Friday, March 18, 2011

ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය අද ජයග්‍රහණය සඳහා අපි සූදානම් - සංගක්‌කාර

ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා ධනාත්මක බලාපොරොත්තු තබා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම පළමු වටයේ අවසන් තරගයට අද (18 දා) නවසීලන්ත කණ්‌ඩායම සමගින් ඉන්දියාවේ මුම්බායිහි පිහිටි වැන්කඩේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 2.00 ට ආරම්භ වීමට නියමිතය.

"ඒ" කාණ්‌ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්‌ඩායම් දෙකම දැනටමත් අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් සපුරා තිබුණද අද තරගයේ ජයග්‍රහණය ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ නැගීම වෙනුවෙන් දෙපිලටම තීරණාත්මක සාධකයක්‌ වී තිබේ. කණ්‌ඩායම් දෙකම පළමු වටයේ සහභාගිවන අවසන් තරගය මෙය වන අතර මේ වන විට නවසීලන්තය තරග පහහකදී ප්‍රසාද ලකුණු 8 ක්‌ද ශ්‍රී ලංකාව තරග 5 කදී ප්‍රසාද ලකුණු 7 ක්‌ද ලබා සිටී.

ශ්‍රී ලංකාව අද තරගය ජයගතහොත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්‌ථානයට නියත වශයෙන් පත්වේ. නවසීලන්තයද අද තරගය ජයගතහොත් ඔවුන්ටද ප්‍රසාද ලකුණු සටහනේ පළමු හෝ දෙවැනි ස්‌ථාන වලට පත්වීමට අවස්‌ථාව උදාවේ. යම් ලෙසකින් ශ්‍රී ලංකාව අද තරගයේදී පරාජයට පත්වුවහොත් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්‌ථානය හිමිකරගනිමින් "බී" කාණ්‌ඩයේ පළමු ස්‌ථානයේ පසුවන කණ්‌ඩායම (බොහෝ දුරට දකුණු අප්‍රිකාව සමග) සමග ශ්‍රී ලංකාවේදී අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වේ.

අද තරගය ජය ගැනීම සඳහා තම කණ්‌ඩායම සූදානමින් සිටින බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී කුමාර සංගක්‌කාර පැවසීය. "අපි වැන්කඩේ ක්‍රීඩාංගණයේ පුහුණු සැසි කිහිපයකටම සහභාගි වුණා. එහිදී ක්‍රීඩාංගණයේ සහ තණතීරුවල මෙන්ම මෙහි දේශගුණය පිළිබඳවද අපි හොඳ අධ්‍යයනයක්‌ ලැබුවා. ඉතාමත් හොඳ පුහුණුවීම්වලින් සහ ජයග්‍රාහී මානසිකත්වයකින් අද තරගය ජය ගැනීමට අපි සූදානම්" යනුවෙන් සංගක්‌කාර වැඩි දුරටත් පැවසීය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැදගත්ම සාධකයක්‌ බවට පත්ව ඇති පිතිකරු පවර් ප්ලේ පන්දුවාර පහ පිළිබඳව අදහස්‌ දැක්‌වූ සංගක්‌කාර පිතිකරු පවර් ප්ලේ අවස්‌ථාව හොඳට කල්පනාකාරිව පාවිච්චි කළ යුතුවන බව පැවැසීය.

"කණ්‌ඩායම් නායකයා ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරල සුදුසු අවස්‌ථාවේදී පවර් ප්ලේ අවස්‌ථාව ලබා ගන්න කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මෙවර තරගාවලියේ පිතිකරු පවර් ප්ලේ අවස්‌ථාවේ හොඳින්ම ප්‍රයෝජන ගැනීමට අයර්ලන්ත කණ්‌ඩායම එක තරගයකදී සමත් වුණා. ඔවුන් එහිදී පන්දුවාර පහ තුළදී ලකුණු 60 ක්‌ ලබා ගත්තා. මෙවැනි තරගාවලියකදී එය හොඳ ලකුණු ප්‍රමාණයක්‌" යනුවෙන් සංගක්‌කාර පවසයි.

ඩැනියෙල් වෙටෝරි සහ වේග පන්දු යවන ක්‍රීඩක කයිල් මිල්ස්‌ මේ වන විට ආබාධවලට මුහුණදී තිබීම මත ඔවුන් දෙදෙනාටම අද තරගයට ක්‍රීඩා කිරීම අහිමි වී තිබේ. එම හේතුව මත අද තරගයේදී නවසීලන්ත කණ්‌ඩායම මෙහෙයවීමේ වගකීම රොස්‌ ටේලර්ට පැවරී තිබේ. රෝස්‌ ටේලර් පසුගියදා පාකිස්‌තානය සමඟ තරගයේදී අවසන් පන්දුවාර කිහිපය තුළදී වේගවත් පිතිහරඹයක්‌ දියත් කිරීමට සමත්වූ අතර එම ඉනිම අද තරගයේදී ශ්‍රී ලංකාවට කෙසේ බලපානු ඇත්දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සංගක්‌කාර "ඔහුට ෆුල් ටෝස්‌ පන්දු යවන්නැතුව හිටියහම එහෙම වෙන එකක්‌ නැහැ" යෑයි සිනා මුසු මුහුණින් ප්‍රකාශ කර සිටියේය.

මෙවර ලෝක කුසලාන අවසන් මහ තරගය පැවැත්වෙන වැන්කඩේ ක්‍රීඩාංගණයේදී එම අවසන් මහ තරග අවස්‌ථාව බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවට ක්‍රීඩාංගණය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමටද මෙම තරගය වැදගත් වනු ඇත. ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේදී තරග දෙකකට සහභාගි වී ජයග්‍රහණ සහ පරාජයන් එක බැගින් ලබා ඇත. නවසීලන්තය මෙම ක්‍රීඩාංගණයේදී එක තරගයකට සහභාගි වී ඇති අතර එය මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ කැනඩා කණ්‌ඩායමට එරෙහිව වේ. ක්‍රීඩා පිටියේ වැඩි විශාලත්වයක්‌ දක්‌නට නොලැබෙන මෙම ක්‍රීඩාංගණයේ නරඹන්නන් 45000 කට පමණ තරග නැරඹිය හැකිවේ. අද තරගය සඳහා විශාල ප්‍රේක්‍ෂක සහභාගිත්වයක්‌ සහභාගිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

අද තරගයට නිර්මාණය කර ඇති තණතීරුව මඳ තණකොළ ස්‌වභාවයක්‌ දකින්නට තිබුණද එය පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ට සහයෝගයක්‌ දක්‌වන තණතීරුවක්‌ බව ශ්‍රී ලංකා නායකයාගේ විශ්වාසය වී තිබේ. මුරලිදරන් සමග අජන්ත මෙන්ඩිස්‌ අද ශ්‍රී ලංකා දග පන්දු යෑවීමේ අංශය ශක්‌තිමත් කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ තිබෙන අතර වේග පන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග සමගින් නුවන් කුලසේකර ක්‍රීඩා කරනු ඇත. ඊයේ පෙරවරුවේ තරගයට පෙර ශ්‍රී ලංකා කණ්‌ඩායම අවසන් පුහුණු සැසියට සහභාගි වූ අතර නවසීලන්ත කණ්‌ඩායම පස්‌වරුවේ පුහුණුවීම්වල යෙදීමට නියමිතව තිබිණ.

දෙරට අතර එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ මෙතෙක්‌ තරග 72 ක්‌ පවත්වා තිබෙන අතර එහිදී 35 වතාවක්‌ නවසීලන්තයද 32 වතාවක්‌ ශ්‍රී ලංකාවද තරග ජයග්‍රහණය කර තිබේ.

අද තරගය ක්‍රීඩා කිරීමට අනුමාන කළ හැකි ශ්‍රී ලංකා කණ්‌ඩායම - තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර සංගක්‌කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, චාමර සිල්වා, ඇන්ජලො මැතිව්ස්‌, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්‌ සහ මුත්තයියා මුරලිදරන්.

නවසීලන්ත කණ්‌ඩායම - රොස්‌ ටේලර්(නායක), හමීෂ් බෙනට්‌, ඡේම්ස්‌ ෆ්‍රeන්ක්‌ලින්, මාටින් ගප්ටිල්, ජිමී හව්, බ්‍රෙන්ඩන් මැකලම්, නාදන් මැකලම්, කයිල් මිල්ස්‌, ජෙකොබ් ඕරාම්, ජෙසී රයිඩර්, ටිම් සවුති, ස්‌කොට්‌ ස්‌ටයිරීස්‌, කේන් විලියම්සන්, ලුක්‌ වුඩ්කොක්‌.



අසේල විතාන ඉන්දියාවේ මුම්බායි නුවර සිට දිවයින පුවත්පතට පවසයි

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්