Thursday, September 15, 2011

නිලදරුවන්ගේ නොසැලකිල්ලෙන් වැසීයන පාසල්

අපේ රටේ පාසල් දසදහසකට ආසන්න සංඛ්‍යාවක්‌ තිබේ. මේ වන විට ඉන් දහසක්‌ පමණ වැසීගොස්‌ ඇති අතර, තවත් දහසකට ආසන්න සංඛ්‍යාවක්‌ නුදුරු අනාගතයේදීම වැසී යැමට නියමිතව ඇත. වැසී ගිය පාසල් දෙස බලද්දී ඒවාට ගිය දරුවන්ට සිදුවූයේ කුමක්‌ද? එම පාසල්වලට ඇතුළත් වන්නට සිටි දරුවන්ට සිදුවන්නට ඇත්තේ කුමක්‌දැයි කිසිවකු සොයා බැලු බවක්‌ දැන ගන්නට ද නැත.

පාසල අහිමිවූයේ පාසල් අධ්‍යාපනය වැඩියෙන්ම අවශ්‍යව තිබූ දරුවන්ටය. එබැවින්, වැසී ගිය සහ වැසී යැමට ආසන්න පාසල් වල, ඒවා පිහිටි භූමිකාව දෙස සොයා බැලීම වටී.

දුෂ්කරතා රැසකට මුහුණ දෙන ධීවරයන් වසන ධීවර ගම්මානවල මෙන්ම, හරිහැටි රැකියාවක්‌ නොමැතිකම නිසා හේනක්‌ හෝ වවාගෙන බඩ වියත රක්‌ෂා කරන දුෂ්කර ඈත පිටිසර ගම්මානවල දරුවන්ගේ පාසල් මෙසේ වැසී ගිය පාසල් පිහිටි ප්‍රදේශයන්ය. මේවා බොහෝ විට දුෂ්කර පාසල් ලෙසින් හංවඩු ගැසූ පාසල්ය.

වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, දේශපාලකයින් මෙන්ම යමක්‌ කමක්‌ කරකියා ගත හැකි උදවියගේ දරුවන් ඉගෙනුම ලබන පාසල් වසා දමන්නට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත. කවුරු කවුරුත් ඉදිරිපත් වන්නේ නැති බැරි එකාගේ පාසල වසා දමන්නටය. නැති බැරි එකාගේ පාසල වසා දමන්නට ඇතැම් අධ්‍යාපන බලධාරීන් මෙන්ම ඇතැම් දේශපාලන බලධාරීන් කොතරම් දුරට දායකවන්නේ දැයි විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

වැසීගිය බොහෝ පාසල් පිහිටි ප්‍රදේශ පිළිබඳව විමසා බලද්දී එම ගම්මානවල දරුවන්ට මෙන්ම මව්පිය වැඩිහිටියන්aටත් අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගැනීම අපහසු වී ඇත. මේ හේතුව නිසා තම දරුවාගේ පාසල රැකගැනීමේ අවශ්‍යතාවක්‌ ඔවුන්ටද නැත. තමුන්ට වන අසාධාරණය තේරුම් ගැනීමට හෝ ඒ වෙනුවෙන් හඬක්‌ නගන්නට තරම් ඔවුන්ට අවබෝධයක්‌ නැත. තමුන්ට වන අසාධාරණය වෙනුවෙන් සාධාරණයක්‌ පතා කථාකරන්නට තරම් සන්නිවේදන හැකියාවක්‌ ඔවුන්ට නැත. එදිනෙදා බඩගෝස්‌තරය සොයා ගැනීම මිසක ඔවුන්ට වෙන අපේක්‍ෂාවක්‌ද නැත. ඒ කාර්යද ඒ අයට බොහෝ දුෂ්කරය. එබැවින් ඔවුන්ට තම දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අපේක්‍ෂාවක්‌ද නැත. කෙසේ වෙතත් පාසලක අනධ්‍යයන කාර්යමණ්‌ඩලයේ සිට අධ්‍යාපන අමාත්‍යවරයා දක්‌වා වැටුප් ලබන්නේ මේ රටේ දරුවන් නිසාය. ඒ සියල්ලෝම, දරුවන්ට ඉගෙනීමට තිබෙන අයිතිය හා සුදුසු අධ්‍යාපනික පසුබිම තහවුරු කර දීමට සෘජුවම බැඳී සිටී. එබැවින්, ඒ යුතුකම ඉටුනොකොට තව දුරටත් අසරණ දරුවන්ගේ පාසල වසන්නට ඉඩ හරිනවාද?

උපයාගත් දෙයින් බඩවියත රක්‍ෂා කිරීමත්, ඇඟපතේ රුදාව මකා ගැනීමට මත් පැන් බීමත් හැරෙන්නට ඇතැම් මව්පිය වැඩිහිටියන්ට ජීවිතයක්‌ නොමැත. ඇඳුමක්‌ පැළඳුමක්‌ නැති, ලෙඩට දුකට බෙහෙතක්‌ හේතක්‌ නැති, හෙටක්‌ ගැන විශ්වාසයක්‌ නැති මෙවැනි අහිංසක දුප්පතුන්ගේ පවුල්වල දරුවන්ට ඉන් ගොඩ ඒමට ඇති එකම සරණ අධ්‍යාපනයයි. කුඩා පාසල් වසා දැමීම තුළ, දවසින් දවස නැතිව යන්නේත් මෙවැනි පවුල්වල දරුවන්ගේම අධ්‍යාපනය නොවන්නේද?

මේ සඳහා කරුණු කාරණා සොයා බැලීමේ අදහසින් මම අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට ගොඩ වුණෙමි. මේ වන විට අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් පාලනය වන බොහෝ පාසල් පසුගිය වසර කිහිපය තුළ වසා දමා ඇත. තල්ගස්‌ගොඩ කනිටු විදුහල දෙල්දුව කනිටු විදුහල, කොබෙයිතුඩුව කනිටු විදුහල, ගොඩහේන කනිටු විදුහල, හෙප්පුමුල්ල කනිටු විදුහල, ඌරවත්ත සුමේධ කනිටු විදුහල වලගෙදර කනිටු විදුහල, බාන්වැල්ගොඩසැල්ල කනිටු විදුහල, දෙල්ගහබැද්ද කනිටු විදුහල, ගිණිමැල්ලගහ බටහිර කනිටු විදුහල සහ කුරුඳුවත්ත කනිටු විදුහල් ඒ අතරින් සමහරකි.

මේ අතර එම අධ්‍යාපන කලාපයේම තවත් පාසල් 20 ක්‌ පමණ නුදුරු අනාගතයේදි වැසි යාමට පෙර නිමිති පහල වී තිබේ. ඒ පටුවත ලංකා සභා කනිටු විදුහල, ඉඩන්තොට කනිටු විදුහල, වතුරවිල ධර්මපාල කනිටු විදුහල, රොන්නදුව කනිටු විදුහල, ග්‍රාම කනිටු විදුහල, වඳව කනිටු විදුහල සහ අම්බලන්ගොඩ ධම්මකුසල කනිටු විදුහල ඉන් සමහරකි. මුළු දිවයිනේම මෙවැනි අධ්‍යාපන කලාප අතිවිශාල සංඛ්‍යාවක්‌ මගින් රටේ සියලුම පාසල් පාලනය වේ. අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය එක්‌ උදාහරණයක්‌ පමණි.

එමෙන්ම අම්බලන්ගොඩ කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ පාලිත ජයසේකර මහතා විසින් රචිත ගමට කැකිරි හෙවත් අධ්‍යාපනයේ අදෘශ්‍යමාන පැතිකඩ නමින් යුත් ග්‍රන්ථයෙන්, ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ නියාගම විදුහල් හයක්‌ වසා දමා ඇති බව පවසා ඇත. මෙයින් විදුහල් පහක්‌ කනිටු විදුහල් වන අතර එකක්‌ මහ විදුහලකි. 2005,01.09 දින පිටිගල මහ විදුහලද, 1999.01.04 දින සිට මත්තක කනිෂ්ඨ විද්‍යාලයද, 2001.03.05 දින සිට දුවේගොඩ කනිෂ්ඨ විද්‍යාලයද, 2000.01.14 දින සිට බනංගල කාර්යවසම් කනිෂ්ඨ විද්‍යාලයද, 2000.02.22 දින සිට උහන්දූවිට පුණ්‍යරතන කනිෂ්ඨ විද්‍යාලයද මෙසේ වසන ලද පාසල්ය.

එමෙන්ම 1997 වසර සිට 2007 වසර දක්‌වා පසුගිය දසකය තුළ දිවයින පුරා පාසල් 664 ක්‌ වසා දමා ඇති බවත්, 2007 වසරේදී පමණක්‌ පාසල් 36 ක්‌ වසා ඇති බවත් මේ අනුව ශ්‍රී ලංකාවේ සෑම දින 10 කටම පාසලක්‌ වැසී යන බවද 2008.12.07 දින රාවය පුවත් පත මගින් හෙළිකොට තිබිණි.

පාසල වැසූ විට වෙනත් පාසලකට ළමයින්ට යා හැකිද? ඔවුන්ගේ ආර්ථිකය ශක්‌තිමත්ද? නිලධාරීන්ට ඒවා ගැටලු නොවේ. වැසූ පාසල් වල දරුවන් වැඩි පිරිසක්‌ කිසිම පාසලකට නොගොස්‌ අධ්‍යාපනයට ආයුබෝවන් කීහ. ඊටත් වැඩි භයානක එක නම් එම ප්‍රදේශයේ ඉපදෙන අනාගත දරු පරපුරට පාසලක්‌ අහිමි වීමයි. පාසල් වැසී යන ප්‍රවණතාව අනුව බලන විට අනාගතයේ ලියන්නට කියවන්නට අපොහොසත් පිරිස අපේ රටේ වැඩි විය හැකිය. සාක්‍ෂරතාව අනුව වර්තමානයේ උදම් අනන අයට මතු මත්තේ දී හඬන්නට සිදුවනු ඇත.

අධ්‍යාපන පරිපාලන රටාව ගැන සාකච්ජා කරද්දී නිලධාරීන් දක්‌වන උදාසීනත්වය ඉතාමත්ම කනගාටුදායකය. වැසී ගිය පාසල් දෙස බලතහොත් ඒ සෑම පාසලකටම මේ අයගේ අවධානය යොමුවී නොමැති බව කිව යුතුය. මසකට, වසරකට වරක්‌ හෝ නොව දෙවසරකටවත් මේ අය මේ කුඩා පාසලකට ගොඩවී නොමැත. ගුරුභවතුන්ගේ සංඛ්‍යාවත්, ළමයින්ගේ සංඛ්‍යාවත් සන්සන්දනය කරමින් මේ අය බලධාරීන්ට නිරන්තරව රපෝර්තු කරන්නේ පාසල වසා දැමීමට නියෝග කරන ලෙසය. අඩු පාඩු සොයා බලා ඒවා සකසා පාසල පවත්වාගෙන යැම වෙනුවට ඔවුන්ට ඇති එකම විකල්පය පාසල වසා දැමීමය.

පන්සලක්‌, පල්ලියක්‌, පාසලක්‌ අසල හෝ ඇති සුරා සලක්‌ හෝ රේස්‌ ඔට්‌ටු පොළක්‌ වසන්නට වචනයක්‌වත් කථා නොකරන අධ්‍යාපන බලධාරීන් මෙන්ම දේශපාලකයින්ද අසරණ දරුවන්ගේ පාසල් වසන්නට දරණ උනන්දුව නම් ලජ්ජාසහගතය. අම්බලන්ගොඩ නගරයේ පාසල් සංඛ්‍යාව මෙන් දෙගුණයකට වඩා සුරාසල් ඇති බවත්, එමෙන් සිවුගුණයක්‌ පමණ රේස්‌ ඔට්‌ටු පොළවල් ඇති බවත් දැනගන්නට තිබේ. සත්‍ය වශයෙන්ම සමස්‌ත දිවයිනේම තත්වය එයයි. සුරා සලක්‌ හෝ රේස්‌ ඔට්‌ටු පොළක්‌ විවෘත කළ යුතුනම්, එයට තිබෙන බාධාව පාසලක්‌ හෝ පන්සලක්‌ නම් එය එතැනින් විතැන් කොට හෝ සුරා පොළ පවත්වාගෙන යාමට අපේ අය හරිම හපනුන්ය.

නගරයේ පිහිටි ජනප්‍රිය පාසල වසරින් වසර විශාල වෙයි. ඊට හේතුව ආර්ථිකමය හැකියාව ඇති මවුපියන් විසින් තම දරුවන් මෙම පාසල් කරා ගෙන ඒමය.ගම්වල පාසල් දියුණු කරනු වෙනුවට ඇතැම් දේශපාලනඥයෝද මේවාට උදව් කරති. ගමේ නැතිබරි එකාගේ පාසල වැසුනාට ඔහුට රිදුමක්‌ නැත.ගමේ පාසල වැසී රුපියල් ලක්‍ෂ කෝටි ගණනක්‌ වැය කළ ගොඩනැගිලි ගවහල් බවට පත්වෙද්දී නගරයේ සීමිත භූමි ප්‍රමාණයක විශාල මුදල් සම්භාරයක්‌ වියදම් කර අලුතින් ගොඩනැගිලි ඉදිකරති.

නගරයේ ජනප්‍රිය පාසලට ආදි ශිෂ්‍යයින් සුභ පතන්නන් ආදීහු උදව් කරති.අවාසනාවට ගමේ පාසලට මේ කිසිවකුගේ උදව්වක්‌ උපකාරයක්‌ නැත. ගමේ වැසී යන පාසලකට පහසුකම් සලකා පාසල නංවන්නට උදව් කළ හැකි සුභ පතන්නන් ඉදිරිපත් වන්නේ නම් කොතරම් භාග්‍යයක්‌ද?

අම්බලන්ගොඩ නගරයේ ඇතැම් පාසල්වල එක්‌ පංතියක්‌ සඳහා නාම ලේඛන දෙක බැගින් භාවිතා කරන බව ප්‍රසිද්ධ කරුණකි. මේ නාම ලේඛන සපයන්නේ කලාප අධ්‍යාපන කාර්යාලයෙනි. අමාත්‍යාංශ පොදු චක්‍රලේඛ කඩකරමින් ඇතැම් විදුහල්පති මුදලාලිලා නටන මේ නාඩගමට කලාප අධ්‍යාපන කාර්යාලයේ බලධාරීන් මෙන්ම දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේද බලධාරීන් මුණිවත රැකීම කොතරම් දුරට සාධාරණද? පංති කාමරයේ ගුරුභවතාට, නිදහසේ දරුවන් සමීපයට යා නොහැකි නිසා දරුවන්ගේ පොත්පත් දරුවන් අසලට උඩින් විසිකරන තත්වයකට අද පංති කාමරයේ පසුබිම සැකසී ඇත. කැසිකිළියට හෝ වැසිකිළියට යැමටවත් කුඩා දරුවන්ට අවකාශ නැත්තේ දරුවන් සැමන් මෙන් පැක්‌ කොට ඇති බැවිනි. මේ අනුව ඇතැම් පාසලවල විදුහල්පතිවරු සිටිය යුත්තේ විදුහල්පති පුටුවල නොව සිරගෙවල් වලය. පළමු පංතිය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ දී මෙවරත් ඇතැම් පාසල් වල විදුහල්පතිවරුන් කිහිප දෙනෙක්‌ ඒ වෙනුවෙන් මුදල් ආධාර ඉල්ලා ඇති බැවින් ඒ පිළිබඳව ලංකා ගුරු සංගමය විසින් අමාත්‍යාංශයට දැනටමත් පැමිණිලි කර ඇති පුවතක්‌ මාධ්‍ය මගින් හෙළිදරව් කර තිබුණි. උණ පුරුකෙ හත් අවුරුද්දක්‌ දැම්මත්, බලු වලිගෙ ඇද හරින්නට බැරිය කියන්නේ මෙවැනි සිද්ධීන් වලටය. කුඩා පාසල වසා හෝ තම මල්ල පුරවා ගන්නට උත්සාහ කරන විදුහල්පතිවරුන්ද සිටිති. එවැනි අයටත් පළමු පංතියට දරුවන් ඇතුළත් කර ගන්නා සමය, මධු සමයටත් වඩා ජොලිය.

මේවන විට අම්බලන්ගොඩ ධම්මකුසල ඇතුළු තවත් පාසල් සියගණනක්‌ වැසීමට කැසපට ගසා, නිලධාරීහු බලා සිටිති. බලධාරීන් ගේ වගකීම වන්නේ එය අනුමත කරනු වෙනුවට හොඳ සම්භාව්‍ය ගුරුභවතුන් එවැනි පාසල් වලට පත්කොට අඩුපාඩුකම් සපුරා සියලු පහසුqකම් ලබාදීමය. එවිට ගමෙන් නගරයේ පාසල් කරා ඇදී ඒම අඩුවේ. එවිට ගමේ පාසල දියුණු වෙයි. රටට ජාතියට අවශ්‍ය මානව සම්පත පෙරසේම බිහිකිරීම නොඅඩුව සිදුවනු නොඅනුමානය.

පාසල් නොයන ළමුන් පාසල් ගත කිරීම සම්බන්ධයෙන් අනිවාර්ය අධ්‍යාපන කමිටු දෙකක්‌ දැනටමත් ක්‍රියාත්මක වෙයි. 1939 අංක 31 දරණ අධ්‍යාපන පනතින් අවුරුදු 5-14 වයස කාණ්‌ඩයේ ළමුන්ගේ පැමිණීම අනිවාර්ය කෙරෙන නීතිරීති ක්‍රියාත්මක කිරීමේ බලතල දෙන ලදී. ඉන් අනතුරුව 1947 අංක 26 දරණ පනත මගින් එය අවුරුදු 16 දක්‌වා දීර්ඝ කරන ලදී. වර්තමානයේ නම් වයස අවුරුදු 18 දක්‌වා දරුවන් ළමයින් වශයෙන් සැලකේ. සියලුම ළමුන් හට අනිවාර්යයෙන්ම අධ්‍යාපනය ලබාදීමේ රජයේ ජාතික ප්‍රතිපත්තිය තව දුරටත් සාක්‌ෂාත් කරගැනීමේ අරමුණින් 1997 නොවැම්බර් මස 25 දින අංක 1003/5 දරණ ගැසට්‌ නිවේදනය මගින් අමාත්‍යවරයා විසින් මණ්‌ඩල දෙකකින් යුත් කමිටු දෙකක්‌ පිහිටුවීමට ක්‍රියා කළ යුතු විය ඒවා නම්

1. ග්‍රාම නිලධාරී ඒකක තුළ පාසල් පැමිණීමේ කමිටු

11. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකම පාසල් පැමිණීම නියාමනය කිරීමේ කමිටු.

ඉහත අනිවාර්ය අධ්‍යාපන විධිවිධාන සිසුන් පාසලට ගෙන්වා ගැනීමට ශක්‌තියක්‌ වුවද, බොහෝ අවස්‌ථාවලදී කමිටු ක්‍රියාකාරකම් තුළ තිබෙන අක්‍රීයතාව හා අඩු සංවේදීතාව පිළිබඳ පවතින අඩුපාඩුකම් නිසා එම කමිටු පිහිටුවීමේ අරමුණ සාක්‌ෂාත් වූයේ දැයි විපරම් කළ යුතුය.

එම කමිටු සිය ගම් ප්‍රදේශයේ පාසල් නොයන දරුවන් සිටින නිවෙස්‌ කරා ගොස්‌ මවුපියන් දැනුවත් කොට ඔවුන්ට උදව් කරන සැලසුමක්‌ද සකසා දරුවන් පාසලට ගෙන්වා ගත හැකිය. එපමණක්‌ නොව එම කමිටු හා ගුරුවරුන් නිරන්තරයෙන්ම මේ දරුවන් කෙරෙහි දැඩි අවධානයෙන් සිටිය යුතුමය.යළි පාසල් ගමන අත්හිටවුවහොත් ඒ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු යෙදීමට ගුරුභවතුන්ද දැනුවත් කළ යුතුය.එහෙත් මේ කිසිවක්‌ අද ප්‍රායෝගිකව ඉටු නොවීම කනගාටුදායකය.

ළමයින් සිය දහස්‌ ගණන් පැමිණ ක්‍රමයෙන් පසුව අඩුවී ගිය පාසල්වල තත්ත්වය සොයා බැලීමක්‌ නොකළ නිලධාරීන් කළේ ළමයින් ප්‍රමාණවත් නැත යයි කියා පාසල වසා දැමීමට නියෝග දීමය. මේ තත්ත්වයට මේ කුඩා පාසල් පත්වූයේ කෙසේදැයි සොයා බැලීමද වටී. මේ සඳහා එක්‌ උදාහරණයක්‌ ලෙසින් අම්බලන්ගොඩ ධම්මකුසල කනිටු විදුහලේ එදා පැවති තත්ත්වය විපරම් කරන්නේ නම්, ප්‍රාථමික පංති සෑම එකකම වාගේ සිසුන් දහය, පහලොව වැනි සංඛ්‍යාවක්‌ සිට ඇත. ඒ සෑම පංතියකටම වෙන්වෙන් වශයෙන් ගුරුභවතුන් සිටඇත. සිසුන් සංඛ්‍යාවට අදාළව ගුරුභවතුන් සංඛ්‍යාව සන්සන්දනය කොට අවසානයේ දී වෙන් වෙන් වශයෙන් පැවති 1, 2, 3, 4 සහ 5 ශ්‍රේණිය පංති පහම බහුශේ්‍රණි යන ලස්‌සන වචනයකින් එකම එක ගුරුමහත්මියකට භාර දීම පාසල මේ තත්වයට ඇද වැටීමේ පළමු පියවරයි. බහු ශේ්‍රණිය ලස්‌සන වචනයක්‌ වුවත් මේ කරන්නේ පංති පහේම දරුවන් එකම පංතියකට දමා එක ගුරුමහත්මියක්‌ විසින් අධ්‍යාපන කටයුතු සිදු කිරීම බව දෙමව්පියන් දනී. යමක්‌ කමක්‌ කරගත හැකි සෑම දෙමාපියෙක්‌ම කළේ ඉන් පසුව තම දරුවන් මේ පාසලින් අස්‌කොට වෙනත් පාසලකට ඇතුළු කිරීමයි. ඒත් ඒ ජාතික හෝ ජනප්‍රිය පාසලකට නොවේ. මේ පාසල මෙන්ම නුදුරු අනාගතයේ වැසී යන පාසලකටය. අසරණ වූ දෙමාපියන්ට එය තාවකාලික පිළියමක්‌ වුවත් අවසානයේ දී සිදුවන්නේ එම දරුවන් අතරමංවීමය. මේ සමස්‌ත දිවයිනේම කුඩා පාසල්වල සැබෑ තත්ත්වයයි. දැන් මේවාට වගකිව යුත්තෝ කවරහුද?

මේ රටේ අනාගතය ගැන සිතා මේ වන විටත් වැසී ඇති පාසල් දහසක්‌ පමණ යළි මෙම ස්‌ථානවලම පිහිටු වීමට අවශ්‍ය කටයුතු යොදන්නේ නම් මැනවි. වගකිවයුත්තන්ගේ සැලකිල්ල මේ කෙරෙහි යොමු විය යුතුය. පාසලක්‌ වැසීම සිරගෙයක්‌ විවෘත කිරීමකැයි කියමනක්‌ද තිබේ. අපේ රටේ පාසල් වැසී යන අන්දම බලන විට අනාගතයේ සිරගෙවල් ඉදිවේද? දුප්පත් ගම්වැසියන් සිටින දුප්පත් ළමයින් යමින් සිට වැසී ගිය පාසල් යළි ඇරඹුවහොත්, ඒවායේ අඩුපාඩු සපුරා සම්පත්වලින් පෝෂණය කරන්නට නගරයේ ජනතාව නොපැකිලිව ඉදිරිපත්වනු ඇත. දැනට මේ වැසී ගිය සහ වැසී යන පාසල් දරුවන් ගැන අමතක කර මරනින්දේ පසුවන උදාසීන අධ්‍යාපන බලධාරීන් අවදිකොට කිසියම් වැඩ පිළිවෙළක්‌ යෙදීම සුදුසුය. රටට විශේෂයෙන්ම දුප්පත් ජනතාවට ජාතියට එය උදාර මෙහෙවරක්‌ වන්නේය.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්