Tuesday, April 30, 2013

ඉවත් කර තිබූ උ/පෙළ ජීව විද්‍යා හා රසායන විද්‍යා විෂය ඒකක යළි විභාගයට

පසුගිය වසර දෙකේදී (2011/2012) ඉවත් කර තිබූ උසස්‌ පෙළ ජීව විද්‍යාව හා රසායන විද්‍යාව යන විෂයයන්හි විෂය ඒකක මෙම වසරේ සිට උසස්‌ පෙළ විභාගයට අයත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සියලුම විදුහල්පතිවරුන්ට ලිතව දැනුම් දී ඇත.

මෙම විෂය ඒකක ඉවත් කරන බව 2011/9 අංක දරන චක්‍රලේඛයෙන් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබුණේ අමාත්‍යාංශයේ හිටපු ලේකම් එච්. එම්. ගුණසේකර මහතාය. පසුගිය වසරේ නිකුත් කළ 2012/12 චක්‍රලේඛයෙන් ද හිටපු ලේකම්වරයා දන්වා සිටියේ 2012 වසරේදීත් එම විෂය ඒකක ඉවත් කර ඇති බවය. එම විෂය කොටස්‌ 2013 වසරේ විභාගයට අදාළ වන බව ද එම චක්‍රලේඛයේ සඳහන් විය.

ගෝඨාභය ජයරත්න මහතා විදුහල්පතිවරුන්ට කර ඇත්තේ එහි සිහිකැඳවීමකි.

එම විෂය කොටස්‌ ඉවත් කිරීමට හේතුව කුමක්‌දැයි අමාත්‍යාංශයෙන් විමසූ විට දැනගැනීමට ලැබුණේ ජාතික අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස්‌ අනුව ඒවා ඉවත් කළ බවය. මේ පිළිබඳව විමසීමට ජාතික අධ්‍යාපන ආයතනයේ රසායන විද්‍යා අංශයේ හෝ ජීව විද්‍යා අංශයේ කිසිවකු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

Tuesday, April 23, 2013

Thursday, February 21, 2013

ජාතික වේග පන්දු පුහුණුකරු තනතුරට වාස්‌


ශ්‍රී ලංකා ජාතික වේග පන්දු පුහුණුකරු පත්කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ හිටපු ප්‍රවීණ වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස්‌ අතර ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වාස්‌ අදාළ තනතුර භාර ගැනීමට කැමැත්ත පළකර ඇත.

චමින්ද වාස්‌ට අදාළ තනතුර පිරිනැමීම ස්‌ථිර කිරීම සඳහා ඊයේ පස්‌වරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක කමිටු රැස්‌වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ වේග පන්දු ක්‍රීඩකයන්ගේ ප්‍රවණතා අඩාල වෙමින් පවතින බවට ඒත්තු ගත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය, වත්මන් වේගපන්දු පුහුණුකාර චම්පික රාමනායක වෙනුවට ආදේශකයකු සොයමින් සිටියදී චමින්ද වාස්‌ කෙරෙහි සැලකිල්ල යොමු විය.

මේ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සහ චමින්ද වාස්‌ අතර සාකච්ඡා වට කිහිපයක්‌ පැවතුණද, අවසන් ප්‍රතිඵලයක්‌ නොලැබුණු හෙයින් චමින්ද වාස්‌ට නවසීලන්තය, ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්‌ ක්‍ෂේත්‍රවලින් ලැබී තිබූ ආරාධනා කෙරෙහි සැලකිලිමත් වීමට පෙළැඹුණු අතර, ඉදිරි දෙසතිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙතින් යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණහොත් අදාළ යෝජනා ක්‍රියාත්මක සාකච්ඡා ඇරඹීමට හෙතෙම සූදානම්ව සිටියේය.


වත්මන් තත්ත්වය පිළිබඳ චමින්ද වාස්‌ගෙන් කරුණු විමසන ලදුව, "ඒ සාකච්ඡා අවසන් වුණා. සාර්ථකයි. මම කැමැත්ත දුන්නා." යි පැවැසූ අතර, 'කවුරුන් හරි දේශපාලන හෝ ක්‍රීඩා සමාජ හෝ වෙනයම් හෝ කිසිදු බලපෑමක්‌ කළොත් මම මේක අතහැර දමනවා" යිද අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හෙතෙම, "මේ තනතුර අවුරුදු දෙකකට විය යුතුයි. පාසල් ක්‍රීඩා සමාජ සහ ජාතික කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන්ගේ තත්ත්වය දියුණු කිරීම සඳහා මගේ විශේෂ සැලැස්‌මක්‌ තියෙනවා." යි ද පැවසීය.

යෝජිත පුහුණු කටයුතු ක්‍රියාත්මක කරන අතරතුර, නවසීලන්තයෙන් හෝ ඉන්දියාවෙන් හෝ බටහිර ඉන්දීය කොදෙව්වෙන් හෝ වැඩි මුදලකට කොන්ත්‍රාත්තුවක්‌ යෝජනා කළහොත් තමා එය භාර ගන්නේදැයි විමසූ විට "කොහෙත්ම නැහැ. මට ලොකු උනන්දුවක්‌ තිබුණා මෙම තනතුර ගැන. මම ක්‍රිකට්‌ ඉගෙන ගත්තේ ඒ රටවලින් නෙවෙයි. ලංකාවෙන්. මේක වෘත්තියක්‌ වුනත්, සේවයක්‌ වශයෙන්ද සලකන්න පුළුවන්." යි චමින්ද වාස්‌ පැවැසීය.

Monday, January 14, 2013

තිරිමාන්න හා ඩිල්ෂාන් එකතුව පහසුවෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවයි


ශ්‍රී ලංකා කණ්‌ඩායම සත්කාරක ඔස්‌්‍රලියානු කණ්‌ඩායම කඩුලු 8 ක පරාජයකට ඇද දමමින් තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලිය 1-1 ක්‌ ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඊයේ (13 දා) සමත් වූයේය.

ටෙස්‌ට්‌ තරගාවලියේ තරග 3ම සහ අනතුරුව පැවැති ආරම්භක එක්‌දින තරගයේ පරාජයත් සමග ජයග්‍රහණ නියඟයකට හසුව සිටි ශ්‍රී ලංකාවට මෙම දැවැන්ත ජයග්‍රහණය තරගාවලියේ ඉදිරි තරග වෙනුවෙන් ඉතා වටිනා මානසික උත්තේජනයක්‌ බවට පත්විය. ශ්‍රී ලංකාව 2013 වසරේ ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසින්ද මෙම තරග ප්‍රතිඵලයට විශේෂත්වයක්‌ හිමිවේ.

ඇඩිලේඩ්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී සත්කාරක කණ්‌ඩායම පන්දුවාර 46.5 කදී ලකුණු 170 කට සීමා කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ සමත්වූහ. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දැවී ගිය මෙන්ම හයවැනියට දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූ අදාළ පහසු ඉලක්‌කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ එය පන්දු 59 ක්‌ ඉතිරිව තිබියදී කඩුලු 2 ක්‌ පමණක්‌ දැවී සම්පූර්ණ කර ගැනීමට සමත්වූහ.

 ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක්‌ දියත් කළ ළහිරු තිරිමාන්න ඔස්‌්‍රලියානු වේග පන්දු යවන්නන් හමුවේ සිය පිත්ත හසුරුවනු ලැබුවේ කුමාර් සංගක්‌කාරගෙන් පසු අංක 3 පිතිකරණ ස්‌ථානයට තමාට වඩා සුදුස්‌සකු තවත් නොමැති බව මොනවට විදහා දක්‌වමිනි. සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ මංගල ශතකය මෙම තරගයේදී වාර්තා කර ගත් තිරිමාන්න හතළිස්‌ එක්‌ වැනි පන්දුවාරයේ පළවැනි පන්දුවට හතරේ පහරක්‌ එල්ල කරමින් සිය ශතකය සම්පූර්ණ කරගන්නා විට ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයද සනිටුහන් වීය. පන්දු රකින්නන් නොමැති ස්‌ථාන අතරින් අලංකාර කවර් ඩ්‍රයිව් පහර කීපයක්‌ම එල්ල කළ තිරිමාන්න සිය නොබිඳුණු ඉනිම හතරේ පහර 12 කින් අලංකාර කරගෙන තිබිණි.

මෙම ශතකය වාර්තා කිරීමත් සමග ඔස්‌්‍රලියාවේදී ශතකයක්‌ රැස්‌ කරන ලද සිව්වැනි පිතිකරුවා බවටද තිරිමාන්න ඊයේ පත්විය. ඔහුට පෙර ඔස්‌්‍රලියාවේදී ශතක රැස්‌ කර ඇති පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය (සිඩ්නිහිදී දෙවතාවක්‌), මාවන් අතපත්තු(සිඩ්නිහිදී) සහ ටී. එම්. ඩිල්ෂාන්(ඇඩිලේඩ්හිදී) යන පිතිකරුවන් පමණි.

ශ්‍රී ලංකා ලකුණු හඹා යැමේදී සුපුරුදු පරිදි උපුල් තරංග දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණක්‌ හෝ වාර්තා වීමට ප්‍රථමය. මැකේ විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී, පන්දුව පැමිණෙන රේඛාවට අවතීර්ණ නොවී පහර එල්ල කිරීමට තරංග උත්සුක වීම මත ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව යළිත් අසාර්ථක වුවද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සාර්ථක සම්බන්ධතාවක්‌ එක්‌ කිරීමට ඩිල්ෂාන් සහ තිරිමාන්න දෙදෙනා සමත්වූහ. පන්දු 199 කදී වාර්තා වූ එම ලකුණු සම්බන්ධතාවට ඩිල්ෂාන් පන්දු 88 කදී ලකුණු 51 කින් දායක විය. ප්‍රහාරාත්මක පිතිකරණ රටාවෙන් මඳකට මිදුණු ඩිල්ෂාන් සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ 29 වැනි අර්ධ ශතකයට ඇතුළත් කරගෙන තිබුණේ හතරේ පහර 4 ක්‌ පමණි.

ආබාධයකට ලක්‌වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට මෙම තරගයේදී මංගල එක්‌දින තරග වරම් ලද කුසල් පෙරේරා, පන්දු 14 කදී ලකුණු 14 ක්‌ ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ එල්ල කරන ලද එකම හයේ පහරද කුසල් පෙරේරා විසින් එල්ල කරන ලද අතර ඊට අමතරව හෙතෙම කඩුලු රකිමින් උඩ පන්දු 4 ක්‌ද රැක ගත්තේය.

ඕවල් ක්‍රීඩාංගණය අවට පැවැති තරමක වැහි සහිත කාලගුණික තත්ත්වය සිය කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන්ට සහයෝගයක්‌ දක්‌වනු ඇතැයි අදහස පෙරදැරිව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දු යෑවීම තෝරා ගන්නා ලදී.

ශ්‍රී ලංකා නායකයාගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ උප නායක මැතිව්ස්‌ සහ නුවන් කුලසේකර ඔස්‌ටේ්‍රලිsයානු ආරම්භක පිතිකරුවන් වූ පළමු තරගයේ ශතක ලාභී පිලිප් හියුස්‌ (03) සහ ඇරන් µsන්ච් (04) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 12 ක්‌ව තිබියදී නැවත ක්‍රීඩාගාරය වෙත යෑවීමට සමත් වූහ.

ලබා දුන් සාර්ථක ආරම්භය මතම අනුගත වූ තිසර පෙරේරා සහ ලසිත් මාලිංග ඕවල් තණතීරුවේදී වේග පන්දු යවන්නන්ට දක්‌වන ලද සහය මැනවින් ප්‍රයෝජනයට ගනිමින් ඔස්‌ටේ්‍රලියානු ඉනිමේ හරි අඩක්‌ අවසන් වීමටත් කණ්‌ඩායමේ සිටින ප්‍රධාන පිතිකරුවන්ගෙන් 6 දෙනෙකුම ලකුණු 83 කට දවා ගැනීමට සමත්වූහ.

ඔස්‌්‍රලියානු පිලේ තරමක්‌ දුරට සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ කඩුලු රකින ක්‍රීඩක බ්‍රැඩ් හැඩින් වන අතර හෙතෙම පන්දු 67 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර 4 ක්‌ සමගින් ලකුණු 50 ක්‌ රැස්‌ කර ගත්තේය. ඔස්‌්‍රලියානු ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මෙන්ඩිස්‌ගේ පන්දුවක්‌ හමුවේ ඩීප් මිඩ් විකට්‌ කලාපයේ පන්දු රකිමින් සිටි තිරිමාන්න අතට උඩ පන්දුවක්‌ දී දැවී යැමට ප්‍රථම හත්වැනි කඩුල්ල වෙනුවෙන් බෙන් කටින්(27) සමග එම ඉනිමේ වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවටද හැඩින් දායක වී තිබුණේය.

මනා පන්දු පාලනයකින් යුක්‌තව පන්දු යෑවූ මැතිව්ස්‌ නියමිත පන්දුවාර 10 අවසනදී නිලකුණු පන්දු වාරයක්‌ සමගින් ලකුණු 24 කට කඩුලු 2 ක්‌ද, තිසර පෙරේරා ලකුණු 40 කට කඩුලු 2 ක්‌ද දවා ගත්හ. පසුගිය තරගයේ දැඩි ප්‍රහාරයකට ලක්‌ වුවද මෙම තරගයේදී තරමක්‌ දුරට සාර්ථකතාවක්‌ දැක්‌වූ ලසිත් මාලිංග ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වෙමින් ලකුණු 32 කට කඩුලු 3 ක්‌ දවා ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්‌දින තරගය ලබන 18 වැනිදා බ්‍රිස්‌බේන්හි වූලන්ගැබා පිටියේදී දිවා/රාත්‍රී තරගයක්‌ ලෙස පැවැත්වේ.