එබැවින් වත්මන් ක්‍රිකට්‌ ක්‍රීඩාව වෙල්යාය, මංමාවත් සහ මහා ක්‍රීඩාංගණ දක්‌වා පැතිර ගොස්‌ ඒ සෑම ස්‌ථානයකම ඉඳුරාම පැවැති "µqට්‌බෝල්" සුනාමියකදී මෙන් විනාශ විය.

අද මාවතේ පාපන්දු හෙවත් ස්‌ට්‍රීට්‌ µqට්‌බෝල් දක්‌නට නැත. වෙල්යායක පාපන්දු තරගයක්‌ දක්‌නට නොමැත. මහා ක්‍රීඩාංගණවල පැවැත්වෙන පාපන්දු තරග නරඹන්නෝ අතලොස්‌සකි.

ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ව්‍යාප්තිය එසේ වී අද එය මෙහි එක්‌තරා ආගමක්‌ වී ඇත. එක්‌තරා සංස්‌කෘතියක්‌ වී ඇත. ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායම වසර 1996 දී ජගත් ක්‍රිකට්‌ ශූරතාව දිනා ගැනීමෙන් අනතුරුව අදාළ තත්ත්වය උච්ඡතම ස්‌ථානයට පත්වී, පාකිස්‌තානයේ මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙතින් යෑපීම් දීමනාවක්‌ සඳහා ආයාචනා කිරීමේ තත්ත්වයට මෙරට බොහෝ ක්‍රීඩා ඉසව් පත්ව ඇත.

ක්‍රිකට්‌ යනු දේශීය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ මහා භාණ්‌ඩාගාරය වැන්න. එයට මුදල් රැස්‌ කර දෙන්නෝ ක්‍රීඩකයෝ වෙති. එම ක්‍රීඩක නම් ගම් උගසට තබා ක්‍රිකට්‌ බලධාරීන් විසින් උපයන ලද මහා ධනස්‌කන්ධය දැන් රටට දැයට බරපතළ හිස රුදාවක්‌ වී ඇති සේය.

ක්‍රිකට්‌ මුදල් ඉපැයීමේ සාධාරණ ක්‍රමවේදයක්‌ ඇත. අසාධාරණ ක්‍රමවේදයක්‌ද ඇත. මෙම අසාධාරණ ක්‍රම වේදය හෙවත් මුදලට තරග පාවාදීම වත්මන් මාතෘකාව වේ.

එහි කථානායක, කලෙක කීර්තිමත් ක්‍රිකට්‌ ක්‍රීඩකයකුව සිට පසු කලෙක දේශපාලන මඩ ගොහොරුවට පැන ගත් හෂාන් තිලකරත්නයෝ වෙති.

හෂාන්ගේ පාපොච්චාරණය අනුව, දේශීය ක්‍රිකට්‌ ක්‍රීඩාව මුදලට පාවාදීම ඇරඹී ඇත්තේ මෙයට දසකයකට පමණ පෙර සිටය. එතෙක්‌ නිහඬව සිටි හෂාන් තිලකරත්න දැනට සති කිහිපයකට පෙර මේ බව හෙළි කිරීම මගින් හෙතෙම දේශපාලන ඉණි මගක්‌ නිර්මාණය කරගත්තේද, නැතහොත් දේශීය ක්‍රිකට්‌ උන්නතිය පතා හුදු සද්භාවයෙන්ම කරන ලද්දක්‌ දැයි නුදුරේදී හෙළි වනු ඇත.

හෂාන් තිලකරත්න මහතා මේ වන විට දෙවතාවක්‌ "හතරවැනි තට්‌ටුවට" කැඳවුම් ලැබීය. එහිදී ඉතා වැදගත් යෑයි කිසිවක්‌ සඳහන් වී නොමැති බව සටහන් වුවද, තමාට නිසි ආරක්‍ෂාව සපයන්නේ නම් මෙරට ක්‍රිකට්‌ පාවා දුන්නන්ගේ වත ගොත හෙළි කරන බව හෂාන් ඉඳුරාම කියා ඇත.

අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් රජය එයට නිමේෂයකින් පිළිතුරු සපයමින්, හෂාන්ට නිසි ආරක්‍ෂාව ලබාදෙන බවත්, එබැවින් සැකකරුවන් මහජන උසාවියට හඳුන්වා දෙන ලෙසත් අවධාරණය කළේය.

මේ අනුව, පන්දුව යළිත් හෂාන්ගේ පිටියට තල්ලු වී ඇති බැවින් ක්‍රිකට්‌ ලෝලී ජනතාව හෂාන් කෙරෙහි මහඟු විශ්වාසයෙන් යුතුව බලා සිටිති.

ක්‍රිකට්‌, පොදුවේ මුදල් ආකරයක්‌ යෑයි අපි පෙරදී සඳහන් කළෙමු. එහි වාර්ෂික මූල්‍ය උත්පාදනය දොaලනය වුවද රුපියල් කෝටි ගණන් ඉක්‌මවන බව සඳහන් වේ. එම මුදල් සාගරය පාලනය කරගත නොහැකි නිසාවෙන් දොa, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මේ වන විට රුපියල් කෝටි 200 ක්‌ ලොවට ණය වී සිටියි. එහෙත්, ලෝක ශූරතාව අවසානයේ ඔවුහු රුපියල් කෝටි එකහමාරක්‌ පාරිතෝෂික වශයෙන් බෙදා ගත්හ. මේ වග හෂාන් තිලකරත්නද දන්නා වග රහසක්‌ නොවේ.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පොදුවේ නාස්‌තිය, දූෂණය රජයන දැවැන්ත ව්‍යාපාරයක්‌ බව කෝප් ආයතනයටද (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව), ඒත්තු ගොස්‌ ඇත. එබැවින් එය "කෝප්" විසින් පරීක්‍ෂාවට භාජන කරන්නේමය.

උදා වී ඇති වාතාවරණය අනුව හෂාන් තිලකරත්නට පිටිය සිසාරා රිසි සේ "පන්දුවට පහර දීමට" අවස්‌ථාව උදාවී ඇත. හෙතෙම, මෙම අනගි අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගෙන රටක්‌ දැයක්‌ ඉමහත් බලාපොරොත්තුවෙන් සිටින තරග පාවා දෙන්නන් පිළිබඳ පුවත හෙළි නොකළහොත්, හෂාන් තිලකරත්න තවත් දේශපාලන පචයෙක්‌ වශයෙන් ඉතිහාසයට යනු ඇත.

පුරාතන ඔලිම්පික්‌ ක්‍රිඩාවේ සිට වර්තමාන ක්‍රිකට්‌ ක්‍රීඩාව දක්‌වා සෑම තරග ඉසව්වකම මෙවැනි දූෂිත සිදුවන බව නොරහසකි. ක්‍රිකට්‌ තරග පාවාදීමේ වත්මන් මූලික ප්‍රධාන පුවතේ කතුවරයා දකුණු අප්‍රිකාවේ හිටපු නායක හැන්සි ක්‍රොන්යේ වේ. එතැන් පටන් හිස ඔසවාගෙන සිටින ජගත් ක්‍රිකට්‌ කවුන්සිලයේ වංචා දූෂණ විමර්ශන අංශයේ ප්‍රධානී පෝල් කොන්ඩොන් මහතාට අනුව ඔට්‌ටුවට යටවූ ලොව ප්‍රධානතම ක්‍රීඩා ඉසව්ව ක්‍රිකට්‌ වේ. එහි සෑම තලයක්‌ම ඔට්‌ටුවට යටවී ඇතැයි හෙතෙම වැඩි දුරටත් පවසයි. හෙවත්, ක්‍රිකට්‌ ඔට්‌ටු, හෙවත් මුදලට තරග පාවාදීම පිටිය තුළ ඉපිද පිටියෙන් පිටතට ගිය ඔඩු දුවන ලද ප්‍රශ්නයකි.

එහි, දේශීය ජීවක හෂාන් තිලකරත්නද?

අසෝක ගුණතිලක
asokapg@yahoo.com

Thursday, May 5, 2011

දත් පිරවුම් ගැන ඔබ දැනගන්නට කුතුහලයක්‌ දක්‌වන කරුණු....

විවිධ හේතු නිසා දත්වල කොටස්‌ කැඩී බිඳී යනවා. එහෙත් මෙවැනි අවස්‌ථාවක දී දත නො ගලවා පිරවුමක්‌ කර ගන්නට සමහරුන් කැමැතියි. දත පිරවීමෙන් අප බලාපොරොත්තු වන්නේ දතේ ක්‍රියාකාරීත්වය ශක්‌තිමත් කරලීම හා නියමිත හැඩයක්‌ ලබා දීමයි. මුහුණේ අලංකාරය රැක ගැනීමට ද දත් පිරවීම උපකාර වනවා. දතේ බාහිර දෘඪ පටක වන එනැමලය හා දන්තිනය පමණක්‌ දිරා ගොස්‌ ඇති විට කුහර පිරවීමට සාමාන්‍ය පිරවුම් ද්‍රව්‍ය භාවිත කළ හැකියි. එහෙත් දිරා යැම දන්ත කල්කය දක්‌වා පැතිර ඇත්නම් ස්‌නායු පිරවුම නමැති ක්‍රමය යොදා ගැනීම සිදු වනවා. විශාල කුහරවලටත්, තදින් දිරා ඇති නමුත් කල්ක කුහරය දක්‌වා විෂබීජ ගමන් නො කළ දත්වලටත් තාවකාලික පිරවුම් දමනු ලබනවා. එමගින් කරන්නේ විෂබීජ ක්‍රියාකාරීත්වය මැඬපවත්වා දත්වල කල්කය ආරක්‌ෂා කර ස්‌ථිර පිරවුමකට සූදානම් කරවීමයි.

දත් පිරවීමට විවිධ ද්‍රව්‍ය භාවිත කෙරෙනවා. බොහෝ විට මේවා වටිනා ලෝහ හා රෙසිනයි. රත්රන්, සිල්වර්, කොපර්, ටින්, ටයිටේනියම්, පැලේඩියම්, කෝබෝල්ට්‌, ක්‍රෝමියම් උදාහරණ ලෙස දැක්‌විය හැකියි. මර්කරි, ටින් හා කොපර් ඇතුළත් ඇමල්ගම් නම් ද්‍රව්‍යය දැනට අවුරුදු ගණනාවක සිට භාවිත වන ශක්‌තිමත් දත් පිරවුම් සංයෝගයක්‌. රෙසින වර්ගවලින් සමන්විත කොම්පොසිට්‌ නම් ද්‍රව්‍ය මුඛයේ අපට පෙනෙන දත් පිරවීමට බොහෝ විට යොදා ගන්නවා. එහි වැදගත්කම වන්නේ එම පිරවුම් දතෙහි වර්ණයෙන් ම නිම කළ හැකි වීමයි. වර්තමානයේ ඉදිරිපස දත් පිරවීම සඳහා හෝ සකස්‌ කිරීම සඳහා පෝසිලේන් ද යොදා ගැනෙනවා. මිල අධික වුවත් ඒවා දතේ ගුණාංගවලින් සපිරි බැවින් බොහෝ විට පිරවුම් කර ගන්නන් ඊට ප්‍රිය කරනවා.

දතෙහි දන්ත මස්‌තකය විශාල වශයෙන් විනාශ වී ඇත්නම් ඒ වෙනුවට කෘත්‍රිම දන්ත මස්‌තකයක්‌ සාදා සවි කර ගත හැකියි. හොඳ පිරවුමක්‌ නම් දතේ ජීවිත කාලය පවතින තාක්‌ පවතිනවා. කෙසේ වෙතත් යම් යම් හේතු නිසා වර්ණය වෙනස්‌ වීම, ක්‍රියාකාරීත්වය අඩු වීම ආදිය සිදු විය හැකියි. දත් පිරවුමට ඇතැම් අය බිය වන්නේ එමගින් ශරීරයට හානිකර දේ ඇතුළු විය හැකියි කියා. එහෙත් එලෙස වන්නේ නැහැ. දත් පිරවුමට ගන්නා ද්‍රව්‍ය කැඩී මුඛයෙන් ආහාර මාර්ගයට ඇතුළත් වුවත් හානියක්‌ වන්නේ නැහැ. පිරවුම් ද්‍රව්‍ය නිපදවන්නේ ඉතා ආරක්‌ෂාකාරී ලෙසයි.

ඉතා ම කලාතුරකින් අසාත්මිකතා නම් ඇති විය හැකියි. අපේ මුඛය කියන්නෙ ආහාර, බේටය, බැක්‌ටීරියා හා තවත් බොහෝ දේ ඇති අමුතු පරිසරයක්‌, මේවායින් පිරවුම් ද්‍රව්‍යවලට බලපෑම් ඇති විය හැකියි. දන්ත වෛද්‍යවරයකු ඔබට පිරවුමක්‌ කරගන්නට උපදෙස්‌ දෙනවා නම් ඒ වෛද්‍යවරයා ඔබ ගේ ශාරීරික ගැටලු ආසාත්මිකතා ආදිය ගැන ද ඔබෙන් විමසනු ඇති. එසේ ම ඔබට ඇති ශාරීරික ගැටලු ගැන වෛද්‍යවරයාට දැන්වීම ඔබ ගේ ද යුතුකමක්‌. සුදුසුකම් ලද වෛද්‍යවරයකු වෙතින් පිරවුමක්‌ කරගන්නට කිසිදු චකිතයක්‌ දැක්‌විය යුතු නැහැ.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ මෞඛ වෛද්‍ය හා
පරිදන්තී අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ඡේ. ඒ. එම්. එස්‌. ජයතිලක 

විදුසර පුවත් පතෙනි