Monday, May 30, 2011

ගුරුවරුන් හා සිසුන් සඳහා අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යාපන ව්‍යාපෘතියක්‌ ළඟදීම

අධ්‍යාපන අමාත්‍යංශය, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකා වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව, සහ එටිසෙලාට්‌ සමාගම එක්‌ ව තොරතුරු තාක්‌ෂණ ක්‍ෂෙත්‍රයේ සංවර්ධනය හා දැයේ සිසු දරුවන් හා ගුරුවරුන් උදෙසා අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යාපනික ව්‍යාපෘතියක්‌ හඳුන්වා දීම සඳහා වන අවබෝධතා ගිවිසුම මැයි 12 වැනි දින ටාඡ් සමුද්‍රd හෝටලයේ දී අත්සන් කෙරිණි. මෙහි දී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස්‌ දැක්‌වූ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, "අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ වගකීම් ඉටු කරමින් නිදහස්‌ අධ්‍යාපනය පුළුල් කර පෝෂණය කිරීමට වෙනස්‌කම් රාශියක්‌ කළ යුතු වෙනවා.
රටේ දරුවන්ට මාපියන්ට හා ගුරුවරුන්ට ගෞරවයක්‌ ලෙසත් විශ්වයට බරක්‌ නො වන ලෙසත් ජාත්‍යන්තරයටත් දේශයටත් ගැලපෙන අයුරින් සකස්‌ කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණයේ අරමුණයි. මේ සඳහා දිවයිනේ ද්විතීයික පාසල් දහසක්‌ තෝරාගෙන එම පාසල්වල 6 වැනි ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්‌වා භෞතික හා මානව සම්පත් දියුණු කිරීමට කටයුතු කර තිබෙනවා. මේ සඳහා සැම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයකින් ම පාසල් 3ක්‌ යහපත් සංවර්ධිත පාසල් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ උදෙසා 2012 වසරේ සිට තොරතුරු සන්නිවේදනය හය වැනි ශ්‍රේණියෙන් ඉහළට ඉගැන්වීමට කටයුතු කරනවා" යෑයි පැවසී ය.
අදියර තුනකින් ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතිය සඳහා රුපියල් දශලක්‌ෂ 400ක්‌ පමණ වැය වනු ඇත. පළමු අදියර යටතේ මධ්‍යම ආණ්‌ඩුව යටතේ ඇති ජාතික පාසල් 340ක්‌ තෝරා ගැනෙන අතර දෙවනුව ද්විතීයික පාසල් දහස ද තුන්වැනි අදියරට සියලු ම කුඩා පාසල් ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් කෙරෙනු ඇත. මෙහි දී එටිසෙලාට්‌ ආයතනයේ ප්‍රධාන විධායක දුමින්ද රත්නායක මහතා අදහස්‌ දක්‌වමින් "දරුවන් අනිසි ලෙස අන්තර්ජාලයට යොමුවේ යෑයි මාපියන් තුළ බියක්‌ පවතිනවා. මෙයට පිළියමක්‌ ලෙස සුප්‍රකට ළමා සුරක්‌ෂණ මෘදුකාංගයක්‌ වන NetNanny නම් මෘදුකාංගය විශේෂ පැකේජයකට ඇතුළත් කර සිසු දරුවන්ට හා ගුරු භවතුන්ටත් ඉතා සහනදායි මිලකට රජයේ වාණිජ නීතිගත සංස්‌ථාව හරහා ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම සමාජ සත්කාරක සේවාවක්‌ ලෙස දිවයිනේ සියලු ම පාසල් වෙතට පරිත්‍යාගයක්‌ ලෙස මේ පැකේජය ලබා දීමට කටයුතු කරනවා" යනුවෙන් පැවසී ය.
මේ ව්‍යාපෘතිය යටතේ 3.75G සේවාව හා සම්බන්ධතාව මෙරට අධ්‍යාපන ක්‍ෂෙත්‍රයට හඳුන්වා දීමට නියමිත ය. මෙහි දී මේ සුවිශේෂී පැකේජයට නෝට්‌බුක්‌ පරිගණකයක්‌, සුපිරි වේගයෙන් යුත් එටිසෙලාට්‌ අන්තර්ජාල සම්බන්ධතාවක්‌, පාසල් විෂය නිර්දේශයට අනුකූල ඉලෙක්‌ට්‍රොනික අධ්‍යාපන වැඩසටහන් සහ HSPA+ මොඩමයක්‌ ද අන්තර්ගත වනු ඇත.

1 comment:

  1. මේ ව්‍යාපෘතිය යටතේ 3.75G සේවාව හා සම්බන්ධතාව මෙරට අධ්‍යාපන ක්‍ෂෙත්‍රයට හඳුන්වා දීමට නියමිත ය. මෙහි දී මේ සුවිශේෂී පැකේජයට නෝට්‌බුක්‌ පරිගණකයක්‌, සුපිරි වේගයෙන් යුත් එටිසෙලාට්‌ අන්තර්ජාල සම්බන්ධතාවක්‌, පාසල් විෂය නිර්දේශයට අනුකූල ඉලෙක්‌ට්‍රොනික අධ්‍යාපන වැඩසටහන් සහ HSPA+ මොඩමයක්‌ ද අන්තර්ගත වනු ඇත.

    බම්බුව තමයි... මුංගෙ බයිලා...

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්