Sunday, August 7, 2011

ටෙස්‌ට්‌ ලෝක කුසලානට කැන්ගරුවන්ද? සිංහයන්ද?


එදා ඔස්‌ටේ්‍රලියාවට මුරලි අමාරුකාරයෙක්‌ වූවා සේම ශ්‍රී ලංකාවට ෂේන් වෝන් අමාරුකාරයෙක්‌ විය. එබැවින් ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර සටන බොහෝ විට මුරලි සහ වෝන් අතර සටනක්‌ බවට පත්විය. ඒ මීට සත්වසරකට පෙර ඔස්‌ටේ්‍රලියාව ශ්‍රී ලංකාවේ සංචාරය කරන විටය.

නවතම ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්

1. ඉන්දියාව 125

2. ද.අප්‍රිකාව 118

3. එංගලන්තය 117

4. ශ්‍රී ලංකාව 108

5. ඔස්‌ටේ්‍රලියාව 100

6. පාකිස්‌තානය 93
7. බ.ඉ.කොදෙව් 89
8. නවසීලන්තය 78
9. බංග්ලාදේශය 13

නමුත් මෙවර කණ්‌ඩායම් දෙක අතර පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලිය හුදෙක්‌ ලෝක ක්‍රිකට්‌ ශූරතාව සඳහා සුදුසුකම් ලැබීමේ සටනක්‌ බවට නිර්මාණය වී තිබීම එදා මෙන් අදත් ඔස්‌ටේ්‍රලියා-ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තරගාවලියේ උණුසුම වැඩිකරවන්නක්‌ බවට පත්ව තිබේ.

දින 53 ක්‌ තුළ පැවැත්වෙන 20-20 තරග දෙක, එක්‌දින තරග පහ සහ ත්‍රිත්ව ටෙස්‌ට්‌ තරග මාලාව දෙරට අතර එක්‌ සංචාරයකදී පැවැත්වෙන වැඩිම තරග සංඛ්‍යාව ලෙස මෙවර ඉතිහාසගතවීම තරගාවලියේ තියුණු බව තවදුරටත් තිව්‍ර කරවන්නක්‌ වී තිබේ.

මීට වසර දෙකකට ආසන්න කාලයක්‌ තුළ එක්‌දින සහ ටෙස්‌ට්‌ දෙංශයේම ඔටුනු දරා සිටි ඔස්‌ටේ්‍රලියාවේ ටෙස්‌ට්‌ ඔටුන්න මේ වන විට ගිලිගී ගොසිනි. එහි වත්මන් හිමිකරුවා ඉන්දියාවය. නමුත් එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල ඔස්‌ටේ්‍රලියාව තවමත් පෙරමුණේය. ශ්‍රී ලංකාව එක්‌දින සහ ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල පළමු සිව්දෙනා අතර සිටිමින් ඔස්‌ටේ්‍රලියාව සමග ගැටෙති. එක්‌දින තරගාවලිය සහ ටෙස්‌ට්‌ තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගතහොත් නියත වශයෙන් ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල සහ එක්‌දින ශ්‍රේණිගත කිරීම්වල ඉහළ නගිනු ඇත. ඔස්‌ටේ්‍රලියාව ටෙස්‌ට්‌ තරගාවලිය පරාජය වුවහොත් පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ලෝක කුසලාන නියෝජනය කිරීමේ අවස්‌ථාව මග හැරී යනු ඇත. ලොව පළමු ටෙස්‌ට්‌ තරගය ක්‍රීඩා කළ ඔස්‌ටේ්‍රලියාවට පළමු ටෙස්‌ට්‌ ලෝක කුසලානයෙන් ඉවත්වීම යනු එරට ක්‍රිකට්‌ ක්‍රීඩාවට එල්ල වන දරුණු කණේ පහරක්‌ බඳුය. එසේම ලොව ටෙස්‌ට්‌ වරම් ලැබූ 8 වැනි රට වන ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබන පළමු කණ්‌ඩායම් හතරට එක්‌වීම ශ්‍රී ලංකාව ලද විශාල ජයග්‍රහණයක්‌ බව වටහා ගනිමින් ඔස්‌ටේ්‍රලියාව පරාජය කිරීමට වගබලා ගතයුතු වේ.

ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන්ට නායකත්වයේ ඔටුන්න රැක ගැනීමත් ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක්‌ සම්පූර්ණ තරගාවලියකදී ඔස්‌ටේ්‍රලියාව මෙහෙයවන අයුරුත් මෙවර තරගාවලියේ තවත් වැදගත් පැතිකඩක්‌ ලෙස හැදින්විය හැකිය.

ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ නිත්‍ය නායක මයිකල් ක්‌ලාක්‌ ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර එරට මාධ්‍යට පවසා සිටියේ, "අපිට ටෙස්‌ට්‌ ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව ටෙස්‌ට්‌ තරගාවලියෙන් පරාජය කළ යුතුයි. අපි ඒ සඳහා මාස දෙකක්‌ කණ්‌ඩායමක්‌ ලෙස හොඳින් පුහුණුවීම් කළා. සාකච්ඡා කළා. අනතුරුව අපි දකුණු අප්‍රිකාවත් පරාජය කරමින් ටෙස්‌ට්‌ ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමට බලාපොරොත්තු වනවා. නමුත් ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන බව මතක තබාගෙන තමයි අපි ක්‍රීඩාකරන්නේ." යනුවෙනි.

2013 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ටෙස්‌ට්‌ ලෝක කුසලාන තරගාවලියට සහභාගි විය හැක්‌කේ මෙම දෙසැම්බර් 31 වැනිදාට පෙර ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්‌ඩායම් 4 ට පමණක්‌ වීම මත ඔස්‌ටේ්‍රලියාව මෙවර ශ්‍රී ලංකාව සමග ටෙස්‌ට්‌ ජයග්‍රහණයක්‌ අපේක්‍ෂාවෙන්ම තරග වැදීම ඔස්‌ටේ්‍රලියාවට අමතර පීඩනයක්‌ වන අතර ශ්‍රී ලංකාව අදාළ අභියෝගයට මුහුණදීම සඳහා නව පුහුණුකරුවකු සමග ඉකුත් සති දෙකක පමණ කාලයක සිට අදාළ ඉලක්‌කය වෙනුවෙන් පුහුණුවීම් ආරම්භ කළේය. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඩිල්ෂාන් පවසන්නේ, "අපේ නව පුහුණුකරු රොමේෂ් අයිය සමග වැඩ කිරීම හරිම පහසුයි. අපි ඔහුගෙන් විදෙස්‌ පුහුණුකරුවන්ගෙන් නොදැකපු විශේෂත්වයක්‌ කෙටි කාලයකදී දැක්‌කා. එංගලන්ත සංචාරයේදී ලබාගත් හොඳ දේවල් සමග අපි මෙවර ඔස්‌ටේ්‍රලියාව පරාජය කිරීමට බලාපොරොත්තු වෙනවා" යනුවෙනි.

ශ්‍රී ලංකාවේ දඟ පන්දු යෑවීම ඔස්‌ටේ්‍රලියාවට ඇති ප්‍රබල අභියෝග වන අතර ඒ පිළිබඳව හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු ට්‍රෙවර් බේලීස්‌ ඔස්‌ටේ්‍රලියානු මාධ්‍යට පවසා සිටියේ අජන්ත මෙන්ඩිස්‌, රංගන හේරත් සහ සුරාඡ් රන්දිව් ගේ පන්දුවලින් බේරීමට ඔස්‌ටේ්‍රලියා පිතිකරුවන් සැලසුම් සකස්‌ කළ යුතු බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රබල පිතිකරුවන් වන සංගක්‌කාර සහ මහේල මෙල්ල කිරීමට නම් හොඳින් පන්දුව දෝලනය කිරීම සහ බවුන්සර් පන්දු යෑවීම වැදගත් බවත් මහේල සහ සංගක්‌කාර ඉක්‌මණින් දවා ගැනීමෙන් සමස්‌ත කණ්‌ඩායම අමාරුවේ දැමිය හැකි බවත් බේලිස්‌ වැඩිදුරටත් පවසා තිබේ.

ඔස්‌ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට්‌ ඉතිහාසයේ පවත්වා ඇති එක්‌දින තරග 73 ක්‌ අතරින් ඔස්‌ටේ්‍රලියාව ජයග්‍රහණය 47 ක්‌ ලබා ඇති අතර ශ්‍රී ලංකාව ජයග්‍රහණ 23 ක්‌ ලබා තිබේ. තරග දෙකක්‌ තීරණය රහිතව අවසන් වී ඇත. ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගි වූ එක්‌දින තරග 12 කදී ජයග්‍රහණ 6 ක්‌ සහ පරාද පහක්‌ ලබා ඇත. ඔස්‌ටේ්‍රලියාව අවසන් වරට සහභාගි වූ එක්‌දින තරග 17 කදී ජයග්‍රහණ 13 ක්‌ සහ පරාජයන් 3 ක්‌ ලබා තිබේ.

ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර මෙවර පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලිය දෙරට අතර පැවැත්වෙන 10 වැනි ටෙස්‌ට්‌ තරගාවලිය වන අතර මීට පෙර පැවැති තරගාවලි 9 ක්‌ අතරින් ඔස්‌ටේ්‍රලියාව තරගාවලි 8 ක්‌ ජය ගෙන ඇත. ශ්‍රී ලංකාව ඔස්‌ටේ්‍රලියාව හමුවේ ජයගෙන ඇත්තේ එක්‌ ටෙස්‌ට්‌ තරගාවලියක්‌ පමණක්‌ වන අතර එය 1999 වසරේ අර්ජුන රණතුංග ගේ නායකත්වය යටතේ ලබා තිබේ. දෙරට අතර පැවැති සමස්‌ත ටෙස්‌ට්‌ තරග 20 අතුරින් ඔස්‌ටේ්‍රලියාව ජයග්‍රහණ 13 ක්‌ සහ ශ්‍රී ලංකාව එක්‌ ටෙස්‌ට්‌ තරග ජයකට හිමිකම් කියයි.

ඉතිහාසය එසේ වුවද වත්මන් කණ්‌ඩායම් දෙක අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. මෙවර ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ රිකී පොන්ටින් හැරුණු විට අනිකුත් කිසිදු ක්‍රීඩකයකු ශ්‍රී ලංකාවේ ටෙස්‌ට්‌ ක්‍රීඩා කර නොතිබීම ඔස්‌ටේ්‍රලියාවේ පීඩනය කර කරවන්නක්‌ වී තිබේ.

රිකී පොන්ටින් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්‌ට්‌ තරග 12 කදී එක්‌ ශතකයක්‌ සහ අර්ධ ශතක 7 ක්‌ සමග ලකුණු 851 ක්‌ ලබා දෙරට අතර පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටී. මහේල ජයවර්ධන ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරග 10 කදී එක්‌ ශතකයක්‌ සහ එක්‌ අර්ධ ශතකයක්‌ සමග ලකුණු 581 ක්‌ ලබා ඇත.

2013 ටෙස්‌ට්‌ ලෝක කුසලාන තරගාවලියෙන් ඔස්‌ටේ්‍රලියාව ඉවත් කිරීමේ වගකීම ශ්‍රී ලංකාව සතුව ඇත. ටෙස්‌ට්‌ තරගාවලිය ජය ගැනීමට පෙර ශ්‍රී ලංකාව පියවරෙන් පියවර ඔස්‌ටේ්‍රලියාව පරාජය කළ යුතුය. එහිදී පළමුව 20-20 තරග දෙකත් අනතුරුව එක්‌දින තරගාවලියත් ජය ගැනීම ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌ තරගාවලිය ජය ගැනීමට මහත් රුකුලක්‌ වනු ඇත.

4 comments:

කියන්න, බනින්න, ඔබේ අදහස්