Thursday, February 17, 2011

මෙරට ඉතිහාසය වසර 3ක්‌ම දෙවිධියකට උගන්වලා

ශ්‍රී ලංකාවේ පාසල්වල හය වසර සිංහල සහ දෙමළ සිසුන්ට අවුරුදු තුනක්‌ම ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙආකාරයකට උගන්වා තිබේ යෑයි ජාතික ගුරු සභාව පෙන්වා දෙයි.

හය වසර රජයේ සිංහල ඉතිහාස පොතේ සඳහන් දුටුගැමුණු රජුගේ දස මහා යෝධයන් දෙමළ ඉතිහාස පොතේ සම්පූර්ණයෙන්ම ලොප්කර තිබේ යෑයි ජාතික ගුරු සභාවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මහතා පුවත්පත් සාකච්ඡාවකදී ඊයේ (16 දා) පැවසීය.වසර දහය දෙමළ ඉතිහාස පොතෙන් ලංකාවේ ප්‍රාග් ජනාවාස හැට අට කපා හැර තිබෙන බව ද නිමල් ප්‍රේමවංශ මහතා පැවසීය.

සිංහල හා දෙමළ ළමයින්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 2008 දී සපයන ලද පෙළ පොත්වලින් මේ දක්‌වා ලංකා ඉතිහාසය මෙලෙස දෙආකාරයකට උගන්වා ඇත්තේ අධ්‍යාපන බලධාරීන්ගේ නොසැලකිලිමත් කම නිසා යෑයි නිමල් ප්‍රේමචවංශ මහතා පැවසීය.

පුරාවිද්‍යාත්මක කැණීම්වලින් ශ්‍රී ලංකාවේ ප්‍රාග් ජනාවාස හැට අටක්‌ සොයා ගෙන තිබෙන නමුත් දෙමළ ළමයින්ට උතුරු නැගෙනහිර ඇතුළු ලංකාවේ ප්‍රාග් ජනාවාස තිබුණු බව වසන් කිරීමේ අරමුණ ඇතිව දෙමළ ඉතිහාස පොතට ඒ බව ඇතුළු කිරීමට නොකැමැති පිරිසක්‌ කුමන්ත්‍රණය කැර තිබෙන බව පැහැදිලි යෑයි ද ප්‍රේමවංශ මහතා කීවේය.

එපමණක්‌ නොව දහය වසර "පුරවැසි අධ්‍යාපනය" විෂයය යටතේ ගැටුම් නිරාකරණය කිරීමේ ප්‍රවේශය අනුව තවමත් හොඳම මැදිහත්කරුවා ලෙස පෙන්වා දී තිබෙන්නේ නෝර්වේ රට බව ද ප්‍රේමවංශ මහතා කීවේය.

පාසල් සිසුන්ට මෙලෙස රටේ ඉතිහාසයත් වත්මන් තත්ත්වයත් විකෘති කර ඉගෙන ගැනීමට සලසා තිබෙන්නේ බෙදුම්වාදී කොටි සංවිධානයට උඩගෙඩි දෙන නිලධාරීන් බවද ප්‍රේමවංශ මහතා පෙන්වා දුන්නේය.

පාසල් දරුවන් 40 ලක්‍ෂයකට පෙළ පොත් සපයන අධ්‍යාපන අමාත්‍යංශය, පෙළ පොත් සකස්‌ කරන ජාතික අධ්‍යාපන ආයතනය සහ පෙළ පොත් මුද්‍රණය කරන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙවන් සාවද්‍ය හා විකෘති ඉතිහාසයක්‌ ඉගැන්වීම සම්බන්ධයෙන් වගකිවයුතු යෑයිද ඒ මහතා කීවේය.

ජාතික ගුරු සභාවේ උප ලේකම් ජී. අයි. එම්. බණ්‌ඩාර සහ කාරක සභික එන්. බී. කහවන්දල යන මහත්වරු ද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්‌වී සිටියහ. 

දිවයින පුවත්පත ඇසුරිණි

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්