Saturday, June 26, 2010

සෙල්සියස්‌ අංශක දෙකෙන් උෂ්ණත්වය සීමා කිරීම අසීරුයිද?

ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකකට සීමා කිරීම මේ වන විට පුළුල්ව පිළිගන්නා ඉලක්‌කයකි. දේශගුණ වෙනස්‌ වීම බරපතල විපාක ඇති කළ හැකි වීම වැළැක්‌වීමට නම් උෂ්ණත්වය ඉහළ යැම මේ සීමාවේ තබා ගත යුතු ය. පසුගිය දා අවසන් වූ කෝපන්හේගන් සමුළුවේ දී රටවල් පොරොන්දු වූයේ ද එයයි. එහෙත් මේ දක්‌වා හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ ඉලක්‌ක ප්‍රකාශයට පත් කර ඇති රටවල් 60ක පොරොන්දු අනුව උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකේ සීමාවේ තබා ගැනීම අපහසු විය හැකි බව එක්‌සත්ජාතීන් ගේ පරිසර වැඩසටහන මඟින් නිකුත් කරන ලද හරිතාගාර වායු විමෝචන ආකෘතියක්‌ පසුගිය දා පෙන්වා දුන්නේ ය.

පර්යේෂණ ආයතන නවයක්‌ මගින් සකස්‌ කරන ලද මේ දේශගුණ ආකෘතිය අනුව ලෝකයේ හරිතාගාර වායු සාන්ද්‍රණය 2015-2021 වර්ෂ අතර දී එහි උපරිම අගයට ළඟා විය යුතු ය. මේ තත්ත්වයේ තිබිය දී හරිතාගාර වායු විමෝචන 2020 දී හා 2050 දී සියයට 48 හා 72 අතර ප්‍රමාණයකින් අඩු කළ ද සෙල්සියස්‌ අංශක දෙකේ සීමාව ඉක්‌මවා යැමට 50-50 අවස්‌ථාවක්‌ තිබේ. පවත්නා තත්ත්වය අනුව පෙනෙන්නේ 2020 වර්ෂයේ දී හරිතාගාර වායු ප්‍රමාණය ද අපේක්‌ෂිත සීමාව ඉක්‌මවා යන බව ය.

මේ අනුව සෙල්සියස්‌ අංශක දෙකේ සීමාව තුළ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම නැවැත්වීමට නම් ලෝකයේ සියලු රටවල් වැඩි කාර්යභාරයක්‌ ඉටු කළ යුතු ව තිබේ. අපට තවමත් පෙනෙන්නට නැත්තේ ද මේ ප්‍රවණතාවයි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්