Tuesday, November 9, 2010

ඩෙංගු රෝගයට පැපොල් කොළ යුෂ දීම පිළිබඳව පර්යේෂණ කරනවා

ඩෙංගු රෝගය සඳහා පැපොල් ශාක පත්‍ර යුෂ ඖෂධයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ රෝගීන්ට දීමෙන් ඔවුන් සුව වූ බැව් මාධ්‍ය තුළින් ප්‍රචාරය වීමත් සමග විශ්වවිද්‍යාල මට්‌ටමෙන් මේ පිළිබඳව පර්යේෂණ කිරීමේ අදහසක්‌ තිබේ දැයි පේරාදෙනිය වෛද්‍ය පීඨයෙන් විදුසර කළ විමසීමක දී එහි කායික වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කායික රෝග පිළිබඳ මහාචාර්ය ඒ. එස්‌. එම්. කුලරත්න මහතා මෙසේ පැවසී ය.
"දැනට අන්තර්ජාතිකව සොයාගෙන ඇති අන්දමට පැපොල් කොළවල විෂ අන්තර්ගත බවක්‌ තහවුරු කරගෙන නැහැ. ඒ වගේම ඩෙංගු රෝගය සුව කිරීමට තරම් ඖෂධීය ගුණයක්‌ පිළිබඳව විද්‍යාත්මක දත්ත දක්‌නට ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් පැපොල් කොළ පිළිබඳව විශ්වවිද්‍යාල මට්‌ටමෙන් පර්යේෂණ කිරීමට පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්‌ෂ, රසායන විද්‍යා අධ්‍යයනංශයේ මහාචාර්ය රත්නකුමාර බණ්‌ඩා, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සිරිල් විඡේසුන්දර යන පර්යේෂකයන් ගෙන් යුත් කණ්‌ඩායමක්‌ කටයුතු කරමින් සිටිනවා. මේ පර්යේෂණය සෘජුව ම මිනිසුන් යොදාගෙන සිදු නො කෙරෙන අතර මීයන් යොදාගෙනයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙයින් ලැබෙන නිගමනය අනුවයි මිනිසුන් යොදාගන්නේ."

මෙහි දී ඩෙංගු රෝගය සඳහා පැපොල් ශාක පත්‍ර යුෂ ඖෂධයක්‌ ලෙස රෝගීන්ට ලබා දීම පිළිබඳව මහාචාර්ය වරයා ගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ පර්යේෂණයක්‌ සඳහා රෝහලක්‌ තුළ දී ඖෂධයක්‌ ලබා දීමට පෙර ලංකාවේ ඖෂධ අධිකාරියෙන් නිර්දේශ ලබාගත යුතු වන අතර මේ පර්යේෂණය සඳහා මූලික අදියර දැනට ක්‍රියාත්මක කර ඇතත් මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය ව ඇති බවත් ය.

1 comment:

  1. හොඳයි හොඳයි. පරීක්ෂන සාර්ථක උනොත් නියමයි

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්