Friday, April 27, 2012

රුපියලේ අගය යළිත් වේගයෙන් පිරිහීම ලක්‌වේ

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය යළිත් වේගයෙන් පිරිහීමට ලක්‌වෙමින් තිබේ. මේ අනුව ඊයේ (26 දා) දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 133.98 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි.                                                                                             පසුගිය කාලයේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව විශාල වශයෙන් පිරිහීමට ලක්‌වූ රුපියල ඉකුත් මාර්තු 21 දින සිට යළිත් ශක්‌තිමත් වීමට පටන් ගත්තේය. ඒ අනුව අප්‍රේල් 04 දින ඇමෙරිකානු ඩොලරයක අගය රු. 125.47 ක්‌ දක්‌වා ශක්‌තිමත් වුවද මේ වන විට යළිත් රුපියල සැලකිය යුතු ලෙස පිරිහීමට ලක්‌ වෙමින් තිබේ.  
අපේ ඇතැම් අපනයනකරුවන් තම විදේශ විනිමය ආදායම් රටට ගෙන එන්නේ නැතිව විදේශවලම රඳවා තබාගැනීම මේ තත්ත්වයට බොහෝ දුරට හේතුවී ඇතැයි විනිමය වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි

ආයතන 6 ක වැටුප් වැඩිලු

ඛනිජ තෙල් සංස්‌ථාව, ලංකා විදුලිබල මණ්‌ඩලය, ජල සම්පාදන මණ්‌ඩලය, වරාය, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රජයේ ආයතන හයක සේවකයන්ගේ ආදායම් බදු රුපියල් කෝටි 230 ක්‌ (බිලියන 2.3 ක්‌) 2010 වසරේදී ආණ්‌ඩුව විසින් ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ඇමැති ඩියු ගුණසේකර මහතා ඊයේ (26 දා) ප්‍රකාශ කළේය. සහෝදරියන් හයදෙනා යනුවෙන් හඳුන්වන රජයේ මෙම ප්‍රධානම ආයතන හයේ සේවකයන් විශාල ලෙස වැටුප් ලබන බව ද කාර්යාලය ශුද්ධ පවිත්‍ර කරන කම්කරුවාගේ මාසික වැටුප පමණක්‌ රුපියල් 25000 කට අධික බව ද ගුණසේකර මහතා ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා පැවැති වැඩමුළුවකදී කීවේය.

මෙම සියලුම සේවකයන්ගේ අදායම් බදු 1999 වසරේ සිට ගෙවා ඇත්තේ එම ආයතන වලින්ම බව කී ඩියු ගුණසේකර මහතා මේ සඳහා ඇමැති මණ්‌ඩල තීරණයක්‌ නැති බව ද කීවේය.

ජනාධිපතිවරයා, මහා භාණ්‌ඩාගාරයේ ලේකම්වරයා සහ විෂයභාර ඇමැතිවරයාවත් මේ පිළිබඳ දැනුවත්ව නොසිටි බව ද වෘත්තීය සමිති නිලධාරීන් පැමිණ ආයතන ප්‍රධානීන්ට බලකිරීම් කරද්දී මීට අදාළ ගිවිසුම් අත්සන් කර ඇතැයි ද කී ඩියු ගුණසේකර මහතා ආදායම් බදු ගෙවද්දී සියලු දෙනා එක සමානව සැලකිය යුතු බව නීතියේ සඳහන් බව ද ඇති නැති පරතරය නැති කරනු ලබන්නේ ආදායම් බදුවලින් යෑයි ද කීය.

පුද්ගලයන් වෙනුවෙන් ආණ්‌ඩුවක්‌ ආදායම් බදු ගෙවීමක්‌ සිදු නොකරන බව කී ඇමැති ඩියු ගුණසේකර මහතා මේ පිළිබඳව යම් පුරවැසියකු අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළහොත් අදාළ සේවකයන් සියලුදෙනාටම මෙම මුදල ගෙවීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.

සේවකයන්ගේ ආදායම් බදු ආයතනය විසින්ම ගෙවීමට තීන්දු තීරණ ගත් ප්‍රධානීන් මේ වන විට සේවයේ නැති බව ද කී ගුණසේකර මහතා පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග සංශෝධනය කර හෝ මෙම වැරදිකරුවන් පාර්ලිමේන්තුව හමුවට කැඳවිය යුතුබව කථානායකවරයාට යෝජනා කළ බව ද කීය.

Tuesday, April 24, 2012

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි ද?

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කොට ඒ වෙනුවට ලබන වසරේ සිට ජාතික ඇගැයීම් විභාගයක්‌ පැවැත්විය යුතු බවට නව අධ්‍යාපන පනත සකස්‌ කිරීමේ යෝජනාවලිය නිර්දේශ කර ඇත. අධ්‍යාපත ඇමති බන්දුල ගුණවර්ධන මහතා සභාපතිත්වය දරන අධ්‍යාපනය පිළිබඳ උපදේශ කාරක සභාවට මේ යෝජනාවලිය මැයි මාසයේ දී ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත ය. අධ්‍යාපන පනත සකස්‌ කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්‌ෂ නියෝජිතයන්, විවිධ සංවිධාන මෙන් ම පුද්ගලයන් ද ඉදිරිපත් කළ අදහස්‌ අනුව මේ යෝජනාවලිය සකස්‌ කර ඇති අතර එහි සිංහල පිටපත මේ වන විට සකස්‌ කර අවසන් ය. එය දෙමළ භාෂාවට හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු වෙයි. මෙයට අමතර ව දිළිඳු දරුවන් හඳුනාගෙන ඔවුන්ට පළමු ශ්‍රේණියේ සිට ම ආධාර ලබා දීම කළ යුතු බව ද එම නිර්දේශයේ සඳහන් වෙයි.

Monday, April 23, 2012

අර්ජුනගේ ප‍්‍රකාශය ගැන මහේල අදහස් දක්වයි

ඉන්දියාවේ  ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන ‘අයි. පී. එල්.’ තරගාවලිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක අර්ජුන රණතුංග ප‍්‍රකාශ කරන අදහස් ඔහුගේ ස්වාධීන අදහස් මිස ඒ සම්බන්ධයෙන් තමන්ට කිව හැකි කිසිවක් නැතැයි ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පැවසූ බව යයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි.
ඉන්දියාවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මහේල මේ බව පවසා තිබේ.
මේ දිනවල පැවැත්වෙන අයි. පි. එල් තරගාවලියේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන මහේල එහි උපනායකයා ලෙසද කටයුතු කරයි.
අර්ජුන රණතුංග පවසා සිටියේ අයි. පී. එල් තරගාවලිය කි‍්‍රකට් කී‍්‍රඩාවට හානියක් බවත්, සැබෑ ටෙස්්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙනුවට එයින් (අයි. පී. එල්. තරගාවලිියෙන්) බිහිවන්නේ මස්වැද්දන් වැනි කි‍්‍රකට් කී‍්‍රඩකයන් බවත්ය.
ටෙස්ට් කි‍්‍රකට් පිටියේ ඉන්දීය පිල ලබා සිටින පසුබෑම සම්බන්ධයෙන් ඉන්දීය කි‍්‍රකට් බලධාරීන්ට පවා දොස් පැවරීමට 1996 දී ලෝක කි‍්‍රකට් කුසලානය ශී‍්‍ර ලංකාවට දිනා දුන් නායකයා පසුබට නොවීය.
"එය ඔහුගේ ස්වාධීන අදහසක්. මා හිතන්නේ නෑ ඔහු (අර්ජුන රණතුංග) අයි. පී. එල්. තරග ලෝලියෙක් කියා. ඒත් කි‍්‍රකට් කී‍්‍රඩාවේ මේ ස්වරූපය (වි/20) සම්බන්ධයෙන් ප‍්‍රසාදයක් දක්වන ලෝකයේ තවත් ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයන් සිටිනවා”
"ඔවුන්ගේ අදහස මෙම කි‍්‍රකට් කී‍්‍රඩාව නිසා කී‍්‍රඩකයන් වඩාත් හොඳ තත්ත්වයකට පත්ව ඇති බවයි” යයිද මහේල ජයවර්ධන පැවසීය.
මහේලගේ අදහස අනුව ඉන්දීය තුන් ඉරියව් කී‍්‍රඩක රවීන්ද්‍ර ජදේජා සහ  ඕස්ටේ‍්‍රලියාවේ ඬේවිඞ් වෝනර් අයි. පී. එල්. තරගාවලියෙන් ඉස්මතු වූ කී‍්‍රඩකයෝ වෙති.
"රවීන්ද්‍ර ජදේජා අන්තර්ජාතික තරග දිවියට පිවිසුනේ අයි. පී, එල්. තරගාවලියෙන්. ඔහු මේ වන විට විශාල දුරක් ගිය කී‍්‍රඩකයකු බවට පත්වෙලා, ඒක ඒ ඒ කී‍්‍රඩකයන් තමන්ගේ කී‍්‍රඩාව සකස් කර ගන්නා ආකාරය තමයි”
"ඬේවිඞ් වෝනර් ගන්න, අයි. පී. එල්. තරගාවලියේ ආරම්භයේ සිට ඔහු කොයිතරම් වෙනස් වෙලාද? දැන් ඔහු  ඕස්ටේ‍්‍රලියානු පිලේ ආරම්භක පිතිකරුවා. ඔහු ඉතාමත් ආක‍්‍රමණශීලීව පන්දුවට පහර දෙනවා. ඔහු ලබාගත් පළමු ශතකය තරගයේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කළා” යයිද මහේල පැවසීය.
අයි. පී. එල්. තරගාවලිය නිසා තමන්ගේ කී‍්‍රඩාවද දියුණුවට පත්වූ බවත් මහේල පැවසීය.
"මගේ එක්දින තරග දිවිය වඩාත් හොඳ තත්ත්වයකට ගෙන එන්න, මා කිසියම් දෙයක් නිර්මාණය කළ යුතුව තිබුණා. ඒ නිසා මා ඉනිම ආරම්භ කරන්නත් පෙළඹුනා” යයිද මහේල ජයවර්ධන ඉන්දියාවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී පවසා තිබිණ.

ක්‍රිකට්‌ ක්‍රීඩක මුබාරක්‌ යතුරුපැදිකරුවකු හප්පා ක්‍රීඩකයා අත්අඩංගුවේ යතුරුපැදිකරු මරුට

ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක ජෙහාන් මුබාරක්‌ මහතා විදේශිකයන් පිරිසක්‌ සමඟ විල්පත්තු අභයභූමිය නරඹා කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය හලාවත නගරයේදී ඊයේ (22 දා) දහවල් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ එක්‌ පුද්ගලයකු එතැනම මියගිය අතර තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා හලාවත රෝහලින් කොළඹ මහ රෝහලට පිටත්කර යවා තිබේ.

අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ ක්‍රීඩක මුබාරක්‌ මහතා සහ ඩිපෙන්ඩර් ජීප් රථයද අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත මයික්‌කුලම ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරින් දුම්මලසූරිය වතුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රදීප් කුමාර නමැති තරුණයා මියගිය අතර එම්. පී. මාකස්‌ නමැති පුද්ගලයා තුවාල ලැබීය.

 මිය ගොස් හා තුවාල ලබා ඇති යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා හලාවත ප්‍රදේශයේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයක් නැරඹීම සඳහා යමින් සිට ඇති බව දැනට කරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසන බව අප වාර්තාකරු සඳහන් කරයි.

Sunday, April 22, 2012

උසස් පෙළ කරන්න කලින් කියවන්න


කලාද? වාණිජ්‍යයද? ජෛවීය විද්‍යාවද? භෞතික විද්‍යාවද? මේ සියල්ල අතුරින් අවසානයේ එක් විෂය ක්‍ෂේත්‍රයක් තෝරා ගන්න යැයි ඔබට කිවහොත් ඔබේ තෝරා ගැනීම කුමක්විය හැකිද? බැලූ බැල්මට එය සරල සහ පහසු තෝරා ගැනීමක් සේ පෙනුනත් මෙම තෝරා ගැනීම නිවැරදිව සිදුකර ගැනීම තරමක අභියෝගයක්. සෑම වසරකම අපේ රටේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වූවායින් පසුව මෙම අභියෝගය සමාජගත වීම ආරම්භ වෙනවා. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මත උසස් පෙළට විෂය මාලාවන් තෝරා ගැනීම ඉතාමත් කල්පනාකාරීව සිදුකළ යුතු දෙයක්. ඇතැම් ශිෂ්‍යයින් තම සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර තමන් උසස් පෙළට හැදෑරිය යුතු විෂය ක්‍ෂේත්‍රය තීරණය කරල එහි අධ්‍යයන කටයුතුවල නිරතවෙනවා. ඒවාගෙම ඇතැම් ශිෂ්‍යයින් තමන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණියාට පසුව උසස් පෙළට විෂය ධාරාවන් තෝරා ගැනීම සිදුකරනු ලබනවා. කොහොම උනත් උසස් පෙළට විෂය ධාරාවන් තෝරා ගැනීමේදී ශිෂ්‍යයෙකු විසින් සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරණු කීපයක් තියනවා. පළවෙනි කාරණය තමයි තෝරා ගන්නා විෂය ධාරාව තමන් ඉතාමත් ඇල්මක් දක්වන විෂය ධාරාවක්ද නැද්ද යන්න. ඒවාගේම එම විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලැබිමෙන් පසු අනාගතයේ තමන්ට ලැබෙන අවස්ථා හා රැකියා වෙළෙඳ ‍පොළේදී අදාළ විෂය ධාරාවන්ට හා එක් එක් විෂයයන්ට තිබෙන ඉල්ලුම පිළිබඳ සැලකිලිමත් වීම. තවෛනි කාරණය තමයි තමන් කොතරම් කැමැත්තෙන් සිටියත් ඇතැම් විෂයන් ඉගෙන ගැනීම සඳහා එක් එක් විෂයයන්ට සමපාත වන කුසලතාවයන්ද ශිෂ්‍යයන්  විසින් වර්ධනය කරගත යුතුවීම.
කුසලතාවයන් පුහුණුවෙන්, භාවිතයෙන් හා නිරන්තර සිදු කරන අභ්‍යාසයන් මගින් වර්ධනය කරගන්න පුළුවන්. කිසියම් ශිෂ්‍යයෙකුට නව කුසලතාවයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය නම් පළමුව  ඒ සඳහා තමා තුළින්ම අවශ්‍යතාවයක් ඇතිකර ගත යුතුය. ඒ වගේම සමහර ශිෂ්‍යයින්ට සහජ දක්ෂතාවයන් බොහෝමයක් පිහිටා තිබෙනවා. නමුත් සහජ දක්ෂතා වුවත් නිසි පරිදි භාවිතා නොකිරීමෙන් එම දක්ෂතාවයන් පසුකාලීනව විනාශ වී යන්න පුළුවන්.
වඩා වැදගත්ම කාරණය තමයි ශිෂ්‍යයෙකු උසස් පෙළට විෂය ධාරාව තෝරා ගැනීම වගේම එම විෂය ධාරාවට ඇතුළත් විෂයයන් තෝරා ගැනීමේදීත් තම සහජ දක්ෂතා හැකියා හා කුසලතාවයන් පිළිබඳ අවබෝධයකින් යුක්තව එම තීරණය ගැනීම.
තමන්ගේ යහළුවන්ගේ බලකිරීම මත, දෙමාපිය කැමැත්ත හා පෙළඹවීම මත එසේ නැත්නම් ගුරුවරුන්ගේ පෙළඹවීම මත උසස් පෙළ විෂය ධාරාව හා එහි විෂයන් තෝරා ගැනීම කිසිසේත්ම නොකළ යුතු දෙයක්. ඒ වගේම උසස් පෙළට විෂයන් තෝරා ගැනීමේදී එක් එක් විෂයය ධාරාවන් යටතේ තෝරා ගැනීමට තිබෙන නව විෂයන්, විෂය සංකලනයන් පිළිබඳවත් ශිෂ්‍යයන් දැනුවත් භාවයකින් යුක්තව සිටීම වැදගත්. වාර්ෂික උසස් පෙළ විෂයය මාලාවන් සම්බන්ධව සිදු කෙරෙන නව හඳුන්වාදීම්, සංස්කරණයන් පිළිබඳව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන “ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශය” නැමැති අත්‍පොතෙහි සඳහන් වෙනවා. ඒ වගේම වාර්ෂික විශ්ව විද්‍යාල පද්ධතියට හඳුන්වාදෙන නව උපාධි පාඨමාලාවන් සේම එහි ප්‍රවේශ අවශ්‍යතාවයන් පිළිබඳවත් එම අත්‍පොතෙහි තොරතුරු සඳහන් වෙනවා. වඩාත් කනගාටුදායක තත්ත්වය තමයි ශිෂ්‍යයන්ට, දෙමාපියන්ට වගේම උසස් පෙළට උගන්වන ඇතැම් ගුරුවරුන්ටත් මේ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිවීම.
බොහෝ වෙලාවට ශිෂ්‍යයින් උසස් පෙළට විෂයයන් විෂය මාලාවන් තෝරා ගැනීමේදී කිසියම් ‍පොදු රාමුවකට කොටු වෙනවා. උදාහරණ විදිහට වාණිජ්‍යය විෂය ධාරාව හැදෑරීමට බලා‍පොරොත්තු වන ශිෂ්‍යයෙකුගෙන් ඇසුවොත් වාණිජ්‍යය විෂය ධාරාව අධ්‍යයනය කිරීමෙන් පසුව අපේ රටේ ජාතික විශ්ව විද්‍යාලවල පවත්වන පාඨමාලාවන් කීයකට සුදුසුකම් ලැබිය හැකිද කියල බහුතරයකට ඒ පිළිබඳ නිසි දැනුවත් භාවයක් නැහැ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්‍පොතෙහි එක් එක් විෂය ධාරාවන් යටතේ විශ්ව විද්‍යාල තුළ අභ්‍යන්තරිකව අධ්‍යයනය කළ හැකි පාඨමාලාවන් පිළිබඳවත් ඕනෑම විෂය ධාරාවක් හදාරන ශිෂ්‍යයෙකුට අධ්‍යයනය කළ හැකි ‍පොදු පාඨමාලාවන් පිළිබඳවත් සඳහන් වෙනවා. උදාහරණයක් ලෙස අ.‍පො.ස. (උ/පෙළ) විභාගය 2011 සඳහා සකස් කරන ලද විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්‍පොතෙහි 2011 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත කලා විෂය ධාරාව හැදෑරූ ශිෂ්‍යයින්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයෙහි ඉල්ලුම් කළ හැකි අධ්‍යයන පාඨමාලා ගණන 34 කි. වාණිජ්‍යය විෂය ධාරාව හැදෑරූ ශිෂ්‍යයින්ට ඉල්ලුම් කළ හැකි පාඨමාලා ගණන 28 කි. ෙජෙවීය විද්‍යා විෂය ධාරාව හැදෑරූ ශිෂ්‍යයින්ට අධ්‍යයනය කළ හැකි පාඨමාලා ගණන 55 කි. භෞතික විද්‍යා විෂය ධාරාව අධ්‍යයනය කළ ශිෂ්‍යයින්ට අධ්‍යයන කළ හැකි පාඨමාලා ගණන 41 කි.
අවසන් වශයෙන් උසස් පෙළ විෂය ධාරාවන්, විෂයයන් තෝරා ගැනීමේදී පළමුව එය තම කැමැත්ත මතත් දෙවනුව එම විෂයයන් හැදෑරීම සඳහා තමන් සතුව නිසි හැකියාවන් හා සහජ දක්ෂතාවන් තිබෙනවාද යන්නත්, තෙවනුව එසේ තෝරා ගන්නා විෂය ධාරාව හා විෂයයන් අනාගත ශ්‍රම වෙළෙඳ ‍පොළ තුළ හා තම අනාගත වෘත්තීය ජීවිතය සමග සමපාත වීමක් තිබෙනවාද යන්නත් සැලකිලිමත් විය හැකිනම් ඔබටත් පිං ඇති සරසවි වරමක් ලබා ගැනීමට හැකිවනු ඇත.

Saturday, April 21, 2012

ගේල්ගේ හයේ පහරෙන් තුවාල වු දැරිය බලන්න රෝහලට යයි


රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස්‌ ගේල් එල්ල කළ හයේ පහරකින් ප්‍රේක්‍ෂකාගාරයේ සිටි 10 හැවිරිදි දැරියක්‌ තුවාල ලබා ඇත.

රෝයල් චැලේන් බැංගලෝ සහ පූනේ වොරියර්ස්‌ අතර තරගයේදී රාහුල් ෂර්මා විසින් යවන ලද එක්‌ පන්දුවාරයකදී ගේල් පිට පිටම හයේ පහර පහක්‌ එල්ල කරන ලදී. එහිදී ඔහු විසින් එල්ල කළ සිව්වැනි හයේ පහර ප්‍රේක්‍ෂකාගාරයේ සිටි 10 හැවිරිදි ටියා නම් දැරියගේ නාසයේ වැදී ඇය තුවාල ලබා බැංගලෝර් රෝහල වෙත රැගෙන ගොස්‌ ඇත.

තරගය අවසානයේදී අදාළ සිද්ධිය දැනගත් ක්‍රිස්‌ ගේල් මහත් කම්පාවට පත්ව ටියා ප්‍රතිකාර ගනිමින් සිටි රෝහල වෙත ගොස්‌ ඇයගේ සුව දුක්‌ විමසා ඇති බව වාර්තාවේ. ක්‍රිස්‌ ගේල් දැකපු ගමන් ටීනා පවසා ඇත්තේ, "ඔයා මේ ගැන දුක්‌ වෙන්න එපා. දිගටම ඒ වගේ හයේ පහරවල් ගහන්න." යනුවෙනි.

රෝහලේ සැහැල්ලුවෙන් සිටි ටියාට ගේල් පවසා ඇත්තේ, "මට ඒක හැගුම් බර අවස්‌ථාවක්‌. ඔයාට ඉක්‌මන්ට සනීප වෙයි." යනුවෙනි. දැවැන්ත හයේ පහර එල්ල කරන මේ දැවැන්ත ක්‍රීඩකයාගේ සංවේදීතාව මහත්මා ක්‍රිකට්‌ ක්‍රීඩාවටද වැදගත් පණිවිඩයකි.

Thursday, April 19, 2012

කොළඹ නගරය තුළ විශේෂ මෙහෙයුම් සඳහා සී.සී.ටී.වී. කැමරා සවිකරන ලද වෑන් රථයක්

කොළඹ නගරය තුළ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය සවිකිරීමේ ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස නූතන තාක්ෂණයෙන් සමන්විත වෑන් රථයක් කොළඹ නගරය තුළ විශේෂ මෙහෙයුම් සඳහා හඳුන්වා දුන් අතර ඉදිරි මාසය තුළදී මෙවැනි රථ දෙකක් සේවයේ යෙදවීමට බලා‍පොරොත්තු වන බව ‍පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා පවසයි. හඳුන්වා දෙන ලද සී.සී.ටී.වී. කැමරා සවිකරන ලද වෑන් රථයේ ඇති විශේෂ කැමරා මගින් කිලෝමීටර් 1.5 පමණ දුරක් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි අතර මීටර් 150 පමණ දුරකින් වූ වාහන අංකයක් පවා පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බවත් දිසා 32ක් ඔස්සේ මෙම කැමරා මෙහෙයවීමටත් ගන්නා දර්ශන පාලක මැදිරියට ගැනීමටත් හැකියාව ඇති බව ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ගාමිණී නවරත්න මහතා  පැවසීය.
විශේෂයෙන්ම කොළඹ නගරය හෝ ආසන්න පෙදෙසක සවිකර ඇති සී.සී.ටී.වී. කැමරාවලින් ආවරණය නොවන යම් ප්‍රදේශයක ආපදාවක්, කලහකාරී පිරිසක්, මාර්ග නීති කඩකරන රියැදුරන් සම්බන්ධව එම ස්ථානයේදීම දර්ශන ගත හැකි අතර ඒවා අවශ්‍ය විටක එම දර්ශන සාක්කි ලෙස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද හැකියාව ඇත.
ජංගම රථය හඳුන්වා දීම තුළින් වඩාත් ඵලදායී සහ කාර්යක්ෂමව තවදුරටත් කොළඹ නගරයට පැමිණෙන හා පිටවන ජනතාවට සැලැස්විය හැකි බවත් රාජ්‍ය අංශයෙන් ලැබූ අනුග්‍රහය මත ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකත්වයෙන් ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බව  ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Wednesday, April 18, 2012

ඇන්ජලෝ මැතිව්ස්ව IPL ගිල ගනියිද?

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ උප නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළහොත් ඔහුගේ ක‍්‍රීඩා දිවිය කෙටි විය හැකි බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් පවසනවා. විශේෂයෙන්ම මෙවර ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී පූනේ වොරියර්ස් කණ්ඩායමට පන්දු යවන්නෙකු ලෙස එක්වන මැතිව්ස් මේ පිළිබද අවධානය යොමු කළ යුතු බවයි තේරීම් කමිටු ප‍්‍රධානියා පෙන්වා දෙන්නේ. පසුගිය කාලසීමාව තුළ ආබාධ කිහිපයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවන්නෙකු ලෙස තරග බිමට පිවිසුණහොත් එම ආබාධ උත්සන්න විය හැකි බවයි අසන්ත ද මෙල් පවසන්නේ. ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ ක‍්‍රීඩා දිවිය සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව පෙන්වා දෙන තේරීම් ප‍්‍රධානියා කියා සිටින්නේ වටිනාකම්වලට වඩා රට වෙනුවෙන් වැඩි කාලයක් ක‍්‍රීඩා කිරීම ක‍්‍රීඩකයෙකුගේ ප‍්‍රධාන අරමුණ විය යුතු බවයි.

ඉන්දියන් වාහන විකිනීම තවත් අසීරු වේ

පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් අතර ඊයේ (17 වැනිදා) සවස අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව පාවිච්චි කරන ලද වාණිජ්‍ය වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්‌වාද දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

පාවිච්චි කරන වාහන ගෙන්වන්නේ ජපානයෙන්ය. ඉන්දියාවෙන් ගෙන්වන්නේ අලුත් බ්‍රෑන්ඩ් නිව් වාහන පමණක්ය. පරණ වාහන වල කාල සීමාව වැඩි වෙත්දී බද්ද අඩු වෙන්නේය. එම නිසා ජපන් රීකන්ඩිෂන් වාහන වල මිල අඩු වෙන අතර ඉන්දියන් වාහන වල මිල වැඩිය.
ඊයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති යෝගා පෙරේරා යන මහත්වරුද වාහන ආනයනකරුවන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක්‌ද සහභාගි වූහ.

Tuesday, April 17, 2012

ලන්ඩන් ඔලිම්පික්‌ තරගාවලියට නව ඇදුමක් - කොන්ත්‍රාත්තුව ලංකාව

ලන්ඩන් ඔලිම්පික්‌ - 2012 තරගාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකා තරග නිල ඇඳුම් නිපදවීමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ නිමි ඇඳුම් කර්මාන්ත ආයතනයකට ලැබී ඇතැයි වාර්තා වේ.

ජගත් ඔලිම්පික්‌ කමිටුව අනුබද්ධිත රටවල් 204 න් රටවල් 92 ක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා යෝජිත මෙම නිල ඇඳුම් සැපයීමේ ලොව ප්‍රධානතම ක්‍රීඩා ඇඳුම් සහ භාණ්‌ඩ නිෂ්පාදන ආයතනයකට හිමිවී ඇති අතර, එම ආයතනය අපේකෂිත අවසන් කාර්යය වන එම ඇඳුම් මසා නිම කිරීම මෙසේ ශ්‍රී ලංකා ඇඟලුම් ආයතනයට පවරා ඇත.

අදාළ ජාත්‍යන්තර ක්‍රීඩා භාණ්‌ඩ සහ ඇඳුම් නිෂ්පාදන ආයතනය සමග සම්බන්ධිත ගිවිසුම් අත්සන් කර ඇති රටවල් 92 ට ඇමෙරිකා එක්‌සත් ජනපදය, සෝවියට්‌ රුසියාව, ජර්මනිය සහ චීනය වැනි රටවල් ද අයත් වන බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

කොන්ත්‍රාත්තුලාභී ශ්‍රී ලංකා නිමි ඇඳුම් ආයතනයට එම ජාත්‍යන්තර සමාගමෙන් ගෙවනු ලබන මුදල හෝ රටවල් 92 හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර බෙදා දෙනු ලබන ඇඳුම් කට්‌ටල සංඛ්‍යාව පසුව අනාවරණය කිරීමට නියමිතය.

තරගාවලියේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ භාවිතය සඳහා විවේක කාලයේදී ඇඳීමට, පුහුණු කටයුතුවල නියෑළෙන අවස්‌ථාවලදී ඇඳීමට සහ තරග අවස්‌ථාවේදී ඇඳීම සඳහා අදාළ ජාත්‍යන්තර සමාගම විසින් ඇඳුම් සපයනු ලබන අතර තරග අවස්‌ථාව නිල ඇඳුම (
Games Dya Kit) ශ්‍රී ලංකාවේ දී මසා නිම කරනු ලබන විශේෂිත ඇඳුම වේ.

වාර්තා අනුව, තරග අවස්‌ථා ඇඳුම් බෙල්ලේ සිට පාදාන්තය දක්‌වා වැසුණු ඇඳුමක්‌ වන අතර දෙවැන්න කොටස්‌ දෙකකින් සමන්විතකොට කලිසම සහ බැනියම බව පැවසේ. පළමු ඇඳුම කෙටි දුර ධාවනය සඳහා ද දෙවැන්න මැදි දුර සහ දිගු දුර සඳහා විශේෂිතය.

මෙම අවස්‌ථා (නිර්මාණ) දෙක සඳහා එකම අමුද්‍රව්‍ය භාවිත කර ඇත. ඉවතලන ලද ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්‌ටික්‌ බෝතල් 82% ක්‌ භාවිතයෙන් නිපදවන ලද නූල් මෙම ඇඳුම් සඳහා භාවිත කරන අතර එක්‌ ඇඳුමක්‌ නිපදවීම සඳහා ප්ලාස්‌ටික්‌ බෝතල් 13 ක්‌ භාවිත කෙරේ.

නව නිර්මාණය මගින් විශේෂයෙන් මීටර 100 තරගකරුවන්ට තත්පර .023 ක අමතර වාසියක්‌ ලැබෙන බවට මේ පිළිබඳව කරන ලද පර්යේෂණවලදී දැන් සනාථව ඇත.

යෝජිත "තරග දින ඇඳුම" මසනු ලබන රෙදි වර්ගය පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් සුළං හමන කෘත්‍රිම සුළං කපොලු හරහා තැබුවද එය පලුද්දක්‌ හෝ නොවූ බව පවසන පර්යේෂකයෝ මෙම නව නිර්මාණය වන වස්‌තුවකට පිටතින් එල්ලවන පීඩනය හෙවත් "එරෝඩයිනමික්‌ස්‌" සිද්ධාන්තය වැඩි දියුණු කිරීම මගින් දැන් ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට තරගයේදී 7% ක පරිසර ප්‍රතිරෝධය මැඬලීමේ සහ වාතයේ චංචල ස්‌වභාවය මැඬලීමේ අමතර වාසියක්‌ අත්වන බවට ද වාර්තා කර ඇත.

Sunday, April 15, 2012

සාපෙළට උසස්‌ පෙළ කලවම් කිරීම ටියුෂන් මාස්‌ටර්ලගෙ වැඩක්‌!

සාමාන්‍ය පෙළ සිසුන් තව තවත් පෞද්ගලික උපකාරක පන්ති සඳහා යොමු කෙරෙන උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළට ඇතුළත් කිරීමේ යෝජනාව අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත්තේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන නියෝජිතයන් බව අනාවරණය වී ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා දැනටම ප්‍රකාශ කර ඇති අතර එය ක්‍රියාත්මක කළහොත් 12 - 13 ශ්‍රේණිවල සිසුන් පෞද්ගලික උපකාරක පන්තිවලට යැමේ සහ පාසල් නොපැමිණීමේ රටාව 10 - 11 ශ්‍රේණිවල සිසුන් අතරට ද ගලා එනු ඇත යන්න ජාතික අධ්‍යාපන ආයතනයේ විෂය අධ්‍යක්‍ෂවරුන්ගේ ද අදහස වී තිබේ.

මීට අදාළ ක්‍රියාකාරී සැලැස්‌මක්‌ ජාතික අධ්‍යාපන ආයතනය විසින් මේ වනවිට සකස්‌ කරනු ලැබ ඇති අතර එය ක්‍රියාවට නැගීමේද උද්ගත විය හැකි ගැටලු පිළිබඳව ද අවධානය යොමුකරනු ලැබ ඇත. මෙම යෝජනාව පෞද්ගලික උපකාරක පන්ති පවත්වන නියෝජිතයන්ගේ දූරදර්ශී අපේක්‌ෂාවක්‌ වූවා වන්නට ද පුළුවන් යෑයි එම ගැටලුවලට අදාළ කොටසේ සඳහන් කර තිබේ.

ජාතික අධ්‍යාපන ආයතනය සකස්‌ කර ඇති ක්‍රියාකාරී සැලැස්‌මට අනුව සාමාන්‍ය පෙළ භාර විෂයයන් හයට අමතරව උසස්‌ පෙළ හැදෑරීමට අපේක්‌ෂා කරන විෂයයන් තුනක්‌ ද තෝරාගත යුතුය. මෙලෙස උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළට ඇතුළත් කිරීමෙන් සාමාන්‍ය පෙළ සිසුන් තවතවත් පෞද්ගලික උපකාරක පන්තිවලට යොමුවීම වැළැක්‌විය නොහැකි බව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විද්වත්හු ද ප්‍රකාශ කරති.

Thursday, April 12, 2012

යුව්රාජ් සිං ඉදිරි දින 15 තුළ නැවතත් පුහුණුවීම් වලට


පිළිකා රෝගයෙන් කලක් පීඩා විදි ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක යුවරාජ් සිං අද (11) පළමුවරට මාධ්‍ය හමුවකට එක්වුණා. ඔහු කියා සිටියේ දැන්ම ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරතවීමට බලාපොරොත්තුවක් නොමැති බවයි. තමා පිළිකා රෝගයෙන් පීඩා විඳි කාලය තුළ ජීවිතය සහ ක‍්‍රීඩාව ගැන තිබූ අදහස වෙනස් වී ඇති බවද ඔහු ප‍්‍රකාශ කළා.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුව්රාජ් සිං ඉදිරි දින 15 තුළ නැවතත් පුහුණුවීම් ඇරඹීමේ සූදානමින් පසු වන බව වාර්තා වේ.
 

පිළිකාවක් හේතුවෙන් කලක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේය.

අමෙරිකාවේ ඉන්දියානා විශ්වවිද්‍යාල වෛද්‍ය ආයතනයෙන් ප්‍රතිකාර ලැබූ යුව්රාජ් සිං පසුගියදා යළිත් සිය රට පැමිණියේය.


එහිදී ඔහුට ප්‍රතිකාර කරනු ලැබුවේ, අමෙරිකාවේ සුපිරි පා පැදි ක්‍රීඩක ලාන්ස් ආම්ස්ට්‍රෝන්ගේ පිළිකාවට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා විසිනි.


යළි සිය රට පැමිණී යුව්රාජ්ගේ සුව දුක් විමසීමට බොහෝ දෙනෙකු ගුර්ගාන්හි පිහිටි ඔහුගේ නිවස වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වේ.


ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති එන්. ශිනිවාසන් ද ඊයේ එහි පැමිණ ඇත.


එහිදී යුව්රාජ්ගේ මව පවසා ඇත්තේ, ඉදිරි දින 15 තුළ තම පුත්‍රයා නැවතත් පුහුණුවීම් අරඹනු ඇති බවයි.


2007 වසරේදී පන්දුවාර 20/20 ලෝක කුසලානය ඉන්දියාවට දිනා දීම සඳහා සුවිශේෂි කාර්යභාරයක් සිදු කළ යුව්රාජ් සිං පසුගිය වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තේය.




Wednesday, April 11, 2012

අයි පී එල් කඩුලූ 65ක් ගෙන මාලිංග එකට එයි

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ වැඩිම කඩුලූ ලැබූ ක‍්‍රීඩකයා බවට මුම්බායි ඉන්දියන්ස් පිලේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ලසිත් මාලිංග පත් වී තිබෙනවා. ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලි 4 ක් මේ වන විට පවත්වා ඇති අතර මෙවර පැවැත්වෙන්නේ පස්වන තරගාවලියයි. මෙවර තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිල මුහුණ දුන් දෙවන තරගයේ දී මාලිංග මෙතෙක් අයි පී එල් වැඩිම කඩුලූ සංඛ්‍යාව සදහා පැවති වාර්තාව අභිබවා යාමට සමත් වුණා. ඉන්දීය ක‍්‍රීඩක ආර් පී සිං කඩුලූ 64 ක් ලබා සිටි අතර පසුගිය 6 වනදා පැවති තරගයේ දී මාලිංගගේ කඩුලූ සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගියා. ආර් පී සිං කඩුලූ 64 ක් ලබා ගැනීම සදහා අයි පී එල් තරග 56 කට සහභාගි වූ අතර මාලිංග එම දස්කම දැක්වූයේ තරග 44 කට පමණක් සහභාගි වෙමින්. 2010 වසරේ ක‍්‍රීඩක වෙන්දේසියේ දී මාලිංග අඛන්ඩව සිය පිලේ තබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල කටයුතු කළා. රදවා ගත හැකි ක‍්‍රීඩකයන්ගේ සංඛ්‍යාව සීමා කිරිමෙන් පසු ඉන්දීය පි‍්‍රමියර් ලීග් කණ්ඩායම් විසින් එලෙස රදවා ගත් ක‍්‍රීඩකයන් 12 දෙනාට ද මාලිංග ඇතුළත්. පසුගිය වසරේ පැවති අයි පී එල් තරගාවලියේ දී මාලිංග කඩුලූ 28 ක් බිද හෙලූයේ ලකුණු 13 යි දශම 3 යි 9 ක සාමාන්‍යයකටයි. මෙවර තරගාවලියේ දී මේ වන විට මාලිංග කඩුලූ 7 ක් බිද හෙලා කොදෙව් ක‍්‍රීඩක කාල් හූපර් සමග සම පළමු ස්ථානයේ රැඳී සිටිනවා.

Monday, April 9, 2012

රංගන හේරත් 5 ස්ථානය දක්වා ඉදිරියට


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රංගන හේරත් සමත් විය.


මේ අතර කලක් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව පෙරමුණේ රැඳී සිටි කුමාර් සංගක්කාරට මේ වන විට පස්වැනි ස්ථානය හිමිව තිබේ.

රංගන හේරත් ටෙස්ට් පන්දුයැවීමේ ලේඛනයේ ඉදිරියට පැමිණියේ, නිමා වූ එංගලන්ත -  ශ්‍රී ලංකාව තරගාවලියේදි ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙනි.

මෙම තරගාවලිය ආරම්භ වනවිට ඔහු ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව 13වැනි ස්ථානයේ රැඳී සිටි අතර, පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව සත්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

තරගාවලියේදි ඔහු දවාගත් මුළු කඩුලු ගණන 19කි.

මේ අතර එංගලන්තය සමග පැවැති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වන විට පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව සිව්වැනි ස්ථානයේ රැඳී සිටි කුමාර් සංගක්කාර පස්වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.

එංගලන්තය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනවිට එම ලේඛනයේ පළමුවන ස්ථනය ඔහුට හිමිව තිබුණි.

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව සුපිරි පිතිකරුවන් සියදෙනා අතරට ශ්‍රී ලංකා පිතිකරුවන් 8දෙනෙක් ඇතුලත්ව සිටී.

සුපිරි පන්දුයවන්නන් සියදෙනා අතරට ශ්‍රී ලංකා පන්දු යවන්නන් 13ක් ඇතුලත්ය.

Saturday, April 7, 2012

ඩිල්ශාන්ට දඩ අද මහේලගේ දවසයි

ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්තයට වඩා ලකුණු 33ක් ඉදිරියෙන් සිටිනවා. ශ‍්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 275ක් රැස් කළ අතර එංගලන්තය සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 460ක්. 
මහේල සහ තිලාන් එක්ව බිඳවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමේ සටන දියත් කළද දිනයේ අවසන් පන්දුවාරයට පෙර ස්වෝන් යැවූ පන්දුවාරයේ තිලාන් සහ රන්දිව් දැවී යෑමෙන් ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත් විය.
යළිත් වරක් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ගැලවුම්කරුවා වූ නායක මහේල ජයවර්ධන විශිෂ්ට ඉනිමක නිරතවෙමින් හතරේ පහර 4 ක් සහිතව නොදැවී ලකුණු 55ක් ලබා සිටියි.
මහේලට අනගි සහයක් ලබා දුන් තිලාන් සමරවීර හතරේ පහර 4 ක් සහිතව ලකුණු 47 ක් ලබා ගත්තේය.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවෙමින් එංගලන්ත බලා‍පොරොත්තු ඉහළ නැංවූ ස්වෝන් ලකුණු 82 ට කඩුලු 4 ක් බිඳ හෙළීය.
ලකුණු 125 ක් තුළ පෙර පෙළ කඩුලු 4 ක් බිඳ වැටී අසරණ වූ ශ්‍රී ලංකා ඉනිමට නව ජීවයක් දුන් මහේල සහ තිලාන් 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 90 ක සම්බන්ධතාවයක් තැබූහ.
මේ අනුව තරගය ගෞරවාන්විතව අවසන් කර තරගාවලිය ජය ගැනීමට අද අවම වශයෙන් තවත් පන්දුවාර 50 ක් පමණ පන්දුවට පහරදීමේ අසීරු අභියෝගය ශ්‍රී ලංකාවට හිමිවී තිබේ.
ඊයේ පෙරවරුවේ යළිත් අසාර්ථක වූ ලහිරු තිරිමාන්න ඇන්ඩර්සන් හමුවේ ලකුණු 11 කට දැවී ගිය අතර, ධම්මික ප්‍රසාද් සිය යුතුකම ඉටු කරමින් ලකුණු 34 ක් ලබා ෆින්ට ගොදුරු විය.
 සහ සංගක්කාර අතර ලකුණු
40 ක සම්බන්ධතාවයෙන් පසු මතභේදාත්මක තීරණයක් හේතුවෙන් ඩිල්ෂාන් ලකුණු 35 කට පිටිනේ ඉවත් විය. තරගාවලිය පුරා අසාර්ථකවූ සංගක්කාර ස්වෝන් හමුවේ ලකුණු 21 කට දැවී යනවිට ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයක විය.



මේ අතර ටී.එම්. ඩිල්ශාන්ගේ තරග ගාස්තුවෙන් 10% ක් දඩ වශයෙන් අය කර ගැනීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ ඔහු මෙම තරගයේදී පන්දු යවන අවස්ථාවේදී පිතිකරුවන් දැවී ගිය බවට විනිසුරුවන් වෙතින් අනවශ්‍ය ඉල්ලීම් කළ බවට චෝදනා කරමින්. විනිසුරුවරයා තීරණය ලබාදීමට පෙර පිතිකරුවන් දැවී ගිය බවට නිගමනය කරමින් ඒ සම්බන්ධයෙන් ප‍්‍රීතිය ප‍්‍රකාශ කිරීම ද එම චෝදනාවලට ඇතුළත්
.

වැඩිම ජංගම දුරකථන භාවිතා කරන දුගී ජනතාව ශ‍්‍රී ලංකාවේ

මෙරට දුගී ජනතාව අතර ජංගම දුරකථන භාවිතය සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතින බව තායිලන්තයේ පිහිටි තොරතුරු විශ්ලේෂක සමාගමක් විසින් සිදුකළ සමීක්ෂණයකදී හෙළිවී තිබෙනවා. සමීක්ෂණය සිදුකිරීමේදී ශ‍්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය යන රටවල වාසය කරන  දුගී ජනතාව පාදක කරගෙන ඇති අතර, ඒ අතුරින් වැඩිම ජංගම දුරකථන සංඛ්‍යාවක් භාවිත කරන දුගී ජනතාව වෙසෙන ආසියාතික රට වන්නේ ශ‍්‍රී ලංකාවයි. මීට අමතරව මෙරට තුළ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සහ ගොවි ජනතාව අතර ද ජංගම දුරකථන භාවිතය ඉහළ ගොස් තිබෙනවා. ජංගම දුරකථනය, ශ‍්‍රී ලංකාවේ දුගී ජනතාවගේ ජීවන වෘත්තීන් පහසු කරන මෙවලමක් බවට පත්ව තිබීම මීට හේතුව බවයි මෙම සමීක්ෂණය සිදුකළ සමාගම පෙන්වා දෙන්නේ.

Thursday, April 5, 2012

කි‍්‍රකට් කී‍්‍රඩාවට අසීරුම තැන ශී‍්‍ර ලංකාවයි -ඇලෙක් ස්ටුවර්ට්

ලෝකයේ කි‍්‍රකට් කී‍්‍රඩා කිරීමට ඉතාමත් අසීරු ස්ථානය ශී‍්‍ර ලංකාවයි. ඊට හේතුව දැඩි අවු රශ්මිය පමණක් නොවේ. අධික දහදිය දැමීමත් එයට බලපානා විශාල හේතුවකි. පන්දුවට පහර දුන්නත්, පන්දු යැවුවත්, පන්දු රැකීමේ යෙදුණත් මේ තත්ත්වයෙන් ගැළවීමක් නැත.
පන්දු  ඕවර කිහිපයක් යැවීමෙන් පසුව පන්දු යවන්නන්ගේ කමිස දහදියෙන් පෙගී යන අතර පන්දුවට පහර දෙන්නේ නම් සෑම විනාඩි 20 කට වරක්ම අත් ආවරණ මාරු කිරීමට සිදුවෙයි. මේ තත්ත්වය නිසා කී‍්‍රඩකයන් තමන්ට ගැලපෙන දියර වර්ග ශී‍්‍ර ලංකාවට රැගෙන යාම අත්‍යවශ්‍ය කාරණයකි.
දිනයේ කී‍්‍රඩාව ආරම්භයේදීද, සෑම පැය දෙකකට වරක්ද කී‍්‍රඩකයන්ගේ බර කිරා බැලෙන අතර ඔවුන්ගේ බර අඩුවීමක් වී ඇත්නම් ඒ වෙනුවට දියර වර්ග ගැනීමට උපදෙස් ලැබේ.
ඇතැම් අවස්ථාවන්හිදී, පැය දෙකක කාලයක් තුළ, කී‍්‍රඩකයන්ගේ බර කිලෝ ග‍්‍රෑම් 3 ක් දක්වා අඩුවන අතර ඊට ප‍්‍රධානතම හේතුව අධික දහදිය දැමීම මිස අනෙකක් නොවේ.
‘කී‍්‍රඩකයන් සෑම අවස්ථාවකදීම නිසි ශාරීරික යෝග්‍යතාවකින් පසුවිය යුතුයි’ යයි කීම පහසු වුවත්, කී‍්‍රඩකයන් නිතරම නියමිත ජල ප‍්‍රමාණයෙන් සංතෘප්ත විය යුතු අතර සෞඛ්‍ය තත්ත්වයන් සමග අවදානමක් නොගත යුතුය.
වේග පන්දු යවන්නන් එක දිගට පන්දු යවන්නේ  ඕවර කිහිපයක් පමණි. එබැවින් ගේ‍්‍රඒම් ස්වෝන්, මොන්ටි පනීසාර් සහ සමිත් පතෙල් (ඔහු කී‍්‍රඩා කරන්නේ නම්) වැනි දග පන්දු යවන්නන්හට වැඩි බරක් පැටවෙයි.
කෙසේ වෙතත් වඩාත්ම වැදගත් කාරණය වන්නේ මේ ආගන්තුක තත්ත්වයන්ට මුහුණ දීමට අපේ කී‍්‍රඩකයන් හැඩගැසීමයි. එය ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව හා බැඳී පවතින තත්ත්වයකි. ශී‍්‍ර ලංකා කණ්ඩායම මැයි මාසයේදී එංගලන්තයේ කී‍්‍රඩා කරන්න පැමිණීමේදීත් මුහුණ දෙන්නේ මෙවැනිම තත්ත්වයකටය.
ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව යනු කි‍්‍රකට් කී‍්‍රඩාවේ දස්කම් මැන බැලීමක් පමණක් නොවේ. එය වටාපිටාව සහ දේශගුණික තත්ත්වයන් සමග ගනුදෙනු කරන ආකාරයේ සමත් කමත් මැන බැලීමකි.

Wednesday, April 4, 2012

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසියි ද?

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර ඒ වෙනුවට ලබන වසරේ සිට ජාතික ඇගයීම් විභාගයක්‌ පැවැත්විය යුතු බවට නව අධ්‍යාපන පනත සකස්‌ කිරීමේ යෝජනාවලියෙන් නිර්දේශ කර ඇත.

මීට අමතරව දිළිඳු දරුවන් හඳුනාගෙන ඔවුන්ට පළමු ශ්‍රේණියේ සිටම ආධාර කළ යුතු බව ද එහි සඳහන් වේ.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සභාපතිත්වය දරන අධ්‍යාපනය පිළිබඳ උපදේශක කාරක සභාවට මෙම යෝජනාවලිය ලබන මැයි මාසයේදී ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතය. අධ්‍යාපන පනත සකස්‌ කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ නියෝජිතයන්, විවිධ සංවිධාන මෙන්ම පුද්ගලයන් ද ඉදිරිපත් කළ අදහස්‌ අනුව මෙම යෝජනාවලිය සකස්‌ කර ඇති අතර එහි සිංහල පිටපත මේ වන විට සකස්‌ කර අවසන්ය. එය දෙමළ භාෂාවට හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙයි.

දැනට සමාගම් පනත යටතේ ලියාපදිංචි කර පවත්වාගෙන ගිය ජාත්‍යන්තර පාසල් ද මෙම යෝජනාවලියට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කළ යුතු වන අතර එම පාසල්වලට බඳවාගන්නා ගුරුවරුන්ගේ සුදුසුකම් පිළිබඳව ද නිර්නායක සකස්‌ කර ඇත. මෙම පාසල්වල ද ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ඉගෙනීමේ මාධ්‍ය මව්බස විය යුතු බවට යෝජනා කෙරේ. එම යෝජනාව පිළිබඳ විවිධ මත පළවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක්‌ ගැනීම විශේෂ කාරක සභාවට පැවරී ඇත.

ද්විතීයික පාසල් දහසක්‌ ඇති කර එම පාසල් අවට තිබෙන ප්‍රාථමික පාසල් පන්දහසක්‌ සංවර්ධනය කෙරෙන හෙයින් තවදුරටත් ජනප්‍රිය පාසල් කරා යැමේ අවශ්‍යතාවක්‌ මතු නොවීම මෙන්ම සිසුන්ගේ මානසික තත්ත්වය ද ඇතුළු කරුණු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ නිර්දේශය ඉදිරිපත් කෙරේ.

තවද පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී ජාතිය, ආගම වැනි කරුණු නොසලකා කටයුතු කළ යුතු බවට වන නිර්දේශ ද ඊට ඇතුළත්ය.

නව අධ්‍යාපන පනත සකස්‌ කිරීම පිළිබඳ කරුණු සොයා බැලීමට පත්කර ඇති කමිටුව විසින් සකස්‌ කරන ලද ප්‍රතිපත්ති රාමුව සියලුම මැති ඇමැතිවරුන්ට මෙන්ම විවිධ සංවිධානවලට ද මේ වන විට ලබාදී ඇත.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරෙන යෝජනාවලිය ද එලෙසම ලබාදීමට සැලසුම් කර තිබේ.