Monday, May 28, 2012

ක්‍රිකට්‌ ක්‍රිඩකයන්ගේ කට වසයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සමග කොන්ත්‍රාත්ගතව සිටින ක්‍රිඩකයන් හට අවසරයිකින් තොරව මාධ්‍ය හමුවේ අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතියටද මුඛවාඩම් දැමීමටද එම බලධාරීන් කටයුතු කර තිබීම ඒ අතර සුවිශේෂී වේ.

ක්‍රිකට්‌ ආයතනය ප්‍රකාශ කරන ආකාරයට මින් ඉදිරියට කණ්‌ඩායම් නාකයා, පුහුණුකරුවා හෝ ක්‍රීඩකයකු මාධ්‍ය හමුවේ පෙනී සිටින්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ අතිරේක ප්‍රධාන විධායක නිලධාරියා වන අජිත් ජයසේකරගෙන් අවසර ලබාගත යුතු තත්ත්වයක්‌ මේ වන විට පවතින බව වාර්තා වේ.


මෙවැනි තහංචි දැමීමක්‌ ඉකුත් කාලයේ නොතිබූ අතර එයද අසාධාරණ මෙන්ම අනවශ්‍ය මුඛ වාඩම් දැමීමක්‌ බව එම ක්‍රීඩකයෝ සඳහන් කර සිටියහ.


2011 වසරේ විස්‌ඩන් ක්‍රීඩකයා ලෙස කුමාර් සංගක්‌කාර නම් කළද ඔහු සමගින් සම්මුඛ සාකච්ඡාවක්‌ ලබා ගැනීම සඳහා අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මීට පෙර පියවර ගත්තේය.


ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර අත්සන් තැබීමට නියමිත කොන්ත්‍රාත්තුවෙහි විනිවිදභාවය සම්බන්ධ ගැටලූ පැන නැගීම මත එය අත්සන් කිරීමද මේ දක්‌වා ප්‍රමාද වී තිබේ. ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ගේ සංගමය ක්‍රිකට්‌ ආයතනයෙන් මේ වන විටත් ප්‍රශ්න කර තිබෙන බව දැන ගන්නට ලැබී තිබේ.


මෙම කොන්ත්‍රාත්තුව සම්බන්ධව තම අප්‍රසාදය පළ කළ වේග පන්දු යවන ලසිත් මාලිංග කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ඉකුත්දා ප්‍රතික්‍ෂේප කළේය. මාලිංග සමග අනුගතව යමින් තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද එය ප්‍රතික්‍ෂ්ප කිරීමේ සූදානමක සිටින බවද වාර්තා වේ.


එසේ ප්‍රතික්‍ෂේප කරන ලබන ක්‍රීඩකයන් වෙතොත් ඔවුන්ට ව්‍යායාම් කිරීම වෙනුවෙන් පාලක මණ්‌ඩලය සතු කායවර්ධනාගාරය, රක්‍ෂණාවරණය මෙන්ම භෞත චිකිත්සකවරයාගෙන් ප්‍රතිකාර ගැනීමද තහනම් කිරීමට ක්‍රිකට්‌ ආයතනය බලාපොරොත්තුවෙන් පසුවන බව වාර්තා වේ. මෙය පිටුපස ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ඉහළම බලධාරියාත් සිටින බව සඳහන්ය.


මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි එම ක්‍රීඩකයන් පිරිස, "අපි සල්ලිවලට පෙරේතයි කියලා ගොඩක්‌ අය අපිට චෝදනා කරනවා. එහෙම නම් අපි අවුරුද්දකට වඩා වැඩි කාලයක්‌ සල්ලි නැතුව ක්‍රීඩා කළා. අපි ඒ සම්බන්ධව කිසිවක්‌ කතා කළේ නැහැ. ඒවා ගැන අපි ලෝකයාට කියන්න ගියෙත් නැහැ. එහෙම කරලත් අපිට විරුද්ධව මේ වගේ දේවල් කිරීම කිසි විටෙකින්වත් අනුමත කරන්න බැහැ" යනුවෙන් සඳහන් කර සිටියේය
.
 

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්