Thursday, June 30, 2011

සහල් සහ පළිබෝධනාශකවල ආසනික්‌ තිබේ ද

ලංකාවේ පළිබෝධනාශක ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම, තත්ත්ව පාලනය සහ ආරක්ෂාකාරී භාවිතය පිළිබඳ වගකීම පැවරී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ සිටින පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා වෙත ය. 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලන පනත මගින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට වගකියන සේ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා වෙත එම බලය පවරා ඇත.

මේ දිනවල ලංකාවේ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති සහල් සහ පළිබෝධනාශකවල අධික විස සහිත මූලද්‍රව්‍යයක්‌ වන ආසනික්‌ අඩංගු වී තිබීම කැලණිය සහ රජරට විශ්වවිද්‍යාලයන්හි විද්වත් මඬුල්ලක්‌ විසින් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයකි. ඉන් කියවෙන්නේ රජරට ප්‍රදේශයේ ජනතාව ගොදුරු වී ඇති, හේතුව සොයා නො ගත් වකුගඩු රෝගයට හේතුකාරක වන්නේ වකුගඩුවල ආසනික්‌ තැන්පත් වීම බවයි. මේ සොයාගැනීමෙන් ධෛර්යවත් වූ විද්වත් පිරිස මිනිසුන් ගේ ශරීරයට ආසනික්‌ අධික ලෙස ඇතුඵ වන්නේ කෙසේ ද යන්න සොයා බැලීමේ දී ඔවුනට පසක්‌ වී ඇත්තේ රජරට ප්‍රදේශයේ වී වගාව සඳහා යොදවන ලද පළිබෝධනාශකවල අධික ලෙස ආසනික්‌ සහ රසදිය යන මූලද්‍රව්‍ය අඩංගු වන අතර එම පළිබෝධනාශක වී වගාවට භාවිත කිරීම නිසා පරිසරයට මුදාහැරෙනු ලබන ආසනික්‌ අධික ලෙස සහල් ඇටයේ තැන්පත් වන බව ය. එසේ ආසනික්‌ තැන්පත් වූ සහල් ආහාරයට ගන්නා ගොවීන් ඇතුළු රජරට ජනතාව වකුගඩු රෝග ව්‍යසයනයට ග්‍රහණය වන බව ඔවුන් පවසා තිබිණි.

රජරට හඳුනා නො ගත් වකුගඩු රෝගයේ හේතුකාරකය ලෙස මෑතක දී ඉදිරිපත් වූ පස්‌ වැනි සංකල්පය මෙය වේ. කෙසේ වුව ද පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ලෙස මා හට පැවරී ඇති වගකීම නොපිරිහෙලා ඉටු කළ යුතු බැවින් මේ චෝදනාවට භාජන වන පළිබෝධනාශක කවරේ ද, ඒවායේ ආසනික්‌ අඩංගු දැයි බැලීමට එම විද්වත් මණ්‌ඩලය විසින් යොදා ගනු ලැබු ක්‍රමවේදය කුමක්‌ ද, (ආසනික්‌ මැනීම සඳහා ක්‍රම කිහිපයක්‌ ඇත) ඒ සඳහා භාවිතා කරන ලද උපකරණයන්හි නිරවද්‍යභාවය ගැන දිය හැකි සහතිකය කවරේ ද? ආසනික්‌ අඩංගු පළිබෝධනාශකවල නියෑදි ලබාගත් ස්‌ථාන කවරේ ද? සහ එක්‌ එක්‌ පළිබෝධනාශකයේ තිබූ ආසනික්‌ ප්‍රමාණය කොපමණ ද යන කරුණු සඳහන් විද්‍යාත්මක වාර්තාවක්‌ මා වෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජෙනරාල්තුමාට පිටපත් සහිතව විද්වත් මණ්‌ඩලයේ සියලු ම සාමාජිකයන් හට ලිතව දන්වා සිටින ලදී. ඔවුන් චෝදනා කරන පරිදි ආසනික්‌ හා රසදිය කෘමිනාශකවල අඩංගු නම් එය ඉතා භයානක තත්ත්වයක්‌ බැවින් හැකි ඉක්‌මනිsන් පිළිතුරු ලබාගැනීම සඳහා මේ ලිත ඉල්ලීම ෆැක්‌ස්‌ මගින් ද ඔවුන් වෙත යොමු කරන ලද අතර, පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජික වෛද්‍ය ජයසුමන මහතා ගේ ජංගම දුරකථනයට අමතා ද මේ විස්‌තර හැකි ඉක්‌මනිsන් ලබා දෙන ලෙස දන්වා සිටින ලදී. එහෙත් මේ දක්‌වා එම ඉල්ලීමට කිසිවකු ප්‍රතිචාරයක්‌ දක්‌වා නොමැති බව කණගාටුවෙන් වුව ද ප්‍රකාශ කිරීමට සිදු වී ඇත.

එහෙත් වරින් වර වෛද්‍ය ජයසුමන මහතාට දුරකථනයෙන් අමතා කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක්‌ ලෙස පළිබෝධනාශක 28ක නම් ලැයිස්‌තුවක්‌ පමණක්‌ ඔහු විසින් මා වෙත ලබා දීමට කටයුතු කරන ලදී. මේ නම් ලැයිස්‌තුවේ ඇත්තේ ආසනික්‌ සහිත පළිබෝධනාශක විය හැකි බව උපකල්පනය කර පුවත්පත් ලිපියක ඔහු සඳහන් කර තිබු වකුගඩු රෝගය ඉතා බහුල ප්‍රදේශවලට අප කාර්යාලයේ නිලධාරීන් යවා පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ දක්‌වා ඇති ක්‍රමවේදයට අනුව එක්‌ පළිබෝධනාශකයකින් (එක්‌ ඇසුරුමක්‌ ගෙන) එයින් නියෑදි තුනක්‌ ලබා ගැනිණි. වෙළෙඳසල් පාලකයා ඉදිරියේ දී ගනු ලැබූ නියෑදි මුද්‍රා තබා ඉන් එකක්‌ වෙළෙඳසල් පාලකයාට තබා ගැනීම සඳහා ලිඛිතව භාර දී ඔහු ඉදිරියේ ම මුද්‍රා තැබූ අනෙක්‌ නියෑදි දෙක වැඩිදුර පරීක්‌ෂණය සඳහා පළිබෝධනාශක කාර්යාලය වෙත රැගෙන එන ලදී. මේ අයුරින් මා හට ලබා දුන් ලේඛනයේ සඳහන් පළිබෝධනාශක 28හි ම නියෑදිවලින් එකක්‌ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලයේ සුරක්‌ෂිතව තබා ඇති අතර, අනෙක්‌ නියෑදියේ ආසනික්‌ තිබේ දැයි විශ්ලේෂණය කර බැලීම සඳහා ලංකාවේ මෙන්ම විදේශ රටවලින් පවා තත්ත්ව සහතික ලබා ගෙන ඇති විද්‍යා හා තාක්‌ෂණ කටයුතු අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන පළිබෝධනාශක පනතට අනුකූලව උසාවියක්‌ මගින් පිළිගන්නා කාර්මික තාක්‌ෂණ ආයතනය වෙත ලබා දෙන ලදී.

කාර්මික තාක්‌ෂණ ආයතනයේ ප්‍රතිඵල ලබා දෙන තුරු මේ තත්ත්වය පිළිබඳව අදහස්‌ දැක්‌වීම පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලය විසින් නො කරන ලදී. මේ වන විට අදාළ ලැයිස්‌තුවේ සඳහන් වූ පළිබෝධනාශක 28න් 23ක විශ්ලේෂණ ප්‍රතිඵල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලබා දි ඇති අතර එම ප්‍රතිඵල ජනාධිපතිවරයා වෙත ද ලබා දී ඇත. පහත වගුවේ දැක්‌වෙනුයේ අප වෙත ලබා දි ඇති එම ප්‍රතිඵලයි.

වගුව 1හි දැක්‌වෙනුයේ අප වෙත ලබා දී ඇති එම ප්‍රතිඵලයි.

එම ප්‍රතිඵලවලට අනුව කාබොෆියුරාන් යන කමිනාශකයේ සහ ග්ලයිපොසේට්‌ යන වල්පැළෑටි නාශකයේ ඉතා සුළු ප්‍රමාණයකින් ආසනික්‌ අඩංගු බවට තහවුරු කර ඇත.

ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල පානීය ජලය ද ඇතුළුව අනෙකුත් පාරිභෝගික භාණ්‌ඩවල ආසනික්‌ මුලද්‍රව්‍ය අඩංගු විය හැකි උපරිම ප්‍රමාණයන් ඒ ඒ රටවල පාරිභෝගික භාණ්‌ඩ තත්ත්ව පාලන අධිකාරිය මගින් දක්‌වා ඇත. වගුව 2 හි දැක්‌වෙනුයේ ශ්‍රී ලංකාවේ ද්‍රව්‍ය කිහිපයක්‌ සඳහා ලබා දී ඇති ආසනික්‌ උපරිම මට්‌ටමයි.


අදාළ ලැයිස්‌තුවේ අඩංගු එකදු පළිබෝධනාශකයක්‌ සඳහා වත් එවන් උපරිම මට්‌ටමක්‌ ලංකාවේ හෝ ජාත්‍යන්තරව පිළිගත හැකි ආයතනයකින් ලබා දී නොමැත. එහෙත් අනෙකුත් පාරිභෝගික භාණ්‌ඩ (සෘජුව ආහාරයට ගන්නා) හා සසඳා බැලීමේ දී මේ කෘමිනාශක වල අඩංගු ආසනික්‌ ප්‍රමාණය ඉතා අඩු මට්‌ටමක පවතින බව ඔබට පසක්‌ වනවා ඇත.

රට තුළ පවත්නා තත්ත්වය සැලකිල්ලට ගෙන මා හට පනතින් ලබා දී ඇති බලතල අනුව දැනට කාර්මික තාක්‌ෂණ ආයතනයෙන් මා හට ලබා දී ඇති විශ්ලේෂණ වාර්තාවේ ආසනික්‌ ඇතැයි දැක්‌වෙන පළිබෝධනාශක දෙකට අදාළ වෙළෙඳනාමය සහිත නිෂ්පාදන 3ක්‌ ලංකාවට ආනයනය කිරිම ගෙන්වා ඇති තොග ලංකාව තුළ බෙදාහැරීම සහ විකිණිම නැවත දන්වන තුරු නවතා දමන ලෙස මා විසින් අදාළ ආයතනවලට නියෝග කරනු ලැබ ඇත.

මෙසේ නියෝග කිරීමට පෙර පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලයේ නිලධාරීන් එම සමාගම් ගබඩා පරීක්‌ෂා කර බලා ඒවායේ පවතින තොග ගණන් ගන්නා ලදි. අදාළ පළිබෝධනාශක වෙළෙඳපොළට නිකුත් නො කරන ලෙස මා මෙන්ම එම ආයතන විසින් ද එම ආයතනවල ශ්‍රී ලංකාවේ සියලු ම නියෝජිතයන් වෙත දන්වා ඇති අතර, දැනටමත් වෙළෙඳපොළ වෙත නිකුත් කර ඇති එම වර්ගයේ පළිබෝධනාශක නො විකුණන මෙන් පළිබෝධනාශක වෙළෙඳුන් වෙත ද දන්වා ඇත. ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක වෙළඳුන් මේ කාර්යාලයේ ලියාපදිංචි වි ඇති අතර, ඔවුන් අධීක්‌ෂණය සඳහා බලය ලත් නිලධාරීන් දිවයිනේ සැම ප්‍රදේශයකට ම කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජෙනරාල්වරයා විසින් පත් කරනු ලැබ ඇති බැවින් එම බලය ලත් නිලධාරින් මගින් වෛළඳාම වැළැක්‌වීමට කටයුතු සලසා ඇත.

පරීක්‌ෂණයට ලක්‌ කර ඇති මේ පළිබෝධනාශකවල අඩංගු වන ආසනික්‌ ප්‍රමාණය මිනිසාට හෝ පරිසරයට හෝ හානිදායක මට්‌ටමක පවතී දැයි මා හට නිගමනය කිරිමට බලයක්‌ නොමැති අතර, එවන් අවස්‌ථාවක දී පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට උපදෙස්‌ දීම සඳහා තාක්‌ෂණික හා උපදේශක කමිටුවක්‌ පළිබෝධනාශක පනතට අනුව පත් කර ඇත.

සාමාජිකයන් 15 දෙනකු ගෙන් යුක්‌ත වූ මේ කමිටුවේ සභාපති කෘෂිකර්ම අධ්‍යක්‌ෂ ජෙනරාල් වන අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, තේ, රබර්, පොල් පර්යේෂණ ආයතනයේහි අධ්‍යක්‌ෂවරුන්, රජයේ රසපරීක්‌ෂක ආදි නිල බලයෙන් පත් වන සාමාජිකයන් 10 දෙනකු සහ කෘෂිකර්ම ඇමැතිවරයා විසින් පත් කරනු ලබන ශ්‍රී ලංකාවේ පිළිගත්, කෘමිනාශක පරිහරණය පිළිබඳ හසල දැනුමක්‌ ඇති වෙළෙඳ සබඳතා නොමැති විද්වතුන් පස්‌ දෙනකු ගෙන් චද මේ කමිටුව සමන්විත වේ.

අදාළ සියලු ම කාමිනාශකවල විශ්ලේෂණ වාර්තාව පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා වෙත ලබා දුන් වහා ම එම වාර්තාව ඉහත සඳහන් කමිටුවට ලබා දී ආසනික්‌ සහිත කෘමිනාශක සඳහා ඉදිරියේ දී ගත යුතු පියවර ගැනීම පිළිsබඳව තාක්‌ෂණ කමිටුවේ උපදේශය අනුව පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ලෙසින් මම ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙමි.

ඉහත සඳහන් කරුණු ද සහිතව ආසනික්‌ කලබැගෑනියේ ඇත්ත නැත්ත ජනතාවට ලබා දීම සඳහා මා ද ඇතුළත් මාධ්‍ය සාකච්ඡාවක්‌ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2011 ජුනි මස 13 වැනි දින කෘෂිකර්ම අමාත්‍යංශයේ පවත්වන ලදි. අවාසනාවට මෙන් එම මාධ්‍ය සාකච්ඡාවේ දී හෙළි කළ සත්‍ය කරුණු සියල්ල ම නිවැරැදිව මාධ්‍ය තුළින් ජනතාව අතරට ගෙන ගොස්‌ නොමැති බැව් පෙනී යන අතර තත්ත්වය පිළිබඳව විවිධ කල්පිත තොතරතුරු මාධ්‍ය තුළින් තවදුරටත් ප්‍රචාරය වෙමින් පවතින නිසාත් ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීම මා ගේ රාජකාරියේ කොටසක්‌ වන නිසාත් පහත සඳහන් කරුණු අවබෝධ කර ගන්නා ලෙස පාඨකයන් ගෙන් ඉල්ලා සිටිමි.

2001 ජුනි මස 6 වැනි දින රජයේ ගැසට්‌ පත්‍රයෙන් තහනම් කර ඇත්තේ (අනෙකුත් පළිබෝධනාශක කිහිපයක්‌ ඇතුළුව) ආසනික්‌ හා රසදිය සක්‍රීය ද්‍රව්‍ය ලෙසට තිබෙන පළිබෝධනාශක ලංකාවට ආනයනය කිරිම පමණි. ආසනික්‌ සක්‍රීය ද්‍රව්‍ය නො වී අනෙකුත් අඩංගු ද්‍රව්‍ය සමග ස්‌වල්ප වශයෙන් කලවම් වී ඇති විට එවන් පළිබෝධනාශක ගෙන්වීම නැවැත්වීමට බලයක්‌ එම ගැසට්‌ නිවේදනයෙන් නො ලැබේ.

මේ සිදුවීම් මාලාව පිළිබඳ මාධ්‍ය වාර්තාවලින් ගම්‍ය වනුයේ ආසනික්‌ යනු ලංකාවේ නො තිබුණු වෙනත් රටවලින් ගෙනැවිත් දමනු ලැබූ විෂ රසායනික ද්‍රව්‍යයක්‌ බවයි. එහෙත් ඇත්ත තත්ත්වය එය නො වේ. ආසනික්‌ යනු පොළෝ තලයේ බහුලතාව අතින් 20 වැනි ස්‌ථානය ගන්නා මූලද්‍රව්‍යය වේ. එය පසෙහි, ජලයෙහි, ගස්‌වැල්වල, සතුන් ගේ ශරිරයේ මෙන්ම මනුෂ්‍ය ශරිරයේ ද ස්‌වාභාවිකව ඇති මූලද්‍රව්‍යයක්‌ වන අතර සමහර ප්‍රදේශවල පසෙහි හා ජලයේ සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩිපුර තිබිය හැකි ය.

ශාකවලට ආසනික්‌ උරාගන්නා ප්‍රමාණය පසේ හෝ ජලයේ හෝ ඇති ආසනික්‌ ප්‍රමාණය මත අඩු වැඩි විය හැකි අතර වී ශාකය ජලයේ වැඩෙන බැවින් අනෙකුත් ධාන්‍ය වර්ග හා සසඳන විට වී ශාකය සාපේක්‌ෂව වැඩි ප්‍රමාණයක්‌ ආසනික්‌ උරා ගන්නා බව වාර්තා වී ඇත. එහෙත් වී ශාකය උරාගන්නා ආසනික්‌ ප්‍රමාණයෙන් සහල් ඇටය තුළ තැන්පත් වනුයේ උරාගන්නා මුළු ආසනික්‌ ප්‍රමාණයෙන් 2-3 % අතර ප්‍රමාණයක්‌ පමණි.

සහල්වල ද ආසනික්‌ සුඵ ප්‍රමාණයක්‌ අඩංගු විය හැකි අතර ලෝකයේ මෙතෙක්‌ කර ඇති පර්යේෂණ අනුව සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි ආසනික්‌ සහිත ප්‍රදේශවල නිෂ්පාදිත සහල්වල ආසනික්‌ 80-200 µg/kg පමණ ප්‍රමාණයක්‌ අඩංගු විය හැකි ය. චීනයේ එසේ ආසනික්‌ වැඩි පස්‌ සහිත ප්‍රදේශ පවතින බැවින් සහල්වල උපරිම තිබිය හැකි ආසනික්‌ ප්‍රමාණය 150 µg/kg ලෙසට සම්මත කරගෙන ඇත. එසේ වුව ද සහල්වල තිබිය හැකි උපරිම ආසනික්‌ ප්‍රමාණය පිළිබඳ අගයක්‌ ලෝක සෞඛ්‍ය සංවිධානය හා ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් මෙතෙක්‌ ගණනය කර නොමැත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් වකුගඩු රෝග පවතින ප්‍රදේශ මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවලින් ද ලබාගත් නොයෙක්‌ වී ප්‍රභේදයන්හි සහල්වල ආසනික්‌ නොමැති බව බතලගොඩ වී පර්යේෂණ ආයතනය තහවුරු කර ඇත.

සහල්වල මෙන්ම පාන් පිටි ඇතුළු නොයෙකුත් ආහාර ද්‍රව්‍යවල ආසනික්‌ සුළු ප්‍රමාණවලින් තිබිය හැකි බැව් දැනුවත් වි සිටීම වැදගත් බව හඟීSමි. මුහුදෙන් ලැබෙන ආහාරවල සාමාන්‍යයෙන් වැඩිපුර ආසනික්‌ අඩංගු බව සනාථ කර ඇත.

මේ කලබැගෑනියේ දී රේගුව ක්‍රියාත්මක වී ඇති ආකාරයට ක්‌ෂණිකව පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලය ක්‍රියාත්මක වි නැත්තේa ඇයි දැයි චෝදනාත්මකව මාධ්‍ය මගින් සාකච්ජා කර ඇත. මේ සඳහා පැවසිය යුත්තේ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට ක්‍රියා කළ හැක්‌කේ අංක 33 දරන 1980 පළිබෝධනාශක පනතේ ලබා දී ඇති නීතිමය රාමුව තුළ පමණක්‌ වන අතර එම නීතිමය රාමුව තුළ අප ඉතා වගකීමෙන් කටයුතු කර ඇති බවයි. රේගුවට පිළිsගත හැකි විශ්ලේෂණ වාර්තා පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයාට පිළිගැනීමේ හැකියාවක්‌ නොමැති බව සඳහන් කරනු වටියි.

ලිපිය අවසන් කිරීමට පෙර බොහෝ දෙනකු ගේ අවධානය යොමු නො වූ පැතිකඩක්‌ පිළිබඳව අදහසක්‌ ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එනම් මේ කලබැගෑනියේ ප්‍රතිඵලයක්‌ ලෙස අප රටේ බොහෝ කෘෂි අපනයන නිෂ්පාදකයන් හට අහිතකර බලපෑම් එල්ල විමට හැකි බව ය.



* මයික්‍රෝ ග්රෑම් එකක්‌ යනු ග්රෑම් 0.000001කි.

** පළිබෝධනාශකයේ පොදු නම හෝ වෙළෙඳ නාමය
කාර්මික තාක්‌ෂණ ආයතනය වෙත ලබා දී නොමැති අතර
ඔවුනට දෙනු ලැබුයේ නියෑදි අංකය පමණි

විදුසර ඇසුරින්

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්