Saturday, July 21, 2012

ඉන්දීයාව සමග පලමු එක්‌දින තරගය අද හම්බන්තොටදී

සංචාරක ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායම සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක තරග 5 කින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ සමාරම්භක තරගය අද (21 දා) හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා/රාත්‍රී තරගයක්‌ වශයෙන් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත.

වත්මන් ලෝක ශූරයන් වන ඉන්දීය කණ්‌ඩායම මාස එකහමාරකට අධික කාලයක්‌ විවේකීව ගත කරමින් මෙම තරගාවලියට අවතීර්ණ වුවත්, තමන් ශූරතාව දිනූ තරගාවලියේ අනුශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකාවට එරෙහිව වන තරගාවලිය ජයග්‍රාහීව අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්දීය කණ්‌ඩායම අද තරග බිමට පිවිසෙනු ඇත.

පාකිස්‌තානය සමගින් ඉකුත්දා අවසන් වුණු එක්‌දින සහ ටෙස්‌ට්‌ තරගාවලි දෙකෙහි ජයග්‍රහණ වාර්තා කරමින් උපරිම දස්‌කම් අතරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්වී සිටියත්, පාකිස්‌තානු කණ්‌ඩායමේ ක්‍රීඩකයන් සහ ඉන්දීය කණ්‌ඩායමේ ක්‍රීඩකයන් සංසන්දනය කිරීමේදී ඉන්දීය ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා ගවු ගණනක්‌ ඉදිරියෙන් පසුවීම මත මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට කිසි සේත්ම පහසු එකක්‌ නොවනු ඇත.

ඉන්දීය කණ්‌ඩායම ඉකුත් මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියෙන් පසුව ක්‍රීඩා කරන ලද්දේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වන අතර එම තරගාවලියෙන් අනතුරුව ගතවූ මාස 2 කට ආසන්න කාලයේදී ඔවුන් එකම හෝ එක්‌දින තරගයට ක්‍රීඩා කර නොමැත. පන්දුවාර 20-20 තරගවල රිද්මයට වඩා එක්‌දින තරග රිද්මය තරමක්‌ වෙනසක්‌ ගනු ලබන බැවින් එම තත්ත්වය ශ්‍රී ලංකාවට වාසි සහගත තත්ත්වයක්‌ ලෙස සඳහන් කළ හැක. එමෙන්ම අද තරගය පැවැත්වෙන මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ඉන්දීය කණ්‌ඩායම එකම තරගයකට හෝ ක්‍රීඩා නොකර තිබීමද ශ්‍රී ලංකාවට හිමිවන තවත් අතිරේක වාසියකි.

එම තත්ත්වය පිළිබඳව ඊයේ හම්බන්තොටදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස්‌ දක්‌වා සිටි ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි, අත්දැකීම් නොමැති සූරියවැව පිටියේ පන්දුq යෑවීමට වඩා පන්දුවට පහර දීම සහ පන්දු රැකීම පිළිබඳව අවධානය යොමු කිරීම වඩාත් යෝග්‍ය බවයි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි ඉන්දීය නායකයා, 'මෙහි පුහුණුවීම් වලදී දැක්‌ක දෙයක්‌ තමයි වැඩියෙන් සුළං සහිත තත්ත්වයක්‌ පැවැතීම. සමහර විට එය තීරණාත්මක සාධකයක්‌ බවට පත්වන්නට පුලුවන්. එහෙත් එහි වැඩි බලපෑම පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ට බලපාන බැවින් පිතිකරුවන් වැඩි පුහුණුවක්‌ ලබා ගත යුතුයි'.

'එමෙන්ම මෙය විශාල ක්‍රීඩා පිටියක්‌ නිසා පන්දු රකින්නන් පන්දු රකින ස්‌ථාන පිළිබඳව හොඳින් අවධානය යොමු කර සිටීම ඉතාම වැදගත්. එහෙම නොවුණොත් ලකුණු 2-3 වැඩි වශයෙන් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන්ට හැකියාව තිබෙනවා. එවැනි දේවල් නතර කිරීම එක්‌දින තරගයකදී ඉතා වැදගත් යනුවෙන් ' වශයෙනි.

මෙහිදී අද තරගයට ක්‍රීඩා කරන සංයුතිය පිළිබඳවද විමසීමේදී අදහස්‌ දක්‌වා සිටි දෝනි, ශ්‍රී ලංකාව වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයන් පසුවන කණ්‌ඩායමක්‌ සමග ක්‍රීඩා කිරීමේදී කණ්‌ඩායම නම් කිරීම ඉතාමත් පරිස්‌සමින් කළ යුතු බවත්, එසේ නොවුණහොත් ඒ සුළු ඉඩකදී පවා වාසි ගැනීමේ හැකියාව ඔවුන් සතු වන බවද සඳහන් කර සිටියේය.

'අද තරගයට ඉර්පන් පතන්ව ක්‍රීඩා කෙරෙව්වොත් විශේෂඥ පන්දු යවන්නන් පස්‌ දෙනෙකු සමගින් ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙනවා. එහෙම නැතුව විශේෂඥ පන්දු යවන්නන් සිව් දෙනෙකු සමග තරගයට අවතීර්ණ වුණොත් කෝලි, රයිනා සහ රෝහිත් ෂර්මා වැනි අයටත් අතුරු පන්දු යවන්නන් හැටියට කටයුතු කරන්න සිදුවෙනවා. එහෙම වුණොත් තත්ත්වය ටිකක්‌ වෙනස්‌ වෙනවා. මොකද ශ්‍රී ලංකාව වගේ අත්දැකීම් සපිරි කණ්‌ඩායමක්‌ එක්‌ක ක්‍රීඩා කරන කොට ඔවුන් අපි යොදා ගනු ලබන පස්‌වැනි අතුරු පන්දු යවන්නාගෙන් වැඩි වාසි ලබා ගන්න උත්සාහ දරනවා. එහෙම දේවල් පසුගිය කාලයේදීත් සිදුවෙලා තියෙනවා. ඒ නිසා අපි කණ්‌ඩායමේ සංයුතිය තෝරද්දී ඒ පිළිබඳව වැඩියෙන් පරෙස්‌සම් විය යුතුයි' වශයෙන් පැවැසීය.

අද තරගය පිළිබඳව අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා නායකයා, ඉන්දීය කණ්‌ඩායමට මෙම ක්‍රීඩාංගණය නැවුම් අත්දැකීමක්‌ වීම තරමක වාසියක්‌ වන නමුත්, ඉන්දීය කණ්‌ඩායමේ සමස්‌ථයක්‌ ගත් විට ඔවුන්ව පැරදවීම අසීරු කාර්යක්‌ බව සඳහන් කර සිටියේය.

'ඔවුන් මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන්නේ පළමු වතාවට. මේ තණතීරුවලට පුළුවන් තරම් ඉක්‌මනට හැඩ ගැහෙන්න ඔවුන් උත්සාහ දරයි. නමුත් අපි බලන්න ඕන උපරිම ශක්‌තියක්‌ යොදලා කණ්‌ඩායමක්‌ විදියට සෙල්ලම් කරන්නේ කොහොමද කියන එක.' යනුවෙන් පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා නායකයා, 'අපි පාකිස්‌තානය සමග තරග කළා වගේ කරපු හොඳ දේවල් සියල්ල ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ කණ්‌ඩායමේ නවක ක්‍රීඩකයන් ගොඩක්‌ ඉන්නවා. අපි බලන්න ඕන ඔවුන්ටත් උපරිම අවස්‌ථාව ලබා දෙමින් මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න' යනුවෙන් පැවැසීය.

ඉන්දියාව සමගින් වන තරගාවලියට චාමර කපුගෙදරව සහ ඉසුරු උදානව නම් කර තිබුණද ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට ඔවුන් දෙදෙනා සහභාගිවී සිටීම මත තවමත් ඔවුන් කණ්‌ඩායමට එක්‌වී නොමැත.

පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක වී සිටින චාමර කපුගෙදරව කණ්‌ඩායමට නම් කර ඇත්තේ කෙසේද යන්න මාධ්‍යවේදීන් විසින් ශ්‍රී ලංකා නායකයාගෙන් ප්‍රශ්න කර සිටි අතර, ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමේ තරග සංචාරය පිළිබඳ සලකා බලමින් නොව දේශීය තරගාවලියේදී දක්‌වන ලද දක්‍ෂතා මෙන්ම ආසියානු කුසලාන තරගාවලියේ එක්‌ ඉනිමක රැස්‌ කරගන්නා ලද ලකුණු 60 පිළිබඳව සලකා බලමින් ඔහුට නැවතත් ජාතික කණ්‌ඩායමට පැමිණීමේ අවස්‌ථාව උදා වූ බව මහේලගේ පිළිතුරු විය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්