Monday, July 11, 2011

වැටුප් ප්‍රශ්නයට විසඳුමක්‌ නොදී කල්මැරීමට විරෝධය උසස්‌ පෙළ ලකුණු පටිපාටි හදන්න මෙවර ඇදුරන් නෑ

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලබාදීම දිගින් දිගටම කල්මැරීමට විරෝධය පළකරමින් මෙවර උසස්‌ පෙළ විභාගයේ ලකුණු දීමේ පටිපාටි සකස්‌ නොකිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත.

උසස්‌ පෙළ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු අධීක්‍ෂණය වර්ජනය කරන බව එම සම්මේලනය දැනටමත් විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතාට ලිඛිතව දන්වා තිබේ. අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ ආචාර්යවරුන් වර්ජනය කරන්නේ නම් සුදුසුකම් සහිත ගුරුවරුන් ඒ සඳහා යොදාගන්නා බවය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග විවේචනය කරමින් අධ්‍යාපන ඇමැතිවරයා මෑතකදී කර තිබූ ප්‍රකාශයකටද ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දැඩි අප්‍රසාදය පළ කරයි. උසස්‌ පෙළ ලකුණු දීමේ පටිපාටි සකස්‌ නොකිරීමට එම ප්‍රකාශයද හේතුවක්‌ වී ඇත.

ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් මීට දෙසතියකට පෙර ආණ්‌ඩුව පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ යෝජනාවට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එකඟතාව පළ කර තිබිණි.

ආණ්‌ඩුවෙන් ඉදිරිපත් කළ යෝජනාවට එකඟ වී දෙසතියකට ආසන්න කාලයක්‌ ගතවී ඇතත් මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැතැයිද මෙම ප්‍රශ්නය විසඳීම කල්මැරීම එතරම් යහපත් තත්ත්වයක්‌ නොවන බවද එම සමිති සම්මේනයේ සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා "දිවයින" ට ඊයේ (10 වැනිදා) පැවැසීය. එමෙන්ම අධ්‍යාපන ඇමැතිවරයා ආචාර්යවරුන් විවේචනය කරමින් කර ඇති ප්‍රකාශය පිළිබඳව ආචාර්යවරුන් බලවත් අප්‍රසාදයකින් පසුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් උසස්‌ පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර සකස්‌ කිරීමේ කටයුතු පැහැර නොහරින බවත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්