Wednesday, April 4, 2012

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසියි ද?

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර ඒ වෙනුවට ලබන වසරේ සිට ජාතික ඇගයීම් විභාගයක්‌ පැවැත්විය යුතු බවට නව අධ්‍යාපන පනත සකස්‌ කිරීමේ යෝජනාවලියෙන් නිර්දේශ කර ඇත.

මීට අමතරව දිළිඳු දරුවන් හඳුනාගෙන ඔවුන්ට පළමු ශ්‍රේණියේ සිටම ආධාර කළ යුතු බව ද එහි සඳහන් වේ.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සභාපතිත්වය දරන අධ්‍යාපනය පිළිබඳ උපදේශක කාරක සභාවට මෙම යෝජනාවලිය ලබන මැයි මාසයේදී ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතය. අධ්‍යාපන පනත සකස්‌ කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ නියෝජිතයන්, විවිධ සංවිධාන මෙන්ම පුද්ගලයන් ද ඉදිරිපත් කළ අදහස්‌ අනුව මෙම යෝජනාවලිය සකස්‌ කර ඇති අතර එහි සිංහල පිටපත මේ වන විට සකස්‌ කර අවසන්ය. එය දෙමළ භාෂාවට හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙයි.

දැනට සමාගම් පනත යටතේ ලියාපදිංචි කර පවත්වාගෙන ගිය ජාත්‍යන්තර පාසල් ද මෙම යෝජනාවලියට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කළ යුතු වන අතර එම පාසල්වලට බඳවාගන්නා ගුරුවරුන්ගේ සුදුසුකම් පිළිබඳව ද නිර්නායක සකස්‌ කර ඇත. මෙම පාසල්වල ද ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ඉගෙනීමේ මාධ්‍ය මව්බස විය යුතු බවට යෝජනා කෙරේ. එම යෝජනාව පිළිබඳ විවිධ මත පළවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක්‌ ගැනීම විශේෂ කාරක සභාවට පැවරී ඇත.

ද්විතීයික පාසල් දහසක්‌ ඇති කර එම පාසල් අවට තිබෙන ප්‍රාථමික පාසල් පන්දහසක්‌ සංවර්ධනය කෙරෙන හෙයින් තවදුරටත් ජනප්‍රිය පාසල් කරා යැමේ අවශ්‍යතාවක්‌ මතු නොවීම මෙන්ම සිසුන්ගේ මානසික තත්ත්වය ද ඇතුළු කරුණු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ නිර්දේශය ඉදිරිපත් කෙරේ.

තවද පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී ජාතිය, ආගම වැනි කරුණු නොසලකා කටයුතු කළ යුතු බවට වන නිර්දේශ ද ඊට ඇතුළත්ය.

නව අධ්‍යාපන පනත සකස්‌ කිරීම පිළිබඳ කරුණු සොයා බැලීමට පත්කර ඇති කමිටුව විසින් සකස්‌ කරන ලද ප්‍රතිපත්ති රාමුව සියලුම මැති ඇමැතිවරුන්ට මෙන්ම විවිධ සංවිධානවලට ද මේ වන විට ලබාදී ඇත.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කෙරෙන යෝජනාවලිය ද එලෙසම ලබාදීමට සැලසුම් කර තිබේ.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්