Friday, April 27, 2012

ආයතන 6 ක වැටුප් වැඩිලු

ඛනිජ තෙල් සංස්‌ථාව, ලංකා විදුලිබල මණ්‌ඩලය, ජල සම්පාදන මණ්‌ඩලය, වරාය, ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රජයේ ආයතන හයක සේවකයන්ගේ ආදායම් බදු රුපියල් කෝටි 230 ක්‌ (බිලියන 2.3 ක්‌) 2010 වසරේදී ආණ්‌ඩුව විසින් ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ඇමැති ඩියු ගුණසේකර මහතා ඊයේ (26 දා) ප්‍රකාශ කළේය. සහෝදරියන් හයදෙනා යනුවෙන් හඳුන්වන රජයේ මෙම ප්‍රධානම ආයතන හයේ සේවකයන් විශාල ලෙස වැටුප් ලබන බව ද කාර්යාලය ශුද්ධ පවිත්‍ර කරන කම්කරුවාගේ මාසික වැටුප පමණක්‌ රුපියල් 25000 කට අධික බව ද ගුණසේකර මහතා ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා පැවැති වැඩමුළුවකදී කීවේය.

මෙම සියලුම සේවකයන්ගේ අදායම් බදු 1999 වසරේ සිට ගෙවා ඇත්තේ එම ආයතන වලින්ම බව කී ඩියු ගුණසේකර මහතා මේ සඳහා ඇමැති මණ්‌ඩල තීරණයක්‌ නැති බව ද කීවේය.

ජනාධිපතිවරයා, මහා භාණ්‌ඩාගාරයේ ලේකම්වරයා සහ විෂයභාර ඇමැතිවරයාවත් මේ පිළිබඳ දැනුවත්ව නොසිටි බව ද වෘත්තීය සමිති නිලධාරීන් පැමිණ ආයතන ප්‍රධානීන්ට බලකිරීම් කරද්දී මීට අදාළ ගිවිසුම් අත්සන් කර ඇතැයි ද කී ඩියු ගුණසේකර මහතා ආදායම් බදු ගෙවද්දී සියලු දෙනා එක සමානව සැලකිය යුතු බව නීතියේ සඳහන් බව ද ඇති නැති පරතරය නැති කරනු ලබන්නේ ආදායම් බදුවලින් යෑයි ද කීය.

පුද්ගලයන් වෙනුවෙන් ආණ්‌ඩුවක්‌ ආදායම් බදු ගෙවීමක්‌ සිදු නොකරන බව කී ඇමැති ඩියු ගුණසේකර මහතා මේ පිළිබඳව යම් පුරවැසියකු අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළහොත් අදාළ සේවකයන් සියලුදෙනාටම මෙම මුදල ගෙවීමට සිදුවන බව ද ප්‍රකාශ කළේය.

සේවකයන්ගේ ආදායම් බදු ආයතනය විසින්ම ගෙවීමට තීන්දු තීරණ ගත් ප්‍රධානීන් මේ වන විට සේවයේ නැති බව ද කී ගුණසේකර මහතා පාර්ලිමේන්තු ස්‌ථාවර නියෝග සංශෝධනය කර හෝ මෙම වැරදිකරුවන් පාර්ලිමේන්තුව හමුවට කැඳවිය යුතුබව කථානායකවරයාට යෝජනා කළ බව ද කීය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්