Thursday, September 27, 2012

අද ඩිල්ෂාන් මුණවීර වෙනුවට දග පන්දු යවන අකිල ධනංජය?

විස්‌සයි-20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ උද්වේගකර මෙන්ම තීරණාත්මක තරග වටය වන සුපිරි කණ්‌ඩායම් 8 අතර තරග වටය සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායම සහ නවසීලන්ත අතර තරගයෙන් අද (27 දා) මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ප.ව. 3.30 ට ආරම්භ වේ.

පළමු වටය යටතේ ශ්‍රී ලංකා කණ්‌ඩායම 'සී' කාණ්‌ඩයෙන්ද නවසීලන්ත කණ්‌ඩායම 'ඩී' කාණ්‌ඩයෙන්ද තරග කළ අතර එහිදී කණ්‌ඩායම් දෙකම පිළිවෙළින් දකුණු අප්‍රිකාව සහ පාකිස්‌තානය හමුවේ පරාජය ලැබූහ. එහෙත් සිම්බාබ්වේට සහ බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් අදාළ සුපිරි කණ්‌ඩායම් 8 තරග වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සමත්වූහ.

කණ්‌ඩායම් දෙකේ දක්‍ෂතා සංසන්දනය කිරීමේදී දෙපිළම කරට කර පසුවන කණ්‌ඩායම් දෙකක්‌ වුවත් අවසන් දින කිහිපයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමට වඩා පල්ලකැලේ තණතීරුවේ ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව නවසීලන්ත කණ්‌ඩායමට හිමිවීම ඔවුන්ට අද තරගයේදී හිමිවන අතිරේක වාසියක්‌ වේ.

අදාළ සුපිරි කණ්‌ඩායම් 8 තරග වටයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම මහනුවරට පැමිණියේ මීට දින 3 කට පෙරදී වුවත්, එහිදී එකම දිනයක්‌ හෝ පල්ලකැලේ තණතීරුවේදී පුහුණුවීම් කිරීමට නොලැබීම විශේෂත්වයක්‌ විය. සත්කාරක රට ලෙසින් මෙම තරගාවලියට අවතීර්ණ වුවද ශ්‍රී ලංකා කණ්‌ඩාමට අද තරගයට පෙර ඊයේ පැවැති අවසන් පුහුණු සැසියටද සහභාගිවූයේ මහනුවර අස්‌ගිරිය ක්‍රීඩාංගණයේදී ය.

මෙම තත්ත්වය මත කුමක්‌ද යන්න ශ්‍රී ලංකා කණ්‌ඩායම් සංයුතිය පිළිබඳ තීරණය බැරෑරුම්ම කරුණ බවට පත්වී තිබිණ. මේ පිළිබඳව ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනගෙන් 'දිවයින' කරන ලද කරුණු විමසීමකදී තවමත් තණතීරුව නිරීක්‍ෂණය කිරීමට අවස්‌ථාව නොලද හෙයින් ඒ පිළිබඳව නිශ්චිත යමක්‌ පැවැසීමට නොහැකි බව සඳහන් කර සිටියේය.

ජාත්‍යන්තර විස්‌සයි - 20 වර්ගීකරණයේ නවසීලන්ත කණ්‌ඩායමට (හයවැනි ස්‌ථානයේ) වඩා ඉදිරියෙන් ශ්‍රී ලංකා කණ්‌ඩායම පසුවුවද (සිව්වැනි ස්‌ථානයේ) මෙවැනි කෙටි අංශයේ තරගවලදී දිනයේ අවම වැරදි කරන කණ්‌ඩායමට තරගය ජය ගැනීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතිනු ඇත. එමෙන්ම සුපිරි කණ්‌ඩායම් 8 අතර තරග වටයේදී තරග වදිනු ලබන්නේ දක්‍ෂතා අතින් ඉහළ කණ්‌ඩායම් බැවින් අද තරගය ජය ගනිමින් මෙම තරග වටයට ජයග්‍රාහීව සේන්දුවීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇත.

ඊයේ පැවැති පුහුණුවීම්වලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆොඩ්, පෙර තරග දෙකට සහභාගිවුණු කණ්‌ඩායමට සාපේක්‍ෂව අද තරගයේදී කණ්‌ඩායමේ වෙනසක්‌ විය හැකි බව සඳහන් කර සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගිවුණු පළමු තරග 2 දී ක්‍රීඩා කරන ලද ඩිල්ෂාන් මුණවීරට අද තරගයේදී සිය ස්‌ථානය අහිමිවන ඇතැයි අනුමාන කළ හැක. නවසීලන්ත කණ්‌ඩායමේ පිතිකරුවන් සියලු දෙනාම ලකුණු අතර සිටීම මත අද තරගයේදී මුණවීරගේ ස්‌ථානය සඳහා බොහෝ විට තවත් පන්දු යවන්නකු එක්‌ කිරීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා පුහුණුකරු දැක්‌වූ අදහස්‌වලින් ඉඟි පළවිය. ඒ අනුව බොහෝ විට අද තරගයේදී දග පන්දු යවන අකිල ධනංජයට අවස්‌ථාව හිමිවනු ඇතැයි අපේක්‍ෂා කළ හැක.

ඇලපතේ ආබාධයකට මුහුණ දී සිටින දග පන්දු යවන අජන්ත මෙන්ඩිස්‌ ඊයේ දිනයේදී සිය පුහුණුවීම්වල නිරතව සිටිනු දක්‌නට ලැබුණු නමුත් ඔහුගේ ආබාධය ආශ්‍රිත ප්‍රදේශය වෙලුම් පටිවලින් වෙළා තිබෙනු දක්‌නට ලැබුණි. ඒ අනුව මෙන්ඩිස්‌ගේ සහභාගිත්වය කෙසේද යන්න ෆොඩ්ගෙන් කරන ලද විමසීමකදී, ඔහුගේ ආබාධය එතරම් දරුණු නොවන නමුත් අද තරගයට යෙදවීම පිළිබඳ තීරණය භෞත චිකිත්සකවරයාට යොමු කිරීමෙන් පසුව තීරණය කරන බව සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්‌ඩායම් මෙතෙක්‌ මුණ ගැසුණු 20-20 තරග 9 දී තරග 5 ක ජය නවසීලන්තය විසින්ද ශ්‍රී ලංකාව තරග 4 ක්‌ද ජයගෙන ඇත. එහෙත් එම අවස්‌ථා 9 තුළදී දෙපිලම 20-20 ලෝක කුසලාන තරගවලදී අවස්‌ථා 3 කදී මුණ ගැසී තිබෙන අතර එහිදී දෙවතාවක ජය ශ්‍රී ලංකාව අත්කර ගැනීමට සමත්ව තිබේ.

2 comments:

  1. මචන් ක්‍රීඩාව තියෙන්නේ කරන්න මිසක් ඒක දිහා වටවෙලා බලාගෙන ඉන්න නෙමේ. මම දන්නවා තොපිට ඕක දිහබලගෙන පොර ටෝක් දෙනකොට අගට තියන සනීපෙ. දිල්ෂාන් හරි මුණවීර හරි උගේ වැඩේ කරයි. උබ නිකන් පොලවට බරක් වෙන්නේ නැතුව උන්ව ආදර්ශෙට අරගෙන යමක් කරපන් මිනිස්සුන්ට හරි වැඩක් කරපන්. බොල් පොස්ට් ලියල අනිත් උන්වත් කලේ කන්න යොමු කරන්නේ නැතුව

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්