Saturday, February 26, 2011

ශ්‍රී ලංකාව අද පාකිස්‌තානයට එරෙහි පළමු ලෝක කුසලාන ජය සොයයි

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක කුසලාන තරගාවලියකදී පාකිස්‌තානය පරාජය කිරීමේ අරමුණ සහිතව කුමර සංගක්‌කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (26දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී සහීඩ් අෆ්රිඩී ප්‍රමුඛ කණ්‌ඩායම මුණගැසෙනු ඇත. ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය වසර 19කට පසු ලෝක කුසලානකදී හමුවන ප්‍රථම අවස්‌ථාවද මෙය වීම විශේෂත්වයකි.

දිවා රාත්‍රී තරගයක්‌ ලෙසින් සහ නවීකරණය කිරීමෙන් අනතරුව ආර.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන ප්‍රථම නිල එක්‌දින ජාත්‍යන්තර තරගය ලෙසින් අද පස්‌වරු 2.30ට තරගය ඇරඹීමට නියමිතය.

අදාළ රටවල් දෙකම මෙම ලෝක කුසලාන යටතේ ශක්‌තිමත් (ටෙස්‌ට්‌ තත්වයේ සිටින) ප්‍රතිවාදියකු හමුවන ප්‍රථම අවස්‌ථාව මෙය වන අතර ශ්‍රී ලංකාව කැනඩාවට එරෙහිව ලකුණු 210ක සහ පකිස්‌තානය කෙන්යාවට එරෙහිව ලකුණ 205 ක දැවැන්ත ජයග්‍රහණ සමගින් ඇරඹූ ලෝක කුසලාන ගමනේ දෙපිලේ දෙවැනි තරගය මෙය වේ.


ඉතිහාසයේ ලෝක කුසලාන තරගවලදී දෙරට මුණගැසුණු අවස්‌ථා හයේදීම ශ්‍රී ලංකාව පරදවා ඇති පාකිස්‌තානය ඒ අනුව ඒවායේදී ශ්‍රී ලංකාවට එරෙහිව 100%ක සාර්ථකත්වයක්‌ රඳවාගෙන සිටියි.

1992 මාර්තු 15 වැනිදා බෙන්සන් ඇන්ඩ් හෙජස්‌ කුසලාන තරගාවලියේදී දෙපිල මුණගැසීමෙන් අනතුරුව ඉකුත් ලෝක කුසලාන තරගාවලි 4දීම ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර තරගයක්‌ නොයෙදුණු අතර එම වකවානුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ශක්‌තිය දැඩිව වර්ධනය වූ බැවින් එම පරාජිත ඉතිහාසය මෙම තරගයේදි ශ්‍රී ලංකාවට එතරම් අදාළ නොවනු ඇත.

අංක 8 දක්‌වා පිතිකරුවන් ලෙසින් දක්‍ෂතා දැක්‌විය හැකි ක්‍රීඩකයන්ගෙන් සමන්විත පකිස්‌තානය අවතක්‌සේරු කළ නොහැකි අතර නවීකරණය කරන ලද ආර්. ප්‍රේමදාස තණතිල්ලේ ස්‌වභාවය ශ්‍රී ලංකා පිලටද එතරම් හුරු නොමැති බැවින් ප්‍රේක්‍ෂක දිරිගැන්වීම හැරුණු විට අද තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බලපාන විශේෂ වාසියක්‌ නොමැති තරම්ය.

එහෙත් ඊයේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්‌කාර අදහස්‌ දක්‌වමින් බටහිර ඉන්දීය කොදෙව්වන් සමගින් පසුගියදා එහි පැවැති ටෙස්‌ට්‌ තරගයේ අත්දැකීම්වලට අනුව මෙම තණතිල්ල ඉතා හොඳ මට්‌මමේ වූ බවත් එය කුමන අයුරක එකක්‌ වුවත් එහි සාර්ථකව ක්‍රීඩා කිරීමේ වගකීම කණ්‌ඩායම සතුබවත් ප්‍රකාශ කළේය.

දෙරට අතර ලෝක කුසලාන ඉතිහාසයේ සියලූ තරග පකිස්‌තානය විසින් ජයගෙන සිටීම ගැන සිය අදහස්‌ දැක්‌වූ සංගක්‌කාර එම තරග ඉතිහාසයේ තමන් ක්‍රීඩයකු නොවූ බැවින් එම පරාජයන් ගැන තමන්ට යමක්‌ කිව නොහැකි මුත් මේ වන විට තම කණ්‌ඩායම පූර්ව සූදානම, ශාරිරික යෝග්‍යතාව සහ අනෙකුත් සාධක අතින් 100%ක්‌ ස්‌ථාවර මට්‌මමේ සිටින බව ප්‍රකාශ කළේය. පකිස්‌තානයද මෙම ලෝක කුසලාන සඳහා ඉදිරිපත්ව ඇත්තේ ඉතා සමබර කණ්‌ඩායමක්‌ සමග බැවින් ඔවුන් සමග තරගය පහසු නොවන නමුත් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් තම සාමාන්‍ය තරග රිද්මය ප්‍රදර්ශනය කළහොත් ජයග්‍රහණය සඳහා එය ප්‍රමානවත් යෑයි තමන් සිතන බව සංගක්‌කාර පවසන ලදී.

අදට යෙදී ඇති තරගය සම්බන්ධයෙන් ප්‍රකාශක්‌ කර තිබුණු පකිස්‌තාන පිලේ නායක සහීඩ් අෆ්රීඩී, ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාව පරාජය කිරීම පහසු නොවන නමුත් තරගාවලියේ ඉදිරියට යැම පිණිස සෑම අතින්ම වැදගත් තරගයක්‌ ලෙස සලකා ශ්‍රී ලංකාව සමග තරගය ජයගැනීමට තම කණ්‌ඩායම සියලු ශක්‌තිය යොදන්නේ යෑයි පවසා තිබුණි. ආරංචිමාර්ග වලට අනුව අද තරයේදී, පසුගියදා කෙන්යාවට එරෙහිව ක්‍රීඩා කළ කණ්‌ඩායම වෙනසකින් තොරව නම් කිරීමට පකිස්‌තානය සුදානමින් සිටින නමුත් කැනඩාව සමග ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වෙනස්‌කම් කිහිපයක්‌ අද බලාපොරොත්තු විය හැකිය.

ඒ අනුව චාමර කපුගෙදර වෙනුවට චාමර සිල්වාද, අජන්ත මෙන්ඩිස්‌ වෙනුවට රංගන හේරත්ද තිසර පෙරේරා වෙනුවට ලසිත් මාලිංගද කැඳවීමට ඉඩ ඇත.

ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය මේ දක්‌වා එක්‌දින ජත්‍යන්තර තරග 120ක්‌ ක්‍රීඩා කර ඇති අතර ඉන් 70ක ජය පකිස්‌තානය විසින්ද 46ක ජය ශ්‍රී ලංකාව විසින්ද අත්කරගනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේදී දෙරට අතර පවත්වා ඇති තරග 27න් 13ක ජය ශ්‍රී ලංකාවටද 12ක ජය පකිස්‌තානයටද තරග 2ක්‌ ජය පැරදුමෙන් තොරවද අවසන්ව ඇත.

අද තරගය පැවැත්වෙන ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව තරගයක්‌ ජයගැනීමේ සම්භාවිතාව (52%) ප්‍රතිවාදී රටෙහි ජයග්‍රහණය ලැබීමේ සම්භාවිතාව (26%)ට වඩා දෙගුණයක්‌ පමණ වෙතත් ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර මෙතෙක්‌ පවත්වා ඇති තරග 11 ප්‍රතිඵල අනුව දෙරටම කරට කර සිටියි. මෙහිදී දෙපිලම තරග 5 බැගින් ජයගෙන ඇත. (එක්‌ තරගයක්‌ තීරණයකින් තොරව අවසන්ව ඇත)

අද ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්‌ඩායම

උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, චාමර සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්‌, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, මුත්තයියා මුරලිදරන්

පාකිස්‌තානු කණ්‌ඩායම - සහීඩ් අෆ්රිඩි(නායක), අබ්දූල් රසාක්‌, අබ්දූල් රෙහෙමාන්, අහමද් සහසාඩ්, කම්රන් අක්‌මාල්, මිස්‌බා උල්හක්‌, මොහොමඩ් හෆීස්‌, ෂහිඩ් අඡ්මාල්, ෂොයෙබ් අක්‌තාර්, සොහෙල් තන්වීර්, උමර් අක්‌මාල්, උමාර් ගුල්, වහබ් රියාස්‌, යුනිස්‌ ඛාන්, වකාර් යුනිස්‌(පුහුණුකරු)


 

1 comment:

  1. http://cricket.yahoo.com/prematch-PakistanvsSri-Lanka_23161

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්