Saturday, August 13, 2011

ශ්‍රී ලංකා ඔස්‌ට්‍රේලියා දෙවැනි එක්‌දින ක්‍රිකට් තරගය හෙට

ඔස්‌ට්‍රේලියාව හමුවේ පියවරක්‌ පසු පසින් සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම දෙරට අතර තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ දෙවැනි තරගයට හෙට (14 දා) හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී සහභාගිවෙයි. තරගය හෙට ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිය.

පල්ලකැලේ ක්‍රීඩාං ගණයේදී පැවැති පළමු එක්‌දින තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 7 කින් පරාජය කරමින් ආරම්භයේදීම තරගාවලිය 1-0 ක්‌ ලෙස පෙරමුණ ගැනීමට ඔස්‌ට්‍රේලියාව සමත් වීම හෙට තරගයේදී ශ්‍රී ලංකාවට අමතර පීඩනයක්‌ ගෙන දෙන කරුණක්‌ වී තිබේ. අන්තර්ජාතික එක්‌දින ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වලද ඔස්‌ට්‍රේලියාවට වඩා පියවරක්‌ පසුපසින් පසුවන ශ්‍රී ලංකාව තරගාවලියේ ඉදිරි තරග හතරම ජයගතහොත් අදාළ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්‌ථානය දිනා ගනිමින් ඔස්‌ට්‍රේලියාව දෙවැනි තැනට ඇද දමනු ඇත. එම අභියෝගය සහ තරගාවලිය 1-1 ක්‌ ලෙස සමතැන් ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරගය ජයගත යුතුම වේ. "අපි ඔස්‌ට්‍රේලියාවට කඩුලු පූජා කළා. නමුත් වැරදි හදා ගනිමින් දෙවැනි තරගය ජයගෙන තරගාවලිය 1-1 ක්‌ ලෙස සමතැන් ගැනීමට අපි සූදානම් වෙනවා." යනුවෙන් ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පළමු තරගය පරාජයෙන් පසුව මාධ්‍ය හමුවේ පවසා තිබේ.

පළමු තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්‌වූ කලබලකාරී පිතිහරඹය හේතුවෙන් ඔස්‌ට්‍රේලියානු පන්දු යවන්නන්ට කඩුලු පූජා කළ අතර එහිදී මිචෙල් ජොන්සන් කඩුලු 6 ක්‌ දවා ගැනීමට සමත් විය. එම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වූ උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන අනවශ්‍ය පහරවල් එල්ල කරමින් දැවී යාම ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පරාජයේ ප්‍රබල සාධකය බවට පත්විය. අදාළ පිතිකරුවන් හෙට තරගයේදී සන්සුන් පිතිහරඹයක නියෑලීම ඔස්‌ට්‍රේලියාව පරාජය කිරීමේ ප්‍රබල සාධකයක්‌ වනු ඇත.

ඔස්‌ට්‍රේලියානු ආරම්භක පිතිකරු ෂේන් වොට්‌සන් ගේ වේගවත් පිතිහරඹය මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ආරම්භයේදීම සැලසුම් සකස්‌ කළ යුතුවේ. මෙම තරගාවලියේ මෙතෙක්‌ කිසිදු තරගයකට ක්‍රීඩා නොකළ ලසිත් මාලිංග හෙට තරගයකට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ. මාලිංගගේ පැමිණීමත් සමග සුරංග ලක්‌මාල්ට අවසන් 11 දෙනා අතරට එක්‌වීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වේ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු උපුල් තරංග මෙම තරගයේදී තවත් ලකුණු 68 ක්‌ ලබාගතහොත් එක්‌දින ලකුණු 4000 සීමාව පසුකර යැමේ අවස්‌ථාවට හිමිකම් කියන අතර ඔහු මේ වන විට එක්‌දින තරග 122 කදී ශතක 11 ක්‌ සහ අර්ධ ශතක 19 ක්‌ සමග ලකුණු 3932 ක්‌ ලබා තිබේ. ශ්‍රී ලංකා උපනායක ඇන්ජලෝ මැතිව්ස්‌ සිය එක්‌දින ලකුණු 1000 සීමාව පසුකිරීමට තවත් ලකුණු 2 ක්‌ මෙපිටින් සිටින අතර ඔහු දැනට එක්‌දින තරග 50 කදී ලකුණු 998 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 35.64 ක්‌ ලෙස සටහන් වේ.

ඔස්‌ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් දෙරට අතර එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වීමේ අවස්‌ථාව අතපොවොන මානයේ සිට හෙට තරගයට සහභාගි වේ. ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව සහභාගි වී ඇති එක්‌දින තරග 40 කදී ලකුණු 1503 ක්‌ ලබා තිබෙන අතර එහි පෙරමුණ ඔස්‌ට්‍රේලියාවේ හිටපු කඩුලු රකින ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්‌ට්‌ සතුව ඇත. ගිල්ක්‍රිස්‌ ශ්‍රී ලංකාව සමග එක්‌දින තරග 30 කදී ලකුණු 1511 ක්‌ ලබා තිබෙන අතර පොන්ටින්ට අදාළ කඩඉම පසුකිරීම සඳහා ලබාගත යුත්තේ තවත් ලකුණු 8 ක්‌ පමණි.

හෙට තරගය පැවැත්වෙන හම්බන්තොට මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ මෙතෙක්‌ පවත්වා ඇත්තේ එක්‌දින තරග 2 ක්‌ පමණක්‌ වනහෙට තරගය එහි පවත්වනු ලබන තෙවැනි ජාත්‍යන්තර තරගය ලෙස සටහන් වේ. එම ක්‍රීඩාංගණය පිතිකරුවන්ට මනා සහයෝගයක්‌ දැක්‌වීමට බොහෝ දුරට අවකාශ ඇත. මහේල ජයවර්ධන කැනඩාවට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේදී රැස්‌ කළ ලකුණු 100 රාජපක්‌ෂ ක්‍රීඩාංගණයේදී වාර්තාවූ එකම ශතකය ලෙස සටහන් වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

තිලකරත්න ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌ (උපනායක), දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්‌, සුරාඡ් රන්දිව්, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්‌, සුරංග ලක්‌මාල්, රංගන හේරත්, චාමර සිල්වා, තිසර පෙරේරා, ෂමින්ද එරංග

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම

මයිකල් ක්‌ලාක්‌ (නායක), ඩොග් බොලින්ජර්, ක්‌ෂේවියර් ඩර්ටි, බ්‍රැඩ් හැඩින්, ජෝන් හස්‌ටින්ග්, ඩේවිඩ් හසී, මයිකල් හසි, මිචෙල් ජොන්සන්, බ්‍රෙට්‌ ලී, ෂෝන් මාර්ෂ්, ඡේම්ස්‌ ගැමින්සන්, රිකී පොන්ටින්, ස්‌ටීවන් ස්‌මිත් සහ ෂේන් වොට්‌සන්

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්