Friday, June 18, 2010

අවුරැදු 20 කින් මිලියන 5 සොයන්න

නෙට් එකේ ඇඩ් ක්ලික් කරලානම් නොවේ. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙයි. මෙන්න ක්‍රමය-

දැනට විශාල ඉල්ලුමක්‌ පවතින දැව විශේෂයක්‌ වන තේක්‌ක ගසට වැඩි ජන අවධානයක්‌ යොමු ව තිබේ. තේක්‌ක ගසක්‌ වවා ගැනීමෙන් ලැබෙන ආර්ථික වාසිය දන්නා බොහෝ දෙනෙක්‌ ඉඩ ඇති තැනක තේක්‌ක පැළයක්‌ දෙකක්‌ වවා ගන්නට උනන්දු වෙති. එහෙත් තේක්‌ක ගස වවා ගන්නා පිළිවෙළක්‌ තිබේ. එසේ නො කළ හොත් අපේක්‍ෂා කරන ප්‍රතිඵල නො ලැබේ. එම පාලනය දැනගෙන ඒ අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.

තේක්‌ක ගස (Verbenaceae) වර්බේනේසියේ ශාක කුලයට අයත් ය. නිවර්තන කලාපීය හා උප නිවර්තන කලාපීය රටවල විශේෂයෙන් දැකගත හැකි ය. ප්‍රධාන වශයෙන් විශේෂ 03ක්‌ ලොව පුරා ව්‍යාප්ත ව ඇති බව සඳහන් වේ. ඒ විශේෂ පහත සඳහන් වේ.

Tectona grandis
Tectona hamiltoniana
Tectona philippinensis

ලෝකයේ වැඩි ම ඉල්ලුමක්‌ පවතින විශේෂය වන Tectona grandis සඳහා වැඩි ප්‍රසිද්ධියක්‌ පවතී. ආසියාවේ දකූණුදිග ප්‍රදේශයේ සහ දකුණු නැඟෙනහිර ආසියාතික රටවල ව්‍යාප්ත ව පවතී.

Tectona hamiltoniana විශේෂය බුරුම තේක්‌ක ලෙස හඳුන්වයි. මේ විශේෂය බුරුමයේ වියළි ප්‍රදේශවල ව්‍යාප්ත ව පවතී.

Tectona philippinensis විශේෂය පිලිපීනයේ මින්දනාවෝ සහ බටන්ගස්‌ යන දූපත්වල ව්‍යාප්ත ව පවතින විශේෂයක්‌ වේ.

තේක්‌ක බොහෝ රටවල ව්‍යාප්ත ව පවතින වන වගාවක්‌ ලෙස මේ වන විට පත් ව තිබීම විශේෂත්වයකි. බුරුමය, ඉන්දියාව, තායිලන්තය, ජාවා දූපත, ඉන්දුනීසියාව, ලාඕසය, නේපාලය, බංග්ලාදේශය, පකිස්‌තානය, මැලේසියාව, පිලිපීනය, වියට්‌නාමය, අප්‍රිකානු රටවල්, කැරිබියන් දූපත් සහ දකුණු හා මධ්‍යම ඇමෙරිකානු රටවල ද වගාව ව්‍යාප්ත ව පවතින බව සඳහන් වේ.

විවිධ දේශගුණ රටාවන් තුළ වගා කළ හැකි බෝගයක්‌ වීම තේක්‌ක වගාවේ ව්‍යාප්තියට හේතු වේ. වියළි දේශගුණය වඩාත් ප්‍රිය කරන බෝගයකි. සාමාන්‍ය උෂ්ණත්වය අංශක 32-44 යටතේ වගා වන බෝගයක්‌ වීම ද විශේෂත්වයකි. වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1000-1500 දක්‌වා පැවතීම ද වගාවට සෑහෙයි. අප රටේ ද වියළි හා අන්තර් මධ්‍යම කලාපීය ප්‍රදේශවල හොඳින් වගා කළ හැකි ය. පසෙහි පවතින සාරවත් බව මත ගසෙහි වර්ධනය වේගය ර¹ පවතී. ගැඹුරු ජලවහනය සහිත, සාරවත්, මැටි, වැලි ලෝම පස වඩාත් හිතකර ය. ච්‍ය අගය 6.6-7.5 අතර වන පස තේක්‌ක ගස හොඳින් වැඩීමට උපකාර වේ. ඉක්‌මන් වර්ධන වේගයක්‌ පවත්වා ගැනීම මේ වගාවේ දී ඉතා වැදගත් වේ.

තේක්‌ක ශාකය ආලෝකය ප්‍රිය කරයි. ඉතා පළල් වූ පත්‍ර හට ගනියි. පතනශීලී පත්‍ර සහිත ය. නොවැම්බර්, ජනවාරි මාසවල පත්‍ර හැළී තිබෙනු වගාවක පැහැදිලිව දැකිය හැකි ය. අප්‍රේල්, ජුනි මාසවල අලුත් පත්‍ර හට ගනී. පුෂ්ප හටගන්නා විට අලංකාරයක්‌ ගෙන දෙයි. කුඩා සුදු පාට පුෂ්ප මංජරි වශයෙන් ඇති වේ. ජුනි- අගෝස්‌තු දක්‌වා මේ පුෂ්ප හටගනී. මෙයින් හටගන්නා බීජ සිටුවීමට යොදාගනී. බීජවල ඝන බීජ ආවරණයක්‌ ඇති හෙයින් ස්‌වාභාවිකව ප්‍රරෝහණය වීම අඩු ය. තේක්‌ක බීජවලින් ලබාගන්නා පැළ සිටුවීමට යොදාගත හැකි ය. බීජ තවාන් කර පැළ ලබාගන්නා අතර හොඳ බීජ තෝරා පැළ කිරීමට යොදාගත යුතු ය. දුර්වල වූ බීජ ඉවත් කිරීමත්, බීජ ප්‍රතිකාර කිරීමත් අවශ්‍ය වේ.

තේක්‌ක බීජ පැළ කරන ක්‍රමය මෙසේ ය. මෝරන ලද තෝරාගත් තේක්‌ක බීජ දින 3ක්‌ ජලයේ පෙඟෙන්නට හැර ඉන්පසු ගොඩගෙන මඳ පවනේ තුනී කර තැබිය යුතු ය. මෙසේ දින 03ක්‌ තබා නැවතත් දින 2ක්‌ ජලයේ බහා තැබිය යුතු ය. ඉන්පසු නැවත ගොඩට ගෙන දින 2ක්‌ තුනී කර තබා නැවත දින 01ක්‌ ජලයේ පෙඟවීම අවශ්‍ය ය. ඉන්පසු නැවතත් දින 01ක්‌ එම බීජ මඳ පවනේ තුනී කර තැබීම අවශ්‍ය ය. සැම අවස්‌ථාවක ම ගොඩ ගන්නා බීජ මඳ පවනේ හොඳින් තුනී කිරීමට අවධානය යොමු කිරීම අවශ්‍ය ය. මේ ආකාරයට අවසාන දින වන විට දින 12ක්‌ ගත වී තිබේ. අවසාන වරට ගොඩ ගත් බීජ ගොඩගසා තෙත් ගෝනියකින් වසා දැමීම අවශ්‍ය ය. දිනපතා මේ ගෝනි තෙත් කළ යුතු වේ. දින 14ක්‌ ගත වන විට ප්‍රරෝහණය වූ බීජ දැකගත හැකි ය. පසේ ප්‍රරෝහණය වූ බීජ පමණක්‌ පාත්තිවල සිටුවීමට යොදාගත යුතු ය.

මේ බීජ පැළ මාස 6-8ක්‌ යන විට සෙ.මී. 15-60ක්‌ උසට වැඩෙයි. පොහොර මිශ්‍රණයක්‌ යෙදීම, වල් පැළෑටි මර්දනය, කෘමිනාශක යෙදීම ආදිය මඟින් පැළවල සාර්ථකභාවය වැඩි කළ හැකි ය. හොඳින් වැඩුණු පැළ (පැන්සලක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයට) පරෙස්‌සමෙන් ගලවා ගෙන ඉහළ අග්‍රස්‌ථ කොටස ඉවත් කළ යුතු ය. එසේ සූදානම් කරගත් මුල් කැබැලි වෙනත් පොලිතීන් බෑගයකට මාරු කර තවත් සති 2-6කට පසු සිටුවීමට යොදාගත යුතු ය.

තේක්‌ක මුල් කැබැලි සිටුවීමට ගන්නා විට වළවල් හෑරීමට අවශ්‍ය නො වේ. සෙ.මී. 20ක්‌ පමණ ගැඹුරට අලවංගුවකින් වළක්‌ හාරා තේක්‌ක මුල් කැබැල්ල අඟල් 1ක්‌ පමණ පොළොව මට්‌ටටම උඩින් සිටින ලෙසට එම වළෙහි තැන්පත් කර ඉන්පසු පස්‌ හොඳින් තද කර මුල සකස්‌ කර ගැනීම කළ යුතු ය.

තේක්‌ක වගාව ගොඩ ඉඩම්වල ද, ගෙවතුවල ද, වැට මායිම්වල ද, විශාල ඉඩම්වල වන වගාවක්‌ ලෙස ද සිදු කෙරෙයි. විවිධ පස්‌වල වගා කළ හැකි ය. බොහෝ විට අලුතින් කපා හෙළි කළ ඉඩම්වල ද, සරුවට තේක්‌ක ගස්‌ වැවී තිබෙනු දැකිය හැකි ය.

වාණිජ තේක්‌ක වගාවල දී අඩු පරතරයක්‌ ඇති ව පැළ සිටුවා පසුව තුනී කිරීම සඳහා වැඩිපුර ඇති ගස්‌ කපා ඉවත් කරයි. කුඩා පැළ වර්ධනයේ දී තරගකාරී තත්ත්වයක්‌ ඇති කිරීම මඟින් උසට කෙළින් වැඩුණු ගස්‌ ඇති කරගත හැකි ය. වාණිජ වගාවල දී පරතරය මීටර්

2 3/4 x 2 3/4 වන ලෙස තබාගනී. මේ පරතරය යටතේ හෙක්‌ටයාරයකට පැළ 1325ක්‌ පමණ අවශ්‍ය වේ. වැට මායිම්වල හෝ කුඩා ඉඩම්වල හෝ මීටර් 5න්5 පරතරය තබා සිටුවීම කරනු ලැබේ.

තේක්‌ක පැළ සිටුවා ඒවා නිසි පරිදි නඩත්තු කිරීම මඟින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි ය. පැළ වටා වල් පැළෑටිවලින් තොර ව තබා ගැනීම වැදගත් ය. පැළය වටේට මීටර් 1/2ක පමණ ප්‍රමාණයට කවාකාරව වල් නෙළා පිරිසිදුව තබා ගැනීම සුදුසු ය.
සුදුසු පොහොර මිශ්‍රණයක්‌ යෙදීම මඟින් පැළ සාර්ථකව වවා ගැනීමට පුළුවන. පැළ වටා පොහොර යොදා පස බුරුල් කරගත යුතු ය.

වගාවේ වැදගත් ම අංශය වන්නේ උසස්‌ දැව නිපදවා ගැනීමට හැකි වන පරිදි පවත්වා ගැනීම ය. කඳ මැදින් හා පහත ඇති අතු ඉවත් කර කඳ වටේ වැවෙන වෙනත් ශාක වැල් ආදිය තිබේ නම් ඒවා ද ඉවත් කිරීම අවශ්‍ය ය. තේක්‌ක ශාකයකට සිදු වන පළිබෝධ හානි ලෙස පත්‍ර කා දමන කෘමීන්, වේයන් සහ කොක්‌වාපර් පණුවා හැඳින්විය හැකි ය. එහෙත් මේ හානි එතරම් හානිදායක ලෙස වාර්තා වී නැත.

තේක්‌ක දැව සඳහා තිබෙන්නේ විශාල ඉල්ලුමකි. කුඩා රවුම් දැව ලෙස අවුරුදු 15-20 වයස්‌ වූ විට ද, මේරූ දැව ලෙස අවුරුදු 30-40 වයස්‌ වූ විට ද තේක්‌ක ශාක කපා ගනු ලබයි. තේක්‌ක දැව ඉවත් කිරීමේ දී ශාක සියල්ල එකවර ඉවත් කරනු නො ලබයි. අවස්‌ථා 5ක දී පමණ ශාක තුනී කිරීම සාමාන්‍යයෙන් කරනු ලබයි. දේශගුණික තත්ත්වයන් සහ පාංශූ සාධක මත වර්ධන වේගය වෙනස්‌ වන හෙයින් ලබාගත හැකි දැව ප්‍රමාණයේ වෙනස්‌කම් ඇති විය හැකි ය. ප්‍රථම තුනී කිරීම මඟින් ඉවත් වන ගස්‌ වැට කණු, රවුම් දැව ආදියට යොදාගනී. ගසේ කඳෙහි විෂ්කම්භය අනුව දැවවල වටිනාකම වෙනස්‌ වේ. හෙක්‌ටයාර එකක ඉඩමකින් ලබාගත හැකි දැව ප්‍රමාණයට ලැබෙන ආදායම රුපියල් ලක්‍ෂ 25-60 දක්‌වා වන බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු වාර්තාවල සඳහන් වේ.

ඉතින් කොළඹින් පිට( අම්පාර මොනරාගල වැනි ප්‍රදේශ වලින් අක්කර තුන හතරක ඉඩම් කෑල්ලක් ලක්ෂකට දෙකකට ගන්න පුළුවන් වේවි.) අක්කර තුන හතරක ඉඩමක් අරන් තේක්ක දැම්මොත් නරකද?

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්