Sunday, November 14, 2010

සාර්ථක ගුරුවරයෙක් නම්

සාර්ථක ගුරුවරයෙක්‌ කිසි ම විටක තම වෘත්තිය ගැන කලකිරීමකින් යුක්‌ත ව කටයුතු නො කරයි. වෘත්තිය පිළිබඳව ආශාවක්‌ ඇති කර ගනී. ඒ හේතුවෙන් ම තම හැකියාවන් ද වර්ධනය කරගනී. ඔහුට ලැබී ඇති පාසල, අවට පරිසරය, විදුහල්පති හා ගුරුමණ්‌ඩලය පිළිබඳව සෑහීමකට පත් වේ.

පන්ති කාමරයට ගිය පසු තම පෞද්ගලික ගැටලු හා ප්‍රශ්න අමතක කරයි. සිසුන් අතරට ගොස්‌ ප්‍රියජනකව වැඩ කටයුතු ඉටු කරමින් තෘප්තියෙන් යුක්‌තව කාලය ගත කරයි.

තමා ගේ දරුවන්ට දක්‌වන ආදරය, කරුණාව හා උනන්දුව ඒ හා සමානව ම අනෙකුත් සියලු ම දරුවන්ට දක්‌වයි.

ළමයා යනු ළමයෙකි. ඔහු තමා මෙන් වැඩිහිටියෙක්‌ නො වේ. ඒ නිසා ම ඔහු වනාහි නො දන්නෙකි. නො දන්නකු නිසා ම එක්‌තරා අන්දමකින් අසරණයෙකි. මේ බව වටහා ගන්නා ගුරුවරයා ඔහු දන්නා පුද්ගලයකු කිරීමට වෙහෙසෙයි. ඔහු ගෙන් වන වැරැදිවලට හේතුව මේ නො දන්නාකම බව තේරුම් ගනී.

ගුරුවරයා ගේ හොඳ ම විනිශ්චයකරුවන් වන්නේ ශිෂ්‍යයන් ය. අන් කිසිවකුට වත් ගුරුවරයකු පිළිබඳ නිවැරැදි විනිශ්චයක්‌ දිය නොහැකි ය. ඒ නිසා හොඳ ගුරුවරයා කිසි ම විටක සිසුන් ගෙන් ප්‍රතික්‍ෂේප නො වේ. පන්දුවට පහර දෙන ක්‍රිකට්‌ ක්‍රීඩකයා ගැන ක්‍රීඩාලෝලීන් ගේ අවධානය යොමු වන්නේ ඔහු කඩුල්ලේ රැඳී සිටින තෙක්‌ පමණි. ගුරුවරයා ගේ වටිනාකම ද රඳා පවතින්නේ ඔහු සිසුන් ගෙන් ප්‍රතික්‍ෂ්ප නො වී සිටින තෙක්‌ පමණි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්