Monday, January 14, 2013

තිරිමාන්න හා ඩිල්ෂාන් එකතුව පහසුවෙන්ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරවයි


ශ්‍රී ලංකා කණ්‌ඩායම සත්කාරක ඔස්‌්‍රලියානු කණ්‌ඩායම කඩුලු 8 ක පරාජයකට ඇද දමමින් තරග 5 කින් සමන්විත එක්‌දින තරගාවලිය 1-1 ක්‌ ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඊයේ (13 දා) සමත් වූයේය.

ටෙස්‌ට්‌ තරගාවලියේ තරග 3ම සහ අනතුරුව පැවැති ආරම්භක එක්‌දින තරගයේ පරාජයත් සමග ජයග්‍රහණ නියඟයකට හසුව සිටි ශ්‍රී ලංකාවට මෙම දැවැන්ත ජයග්‍රහණය තරගාවලියේ ඉදිරි තරග වෙනුවෙන් ඉතා වටිනා මානසික උත්තේජනයක්‌ බවට පත්විය. ශ්‍රී ලංකාව 2013 වසරේ ලබාගත් පළමු ජයග්‍රහණය ලෙසින්ද මෙම තරග ප්‍රතිඵලයට විශේෂත්වයක්‌ හිමිවේ.

ඇඩිලේඩ්හි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී සත්කාරක කණ්‌ඩායම පන්දුවාර 46.5 කදී ලකුණු 170 කට සීමා කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ සමත්වූහ. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව දැවී ගිය මෙන්ම හයවැනියට දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා වූ අදාළ පහසු ඉලක්‌කය හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ එය පන්දු 59 ක්‌ ඉතිරිව තිබියදී කඩුලු 2 ක්‌ පමණක්‌ දැවී සම්පූර්ණ කර ගැනීමට සමත්වූහ.

 ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක්‌ දියත් කළ ළහිරු තිරිමාන්න ඔස්‌්‍රලියානු වේග පන්දු යවන්නන් හමුවේ සිය පිත්ත හසුරුවනු ලැබුවේ කුමාර් සංගක්‌කාරගෙන් පසු අංක 3 පිතිකරණ ස්‌ථානයට තමාට වඩා සුදුස්‌සකු තවත් නොමැති බව මොනවට විදහා දක්‌වමිනි. සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ මංගල ශතකය මෙම තරගයේදී වාර්තා කර ගත් තිරිමාන්න හතළිස්‌ එක්‌ වැනි පන්දුවාරයේ පළවැනි පන්දුවට හතරේ පහරක්‌ එල්ල කරමින් සිය ශතකය සම්පූර්ණ කරගන්නා විට ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයද සනිටුහන් වීය. පන්දු රකින්නන් නොමැති ස්‌ථාන අතරින් අලංකාර කවර් ඩ්‍රයිව් පහර කීපයක්‌ම එල්ල කළ තිරිමාන්න සිය නොබිඳුණු ඉනිම හතරේ පහර 12 කින් අලංකාර කරගෙන තිබිණි.

මෙම ශතකය වාර්තා කිරීමත් සමග ඔස්‌්‍රලියාවේදී ශතකයක්‌ රැස්‌ කරන ලද සිව්වැනි පිතිකරුවා බවටද තිරිමාන්න ඊයේ පත්විය. ඔහුට පෙර ඔස්‌්‍රලියාවේදී ශතක රැස්‌ කර ඇති පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය (සිඩ්නිහිදී දෙවතාවක්‌), මාවන් අතපත්තු(සිඩ්නිහිදී) සහ ටී. එම්. ඩිල්ෂාන්(ඇඩිලේඩ්හිදී) යන පිතිකරුවන් පමණි.

ශ්‍රී ලංකා ලකුණු හඹා යැමේදී සුපුරුදු පරිදි උපුල් තරංග දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණක්‌ හෝ වාර්තා වීමට ප්‍රථමය. මැකේ විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී, පන්දුව පැමිණෙන රේඛාවට අවතීර්ණ නොවී පහර එල්ල කිරීමට තරංග උත්සුක වීම මත ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාව යළිත් අසාර්ථක වුවද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සාර්ථක සම්බන්ධතාවක්‌ එක්‌ කිරීමට ඩිල්ෂාන් සහ තිරිමාන්න දෙදෙනා සමත්වූහ. පන්දු 199 කදී වාර්තා වූ එම ලකුණු සම්බන්ධතාවට ඩිල්ෂාන් පන්දු 88 කදී ලකුණු 51 කින් දායක විය. ප්‍රහාරාත්මක පිතිකරණ රටාවෙන් මඳකට මිදුණු ඩිල්ෂාන් සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ 29 වැනි අර්ධ ශතකයට ඇතුළත් කරගෙන තිබුණේ හතරේ පහර 4 ක්‌ පමණි.

ආබාධයකට ලක්‌වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට මෙම තරගයේදී මංගල එක්‌දින තරග වරම් ලද කුසල් පෙරේරා, පන්දු 14 කදී ලකුණු 14 ක්‌ ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ එල්ල කරන ලද එකම හයේ පහරද කුසල් පෙරේරා විසින් එල්ල කරන ලද අතර ඊට අමතරව හෙතෙම කඩුලු රකිමින් උඩ පන්දු 4 ක්‌ද රැක ගත්තේය.

ඕවල් ක්‍රීඩාංගණය අවට පැවැති තරමක වැහි සහිත කාලගුණික තත්ත්වය සිය කණ්‌ඩායමේ වේග පන්දු යවන්නන්ට සහයෝගයක්‌ දක්‌වනු ඇතැයි අදහස පෙරදැරිව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දු යෑවීම තෝරා ගන්නා ලදී.

ශ්‍රී ලංකා නායකයාගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ උප නායක මැතිව්ස්‌ සහ නුවන් කුලසේකර ඔස්‌ටේ්‍රලිsයානු ආරම්භක පිතිකරුවන් වූ පළමු තරගයේ ශතක ලාභී පිලිප් හියුස්‌ (03) සහ ඇරන් µsන්ච් (04) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 12 ක්‌ව තිබියදී නැවත ක්‍රීඩාගාරය වෙත යෑවීමට සමත් වූහ.

ලබා දුන් සාර්ථක ආරම්භය මතම අනුගත වූ තිසර පෙරේරා සහ ලසිත් මාලිංග ඕවල් තණතීරුවේදී වේග පන්දු යවන්නන්ට දක්‌වන ලද සහය මැනවින් ප්‍රයෝජනයට ගනිමින් ඔස්‌ටේ්‍රලියානු ඉනිමේ හරි අඩක්‌ අවසන් වීමටත් කණ්‌ඩායමේ සිටින ප්‍රධාන පිතිකරුවන්ගෙන් 6 දෙනෙකුම ලකුණු 83 කට දවා ගැනීමට සමත්වූහ.

ඔස්‌්‍රලියානු පිලේ තරමක්‌ දුරට සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ කඩුලු රකින ක්‍රීඩක බ්‍රැඩ් හැඩින් වන අතර හෙතෙම පන්දු 67 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර 4 ක්‌ සමගින් ලකුණු 50 ක්‌ රැස්‌ කර ගත්තේය. ඔස්‌්‍රලියානු ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මෙන්ඩිස්‌ගේ පන්දුවක්‌ හමුවේ ඩීප් මිඩ් විකට්‌ කලාපයේ පන්දු රකිමින් සිටි තිරිමාන්න අතට උඩ පන්දුවක්‌ දී දැවී යැමට ප්‍රථම හත්වැනි කඩුල්ල වෙනුවෙන් බෙන් කටින්(27) සමග එම ඉනිමේ වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවටද හැඩින් දායක වී තිබුණේය.

මනා පන්දු පාලනයකින් යුක්‌තව පන්දු යෑවූ මැතිව්ස්‌ නියමිත පන්දුවාර 10 අවසනදී නිලකුණු පන්දු වාරයක්‌ සමගින් ලකුණු 24 කට කඩුලු 2 ක්‌ද, තිසර පෙරේරා ලකුණු 40 කට කඩුලු 2 ක්‌ද දවා ගත්හ. පසුගිය තරගයේ දැඩි ප්‍රහාරයකට ලක්‌ වුවද මෙම තරගයේදී තරමක්‌ දුරට සාර්ථකතාවක්‌ දැක්‌වූ ලසිත් මාලිංග ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වෙමින් ලකුණු 32 කට කඩුලු 3 ක්‌ දවා ගත්තේය.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්‌දින තරගය ලබන 18 වැනිදා බ්‍රිස්‌බේන්හි වූලන්ගැබා පිටියේදී දිවා/රාත්‍රී තරගයක්‌ ලෙස පැවැත්වේ.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්