Thursday, July 21, 2011

ලබන 5 දාට පෙර ගැටලුවලට විසඳුම් ඕනෑ ගුරු සංගම් 3 කින් රජයට රතු එළියක්‌

ගුරු සේවයේ පවතින ගැටලුවලට ලබන මස 5 වැනිදාට පෙර විසඳුම් නොලැබුණහොත් දැනුම් දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සංගම් තුනක්‌ තීරණය කර ඇත.

අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය, සමස්‌ත ලංකා එක්‌සත් ගුරු සංගමය හා ලංකා ගුරු සංගමය මෙම තීරණය ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස්‌ කරන ලද අතුරු වැටුප් යෝජනාව ක්‍රියාත්මක කිරීම 2008/45 දින චක්‍රලේඛයෙන් පසුව උද්ගත වූ පුහුණු ගුරුවරුන්ගේ සහ උපාධිධාරී ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, ගුරු වෘත්තීය සංගම්වල අදහස්‌ විමසීමකින් තොරව කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇති විදුහල්පති හා ගුරු සේවා ව්‍යවස්‌ථා සම්බන්ධයෙන් යළි සාකච්ඡා කිරීමට අවස්‌ථාව ලබා ගැනීම යන ඉල්ලීම් පිළිබඳ මෙම සංගම් අධ්‍යාපන ලේකම් එච්. එම්. ගුණසේකර මහතා සමඟ සාකච්ඡා කර ඇති අතර මෙම ගැටලුවලට අදාළව ලබන 5 වැනිදා තවත් සාකච්ඡාවක්‌ ලබාදීමට ද ලේකම්වරයා එකඟ වී ඇත. එහිදී මෙම ගැටලුවලටත් විසඳුම් ඉදිරිපත් කරන බව ද ගුණසේකර මහතා දැනුම් දී තිබේ.

නිලධාරීන්ගේ එකඟතා පිළිබඳ අතීතයේ හොඳ අත්දැකීම් තිබෙන බව ද මෙවරද එකඟතා කඩවුවහොත් ගුරු වෘත්තීය සංගම් දැඩි ක්‍රියාමාර්ග ආරම්භ කරමින් විශාල බලපෑමක්‌ එල්ල කිරීමට සූදානමින් සිටින බව ද එම ගුරු සංගම් නියෝජිතයෝ පවසති.

1 comment:

කියන්න, බනින්න, ඔබේ අදහස්