Tuesday, May 24, 2011

දෙවන පුහුණු තර‍ගයේ ජයත් ශ්‍රී ලංකාවට නුවන් ප්‍රදීප් හා දිල්හාර ප්‍රනාන්දු ගෙන් දස්කම්

යොවුන් වේග පන්දුයවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ දක්ෂ පන්දු යැවීම නිසා එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 38ක ජයක් වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ අනුව එංගලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට පෙර පැවති පුහුණු තරග දෙකෙන්ම ශ්‍රී ලංකාව ජය හිමිවිය.
එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමු ඉණිමට කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු 493ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 266ක්

රැස් කළේය.

අද තරගය ආරම්භ කරනවිට සිය දෙවැනි ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 392ක් ලබා සිටියේය.

පන්දුවාර 104යි පන්දු 4ක් අවසානයේදි ශ්‍රී ලංකාව දෙවැනි ඉණිමට සියලුදෙනා දැවී ලකුණු 448ක් රැස් කළේය.

නායක ටී.එම්.ඩිල්ෂාන් සහ තරංග පරණවිතාන පළමු කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 200කි.

ඩිල්ෂාන් ලකුණු 117ක් රැස් කළේය.

තරංග පරණවිතාන රැස් කළ ලකුණු සංඛ්‍යාව 125කි.

තිලාන් සමරවීර ලකුණු 74ක් ලබා ගත්තේය.



පන්දු යැවීමේදි ජේඩ් ඩර්න්බැට් පන්දුවාර 24යි පන්දු 4කදී ලකුණු 94කට කඩුලු 4ක් දවා ගත්තේය.

ස්ටීවන් ෆින් ලකුණු 90ට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරිමට පිටියට පිවිසි එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පළමු කඩුලු 8 ලකුණු 170ක් තුළ බිඳ වැටීම විශේෂත්වයකි.

පන්දු යැවීමේදි දිල්හාර ප්‍රනාන්දු පන්දුවාර 11කදී ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තේය.

නුවන් ප්‍රදීප් රොෂාන් පන්දුවාර 10කදී ලකුණු 29කට දවාගත් කඩුලු සංඛ‍්‍යාව 4කි. 


එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්‌ට්‌ තරගාවලිය තුළදී යවනු ලබන සෑම පන්දුවකම සියයට සියයක උපරිමය යෙදීම තමාගේ එකම පරමාර්ථය වන බව වේග පන්දු යවන දිල්හාර ප්‍රනාන්දු පවසයි.

එංගලන්ත ලයන්ස්‌ කණ්‌ඩායම සමගින් පෙරේදා (22 දා) අවසන් වුණු සිව්දින පුහුණු තරගයේදී දිල්හාර ප්‍රනාන්දු ලකුණු 33 කට කඩුලු 3 ක්‌ දවා ගනිමින් පන්දුවෙන් දස්‌කම් දැක්‌වීමට සමත්වූවේය. අදාළ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී දිල්හාර ඉහත අදහස්‌ පළ කර සිටියේය.

"මෙතෙක්‌ කලක්‌ මට තරගයක්‌ ක්‍රීඩා කරන්න ලැබුණේ ක්‍රීඩකයකු ආබාධයකට හෝ විවේක ගැන්වුවොත් පමණයි. නමුත් මේ තරගාවලියේදී එම තත්ත්වය වෙනස්‌ කර ගැනීමට හොඳ අවස්‌ථාවක්‌ මට ලැබිලා තියෙනවා. මේ වගේ අවස්‌ථාවක්‌ මට ආයිත් ලැබෙයි කියලා හිතන්න බැහැ. එම නිසා යවන හැම පන්දුවකම සියයට සියයක උපරිමය ලබාදීම තමයි මගේ බලාපොරොත්තුව. නමුත් මම දන්නේ නැහැ ඒකෙ ප්‍රතිඵලය මොකක්‌ වෙයිද කියලා" යනුවෙන් දිල්හාර පවසයි.

මෙම තරගයේදී පළමු ඉනිමේ ශතක ලාභී ඉයන් මෝගන්(04), රවී බොපාරා(29) සහ ඡේම්ස්‌ ටේලර්ගේ(11) කඩුලු 3 ම පන්දු 6 කදී දවා ගැනීමට දිල්හාර ප්‍රනාන්දු සමත්විය. අදාළ පන්දු යෑවීම මත ප්‍රධාන කොට අනපේක්‍ෂිත අයුරින් ලකුණු 38 ක තරග ජයක්‌ ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්‌ඩායමට හැකි විය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් වශයෙන් කටයුතු කළ චමින්ද වාස්‌ සහ ලසිත් මාලිංග දෙදෙනාම විශ්‍රාම ගැනීම මත ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙස දිල්හාර ප්‍රනාන්දු දැන් පත්ව සිටියි.

"අන්තිම වසර කිහිපය තුළදී මට කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයකු වීමට නොහැකි වුණා. මගේ තරග සහභාගිත්වය පිළිබඳව හොඳින් අධ්‍යයනය කළොත් මම තරගයට ක්‍රීඩා කරල තියෙන්නේ තරගාවලියකට එක්‌ තරගයක්‌ වගේ. නමුත් මේ තරගාවලියේදී ප්‍රධාන වේග පන්දු යවන්නා වශයෙන් පෙරමුණ ගැනීමට මට හැකි වෙලා තියෙනවා. ඒ පිළිබඳව මම අතිශයින් සතුටට පත්ව සිටිනවා" යනුවෙන් දිල්හාර පවසයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 35 කට ක්‍රීඩා කරමින් කඩුලු 90 ක්‌ බිඳ හෙළා ඇති දිල්හාර ප්‍රනාන්දු "පසුගිය වසර 2-3 ක කාලයේදී මට එක දිගට තරග වල ක්‍රීඩා කරන්න අවස්‌ථාව උදා වුණේ නැහැ. අද එක තරගයකට ක්‍රීඩා කළොත් ඊළඟ තරගයට ක්‍රීඩා කරන්න තව මාස එකහමාරක්‌ හෝ දෙකක්‌ බලාගෙන සිටින්නට වෙනවා. එමෙන්ම ලෝක කුසලාන තරගාවලියේදී කණ්‌ඩායමේ සිටියත් එකම තරගයකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව හිමි වුණේ නැහැ" යනුවෙන් සඳහන් කරයි. මෙහිදී වැඩිදුරටත් තරගවලට සහභාගිත්වය පිළිබඳව තක්‌සේරුවක්‌ ලබා දුන් හෙතෙම සඳහන් කර සිටියේ, අවසන් මාස 12 ක කාලය තුළ තමාට ක්‍රීඩා කිරීමට අවස්‌ථාව උදා වූයේ එක්‌දින තරග 7 කට පමණක්‌ බවත් එහිදී කඩුලු 11 ක්‌ බිඳ හෙළීමට තමාට හැකි වූ බවත් සඳහන් කර සිටියේය.

මෙවර ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පසුවන එකම අත්දැකීම් සපිරි වේග පන්දු යවන්නා වන්නේ දිල්හාර ප්‍රනාන්දුය. හෙතෙම 2002 වසරේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ එංගලන්ත සංචාරයේදී මෙන්ම 2009 වසරේ පැවැති ප්‍රාන්ත තරගාවලියේදී වෝක්‌ටර්ෂයර් ප්‍රාන්ත කණ්‌ඩායම නියෝජනය කරමින් එංගලන්ත තණතීරු පිළිබඳව වැඩිම දැනුමක්‌ ඇති වේග පන්දු යවන ක්‍රීඩකයා බවට පත්ව සිටියි.

මෙහිදී අවසන් වශයෙන් අදහස්‌ දැක්‌වූ දිල්හාර සඳහන් කර සිටින්නේ, පසුගිය කාලය තුළදී පන්දු යෑවීමේදී තමාගේ අතින් නිපන්දු වැඩි වශයෙන් යෑවුණු බවත්, එම තත්ත්වය මග හරවා ගැනීම වෙනුවෙන් උදව් කළ ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක මහතාට තමා ණය ගැති වන බවයි.

"ඇත්තෙන්ම නිපන්දු ප්‍රශ්නයෙන් ගොඩ එන්න වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක මහතා බොහෝ සෙයින් උදව් වුණා. ඔහු නිසා තමයි නිපන්දු ප්‍රශ්නෙන් ගොඩ ඒමට හැකි වුණේ. ඇත්තෙන්ම මම ඔහුට ණය ගැතියි" යනුවෙන් දිල්හාර ප්‍රනාන්දු අවසන් වශයෙන් අඅදහස්‌ දක්‌වා සිටියේය.

1 comment:

  1. ආරංචි නැද්ද? දිල්හාර දණහිසේ ආභාදයකට ලක්වෙලා. ඒ වෙනුවට මහරුෆ් කණ්ඩායමට කැඳවල

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්