Wednesday, March 23, 2011

අර්ධ අවසන් පූර්ව වටය අද පාකිස්‌තනය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර

තරගය බංග්ලාදේශයේ ෂියා බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක්‌ ලෙසින් ප.ව. 2.30 ට ආරම්භ වේ.

"ඒ" කාණ්‌ඩයෙන් තරග කළ පාකිස්‌තාන කණ්‌ඩායම එහි ශූරයන් ලෙසින් අද තරග වදින අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම "බී" කාණ්‌ඩයෙන් සිව්වැනි ස්‌ථානය දිනා ගනිමින් අර්ධ අවසන් පූර්ව තරග අවස්‌ථාව හිමිකර ගත්තේය.

අද තරගයෙන් ජය ගන්නා කණ්‌ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන අතර එහිදී හෙට පැවැත්වෙන ඉන්දියා-ඔස්‌ටේ්‍රලියා තරගයෙන් ජයගන්නා කණ්‌ඩායම සමග ඔවුන් අවසන් පූර්ව තරගයට සහභාගි වේ.

තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වන පාකිස්‌තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් දෙක අතුරින් පාකිස්‌තාන කණ්‌ඩායම පළමු වටයේදී සහභාගි වූ තරග 6 න් එක්‌ පරාජයක්‌ සමග සෙසු තරග පහම ජය ගෙන ඇත. එහිදී නවසීලන්තයට පමණක්‌ ලකුණු 110 කින් පරාජය වූ පාකිස්‌තානය, කෙන්යාවට එරෙහිව ලකුණු 205 කින්ද, කැනඩාවට එරෙහිව ලකුණු 46 කින්ද සිම්බාබ්වේට එරෙහිව කඩුලු 7 කින්ද ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව කඩුලු 4 කින් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 11 කින් වශයෙන් පළමු වටයේ තරග ජය ගැනීමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම පළමු වටයේ සහභාගි වූ තරග හයෙන් පරාජයන් තුනක්‌ සහ ජයග්‍රහණයක්‌ තුනක්‌ ලබා තිබේ. එහිදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 215 කින්ද බංග්ලාදේශයට එරෙහිව කඩුලු 9 කින් සහ අයර්ලන්තයට එරෙහිව ලකුණු 44 කින් වශයෙන් ජයගත් කොදෙව්වන් දකුණු අප්‍රිකාවට කඩුලු 7 කින්, ඉන්දියාවට ලකුණු 80 කින් සහ එංගලන්තයට ලකුණු 18 කින් වශයෙන් පරාජයට පත් විය.

අද තරග වදින කණ්‌ඩායම් දෙකේම පිතිකරුවන් අතරින් එක දිගට සාර්ථකත්වයක්‌ පෙන්නුම් කිරීමට පාකිස්‌තාන් කණ්‌ඩායම වෙනුවෙන් උමාර් අක්‌මාල්ද කොදෙව් කණ්‌ඩායම වෙනුවෙන් ඩිවයින් ස්‌මිත් ද සමත්ව ඇත. එහිදී අක්‌මාල් තරග හයකදී ලකුණු 211 ක්‌ද ස්‌මිත් තරග 6 කදී ලකුණු 293 ක්‌ද ලබා තිබේ.

පන්දු යෑවීමේදී පාකිස්‌තාන් කණ්‌ඩායමේ සහිඩ් අෆ්රීඩි තරග හයකදී කඩුලු 17 ක්‌ බිඳ හෙළා ඇති අතර ඔහු සමස්‌ත තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වේ. කොදෙව් කණ්‌ඩායම වෙනුවෙන් කෙමා රොච් කඩුලු 13 ක්‌ ලබා පළමු වටයේ පන්දුවෙන් දස්‌කම් දක්‌වා ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව සිය ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට සමුදීමට තීරණය කර ඇති ෂොයිබ් අක්‌තාර්ට අද පාකිස්‌තානය වෙනුවෙන් වැඩි වැඩ කොටසක්‌ කිරීමට සිදුවේ. ජයග්‍රාහී සමුගැනීමක්‌ අපේක්‍ෂාවෙන් පසුවන ඔහුගේ වේගවත් පන්දුව අද කොදෙව් පිතිකරුවන්ට තියුණු තර්ජනයක්‌ එල්ල කරනු ඇතැයි විශ්වාසය වී තිබේ.

පාකිස්‌තානය සමස්‌ත තරගාවලිය පුරාවට පන්දු රැකීමේදී දැක්‌වූ දුර්වලතාව අද තරගයේදී නිවැරදි කරගෙන තොතිබුණහොත් එය කොදෙව්වන්ට විශාල ශක්‌තියක්‌ වනු ඇත.

මීපූර් හි පිහිටි ෂර්දා පටෙල් ක්‍රීඩාංගණය සහ ඒ අවට අද තරගය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්‌ දියත් කර ඇති බවද එරටින් වාර්තා වේ.

පාකිස්‌තාන් කණ්‌ඩායම

ෂහිඩ් අෆ්රීඩි (නායක), මිස්‌බා උල් හක්‌, අබ්දුල් රසාක්‌, අබ්දුර් රෙහෙමාන්, අහමඩ් ෂෙහසාඩ්, අසාද් සෆීක්‌, ජුනියිඩ් ඛාන්, කමරන් අක්‌මාල්, මොහොමඩ් හනීස්‌, සහිඩ් අඡ්මාල්, ෂොයිබ් අක්‌තාර්, උමාර් අක්‌මාල්, උමාර් ගුල්, වහාබ් රියාස්‌, යුනිස්‌ ඛාන්, සොහිල් තන්වීර්

බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම

ඩැරන් සමී (නායක), සුලෙයිමන් බෙන්, ඩෙවින්ද්‍ර බිෂෝ, ඩැරන් බ්‍රාවෝ, ෂිවනරියන් චන්ද්‍රපෝල්, කීර්ක්‌ එඩ්වඩ්ස්‌, ක්‍රිස්‌ ගේල්, නිකිටා මිලර්, කිරාන් ගෝල්ඩ්, රවී රම්ෂුවල්, කෙමාර් රොච්, ඇන්ඩි්‍ර රසල්, රමනරේෂ් ෂර්වාන්, ඩිවෝන් ස්‌මිත්, ඩිවෝන් තෝමස්‌, ඇඩ්රියන් බර්ත්, කාල්ටන් බෝර්ග්, ඩිවයන් බ්‍රාවෝ

දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය හෙට ඉන්දියාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර අහමදාබාද්හිදී (දිවා/රාත්‍රී)

දිවයින ඇසුරින්

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්