Monday, September 5, 2011

රජය දුම්කොළ බද්දෙන් සියයට 12 ක ආදායමක්‌ ලබන විට ඉතිරි 88% ම සමාගම්වලට

දුම්වැටි පානය පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද බෙහෙවින් බලපාන්නකි. කරන ලද සමීක්‍ෂණවලට අනුව දුම්වැටි භාවිතයෙන් දිනකට රුපියල් කෝටි 15ක මුදලක්‌ විදෙස්‌ රටවලට ඇදී යයි. එබැවින් මේ හා සම්බන්ධ ආර්ථික පරිහානිය පිළිබඳව දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක්‌ පසුගිය දිනක ජීවක පදනම විසින් නාරාහේන්පිට පුවත්පත් කලා ආයතන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහි දී මහරගම පිළිකා ආයතනයේ විශේෂඥ වෛද්‍ය සමාධි රාජපක්‌ෂ මෙසේ පැවසී ය. "රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව අනුව වසර 2009 දී දුම්වැටිවලින් රජයට ලැබුණු ආදායම රුපියල් මිලියන 29365ක්‌. වසර 2010 දී මේ ආදායම රුපියල් මිලියන 29589 දක්‌වා වැඩි වී තිබෙනවා. උතුර නැඟෙනහිර යුද්ධය අවසන් වීමෙන් පසුවයි මේ ආදායම වර්ධනය පෙන්නුම් කරන්නේ.
පසුගිය කාලේ රජය දුම්වැටි සඳහා අය කරන බද්ද වැඩි කර තිබෙනවා. ඒත් දුම්කොළ හා මද්‍යසාර බද්දකින් රජයට ලැබෙන්නේ සියයට 12ක්‌ වැනි සුළු ආදායමක්‌. වැඩි ආදායමක්‌ ලබන්නේ බහුජාතික සමාගම්. දුම්කොළ හා මද්‍යසාර භාවිතය හේතුවෙන් රෝගී වන්නන් සඳහා රජය වියදම් කරන මුදලේ ප්‍රතිශතය සියයට 22ක්‌. මේක රටේ ආර්ථික පරිහානියට හේතුවක්‌. දුම්වැටි පානය කරන අය වගේම මේ රටේ සියලු දෙනා ම දැනගත යුතු දෙයක්‌ තිබෙනවා. ඒ තමයි අපේ රටේ තිබෙන දුම්කොළ සමාගම් සියයට 90ක ම කොටස්‌ අයිති බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ (BAT) සමාගමට. ශ්‍රී ලංකාව ග්‍රාමීය කෘෂි ආර්ථිකයෙන් අඩු ආදායම් ලබන රටක්‌.
දුප්පත් ජනතාව උපයන මුදල් දුම්වැටි පානය නිසා විදෙස්‌ රටවලට ඇදී යනවා. අපි කළ සමීක්‍ෂණයකින් හෙළි වූ දෙයක්‌ තමයි ගමක ඉන්න පවුල් 200ක දුම්වැටි සඳහා වැය වන අවම වාර්ෂික මුදල රුපියල් 525000ක්‌ පමණ වන බව. මේ මුදල් දුම්කොළ සමාගම් කරන සුරාකෑමක්‌ නො වෙයි ද? මේ රටේ පිරිමි ජනගහනයෙන් සියයට 36ක ප්‍රතිශතයක්‌ දුම් වැටි පානයට යොමු වී සිටිනවා. මේක නිරෝගී ජනතාව රෝගී ජනතාවත් වීමට හේතුවක්‌.
හිටපු සමෘද්ධි ඇමැති එස්‌. බී. දිසානායක මහතා වසර 2003 මැයි 31 වැනි දින පුවත් පතකට කියා තිබුණා සමෘද්ධිය ලබා දීමට රජය රුපියල් කෝටි 340ක්‌ වැය කරන කොට මේ පවුල්වල අය දුම්වැටි පානය සඳහා රුපියල් කෝටි 1825ක මුදලක්‌ වැය කරනවා කියල. මෙයත් ජාතික ධනය අපතේ යැමක්‌. ඒ නිසා දුම්වැටි පානය කිරීම සමෘද්ධිය අහිමි කිරීමට තීරණයක්‌ ලෙස යොදාගත යුතුයි. වසර 2009 ශ්‍රී ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවට අනුව දුම්වැටි සඳහා ශ්‍රී ලාංකික ජනතාව වැය කරන මුදල රුපියල් කෝටි 15ක්‌. මේක සමාගමේ දෛනික ආදායම. දෛනිකව මෙසේ නම් දින 365ට රුපියල් කෝටි 5475ක්‌ වෙනවා. දුම්වැටියක තිබෙන 400කට අධික රසායනික විෂ නිසා දුම්පානය කරන්නා ගේ කාර්යක්‍ෂමතාව අඩු වනවා. මේ විෂ රසායන ද්‍රව්‍යවලින් 40ක්‌ අනිවාර්යයෙන් ම පිළිකාජනක ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා. ආසනික්‌ ද මේ අතරට අයත් වෙනවා" යනුවෙන් පැවසී ය.

1 comment:

  1. government must stop this kind of business(cigarettes & Alcohol )

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්