Sunday, November 7, 2010

ලබන මාර්තු මාසයේ සිට බාහිර ඔසුසල්වලින් ඖෂධ මිල දී ගැනීම සීමා කරනවා

ලබන වසරේ මාර්තු මාසයේ සිට රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රමාණයෙන් සියයට 99ක්‌ ම නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව මිල දී ගැනීමට කටයුතු කරන බවත් බාහිර ඔසුසල්වලින් ඖෂධ මිල දී ගත හැක්‌කේ ඉතා ම හදිසි අවස්‌ථාවක දී පමණක්‌ බවත් පසුගිය දිනක කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයක දී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය. මෙදින පැවැති, ප්‍රජනක සෞඛ්‍ය මාධ්‍යවේදීන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයේ දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා, "වෛද්‍ය සැපයුම් අංශය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව හා රජයේ රෝහල් විසින් බාහිර ඔසුසල් හරහා සිදු කරන හදිසි ඖෂධ මිල දී ගැනීම් ඒ කියන්නේ ප්‍රාදේශීය මිල දී ගැනීම් ලබන මාර්තු මාසයේ සිට සියයට 1 ක්‌ දක්‌වා අඩු වෙනවා. වසර 2008 රාජ්‍ය ඖෂධ සංස්‌ථාවේ වාර්ෂික විගණන වාර්තාවලට අනුව ටෙන්ඩර් පටිපාටිය යටතේ මිල දී ගන්නා ඖෂධ වර්ගවලට වඩා හදිසි ඖෂධ මිල දී ගැනීමට සිදු වී ඇති බැවින් සිදු වන මුදල් නාස්‌තිය අවම කිරීම සඳහා මිල දී ගැනීම් සීමා කිරීමට සිදු වී තිබෙනවා. රාජ්‍ය රෝහල්වලට වෛද්‍ය සැපයුම් අංශය හරහා නොමිලේ ඖෂධ සපයන බව පැවසුවත් බොහෝ රෝගීන්ට බාහිර ඔසුසල්වලින් අධික මිලක්‌ දී ඖෂධ ලබා ගැනීමට සිදු වී තිබෙනවා.
ශල්‍ය කර්මවලට අවශ්‍ය ද්‍රව්‍යත් මිල දී ගැනීමට සිදු වී තිබෙනවා. ඇතැම් නිලධාරීන් පෞද්ගලික අංශය සමග තිබෙන සම්බන්ධකම් අනුව බොහෝ ඖෂධ ගබඩාවල තිබුණත් බාහිර ඔසුසල්වලින් මිල දී ගන්න උත්සාහ කරනවා. මේ නිසා රාජ්‍ය මුදල් හා ඖෂධ අපතේ යැමක්‌ සිදු වනවා. වෛද්‍ය සැපයුම් අංශයටත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවටත් පසුගිය කාලේ රාජ්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර ව අධික මුදලක්‌ වැය කරමින් ඖෂධ මිල දී ගැනීම් සිදුකිරීමට මේ නිසා සිදු වී තිබෙනවා" යනුවෙන් පැවසී ය.

1 comment:

  1. මොනවා උනත් රටේ ඉන්න අසරණ රෝගීන්ට සෙතක් වෙනවා නම් හොඳයි.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්