Thursday, March 10, 2011

ශ්‍රී ලංකාව අපිට ප්‍රබල අභියෝගයක් චිගම්බුරා

ලෝක කුසලාන 2001 ක්‍රිකට්‌ ශූරතා තරගාවලියේ "ඒ" කාණ්‌ඩයේ 13 වැනි තරගය සහ සමස්‌ත තරගාවලියේ 26 වැනි තරගය වන ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගය දිවා රාත්‍රි තරගයක්‌ වශයෙන් අද පස්‌වරු 2.30 ට මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ඒ කාණ්‌ඩය යටතේ මෙතෙක්‌ සහභාගි වූ තරග 4 න් 2 ක්‌ ජයගනිමින් ප්‍රසාද ලකුණු 4 ක්‌ සහ ඔස්‌ටේ්‍රලියාව සමග තරගය විසඳුමකින් තොරව අවසන් වීම මත ප්‍රසාද ලකුණක්‌ද සමග මුලු ප්‍රසාද ලකුණු 5 ක්‌ ලබා සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම, අද තරගය ජය ගතහොත් අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන කණ්‌ඩායම් 4 අතරට පිවිසීම ස්‌ථිර වනු ඇත.

යම් ලෙසකින් මෙම තරගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකාවට අවාසිදායක වුවහොත් තරගාවලියේ දෙවැනි වටය වන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකාව ලබන 18 වැනිදා නවසීලන්ත කණ්‌ඩායම සමග පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයගතු තත්ත්වයක්‌ උදාවනු ඇත.

"මේ තරගාවලියේදී කවුරු දිනයිද කවුරු පරදියිද කියලා කාටවත් කියන්න බැහැ. එය මෙතෙක්‌ පැවැති තරගවලදී හොඳින් අනාවරණය වෙලා තියෙනවා. ඒක නිසා සිම්බාබ්වේ කණ්‌ඩායමටත් අද තරගයේදී පුදුමය දනවන දෙයක්‌ කරන්න හැකියාව තියෙනවා" යනුවෙන් අද තරගය පිළිබඳව ශ්‍රී ලංකා පිලේ උපනායක මහේල ජයවර්ධන සඳහන් කර සිටියේය.

එක්‌දින තරගවලදී ලකුණු 9000 සීමාව පසුකර යැමට තවත් ලකුණු 25 ක්‌ පිටුපසින් පසුවන ශ්‍රී ලංකා උපනායකයා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින්, ප්‍රතිවාදී කණ්‌ඩායම්වල ශක්‌තිය මෙන්ම දුර්වලතාවලට අනුකූලව ක්‍රීඩකයන්ව යොදා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පිල සතුවීම මෙවර තරගාවලියේදී තම කණ්‌ඩායමට හිමි විශාලම ශක්‌තියක්‌ වන බවයි.

නායක කුමාර් සංගක්‌කාරද ලකුණු 9000 සීමාවට පිවිසීම සඳහා ලකුණු 60 ක්‌ පිටුපසින් සිටියි. පන්දුවට පහරදීමේදී මහේලට පෙර සංගක්‌කාර පිටියට පිවිසෙන බැවින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවැනියට ලකුණු 9000 ඉලක්‌කය පසුකර යැමේ වැඩි ඉඩකඩක්‌ සංගක්‌කාර සතු වනු ඇත.

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පෙරේදා (08 දා) පවත්වන ලද පළමු තරගයේ දෙවැනි භාගයේදී ක්‍රීඩාංගණයේ දැඩි පිණි සහිත ස්‌වභාවයක්‌ දැක ගැනීමට හැකි වූ අතර එය අද තරගයේදී ඒ අයුරින්ම සිදුවෙනු ඇතැයි අනුමාන කළ හැක. එබැවින් අද තරගයේ තීරණය සඳහා කාසියේ වාසිය කොතරම් දුරට බලපාන්නේ දැයි මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරුකින් මහේල, පාලනය කළ නොහැකි දේවල් ගැන හිතනවට වඩා පාලනය කළ හැකි දේවල් පිළිබඳව අවධානය යොමු කිරීම කණ්‌ඩායමක්‌ ලෙස ඉතාමත් යෝග්‍ය වන බව පවසයි.

"කාසියේ වාසිය කියන්නෙ අපිට පාලනය කරන්න බැරි දෙයක්‌. ඒක නිසා ඒ ගැන වැඩිය සිතිය යුතු නැහැ. අපි වඩාත් අවධානය යොමු කරන්න ඕන අපිට පාලනය කරන්න පුලූවන් දේවල් ගැන. ඒක නිසා පාලනය කළ නොහැකි දේවල් පිළිබඳව හිත හිත ඉන්න එක කණ්‌ඩායමක්‌ හැටියට යෝග්‍ය නැහැ" යනුවෙන් මහේල අදහස්‌ දැක්‌වීය.

"වැඩි අවධානයක්‌ යොමු කරන්න ඕන තරගයෙන් තරගයටයි. එතනදී කොයි කණ්‌ඩායම සමඟ තරග කිරීමට සිදුවේද කියන එක වැදගත් වන්නේ නැහැ. ශූරතාව දිනා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවානම් ලැබෙන සෑම තරගයක්‌ම ජය ගත යුතුයි කියන මානසිකත්වයෙන් ක්‍රීඩා කරන්න ඕන" යනුවෙන් ඉදිරි තරගාවලිය පිළිබඳව අදහස්‌ දක්‌වමින් ජයවර්ධන පැවැසීය.

පල්ලකැලේ තණතීරුවේ" ජාත්‍යන්තර තරග වලට සහභාගි වී නොමැති වුවත් දේශීය තරගවලදී ක්‍රීඩා කර තිබෙන බවද පවසන ජයවර්ධන එහිදී තණතීරුවේ වැඩි වෙනසක්‌ දකින්නට නොමැති බව පැවැසීය. තරමක්‌ පන්දුව ඉපිලීමේ ස්‌වභාවයක්‌ උසුලන අද තරගයේදී දිල්හාර ප්‍රනාන්දුව කණ්‌ඩායමට කැඳවීමේ වැඩි ඉඩ කඩක්‌ තිබෙන බව පවසන ජයවර්ධන, ඒ පිළිබඳ අවසන් තීරණය ඊයේ සවස පැවැත්වීමට නියමිත කණ්‌ඩායම් රැස්‌වීමේදී හෝ අද උදෑසන තණතීරුව නිරීක්‍ෂණය කිරීමෙන් පසු බව සඳහන් කළේය.

2007 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් මහ තරගය දක්‌වා රැගෙන ඒමට සමත්වූ මහේල ජයවර්ධන ජයග්‍රාහී කණ්‌ඩායම් සංයුතිය වෙනස්‌ කිරීමට කිසි විටෙකත් කටයුතු නොකළේය. මෙවර තරගවාරය තුළදී එයින් පරිබාහිරව කණ්‌ඩායමේ වැඩි ක්‍රීඩකයන් සංඛ්‍යාවකට තරගවලට සහභාගිවීමේ අවස්‌ථාව උදාවී තිබෙන අතර ඒ පිළිබඳව තමන් දරන්නේ කුමන අදහසක්‌ දැයි නගන ලද පැනයකට පිළිතුරු මහේල, ක්‍රීඩකයකුට ක්‍රීඩකයෙක්‌ විවිධ දක්‍ෂතාවලින් හෙබිව සිටීම මත එම වෙනස මෙම තරගාවලියේදී දැක ගැනීමට හැකි වී තිබෙන බව පැවැසීය.

"මම කළින් සඳහන් කළා වගේ මේ තරගාවලියේදී අපිට තියෙන වාසිය තමයි එකිනෙකට වෙනස්‌ දක්‍ෂතා තිබෙන ක්‍රීඩකයන් කණ්‌ඩායමේ සිටීම. ඒක නිසා ප්‍රතිවාදී කණ්‌ඩායමේ ශක්‌තිය සහ දුර්වලතාවලට අනුව ක්‍රීඩකයන් යෙදවීමේ හැකියාවක්‌ අපිට තියෙනවා. ඒ අනුව තමයි මෙවර තරගාවලියේදී ගොඩක්‌ අයට ක්‍රීඩා කිරීමට හැකියාවක්‌ තිබුණේ. 2007 දී එහෙම නෙවෙයි. අපි සීමිත පන්දු යවන්නන් සංඛ්‍යාවක්‌ සිටියේ. ඔවුන් අතින් වාස්‌, මාලිංග සහ මුරලි විතරයි කැපී පෙනෙන පන්දු යවන්නන්ට සිටියේ. අන්න එය තමයි එතන තියෙන වෙනස" යනුවෙන් ජයවර්ධන පවසයි.

මේ අතර සිම්බාබ්වේ නායක එල්ටන් චිගම්බුරා, ප්‍රබල කණ්‌ඩායමක්‌ වන ශ්‍රී ලංකාව සමඟ අද පැවැත්වෙන තරගය ඉතාම අභියෝගයක්‌ වන බව පවසයි. එහිදී අසාර්ථක වී සිටින පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම අනිවාර්ය බව පවසන හෙතෙම, ඉදිරි පෙළ ඉක්‌මනින් දැවී යැම පෙර තරග පරාජයවීමට මුල් වූ බව පැවැසීය. සිම්බාබ්වේ පිල මෙතෙක්‌ තරග 3 කට සහභාගිවී තිබෙන අතර එහිදී කැනඩාව සමග පැවැති තරගය පමණක්‌ ජයගැනීමට සමත්ව සිටියි. ආබාධයක්‌ මත කණ්‌ඩායමේ පසුවූ ෂෝන් විලියම්ස්‌ වෙනුවට විසූ සිබන්ඩා කණ්‌ඩායමට එක්‌ව සිටියි.

ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ සිව්වතාවක්‌ මුණ ගැසී තිබෙන අතර එම අවස්‌ථා 4 දීම ජය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී සිටියි. එමෙන්ම දෙරට අතර මෙතෙක්‌ පවත්වා ඇති එක්‌දින තරග 46 න් අවස්‌ථා 38 කදී ශ්‍රී ලංකා කණ්‌ඩායම අවස්‌ථා 7 කදී සිම්බාබ්වේ කණ්‌ඩායමද ජය අත්කර ගැනීමට සමත්ව තිබෙන එක්‌ තරගයක්‌ පමණක්‌ ජය පැරදීමෙන් තොරව අවසන් වී තිබේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - කුමාර් සංගක්‌කාර (නායක), මහේල ජයවර්ධන, ටී. එම්. ඩිල්ෂාන්, උපුල් තරංග, තිලාන් සමරවී කුලසේකර.

සිම්බාබ්වේ කණ්‌ඩායම - එල්ටන් චිගම්බුරා(නායක), රෙගිස්‌ චකබ්වා, චාර්ල්ස්‌ කොවෙන්ටි්‍ර, ග්‍රැහැම් ක්‍රිමර්, ක්‍රෙග් එර්වින්, ග්‍රෙග් ලෑම්බ්, ශින්ගිරායි මසකඩ්සා, ටිනෝ මවෝයා, ක්‍රිස්‌ මµa, රේ ප්‍රයිස්‌, එඩ්වර්ඩ්ස්‌ රෙයින්ස්‌µර්ඩ්, ටටෙන්දි තායිබු, බ්‍රෙන්ඩන් ටේලර්, ප්‍රෙස්‌පර් උට්‌සෙයා, වුසිමුසි සිබන්ඩා.


චමිල කරවිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට දිවයිනට පවසයි
 

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්