Sunday, July 3, 2011

රෑට අයෙත් කරුවලේ ඉන්න වෙයිද ඇමතිතුමෝ?

ජල විදුලි බලාගාරවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසීම නිසා විදුලිය කැපීමේ අවශ්‍යතාව පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඉදිරියේ දී විදුලිය දෛනිකව පැය කිහිපයක් විසන්ධි කිරීමේ අවදානමක් පවතින බව පැවසෙයි.

දැනටමත් ඇතැම් ප්‍රදේශවල දිනකට නිශ්චිත කාලයක් විදුලිය විසන්ධි කරන බව ද වාර්තා වේ.

කෙසේවෙතත් මේ වන විට විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මේ සම්බන්ධයෙන් අද ‍දෙරණ කළ විමසීමක දී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

එහෙත් ඉදිරි මාස දෙකක කාලය තුළ බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාව නොලැබුණහොත් විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවක් මතුවනු ඇති බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙනු ලැබීය.

මෙරට විදුලිබල අවශ්‍යතාවෙන් 48% ක ප්‍රමාණයක් උත්පාදනය කරන්නේ ජල විදුලිය මගිනි.

මේ වන විට ජල විදුලිබලාගාරවලින් විදුලිය උත්පාදනය 28% ක් පමණ වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසීය.

විදුලිබලාගාර ආශ්‍රිත ජල මට්ටම පිළිබඳ අධ්‍යයනය කර විදුලි කප්පාදුවක් සිදුකළ යුතු ද යන්න වර්තා කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ විදුලිබල මණ්ඩලයේ සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතාගෙන් අද දෙරණ විමසීමක් කරනු ලැබීය.

මෙම කමිටුව පත් කර ඇත්තේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා බව ඔහු පැවසුවේය.

විදුලිය කැපීමේ කිසිදු අවදානමක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගෙන් ද අද‍දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ජල විදුලිය නිෂ්පාදනය සීමා කිරීමට සිදුවීම හේතුවෙන් ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඉන්ධන මගින් විදුලි උත්පාදනයට අධික පිරිවැයක් දැරීමට සිදුවන බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්