Tuesday, March 1, 2011

අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද නීති අකුරටම ප්‍රචාරක සැරසිලි කළොත් අත්අඩංගුවේ

මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් කටවුට්‌ බැනර් සහ සැරසිලි කරන පුද්ගලයන් සහ විවිධ සැරසිලි කළ ප්‍රචාරක වාහන පාවිච්චි කරන පුද්ගලයන් අද (01 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් පසු වහාම අත්අඩංගුවට ගැනීමට සියලුම පොලිස්‌ ස්‌ථානවලට නියෝග කර ඇති බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.

මැතිවරණ නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස මැතිවරණ කොමසාරිස්‌වරයාද පොලිසියට උපදෙස්‌ දී ඇති බව පැවසූ ගාමිණී නවරත්න මහතා සාධාරණ සාමකාමී මැතිවරණයක්‌ පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය සකස්‌ කිරීමට පොලිසිය දැඩිව කටයුතු කරන බව ද කියා සිටියේය.

මේ අතර රට පුරාම ඉදිකර ඇති නීති විරෝධී කටවුට්‌ බැනර් සහ සැරසිලි අද මධ්‍යම රාත්‍රියට පෙර ඉවත් කර ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා සියලුම අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටියි. එසේ ඉවත් නොකරන සියලුම සැරසිලි පොලිසිය යොදා ඉවත් කර ඒවා විනාශ කිරීමට පියවර ගන්නා බවද නවරත්න මහතා පවසයි.

මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සියලුම පොලිස්‌ නිලධාරීන් මේ වන විටත් දැනුවත් කර ඇති අතර මැතිවරණයේදී කටයුතු කරන ආකාරය පිළිබඳව අපේක්‍ෂකයන්ද දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවයා කියා සිටියි.

2 comments:

කියන්න, බනින්න, ඔබේ අදහස්