Thursday, June 16, 2011

ශ්‍රී ලංකා - එංගලන්ත තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය අද සිට තරගාවලිය සමකිරීමට ශ්‍රී ලංකාව ජය සොයයි ලහිරුට ටෙසට්‌ වරම්

ටෙස්‌ට්‌ තරගාවලිය සමකර ගැනීමට අත්‍යවශ්‍ය ජයග්‍රහණයක්‌ අපේක්‍ෂාවෙන් පසුවන ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (16 දා) එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයට සවුත්හැම්ටන්හි පිහිටි රෝස්‌ බෝල් ක්‍රීඩාංගණයේදී සහභාගි වේ.

දෙරට අතර කාර්ඩිෆ් හි පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයෙන් ඉනිමක සහ ලකුණු 14 ක නොසිතූ පරාජයක්‌ ලැබූ ශ්‍රී ලංකාව ලෝඩ්ස්‌ හි පැවැති ටෙස්‌ට්‌ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් දැනට තරගාවලිය 1-0 ක්‌ ලෙස පසුපසින් සිටී. එහෙත් අද තරගය ජය ගෙන ටෙස්‌ට්‌ තරගාවලිය 1-1 ක්‌ ලෙස සමකර ගැනීමේ දැඩි අභියෝගය ශ්‍රී ලංකාව සතුව ඇත.

ශ්‍රී ලංකා නිත්‍ය නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දකුණු අතේ මාපටගිල්ලේ ඇතිවී ඇති ආබාධය හේතුවෙන් ඔහු අද තරගයට සහභාගි නොවන අතර ඒ වෙනුවට හිටපු නායක කුමාර සංගක්‌කාර ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙහෙයවනු ලබයි. ඩිල්ෂාන් වෙනුවට අද තරගයේදී 21 හැවිරිදි ලහිරු තිරිමාන්න තරංග පරණවිතාන සමගින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට නියමිතය. තිරිමාන්න අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ වරම් ලබන 116 වැනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්‌වෙයි. තිරිමාන්න එසෙක්‌ස්‌ කණ්‌ඩායම සමග පැවැති තෙදින පුහුණු තරගයේදී නොදැවී ලකුණු 104 ක්‌ ලබා ගැනීමත් සමග අද සිය පළමු ටෙස්‌ට්‌ තරගයට පූර්ණ සූදානමකින් යුතුව සහභාගි වීමේ අවස්‌ථාව ලැබී තිබේ. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පුහුණුකරු වන ස්‌ටුවර්ට්‌ ලෝ පවසා ඇත්තේ 'ලහිරු තිරිමාන්න ඉතාමත් හොඳින් පුහුණු තරගයේදී පන්දුවට පහර දුන්නා. ඔහු ගැන අපිට මේ තරගයේදී පූර්ණ විශ්වාසය තැබිය හැකියි' යනුවෙනි.

තරගාවලිය පුරාවටම ලකුණු අතර සිටි තිලකරත්න ඩිල්ෂාන් අද තරගයට සහභාගි නොවුනද තම කණ්‌ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමේ හැකියාව සංගක්‌කාර සතුව ඇති බව මහේල පවසයි. 'වෛද්‍ය උපදෙස්‌ අනුව ඩිල්ෂාන්ට මේ තරගයට සෙල්ලම් කරන්න බැරිවීම පාඩුවක්‌. නමුත් සංගක්‌කාර නායකයකු විදිහට අවශ්‍ය දේ අවස්‌ථානුකූලව කණ්‌ඩායමට ලබාදෙනවා. අපේ සියලු දෙනා බලාපොරොත්තු වෙනවා මේ තරගය ජය ගෙන තරගාවලිය සමකර ගැනීමට.' යනුවෙන් මහේල අන්තර්ජාලයට පවසා තිබේ.

රෝස්‌ බෝල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ තරගයද මෙය වන අතර මීට පෙර එහිදී එක්‌දින ජාත්‍යන්තර තරග 12 ක්‌ පවත්වා තිබේ. ශ්‍රී ලංකාව 2004 දී එක්‌ තරගයකට රෝස්‌ බෝල්හිදී සහභාගි වී ඇත. මෙහි තණතීරුව පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද සහයක්‌ දෙන විවිධත්වයක්‌ ඇති තණතීරුවක්‌ බව එංගලන්ත තේරීම් කමිටු ප්‍රධානියා පවසයි.

ශ්‍රී ලංකා ප්‍රධාන පිතිකරු යුගල වන මහේල සහ සංගක්‌කාර මෙතෙක්‌ ලකුණු අතරට නොපැමිණී සිටියද අද තරගයේදී ඔවුන්ට වැඩි වගකීමක්‌ සහිතව ලකුණු අතරට පිවිසීමේ වගකීම පැවරෙයි. සංගක්‌කාර එසෙක්‌ස්‌ පුහුණු තරගයේදී ලකුණු 153 ක්‌ ලබා ගැනීම මත ඔහුට මෙම තරගයේදී ලකුණු අතරට පිවිසීමේ අවස්‌ථාවක්‌ පවතී. ශ්‍රී ලංකා පන්දු යවන්න් අතරින් වේග පන්දු යවන්නන් සිය යුතුකම් තරගාවලිය පුරාවටම මෙතෙක්‌ ඉටු නොකිරීම ශ්‍රී ලංකාවට මහත් අවදානමක්‌ ගෙන දෙන කරුණක්‌ වී තිබේ. ඒ හේතුවෙන් පුහුණු තරගයේදී පන්දුවෙන් දස්‌කම් දැක්‌වූ සුරාඡ් රන්දිව් අද ෆර්වීස්‌ මහරුෆ් වෙනුවට ක්‍රීඩා කිරීමට ඉඩ තිබේ.

එංගලන්තය සතු ප්‍රධාන වේග පන්දු යවන්නා වන ඡේම්ස්‌ ඇන්ඩ්‍රසන් අද තරගයට සහභාගි වීම එංගලන්ත පන්දු යෑවීමේ බලඇණිය තවත් ශක්‌තිමත් කරන්නක්‌ වී තිබේ.

අද තරගයට සහභාගි වීමට අපේක්‍ෂා කළ හැකි ශ්‍රී ලංකා කණ්‌ඩායම

කුමාර සංගක්‌කාර (නායක), තරංග පරණවිතාන, ලහිරු තිරිමාන්න, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, ප්‍රසන්න ජයවර්ධන, සුරාඡ් රන්දිව්, රංගන හේරත්, දිල්හාර ප්‍රනාන්දු, සුරංග ලක්‌මාල්, චානක වෙලගෙදර

අද තරගයට සහභාගි වීමට අපේක්‍ෂා කළ හැකි එංගලන්ත කණ්‌ඩායම

ඇන්ඩෘ ස්‌ට්‍රවුස්‌, ඇලිස්‌ටයාර් කුක්‌, ඡේම්ස්‌ ඇන්ඩ්‍රසන්, ඉයන් බෙල්, ස්‌ටුවර්ට්‌ බෝඩ්, ස්‌
ටීවන් ෆින්, ඉයෝන් මෝර්ගන්, කෙවින් පීටර්සන්, මැට්‌ ප්‍රිඕර්, ක්‍රිස්‌ ට්‍රෙම්ලට්‌, ජොනතන් ට්‍රොට්‌

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්