Tuesday, September 6, 2011

පළමු මගී නෞකාව හම්බන්තොට වරායට සම්ප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක්‌ පෙරළමින් ලොව විශාලතම පාවෙන පුස්‌තකාලය වන MV Logos Hope යන මගී නෞකාව පසුගියදා හම්බන්තොට වරායට ළඟ විය. හම්බන්තොට වරාය ඉදිකිරීමෙන් අනතුරුව එහි පැමිණි ප්‍රථම මගී නෞකාව ලෙස ලෝගොස්‌ නෞකාව ඉතිහාසගත වනු ඇත. ලෝගොස්‌ නෞකාවේ නාවික නියෝජිතයන් වන එයිට්‌කන් ස්‌පෙන්ස්‌ සමාගම පැවසුවේ ලෝගොස්‌ හෝප් නෞකාව හම්බන්තොටට රැගෙන ආවේ මෙම නවතම වරායේ දර්ශනීයත්වය පිළිබිඹු කිරීමටත් මගී නෞකා හම්බන්තොට වරායට ගෙන ආ නොහැකි යෑයි පැවසූ මිථ්‍යාව පහ කිරීමේ අරමුණ සාක්‌ෂාත් කර ගැනීමටත් යන බවයි.

"මෙම නෞකාවේ අයිතිකරුවන්ට සහ ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරුන්ට පළමුවෙන් ඇතැම් ප්‍රශ්න පැන නැඟුණද අප ඔවුනට කරුණු පැහැදිලි කර දීමෙන් අනතුරුව හම්බන්තොට බලා යාත්‍රා කිරීමට ඔවුන් එකඟත්වය පළ කළා", එයිට්‌කන් ස්‌පෙන්ස්‌ සමාගමේ ප්‍රකාශකයකු තවදුරටත් පැවැසීය. වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, හම්බන්තොට වරාය ව්‍යාපෘති අධ්‍යක්‍ෂ අගිල් හේවාගීගන, හාබර් මාස්‌ටර් කපිතාන් රවී ජයවික්‍රම සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය හාබර් මාස්‌ටර් කපිතාන් අතුල හේවාවිතාරණ ඇතුළු සියලු වරාය නිලධාරීන් වෙත හෙතෙම තම ස්‌තූතියද පළකර සිටියේය. ථේරපුත්තාභය සහායක යාත්‍රාවේ දායකත්වය සමඟ මෙම පාවෙන පුස්‌තකාලය හම්බන්තොට වරායේ නැංගුරම් ලෑවේය.

දිගින් මීටර් 132.5 හා පළලින් මීටර් 21 ක්‌ වන මෙම නෞකාව හම්බන්තොට වරායට ළඟා වූයේ හිටපු ඇමරිකානු නාවික කපිතාන් පැට්‌ ටේ්‍රසි ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙනි. 492 ක පිරිසකට නෞකාවේ යහන් පනවා තිබූ අතර එම කණ්‌ඩායමත් සමඟ ගාලු වරායේ නියෝජ්‍ය හාබර් මාස්‌ටර් එස්‌. සී. විමලසිරි මහතාද ඇතුළු මගීන් 900 ක්‌ පමණ පිරිසක්‌ හම්බන්තොට වරාය දක්‌වා ලෝගොස්‌ නෞකාවේ ගමන් ගෙන ඇත. ඔවුන් නියෝජනය කර ඇති විවිධ වූ ජන වර්ග 45 කි.

0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්