Thursday, May 5, 2011

දත් පිරවුම් ගැන ඔබ දැනගන්නට කුතුහලයක්‌ දක්‌වන කරුණු....

විවිධ හේතු නිසා දත්වල කොටස්‌ කැඩී බිඳී යනවා. එහෙත් මෙවැනි අවස්‌ථාවක දී දත නො ගලවා පිරවුමක්‌ කර ගන්නට සමහරුන් කැමැතියි. දත පිරවීමෙන් අප බලාපොරොත්තු වන්නේ දතේ ක්‍රියාකාරීත්වය ශක්‌තිමත් කරලීම හා නියමිත හැඩයක්‌ ලබා දීමයි. මුහුණේ අලංකාරය රැක ගැනීමට ද දත් පිරවීම උපකාර වනවා. දතේ බාහිර දෘඪ පටක වන එනැමලය හා දන්තිනය පමණක්‌ දිරා ගොස්‌ ඇති විට කුහර පිරවීමට සාමාන්‍ය පිරවුම් ද්‍රව්‍ය භාවිත කළ හැකියි. එහෙත් දිරා යැම දන්ත කල්කය දක්‌වා පැතිර ඇත්නම් ස්‌නායු පිරවුම නමැති ක්‍රමය යොදා ගැනීම සිදු වනවා. විශාල කුහරවලටත්, තදින් දිරා ඇති නමුත් කල්ක කුහරය දක්‌වා විෂබීජ ගමන් නො කළ දත්වලටත් තාවකාලික පිරවුම් දමනු ලබනවා. එමගින් කරන්නේ විෂබීජ ක්‍රියාකාරීත්වය මැඬපවත්වා දත්වල කල්කය ආරක්‌ෂා කර ස්‌ථිර පිරවුමකට සූදානම් කරවීමයි.

දත් පිරවීමට විවිධ ද්‍රව්‍ය භාවිත කෙරෙනවා. බොහෝ විට මේවා වටිනා ලෝහ හා රෙසිනයි. රත්රන්, සිල්වර්, කොපර්, ටින්, ටයිටේනියම්, පැලේඩියම්, කෝබෝල්ට්‌, ක්‍රෝමියම් උදාහරණ ලෙස දැක්‌විය හැකියි. මර්කරි, ටින් හා කොපර් ඇතුළත් ඇමල්ගම් නම් ද්‍රව්‍යය දැනට අවුරුදු ගණනාවක සිට භාවිත වන ශක්‌තිමත් දත් පිරවුම් සංයෝගයක්‌. රෙසින වර්ගවලින් සමන්විත කොම්පොසිට්‌ නම් ද්‍රව්‍ය මුඛයේ අපට පෙනෙන දත් පිරවීමට බොහෝ විට යොදා ගන්නවා. එහි වැදගත්කම වන්නේ එම පිරවුම් දතෙහි වර්ණයෙන් ම නිම කළ හැකි වීමයි. වර්තමානයේ ඉදිරිපස දත් පිරවීම සඳහා හෝ සකස්‌ කිරීම සඳහා පෝසිලේන් ද යොදා ගැනෙනවා. මිල අධික වුවත් ඒවා දතේ ගුණාංගවලින් සපිරි බැවින් බොහෝ විට පිරවුම් කර ගන්නන් ඊට ප්‍රිය කරනවා.

දතෙහි දන්ත මස්‌තකය විශාල වශයෙන් විනාශ වී ඇත්නම් ඒ වෙනුවට කෘත්‍රිම දන්ත මස්‌තකයක්‌ සාදා සවි කර ගත හැකියි. හොඳ පිරවුමක්‌ නම් දතේ ජීවිත කාලය පවතින තාක්‌ පවතිනවා. කෙසේ වෙතත් යම් යම් හේතු නිසා වර්ණය වෙනස්‌ වීම, ක්‍රියාකාරීත්වය අඩු වීම ආදිය සිදු විය හැකියි. දත් පිරවුමට ඇතැම් අය බිය වන්නේ එමගින් ශරීරයට හානිකර දේ ඇතුළු විය හැකියි කියා. එහෙත් එලෙස වන්නේ නැහැ. දත් පිරවුමට ගන්නා ද්‍රව්‍ය කැඩී මුඛයෙන් ආහාර මාර්ගයට ඇතුළත් වුවත් හානියක්‌ වන්නේ නැහැ. පිරවුම් ද්‍රව්‍ය නිපදවන්නේ ඉතා ආරක්‌ෂාකාරී ලෙසයි.

ඉතා ම කලාතුරකින් අසාත්මිකතා නම් ඇති විය හැකියි. අපේ මුඛය කියන්නෙ ආහාර, බේටය, බැක්‌ටීරියා හා තවත් බොහෝ දේ ඇති අමුතු පරිසරයක්‌, මේවායින් පිරවුම් ද්‍රව්‍යවලට බලපෑම් ඇති විය හැකියි. දන්ත වෛද්‍යවරයකු ඔබට පිරවුමක්‌ කරගන්නට උපදෙස්‌ දෙනවා නම් ඒ වෛද්‍යවරයා ඔබ ගේ ශාරීරික ගැටලු ආසාත්මිකතා ආදිය ගැන ද ඔබෙන් විමසනු ඇති. එසේ ම ඔබට ඇති ශාරීරික ගැටලු ගැන වෛද්‍යවරයාට දැන්වීම ඔබ ගේ ද යුතුකමක්‌. සුදුසුකම් ලද වෛද්‍යවරයකු වෙතින් පිරවුමක්‌ කරගන්නට කිසිදු චකිතයක්‌ දැක්‌විය යුතු නැහැ.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ මෞඛ වෛද්‍ය හා
පරිදන්තී අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ඡේ. ඒ. එම්. එස්‌. ජයතිලක 

විදුසර පුවත් පතෙනි

1 comment:

  1. අය්යන්ඩි...
    යාලුවොන්ගෙ දත් ගලවන්න එප කියල අය්ය හදන්නේ අපේ කන බොන ආදයම් මාර්ගත් නැති කරන්නද???? :P

    එල එල දැනුමට අනර්ගයි.. එහෙමමද මන්දා....
    ජය වේවා...

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්