Saturday, February 26, 2011

ශ්‍රී ලංකාව අද පාකිස්‌තානයට එරෙහි පළමු ලෝක කුසලාන ජය සොයයි

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලියකදී පාකිස්‌තානය පරාජය කිරීමේ අරමුණ සහිතව කුමර සංගක්‌කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (26දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සහීඩ් අෆ්රිඩී ප්‍රමුඛ කණ්‌ඩායම මුණගැසෙනු ඇත. ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය වසර 19කට පසු ලෝක කුසලානකදී හමුවන ප්‍රථම අවස්‌ථාවද මෙය වීම විශේෂත්වයකි.

දිවා රාත්‍රී තරගයක්‌ ලෙසින් සහ නවීකරණය කිරීමෙන් අනතරුව ආර.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ප්‍රථම නිල එක්‌දින ජාත්‍යන්තර තරගය ලෙසින් අද පස්‌වරු 2.30ට තරගය ඇරඹීමට නියමිතය.

අදාළ රටවල් දෙකම මෙම ලෝක කුසලාන යටතේ ශක්‌තිමත් (ටෙස්‌ට්‌ තත්වයේ සිටින) ප්‍රතිවාදියකු හමුවන ප්‍රථම අවස්‌ථාව මෙය වන අතර ශ්‍රී ලංකාව කැනඩාවට එරෙහිව ලකුණු 210ක සහ පකිස්‌තානය කෙන්යාවට එරෙහිව ලකුණ 205 ක දැවැන්ත ජයග්‍රහණ සමගින් ඇරඹූ ලෝක කුසලාන ගමනේ දෙපිලේ දෙවැනි තරගය මෙය වේ.


ඉතිහාසයේ ලෝක කුසලාන තරගවලදී දෙරට මුණගැසුණු අවස්‌ථා හයේදීම ශ්‍රී ලංකාව පරදවා ඇති පාකිස්‌තානය ඒ අනුව ඒවායේදී ශ්‍රී ලංකාවට එරෙහිව 100%ක සාර්ථකත්වයක්‌ රඳවාගෙන සිටියි.

1992 මාර්තු 15 වැනිදා බෙන්සන් ඇන්ඩ් හෙජස්‌ කුසලාන තරගාවලියේදී දෙපිල මුණගැසීමෙන් අනතුරුව ඉකුත් ලෝක කුසලාන තරගාවලි 4දීම ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර තරගයක්‌ නොයෙදුණු අතර එම වකවානුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ශක්‌තිය දැඩිව වර්ධනය වූ බැවින් එම පරාජිත ඉතිහාසය මෙම තරගයේදි ශ්‍රී ලංකාවට එතරම් අදාළ නොවනු ඇත.

අංක 8 දක්‌වා පිතිකරුවන් ලෙසින් දක්‍ෂතා දැක්‌විය හැකි ක්‍රීඩකයන්ගෙන් සමන්විත පකිස්‌තානය අවතක්‌සේරු කළ නොහැකි අතර නවීකරණය කරන ලද ආර්. ප්‍රේමදාස තණතිල්ලේ ස්‌වභාවය ශ්‍රී ලංකා පිලටද එතරම් හුරු නොමැති බැවින් ප්‍රේක්‍ෂක දිරිගැන්වීම හැරුණු විට අද තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බලපාන විශේෂ වාසියක්‌ නොමැති තරම්ය.

එහෙත් ඊයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්‌කාර අදහස්‌ දක්‌වමින් බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් පසුගියදා එහි පැවැති ටෙස්‌ට්‌ තරගයේ අත්දැකීම්වලට අනුව මෙම තණතිල්ල ඉතා හොඳ මට්‌මමේ වූ බවත් එය කුමන අයුරක එකක්‌ වුවත් එහි සාර්ථකව ක්‍රීඩා කිරීමේ වගකීම කණ්‌ඩායම සතුබවත් ප්‍රකාශ කළේය.

දෙරට අතර ලෝක කුසලාන ඉතිහාසයේ සියලූ තරග පකිස්‌තානය විසින් ජයගෙන සිටීම ගැන සිය අදහස්‌ දැක්‌වූ සංගක්‌කාර එම තරග ඉතිහාසයේ තමන් ක්‍රීඩයකු නොවූ බැවින් එම පරාජයන් ගැන තමන්ට යමක්‌ කිව නොහැකි මුත් මේ වන විට තම කණ්‌ඩායම පූර්ව සූදානම, ශාරිරික යෝග්‍යතාව සහ අනෙකුත් සාධක අතින් 100%ක්‌ ස්‌ථාවර මට්‌මමේ සිටින බව ප්‍රකාශ කළේය. පකිස්‌තානයද මෙම ලෝක කුසලාන සඳහා ඉදිරිපත්ව ඇත්තේ ඉතා සමබර කණ්‌ඩායමක්‌ සමග බැවින් ඔවුන් සමග තරගය පහසු නොවන නමුත් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් තම සාමාන්‍ය තරග රිද්මය ප්‍රදර්ශනය කළහොත් ජයග්‍රහණය සඳහා එය ප්‍රමානවත් යෑයි තමන් සිතන බව සංගක්‌කාර පවසන ලදී.

අදට යෙදී ඇති තරගය සම්බන්ධයෙන් ප්‍රකාශක්‌ කර තිබුණු පකිස්‌තාන පිලේ නායක සහීඩ් අෆ්රීඩී, ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාව පරාජය කිරීම පහසු නොවන නමුත් තරගාවලියේ ඉදිරියට යැම පිණිස සෑම අතින්ම වැදගත් තරගයක්‌ ලෙස සලකා ශ්‍රී ලංකාව සමග තරගය ජයගැනීමට තම කණ්‌ඩායම සියලු ශක්‌තිය යොදන්නේ යෑයි පවසා තිබුණි. ආරංචිමාර්ග වලට අනුව අද තරයේදී, පසුගියදා කෙන්යාවට එරෙහිව ක්‍රීඩා කළ කණ්‌ඩායම වෙනසකින් තොරව නම් කිරීමට පකිස්‌තානය සුදානමින් සිටින නමුත් කැනඩාව සමග ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වෙනස්‌කම් කිහිපයක්‌ අද බලාපොරොත්තු විය හැකිය.

ඒ අනුව චාමර කපුගෙදර වෙනුවට චාමර සිල්වාද, අජන්ත මෙන්ඩිස්‌ වෙනුවට රංගන හේරත්ද තිසර පෙරේරා වෙනුවට ලසිත් මාලිංගද කැඳවීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය මේ දක්‌වා එක්‌දින ජත්‍යන්තර තරග 120ක්‌ ක්‍රීඩා කර ඇති අතර ඉන් 70ක ජය පකිස්‌තානය විසින්ද 46ක ජය ශ්‍රී ලංකාව විසින්ද අත්කරගනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේදී දෙරට අතර පවත්වා ඇති තරග 27න් 13ක ජය ශ්‍රී ලංකාවටද 12ක ජය පකිස්‌තානයටද තරග 2ක්‌ ජය පැරදුමෙන් තොරවද අවසන්ව ඇත.

අද තරගය පැවැත්වෙන ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව තරගයක්‌ ජයගැනීමේ සම්භාවිතාව (52%) ප්‍රතිවාදී රටෙහි ජයග්‍රහණය ලැබීමේ සම්භාවිතාව (26%)ට වඩා දෙගුණයක්‌ පමණ වෙතත් ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර මෙතෙක්‌ පවත්වා ඇති තරග 11 ප්‍රතිඵල අනුව දෙරටම කරට කර සිටියි. මෙහිදී දෙපිලම තරග 5 බැගින් ජයගෙන ඇත. (එක්‌ තරගයක්‌ තීරණයකින් තොරව අවසන්ව ඇත)

අද ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්‌ඩායම

උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, චාමර සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, මුත්තයියා මුරලිදරන්

පාකිස්‌තානු කණ්‌ඩායම - සහීඩ් අෆ්රිඩි(නායක), අබ්දූල් රසාක්‌, අබ්දූල් රෙහෙමාන්, අහමද් සහසාඩ්, කම්රන් අක්‌මාල්, මිස්‌බා උල්හක්‌, මොහොමඩ් හෆීස්‌, ෂහිඩ් අඡ්මාල්, ෂොයෙබ් අක්‌තාර්, සොහෙල් තන්වීර්, උමර් අක්‌මාල්, උමාර් ගුල්, වහබ් රියාස්‌, යුනිස්‌ ඛාන්, වකාර් යුනිස්‌(පුහුණුකරු)


 

Friday, February 25, 2011

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ රු. 50 ටිකට්‌ එක 1500 ට විකුණලා

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට සම්බන්ධ සංවිධානාත්මක පිරිසක්‌ ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ටිකට්‌පත් නියමිත මිලට වඩා අධික මිල ගණන්වලට විකිණීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

රුපියල් 50 ටිකට්‌ පතක්‌ රුපියල් 1500 වැනි ඉහළ මිල ගණන්වලට විකිණූ පුද්ගලයන් සිව් දෙනකු ටිකට්‌ පත් තොගයක්‌ද සමඟ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන් විසින් පිළියන්දලදී අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් දෙදෙනකු ක්‍රිකට්‌ ආයතනයේ ආරක්‌ෂක නිලධාරීන් වන අතර අනෙක්‌ දෙදෙනා ආයතනයේ ස්‌වෙච්ඡා සේවකයන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙම කූට ව්‍යාපාරයට ක්‍රිකට්‌ ආයතනයේම පිරිසක්‌ සම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇත. එක්‌ පුද්ගලයකුට මිලදී ගත හැක්‌කේ ටිකට්‌ දෙකක්‌ පමණක්‌ බවට ක්‍රිකට්‌ ආයතනය විසින් නියම කර තිබුණ ද නියමිත මුදලට ටිකට්‌පත් සුළු ප්‍රමාණයක්‌ අලෙවි කර සෙසු ටිකට්‌ පත් මිටි පිටින් පිටතට ගෙන ගොස්‌ කළුකඩ මිලට විකුණා ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙලෙස වැඩිම ටිකට්‌ ප්‍රමාණයක්‌ කළුකඩ මිලට විකුණා ඇත්තේ රුපියල් 50 ටිකට්‌පත්ය. එම ටිකට්‌පත් රුපියල් 1500 වැනි වැඩි මිලට බොහෝ ප්‍රදේශවල අලෙවිකර තිබේ. මේ පුද්ගලයන් රුපියල් 50 ටිකට්‌පත් හාරදහසක්‌ පමණ ආයතනයෙන් පිටකර ඇතැයි ද වාර්තා වේ.

විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ සිවිල් පුද්ගලයන් ලෙස යොදා මෙම ටිකට්‌පත් මිලදී ගෙන විකුණූ පුද්ගලයන් පිළිබඳව සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

වැඩි මිලට ටිකට්‌ විකිණීම ක්‍රිකට්‌ ලෝලීන්ට සිදුකරන ලොකු අසාධාරණයක්‌ බැවින් පොලිසිය ඒ පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක්‌ ආරම්භ කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

ඉකුත් දිනවල ක්‍රිකට්‌ ආයතනය මගින් රුපියල් 50 ටිකට්‌ පත් අලෙවි කළ අතර එම ටිකට්‌පත්වලට අධික ඉල්ලුමක්‌ පැවැතියද බොහෝ පිරිසකට ටිකට්‌පත් මිලදී ගැනීමට නොහැකි විය.

දිවයින ඇසුරෙනි

Sunday, February 20, 2011

ලෝක කුසලාන වේගවත්ම ශතකය මහේලගෙන්

කැනඩාව සමග අද(20) පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී පන්දු 80 ක් තුළ ලකුණු 100 ක් රැස්කරමින් ලෝක කුසලාන තරගයක් තුළ මෙරට ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම ශතකය ලබාගැනීමට මහේල ජයවර්ධන සමත්විය.

‍ මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ පන්දු 85 ක් තුළ ශතකයක් රැස්කරන ලද සනත් ජයසූරියයි.
මෙම ශතකය දැනට 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වේගවත්ම ශතකය ද වේ

තවද  කැනඩාව හා ශ්‍රී ලංකාව අතර මේ වනවිටත් පැවැත්වෙන පළමු තරගයේදී ටී.එම් ඩිල්ෂාන් එක්දින තරගවල ලකුණු 5000 සීමාව පසු කළ 8 වෙනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්විය. සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඔහු මෙම ඉලක්කය පසු කළේය.  2011 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය වන කැනඩාව හා ශ්‍රී ලංකාව අතර  තරගයේදී ටී.එම් ඩිල්ෂාන් එක්දින තරගවල ලකුණු 5000 සීමාව පසු කළ 8 වෙනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්විය. සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මීට ස්වල්ප මොහොතකට පෙර ඔහු මෙම ඉලක්කය පසු කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩුලු 07 ක් දැවී ලකුණු 332 ක් රැස්කරගනු ලැබීය. 


Sri Lanka innings (50 overs maximum) R B 4s 6s SR
View dismissal WU Tharanga run out (Gunasekera/†Bagai) 19 31 1 0 61.29
View dismissal TM Dilshan c Davison b Rizwan Cheema 50 59 8 0 84.74
View dismissal KC Sangakkara*† c & b Davison 92 87 7 1 105.74
View dismissal DPMD Jayawardene c Balaji Rao b Davison 100 81 9 1 123.45
View dismissal NLTC Perera run out (Surkari/†Bagai) 11 11 1 0 100.00
View dismissal AD Mathews c & b Baidwan 21 16 3 0 131.25
View dismissal CK Kapugedera c sub (NR Kumar) b Baidwan 2 3 0 0 66.66

TT Samaraweera not out 18 10 3 0 180.00

KMDN Kulasekara not out 7 3 1 0 233.33

Extras (lb 3, w 8, nb 1) 12











Total (7 wickets; 50 overs) 332 (6.64 runs per over)

Saturday, February 19, 2011

2011 ලොක කුසලානයෙන් ශ්‍රි ලංකාව ඉදිරියෙන්ම....

වසර 2011 ලෝක ක්‍රිකට්‌ ශූරයන් නම් කිරීමේ ජාත්‍යන්තර මත විමසුමකට අනුව ශ්‍රී ලංකාව අදාළ ශූරතාව දිනනු ඇතැයි අනුමාන කරන ඡන්ද සංඛ්‍යාවේ ප්‍රතිශතය 31% ක්‌ වෙයි. එය එහි ඉහළම ප්‍රතිශතය වේ. එහි දෙවැන්නට ඉන්දියාවද (29%) තෙවැන්නට පාකිස්‌තානයද (23%) සිව්වැන්නට දකුණු අප්‍රිකාවද (8%) සහ ඔස්‌ටේ්‍රලියාව පස්‌වැන්නටද (6%) පත්ව ඇත. 
මෙතෙක්‌ පවත්වා ඇති තරගාවලිවලදී ඔස්‌ටේ්‍රලියාව හතර වතාවක්‌ද (1987, 1999, 2003 සහ 2007) බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම දෙවතාවක්‌ද (1975,1979) සහ ඉන්දියාව (1983) පාකිස්‌තානය (1992) සහ ශ්‍රී ලංකාව (1996) එක්‌ වතාව බැගින්ද අදාළ ශූරතාව දිනා ඇති අතර ඔස්‌ටේ්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙවර "විජයග්‍රාහී කුසලාන" ආසන්නයටම පැමිණෙනු ඇතැයි ක්‍රිකට්‌ ජාත්‍යන්තර නිරීක්‍ෂක මතය වී ඇත.
එක්‌දින තරග නවතම ජාත්‍යන්තර වර්ගීකරණය අනුව අදාළ කණ්‌ඩායම් පෙළ ගැසීම ඔස්‌ටේ්‍රලියාව (1), ඉන්දියාව (2), ශ්‍රී ලංකාව (3), දකුණු අප්‍රිකාව (4), එංගලන්තය (5), පාකිස්‌තානය (6), නවසීලන්තය (7), බංග්ලාදේශය (8), බටහිර ඉන්දීය කොදෙව් (9), අයර්ලන්තය (10), සිම්බාබ්වේ (11), නෙදර්ලන්තය (12), කෙන්යාව (13), වශයෙනි. 2011 පෙබරවාරි 6 වැනි නමින් වන අදාළ වර්ගීකරණයට කැනඩාව අංක 16 වශයෙන් ඇතුළත් කොට ඇත.  

Thursday, February 17, 2011

ක්‍රිකට්‌ ලෝක කුසලාන සමාරම්භක උළෙල අද

වසර 1971 දී නැගෙනහිර පකිස්‌තානය, ස්‌වාධීන රාජ්‍යයක්‌ වීම හෙවත් බංගලිදේශය බිහිවූදා සිට ගෙවුණු දශක 4 ක ඉතිහාසයේ එරට දැවැන්තම ක්‍රීඩා ඉසව්ව බවට පත්වෙමින් 2011 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ සමාරම්භක උළෙල අද සන්ද්‍යාවේ (17දා) ධාකා හිදී පැවැත්වෙනු ඇත.

ලොව රටවල් 14ක්‌ එකම වේදිකාවකට කැඳවන මෙම සමාරම්භක උළෙල සංස්‌කෘතික අංග, සාම්ප්‍රදායික අංග ඇතුළත්ව නැටුමින් ගැයුමින් වැයුමින් සපිරි මිනිත්තු 135 කදී අවසන් වන කෙටි, නමුත් සුපිරි සංදර්ශනයක්‌Z වනු ඇතැයි කිය වේ.

ඓතිහාසික ක්‍රීඩාංගණයට ඉතිහාසගත වන ඉසව්වක්‌

රටවල් 2 ක්‌ වෙනුවෙන් සිය සත්කාරය යටතේ වන මංගල ටෙස්‌ට්‌ තරගය සඳහා තරග භූමිය වීමේ අවස්‌ථාව ලද ලොව එකම ක්‍රීඩාංගණය වන ඩකා බංගබන්දු ක්‍රීඩාංගණයේදී බංගලිදේශයේ මෙම ඓතිහාසික ඉසව්ව සටහන් වේ.

එදා මෙම භූමිය පකිස්‌තානයට අයත් වෙද්දී 1954 වසරේ ඉන්දියාව සමගින් පකිස්‌තානයේ පළමු සත්කාරක ටෙස්‌ට්‌ තරගය පැවැත්වීමටද, අනතුරුව නැගෙනහිර පකිස්‌තානය වෙනම රාජ්‍යයක්‌ ලෙසින් බංගලිදේශය බවට පත්ව ටෙස්‌ට්‌ තත්ත්වය ලද දස වැනි රට ලෙසින් 2000 වසරේ නොවැම්බර් මස (ඉන්දියාව සමගින්ම) බංගලිදේශයේ ප්‍රථම සත්කාරක ටෙස්‌ට්‌ තරගය පැවැත්වීමටද යොදා ගැනුණු (නමුත් අද වන විට ක්‍රිකට්‌ ක්‍රීඩාව සඳහා යොදා නොගන්නා) බංගබන්දු ක්‍රීඩාංගණයේ අපූරු ඉතිහාස කථාවට අදට යෙදී ඇති ඉසව්ව තවත් වර්ණවත් ඡේදයක්‌ එක්‌ කරනු නොඅනුමානය.

ක්‍රිකට්‌ සමාරම්භයේ ඉතිරිය පාපන්දුවට

මීළඟ (2011) ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙල බංගලිදේශයේ ධාකා හී පැවැත්වෙන බවට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ ප්‍රධාන විධායක හරූන් ලොගාඩ් 2009 පෙබරවාරි මස 18 වැනිදා ප්‍රකාශ කිරීමේ පටන් හරියටම වසර දෙකක කාලයක ඇවෑමෙන් අද එම ඉසව්වට සැරසී සිටින බංගබන්දු ක්‍රීඩංගණය ඒ අතර කාලයේදී 2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන්ද යොදාගැනිණි. නමුත් මෙම සමාරම්භක උළෙල වෙනුවෙන්ම ආසන 26,000ක්‌ , අඩි 82 ක දැවැන්ත රූපවාහිනි තිරයක්‌, නවතම තාක්‍ෂණයේ රූපවාහිනී රැසක්‌, රථගාලක්‌ ඇතුළු පහසුකම් සහ තාක්‍ෂණික අංගෝපාංග රැසක්‌ සමගින් ටකා කෝටි 35 ක වියදමින් මෙම ක්‍රීඩාංගණය නවීකරණය කෙරිණි.

ධාකා නගර මධ්‍යයේ පිහිටි මෙම ක්‍රීඩාංගණයේ ක්‍රිකට්‌ තරග පැවැත්වීමේදී නගරයටම දැනෙන තදබදය අඩුකිරීමේ පිළියමක්‌ ලෙසින් (මෙවර ලෝක කුසලානේ පළමු තරගය පැවැත්වීමට නියමිත) මීර්පු ක්‍රීඩාංගණය ඉදිකර ක්‍රිකට්‌ තරග එය වෙත ගෙනයැම හේතුවෙන් අද වන විට පාපන්දු ක්‍රීඩාව සඳහාම "සින්න වී" ඇති මෙම බංගබන්දු ක්‍රීඩාංගණයට මෙම සමාරම්භය වෙනුවෙන් ලැබුණු සියලු නිශ්චල "දේපළ" මෙයින් මතු පාපන්දු ක්‍රීඩාවට අයිති වනු ඇත.

කැනඩාවට විශේෂ තැනක්‌

කැනඩාව කණ්‌ඩායමක්‌ ලෙස මෙම තරගාවලියට සහභාගිවන්නන් අතර (වත්aමන් ශ්‍රේණිගත කිරීම අනුව) අවසන් ස්‌ථානයේ සිටියද (16 වැනි තැන) අද සමාරම්භක උළෙලේදී කැනඩාවට සුවිශේෂී තැනක්‌ හිමිවනු ඇත.

ඒ අද සමාරම්භක උළෙල සංගීතයෙන් වර්ණවත් කරන ගායක ගායිකාවන් අතර සිටින එකම බටහිර ගායකයා කැනේඩියානුවකු වීම හේතුවෙනි.

ජනප්‍රිය බටහිර ගායක බ්‍රයන් ඇඩම්ස්‌ සිය ඉන්දීය සංචාරය අතරතුර මෙම සමාරම්භක උළෙලේ" එලෙස තම ගායන කෞශල්‍යය දැක්‌වීමට නියමිතය.

ආරක්‍ෂාවට සහතිකයක්‌

මෙම සමාරම්භක උළෙල ඇතුළු ලෝක කුසලානයට අදාළව බංගලිදේශයේ පැවැත්වෙන සියලු ඉසව්වල ආරක්‍ෂාව සහමුලින්ම සහතික කරන බව බංගලිදේශ ක්‍ෂණික ක්‍රියාකාරී බළකායේ ප්‍රධානී මුක්‌ලෙශර් රහමන් පවසයි.

තමන්ගේ දහස්‌ ගණනක්‌ වන බළකායක්‌ ඇතුළු පොලිසිය සහ හමුදාවද ඒකාබද්ධව ලෝක කුසලාන තරගාවලියට සම්බන්ධ සියලු තැන්හී ආරක්‍ෂාව තහවුරු කර ඇති බව පවසන ඔහු සන්නද්ධ ප්‍රහාර ඇතුළු ඕනෑම ආකාරයක ආරක්‍ෂාවට වන තර්ජනයක්‌a මැඬපැවැත්වීමේ හැකියාව මෙම ආරක්‍ෂක ජාලය සතු යෑයි අවධාරණය කරයි.

සෝභාවතේ මෙපුර ....

ලෝක කුසලාන සමාරම්භය වෙනුවෙන් ධාකා නගරය අලංකාර කිරීම පිණිස පියවර රැසක්‌ නගර බලධාරීන්a විසින් ගෙන ඇති අතර මග දෙපස පිහිටි ගොඩනැගිලි අලුතින් වර්ණ ගැන්වීමත්, යාචකයන් නගරයෙන් ඉවත් කිරීමත්, පදික වෙළෙඳුන් ඉවත් කර මාර්ග කලඑළි කර තිබීමත් කැපී පෙනේ. එයට අමතරව ලොව ඉතාම ජනාකීර්ණ නගරයක්‌ වන ධාකා හී රථවාහන තදබදය සීමා කිරීම සඳහා විශේෂ සැලැස්‌මක්‌ද, මහා පරිමාණ මදුරු නාශක දියර ඉසීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරමින් මදුරු දෂ්aටනයේ බාධාවෙන් තොර ක්‍රිකට්‌ රසවිඳීමක්‌ සඳහාත් ඉඩ කඩ සලසා තිබේ.

අද නිවාඩු-නැහැ අවනඩු

මෙම ඓතිහාසික ඉසව්ව නිමිති කර ගනිමින් අද ධාකා නගරවාසීන්ට වරුවක නිවාඩුවක්‌ රජය විසින් පිරිනමා තිබේ. මේ අතර මෙම සමාරම්භක උළෙල ඇතුළු බංගලිදේශයේ පැවැත්වීමට නියමිත කිසිදු ලෝක කුසලාන ඉසව්වකට බාධා වන පරිදි විරෝධතා සහ උද්ඝෝෂණ ආදිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු නොවන බවට එරට විපක්‍ෂය ප්‍රකාශ කර තිබේ.

සමාරම්භක හොරු 4 ක්‌ මහ උළුගෙට

දකුණු ආසියානු කලාපයට පොදු "ක්‍රිකට්‌ උණ"Z අඩුනැතිව වැළඳී ඇති බංගලිදේශයේ මෙම සමාරම්භක උළෙලේ ප්‍රවේශපත්‍ර "උණු කැවුම්"Z බවට පත්වන වග දැන එය "ඉල්ලමක්‌" බවට පත්කර ගැනීමට උත්සාහ කළ සිව් දෙනෙකු මේ වන විට "මහ උළු ගෙදර වසර 2 ක ශිෂ්‍යත්වයක්‌"Z ලැබ සිටිතැයිද වාර්තා වේ.

මෙම සමාරම්භක උළෙල සඳහා ව්‍යාජ ටිකට්‌ පත් සැකසූ ස්‌ථානයක්‌ එරට ක්‍ෂණික ක්‍රියාකාරි බළකාය විසින් වටලා එම වංචාවේ යෙදුණු සිව් දෙනෙකු සහ පරිගණක ඇතුළු ඒ සඳහා යොදාගත් උපකරණ තොගයක්‌ අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එම සිව්දෙනාහට වසර 2 ක සිර දඩුවම්ද අදාළ උපකරණ රාජසන්තක කර වෙන්දේසි කිරීමටද අධිකරණ නියෝග කර තිබේ. මෙම ව්‍යාජ ටිකට්‌ පතක්‌ ටකා 1000 කට හෙවත් ඩොලර් 14 කට (රු. 1500 කට පමණ) විකිණීමට එම වංචනික පිරිස සූදානමින් සිටි බවට වාර්තා වේ.


මෙරට ඉතිහාසය වසර 3ක්‌ම දෙවිධියකට උගන්වලා

ශ්‍රී ලංකාවේ පාසල්වල හය වසර සිංහල සහ දෙමළ සිසුන්ට අවුරුදු තුනක්‌ම ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙආකාරයකට උගන්වා තිබේ යෑයි ජාතික ගුරු සභාව පෙන්වා දෙයි.

හය වසර රජයේ සිංහල ඉතිහාස පොතේ සඳහන් දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් දෙමළ ඉතිහාස පොතේ සම්පූර්ණයෙන්ම ලොප්කර තිබේ යෑයි ජාතික ගුරු සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මහතා පුවත්පත් සාකච්ඡාවකදී ඊයේ (16 දා) පැවසීය.වසර දහය දෙමළ ඉතිහාස පොතෙන් ලංකාවේ ප්‍රාග් ජනාවාස හැට අට කපා හැර තිබෙන බව ද නිමල් ප්‍රේමවංශ මහතා පැවසීය.

සිංහල හා දෙමළ ළමයින්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 2008 දී සපයන ලද පෙළ පොත්වලින් මේ දක්‌වා ලංකා ඉතිහාසය මෙලෙස දෙආකාරයකට උගන්වා ඇත්තේ අධ්‍යාපන බලධාරීන්ගේ නොසැලකිලිමත් කම නිසා යෑයි නිමල් ප්‍රේමචවංශ මහතා පැවසීය.

පුරාවිද්‍යාත්මක කැණීම්වලින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ජනාවාස හැට අටක්‌ සොයා ගෙන තිබෙන නමුත් දෙමළ ළමයින්ට උතුරු නැගෙනහිර ඇතුළු ලංකාවේ ප්‍රාග් ජනාවාස තිබුණු බව වසන් කිරීමේ අරමුණ ඇතිව දෙමළ ඉතිහාස පොතට ඒ බව ඇතුළු කිරීමට නොකැමැති පිරිසක්‌ කුමන්ත්‍රණය කැර තිබෙන බව පැහැදිලි යෑයි ද ප්‍රේමවංශ මහතා කීවේය.

එපමණක්‌ නොව දහය වසර "පුරවැසි අධ්‍යාපනය" විෂයය යටතේ ගැටුම් නිරාකරණය කිරීමේ ප්‍රවේශය අනුව තවමත් හොඳම මැදිහත්කරුවා ලෙස පෙන්වා දී තිබෙන්නේ නෝර්වේ රට බව ද ප්‍රේමවංශ මහතා කීවේය.

පාසල් සිසුන්ට මෙලෙස රටේ ඉතිහාසයත් වත්මන් තත්ත්වයත් විකෘති කර ඉගෙන ගැනීමට සලසා තිබෙන්නේ බෙදුම්වාදී කොටි සංවිධානයට උඩගෙඩි දෙන නිලධාරීන් බවද ප්‍රේමවංශ මහතා පෙන්වා දුන්නේය.

පාසල් දරුවන් 40 ලක්‍ෂයකට පෙළ පොත් සපයන අධ්‍යාපන අමාත්‍යංශය, පෙළ පොත් සකස්‌ කරන ජාතික අධ්‍යාපන ආයතනය සහ පෙළ පොත් මුද්‍රණය කරන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙවන් සාවද්‍ය හා විකෘති ඉතිහාසයක්‌ ඉගැන්වීම සම්බන්ධයෙන් වගකිවයුතු යෑයිද ඒ මහතා කීවේය.

ජාතික ගුරු සභාවේ උප ලේකම් ජී. අයි. එම්. බණ්‌ඩාර සහ කාරක සභික එන්. බී. කහවන්දල යන මහත්වරු ද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්‌වී සිටියහ. 

දිවයින පුවත්පත ඇසුරිණි

Friday, February 11, 2011

හෝටලයක යකා නැටූ පොලිසියේ 3 ක්‌ රිමාන්ඩ්

බම්බලපිටිය රාත්‍රි ආපන ශාලාවකදී ව්‍යාපාරිකයන් තිදෙනකුට පහරදී තුවාල සිදුකර යකා නැටූ බව කියන බම්බලපිටිය පොලිසියේ කොස්‌තාපල්වරුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ගල්කිස්‌ස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ගල්කිස්‌ස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හා දිසාවිනිසුරු නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොස්‌තාපල්වරුන් තිදෙනා පෙරේදා (09 වැනිදා) රාත්‍රි ආපන ශාලාවට පැමිණ එහි ව්‍යාපාරික කටයුත්තක්‌ සාකච්ඡා කර ගැනීමට පැමිණ සිටි ව්‍යාපාරිකයන් සමග බහින් බස්‌වීමක්‌ ඇති කරගෙන පසුව ව්‍යාපාරිකයන්ට පහරදී රුපියල් 2,80,000 ක්‌ වටිනා රන් මුදුවක්‌ පැහැරගෙන පලාගිය බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.

කොස්‌තාපල්වරුන් පලායන අවස්‌ථාවේ එක්‌ අයකුගේ ජංගම දුරකථනයක්‌ ආපන ශාලාවේ වැටී තිබී ඇති අතර එය පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ බව හඳුනා ගැනීමෙන් පසු බම්බලපිටිය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව කොස්‌තාපල්වරුන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සැකකරුවන් අද (11 වැනිදා) දින හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවක්‌ සඳහා ඉදිරිපත් කිරීමටද මහෙස්‌ත්‍රාත්වරිය නිමය කළාය.

Thursday, February 10, 2011

දෙමුහුන් වාහන ආනයන බද්ද පහළට


වසර තුනහමාරකට වඩා භාවිත නොකළ දෙමුහුන් වාහන ආනයනයේදී අය කරන 30%ක බද්ද 15%ක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

පරිසර හිතකාමී පියවරක් ලෙස මෙම තීරණය රජය ගත් බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඒ අනුව ද්විත්ව ශක්ති මගින් ධාවනය වන වසර තුනහමාරකට වඩා අඩුවෙන් භාවිත කරන ලද වාහන ආනයනයේදී මෙම බදු සහනය ලැබෙනු ඇත.

Wednesday, February 9, 2011

කඩුවෙල - බියගම අතර අහසේ අභිරහස්‌ ආලෝකයක්‌! ගුවන් නියමුවෙක්‌ තොරතුරු කියයි

කඩුවෙලත් බියගමත් අතර ප්‍රදේශය තුළදී පෙරේදා (07 වැනිදා) රාත්‍රියේ අහසේ දිස්‌වූ අභිරහස්‌ ආලෝකයක්‌ පිළිබඳ නවගමුව පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

මෙම අභිරහස්‌ ආලෝකය මුලින්ම දැක ඇත්තේ කටුනායක ගුවන්තොටුපළේ සිට ගුවන්ගතවූ ගුවන්යානා නියමුවෙකි.

මෙම ගුවන් නියමුවා පවසන ආකාරයට ඉතා තද ආලෝකයක්‌ තම ගුවන් යානය දෙසට හදිසියේම එල්ලවූ බවයි.

ඊට සුළු වේලාවකට පසු මෙම අභිරහස්‌ ආලෝකය මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු දැක ඇත.

මෙම ආලෝකය ඉතා වේගයෙන් ගමන් කරනු දුටුවේ යෑයි එම පුද්ගලයින් දෙදෙනා පොලිසියට පවසා ඇත.

Sunday, February 6, 2011

අරක්කු බිලා ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ ගියොත් රුපියල් 2000ක මුදලක්‌ අය කරයි

මත්පැන් පානය කර රෝගී වී රෝහල්ගත වන පුද්ගලයන්ගෙන් රුපියල් 2000ක මුදලක්‌ අය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. ප්‍රතිකාර ගාස්‌තු වශයෙන් රුපියල් 2000ක්‌ අය කර ගැනීමේ මේ තීරණය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හරහා නීතිමය තත්ත්වය ලබා දීමේ අරමුණින් නීතිපතිවරයාට යොමු කරනු ලැබ ඇත. එබැවින් මේ වාර්තාව ලද විගසම පෙබරවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරගෙන යයි. මත්පැන් පානය කර රෝගී වන්නන් ගෙන් මේ ප්‍රතිකාර ගාස්‌තු අය කර ගැනීමේ ප්‍රධාන අරමුණ මත්පැන් පාලනය කිරීමට කරන බලපෑමක්‌ බව අමාත්‍යවරයා පවසයි. බොහෝ දෙනා මත්පැන් පානය කර හෝ කංසා හෝ කසිප්පු වැනි නීතිවිරෝධී මත්පැන් පානය කර රෝගී ව රෝහල්ගත වීම නිසා ස්‌නායු රෝග වෛද්‍යවරයා ගේ සිට අනෙක්‌ විශේෂඥ වෛද්‍යවරුන් දක්‌වා වූ පරාසයක සියලු ම වෛද්‍යවරුන් ගේ සේවාව නොමිලේ ලබා දීමට සිදු වී ඇති බැවින් ප්‍රතිකාර ගාස්‌තු අය කිරීමට තීරණය කර ඇති බැව් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.