Sunday, April 22, 2012

උසස් පෙළ කරන්න කලින් කියවන්න


කලාද? වාණිජ්‍යයද? ජෛවීය විද්‍යාවද? භෞතික විද්‍යාවද? මේ සියල්ල අතුරින් අවසානයේ එක් විෂය ක්‍ෂේත්‍රයක් තෝරා ගන්න යැයි ඔබට කිවහොත් ඔබේ තෝරා ගැනීම කුමක්විය හැකිද? බැලූ බැල්මට එය සරල සහ පහසු තෝරා ගැනීමක් සේ පෙනුනත් මෙම තෝරා ගැනීම නිවැරදිව සිදුකර ගැනීම තරමක අභියෝගයක්. සෑම වසරකම අපේ රටේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වූවායින් පසුව මෙම අභියෝගය සමාජගත වීම ආරම්භ වෙනවා. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මත උසස් පෙළට විෂය මාලාවන් තෝරා ගැනීම ඉතාමත් කල්පනාකාරීව සිදුකළ යුතු දෙයක්. ඇතැම් ශිෂ්‍යයින් තම සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර තමන් උසස් පෙළට හැදෑරිය යුතු විෂය ක්‍ෂේත්‍රය තීරණය කරල එහි අධ්‍යයන කටයුතුවල නිරතවෙනවා. ඒවාගෙම ඇතැම් ශිෂ්‍යයින් තමන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණියාට පසුව උසස් පෙළට විෂය ධාරාවන් තෝරා ගැනීම සිදුකරනු ලබනවා. කොහොම උනත් උසස් පෙළට විෂය ධාරාවන් තෝරා ගැනීමේදී ශිෂ්‍යයෙකු විසින් සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරණු කීපයක් තියනවා. පළවෙනි කාරණය තමයි තෝරා ගන්නා විෂය ධාරාව තමන් ඉතාමත් ඇල්මක් දක්වන විෂය ධාරාවක්ද නැද්ද යන්න. ඒවාගේම එම විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලැබිමෙන් පසු අනාගතයේ තමන්ට ලැබෙන අවස්ථා හා රැකියා වෙළෙඳ ‍පොළේදී අදාළ විෂය ධාරාවන්ට හා එක් එක් විෂයයන්ට තිබෙන ඉල්ලුම පිළිබඳ සැලකිලිමත් වීම. තවෛනි කාරණය තමයි තමන් කොතරම් කැමැත්තෙන් සිටියත් ඇතැම් විෂයන් ඉගෙන ගැනීම සඳහා එක් එක් විෂයයන්ට සමපාත වන කුසලතාවයන්ද ශිෂ්‍යයන්  විසින් වර්ධනය කරගත යුතුවීම.
කුසලතාවයන් පුහුණුවෙන්, භාවිතයෙන් හා නිරන්තර සිදු කරන අභ්‍යාසයන් මගින් වර්ධනය කරගන්න පුළුවන්. කිසියම් ශිෂ්‍යයෙකුට නව කුසලතාවයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය නම් පළමුව  ඒ සඳහා තමා තුළින්ම අවශ්‍යතාවයක් ඇතිකර ගත යුතුය. ඒ වගේම සමහර ශිෂ්‍යයින්ට සහජ දක්ෂතාවයන් බොහෝමයක් පිහිටා තිබෙනවා. නමුත් සහජ දක්ෂතා වුවත් නිසි පරිදි භාවිතා නොකිරීමෙන් එම දක්ෂතාවයන් පසුකාලීනව විනාශ වී යන්න පුළුවන්.
වඩා වැදගත්ම කාරණය තමයි ශිෂ්‍යයෙකු උසස් පෙළට විෂය ධාරාව තෝරා ගැනීම වගේම එම විෂය ධාරාවට ඇතුළත් විෂයයන් තෝරා ගැනීමේදීත් තම සහජ දක්ෂතා හැකියා හා කුසලතාවයන් පිළිබඳ අවබෝධයකින් යුක්තව එම තීරණය ගැනීම.
තමන්ගේ යහළුවන්ගේ බලකිරීම මත, දෙමාපිය කැමැත්ත හා පෙළඹවීම මත එසේ නැත්නම් ගුරුවරුන්ගේ පෙළඹවීම මත උසස් පෙළ විෂය ධාරාව හා එහි විෂයන් තෝරා ගැනීම කිසිසේත්ම නොකළ යුතු දෙයක්. ඒ වගේම උසස් පෙළට විෂයන් තෝරා ගැනීමේදී එක් එක් විෂයය ධාරාවන් යටතේ තෝරා ගැනීමට තිබෙන නව විෂයන්, විෂය සංකලනයන් පිළිබඳවත් ශිෂ්‍යයන් දැනුවත් භාවයකින් යුක්තව සිටීම වැදගත්. වාර්ෂික උසස් පෙළ විෂයය මාලාවන් සම්බන්ධව සිදු කෙරෙන නව හඳුන්වාදීම්, සංස්කරණයන් පිළිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන “ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශය” නැමැති අත්‍පොතෙහි සඳහන් වෙනවා. ඒ වගේම වාර්ෂික විශ්ව විද්‍යාල පද්ධතියට හඳුන්වාදෙන නව උපාධි පාඨමාලාවන් සේම එහි ප්‍රවේශ අවශ්‍යතාවයන් පිළිබඳවත් එම අත්‍පොතෙහි තොරතුරු සඳහන් වෙනවා. වඩාත් කනගාටුදායක තත්ත්වය තමයි ශිෂ්‍යයන්ට, දෙමාපියන්ට වගේම උසස් පෙළට උගන්වන ඇතැම් ගුරුවරුන්ටත් මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිවීම.
බොහෝ වෙලාවට ශිෂ්‍යයින් උසස් පෙළට විෂයයන් විෂය මාලාවන් තෝරා ගැනීමේදී කිසියම් ‍පොදු රාමුවකට කොටු වෙනවා. උදාහරණ විදිහට වාණිජ්‍යය විෂය ධාරාව හැදෑරීමට බලා‍පොරොත්තු වන ශිෂ්‍යයෙකුගෙන් ඇසුවොත් වාණිජ්‍යය විෂය ධාරාව අධ්‍යයනය කිරීමෙන් පසුව අපේ රටේ ජාතික විශ්ව විද්‍යාලවල පවත්වන පාඨමාලාවන් කීයකට සුදුසුකම් ලැබිය හැකිද කියල බහුතරයකට ඒ පිළිබඳ නිසි දැනුවත් භාවයක් නැහැ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්‍පොතෙහි එක් එක් විෂය ධාරාවන් යටතේ විශ්ව විද්‍යාල තුළ අභ්‍යන්තරිකව අධ්‍යයනය කළ හැකි පාඨමාලාවන් පිළිබඳවත් ඕනෑම විෂය ධාරාවක් හදාරන ශිෂ්‍යයෙකුට අධ්‍යයනය කළ හැකි ‍පොදු පාඨමාලාවන් පිළිබඳවත් සඳහන් වෙනවා. උදාහරණයක් ලෙස අ.‍පො.ස. (උ/පෙළ) විභාගය 2011 සඳහා සකස් කරන ලද විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්‍පොතෙහි 2011 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත කලා විෂය ධාරාව හැදෑරූ ශිෂ්‍යයින්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයෙහි ඉල්ලුම් කළ හැකි අධ්‍යයන පාඨමාලා ගණන 34 කි. වාණිජ්‍යය විෂය ධාරාව හැදෑරූ ශිෂ්‍යයින්ට ඉල්ලුම් කළ හැකි පාඨමාලා ගණන 28 කි. ෙජෙවීය විද්‍යා විෂය ධාරාව හැදෑරූ ශිෂ්‍යයින්ට අධ්‍යයනය කළ හැකි පාඨමාලා ගණන 55 කි. භෞතික විද්‍යා විෂය ධාරාව අධ්‍යයනය කළ ශිෂ්‍යයින්ට අධ්‍යයන කළ හැකි පාඨමාලා ගණන 41 කි.
අවසන් වශයෙන් උසස් පෙළ විෂය ධාරාවන්, විෂයයන් තෝරා ගැනීමේදී පළමුව එය තම කැමැත්ත මතත් දෙවනුව එම විෂයයන් හැදෑරීම සඳහා තමන් සතුව නිසි හැකියාවන් හා සහජ දක්ෂතාවන් තිබෙනවාද යන්නත්, තෙවනුව එසේ තෝරා ගන්නා විෂය ධාරාව හා විෂයයන් අනාගත ශ්‍රම වෙළෙඳ ‍පොළ තුළ හා තම අනාගත වෘත්තීය ජීවිතය සමග සමපාත වීමක් තිබෙනවාද යන්නත් සැලකිලිමත් විය හැකිනම් ඔබටත් පිං ඇති සරසවි වරමක් ලබා ගැනීමට හැකිවනු ඇත.

1 comment:

  1. ලමයින්ගේ උසස් පෙළට පිවිසිමට පෙර තෝරාගත යුතු විශයන් පිලිබදව පවතින අවබෝධය ඉතා අඩුයි. අප "උසස් පෙළට පිවිසුමක්" නමින් පොත් පින්cචක් ප්‍රකාශයට පත් කලේ අන්න ඒ අඩුපාඩුව මග හරින්නයි.

    http://www.kedapatha.info/2008/12/2007.html

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්