Friday, June 10, 2011

සනත්, තිළිණ, ජීවන්, දිමුත්, සුරංග සහ දිනේෂ එංගලන්ත සංචාරයට කැදවුම් ලබති . එංගලන්තය සමග එක්දිනක් ගැටී සමුගන්නවා -සනත්

හිටපු ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරු සනත් ජයසූරිය එංගලන්තය සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට එක්‌කර ඇති අතර නම් කරන ලද කණ්‌ඩායමේ උපනායකත්වය සඳහා තිළිණ කණ්‌ඩම්බි පත්කර තිබේ.

එංගලන්තය සමග පැවැත්වෙන 20-20 තරගයට සහ එක්‌දින තරග පහට අමතරව ස්‌කොට්‌ලන්තය සමග පැවැත්වෙන එක්‌දින තරග දෙක සඳහා 16 දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. ඉකුත් ලෝක කුසලාන සංචිතයේ නොසිටි සනත් ජයසූරිය, තිළිණ කණ්‌ඩම්බි, ජීවන් මෙන්ඩිස්‌, දිමුත් කරුණාරත්න, සුරංග ලක්‌මාල් සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් අලුතින් කණ්‌ඩායමට එක්‌කර තිබෙන අතර රංගන හේරත්, චාමර සිල්වා, තිලාන් සමරවීර, චාමර කපුගෙදර සහ උපුල් තරංගට ස්‌ථානය අහිමිව තිබේ. උපුල් තරංගට එල්ල වී ඇති තහනම් උත්තේජක සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සංචිතයෙන් ඉවත් කොට ඇත.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ පළමු වරට උපනායකත්වය සඳහා නම් කර ඇති තිළිණ කණ්‌ඩායම්බි 2004 වසරේ එක්‌දින වරම් ලැබුවද මේ දක්‌වා සහභාගි වී ඇති ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 33 කි. එහිදී අර්ධ ශතකය පහක්‌ සමග ලකුණු 814 ක්‌ ලබා ඇති ඔහුගේ ඉනිමක සාමාන්‍ය 32.56 ක්‌ ලෙස සටහන් වේ. අවසන් වරට කණ්‌ඩම්බි එක්‌දින තරගයට සහභාගි වී ඇත්තේ ඉකුත් 2010 වසරේ ජුනි මාසයේදීය.

මෙම ජුනි 30 වැනිදා සිය 42 වැනි උපන්දිනය සමරන සනත් ජයසූරිය අවසන් වරට ජාත්‍යන්තර එක්‌දින තරගයට සහභාගි වී ඇත්තේ 2009 වසරේ දෙසැම්බර් මසදීය. ඔහු සහභාගි වූ අවසන් ඉනිම 10 තුළදී එක්‌ අර්ධ ශතකයක්‌ සමග ලකුණු 232 ක්‌ ලබා ඇති අතර එහි සාමාන්‍ය 23.2 ක්‌ව සටහන් වේ. ජයසූරිය කණ්‌ඩායමට නම් කළද දේශීය සහ දැන් ක්‍රියාත්මක එංගලන්ත ප්‍රාන්ත තරගවලදී තුන් ඉරියව්වෙන්ම දස්‌කම් දක්‌වන චමින්ද වාස්‌ට යළිත් ශ්‍රී ලංකා සංචිතයේ ස්‌ථානය හිමි නොවීම විශේෂත්වයකි. මෙය ජයසූරියගේ අවසන් ජාත්‍යන්තර එක්‌දින තරගාවලිය බවටද වාර්තා වෙයි.

ලෝක කුසලාන අවසන් මහ තරගයට පෙර ආබාධයකට ලක්‌වූ ඇන්ජලෝ මැතිව්ස්‌ද එක්‌දින සංචිතයට නම් කර ඇතත් ඔහු අවසන් දින කිහිපයේදී සම්පූර්ණ සුවය ලැබුවහොත් පමණක්‌ කණ්‌ඩායමට එක්‌ කිරීමට නියමිතය.

නම් කරන ලද ශ්‍රී ලංකා එක්‌දින සංචිතය

තිලකරත්න ඩිල්ෂාන් (නායක), තිළිණ කණ්‌ඩම්බි (උපනායක), මහේල ජයවර්ධන, කුමාර සංගක්‌කාර, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්‌, දිමුත් කරුණාරත්න, සනත් ජයසූරිය, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, සුරංග ලක්‌මාල්, දිල්හාර ප්‍රනාන්දු, සුරාඡ් රන්දිව්, අජන්ත මෙන්ඩිස්‌, ඇන්ජලෝ මැතිව්ස්‌ 


එංගලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළ බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20/20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සනත් ජයසූරිය ගේ නම යෝජනාවී තිබුණු අතර ඒ සඳහා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණි. 




0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්